– අපේ විචාර කලාව අතිශයින් පිරිහුණු කාලයක් තමයි මේක ඒත්, වාසනාවට අපගේ විචාර කලාවේ විශිෂ්ටයන් අතළොස්සක් තවමත් ඉන්නවා
– සිනමාව කියන්නේ වෙනම භාෂාවක් ඒ භාෂාව අද නිර්මාණකරුවන්ටත් වඩා විචාරකයන්ටත් වඩා ප්‍රේක්ෂකයා දන්නවා
– හේමාල් කියන්නේ අපේ සිනමාවේ අතිශය දුර්ලභ සම්පතක්
– මම කවදාවත් විචාරකයන් විසින් රාමුගත කරන ලද කලා අවකාශයන් භාවිත කර නෑ
ඇතැම් හැඳින්වීම් කෙටිවීම ඔහුට කරන අසාධාරණයක්. ඔහුගෙ විශිෂ්ට නිර්මාණ සියල්ලම පාහෙ නම් නොකියා සිටීම ඔහුට කරන පාඩුවක්. ඒ නිසාම ඔහු ගැන ආලවට්ටම්, උපමා රූපක, තිප්පණි නොකියාම කතා කරන්න හිතුවා. අද අපේ කතානායකයා සිනමාවේදි ජයන්ත චන්ද්‍රසිරියි.
ඇයි ඔබගේ කැමරාව අතීතයටම හරවලා තියෙන්නේ. ?
මම ඇත්තටම මගේ කැමරාව හරවන්නේ අතීතයට නොවෙයි. ඉතිහාසයටයි. මට අනුව අතීතය සහ ඉතිහාසය කියන්නේ එකක් නොව දෙකක්. අපි කාටත් පහසුවෙන්මත් කොහොමටත් අතීතයට එකතු වෙන්න පුළුවන්. ඒත් අප හැමෝටම ඉතිහාසයට එකතු වෙන්න බෑ. අතීතය පිරී තිබෙන්නේ මේ ලෝකයේ ඉපදී මිය ගිය කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මිනිය නොහැකි මිනිසුන්ගෙන් නම් තවමත් ඉතිහාසය පිරී තිබෙන්නේ ඊට බොහෝ අඩු සංඛ්‍යාවකින්. ඊට හේතුව ඉතිහාසය කියන්නේම කුමන හෝ හේතුවක් නිසා කවුරුන් විසින් හෝ විශේෂ වශයෙන් තෝරා ගනු ලැබූ සිද්ධීන් සහ කතන්දර දාමයක් නිසා.
ඉතින් මේ සිද්ධීන් කතන්දර සහ තොරතුරු එක්කෝ කවුරුහරි සටහන් කරන ලද ඒවා. නැත්නම් තම තම නැණ පමණින් සහ උවමනාව පමණින් රචනා කරන ලද ඒවා. එච්. හැලට් කා කියන ඉතිහාසඥයා කියන දෙයක් තමයි ඉතිහාසය ඉතිහාසඥයාගෙන් තොරව කියවිය නොහැකිය කියා. ඒ නිසා ඉතිහාසය තුළ සත්‍යයත්, අතිශයෝක්තියත්, අසත්‍යයත් කලවම් වී තිබිය හැකියි. එනිසා මගේ කැමරාව ඉතිහාසයට එල්ල වන්නේ එය විනිවිද යෑමටමයි. නැතුව කවුරුත් කියන හුදු ඓතිහාසික දෘශ්‍යමානයේ පවතින ෆොටෝ කොපියක් ලබා ගැනීමට නොවේ.
දේවි කුසුමාසන චිත්‍රපටය ජීවමාන කිරීමේදී ඉතිහාසය නොරිදවා එය වෙනස් කරන්න සිදුවූ අවස්ථා තිබෙනවාද ?
ඔබ ඉතාම නිවැරදියි. මා හැම විටම සම්ප්‍රදායත්, සම්ප්‍රදායික ඉතිහාසයත් ගරු කරන කෙනෙක්. ඒත් කවුරුත් කියන නිසා එය කරේ තබාගෙන යන්නෙකුත් නොවෙයි. අර කතාවක් තියෙනවා නේද ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා කියා. එයා හැමවිටමත් සත්‍යයක් නොවේ. දේවි කුසුමාසන කතාවට අදාළ යුගයේ ඓතිහාසික පසුබිම පිළිබඳව ලීවේම ඒ සමකාලීන පෘතුගීසි ලේඛකයෝ. ඇත්ත වශයෙන්ම ඔවුන් ජයග්‍රහකයින් නොවේ. පර්නාවෝ ද ක්වේරෝස් කියනවා දකුණු අමෙරිකාවේ, ආසියාවේ සහ ලෝකයේ ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ සියලුම රටවල් වෙනුවෙන් වියදම් කළ මුදල් සහ හේවායින් මෙන් දෙගුණයක් වැය කළත් ලංකාව යටත් කරගැනීමට ඔවුන්ට නොහැකි වුණා කියලා.
තමන්ගේ පෘතුගීසි භාවය නිසා හෝ පෘතුගීසි දේශ වාත්සල්‍යය නිසා හෝ ඔවුන් ඒ කාලයේ ලියූ ශ්‍රී ලංකාවේ ඉතිහාසය එහෙමත් නැත්නම් ඉතිහාස සටහන් සමහර විටෙක අතිශය පක්ෂග්‍රාහීයි.
ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ නොමනාපයට සහ නොරිස්සීමට ලක්වූ සිංහල රජවරු දෙදෙනෙකු මේ එකම යුගයේ සිටියා. එක් අයෙක් සීතාවක රාජසිංහ. අනෙක් කෙනා විමලධර්මසූරිය. මා කියන්නේ නෑ මේ පෘතුගීසින් සියල්ලෝමත්, හැම විටකමත් අසත්‍ය ලීවා කියා. තමන්ගේ ආත්මීය අප්‍රසාදය තිබියදී වුවත් ඔවුන් ඉතාම නිවැරදි කරුණුත් ගෙනහැර දක්වා තිබෙනවා.
නමුත් එකම ඉතිහාසය පිළිබඳ ඔවුන් එකිනෙකා දක්වන කරුණුත් බොහෝ විට පරස්පරයි. ඉතින් ඒකට ප්‍රශ්නයකුත් නෑ. එහෙම වෙන්න තියෙන ඉඩකඩ ගැන මම මුලින්මත් කිවුවනේ. නමුත් ප්‍රශ්නය මේකයි. ඇතැම් තැනක ඔවුන් බලවත් විකෘති කිරීම් සිදු කර තිබෙනවා.
මේ අතින් රිබෙයිරෝ කියන ලේඛකයා තමන්ගේ ලංකා ඉතිහාසය කියන පොතේ ලියනවා සීතාවක රාජසිංහ රජතුමා තමාගේ පියා වන 80 වියැති මායාදුන්නේ රජුව ඝාතනය කළා කියලා. ඒ පොතේම ඔහු ලියනවා දන්තුරේ සටනින් ජය ගන්නා කොනප්පු බණ්ඩාර ප්‍රසිද්ධියේ සියලු දෙනා බලා සිටියදී දෝන කතිරිනා දූෂණය කළා කියලා. මේ කරුණු දෙක පිළිබඳව මගේ සොයා බැලීම වන්නේ ඒවා අසත්‍ය පමණක් නොව කරුණු විකෘති කිරීම් ද බවයි. ඉතින් මේ පිළිබඳව දේවි කුසුමාසනයෙහි එන මගේ උපන්‍යාසය (hypothesis) සම්පූර්ණයෙන් වෙනස් එකක්.
එබඳු වෙනස්ම ඉතිහාස කියැවීම් ගණනාවක් මා දේවී කුසුමාසන තුළින් ඉදිරිපත් කරනවා.
දේවි කුසුමාසන චිත්‍රපටයට තෝරාගත් රංගන ශිල්පීන්ගෙන් උපරිම සාධාරණත්වයක් හිමිවුණා කියලා ඔබ විශ්වාස කරනවද ?
ඔව්. සියල්ලෝම තමන්ගේ භූමිකාවන්ට උපරිම සාධාරණය කළා. ඒ සඳහා විය යුතු උපරිම කැපවීමත් සිදුකළා කියා මා හිතනවා. පරම්පරා තුනක් එක්කයි මා වැඩ කළේ, ශ්‍රියන්ත, මහේන්ද්‍ර, සනත්, වසන්ත, කුසුම්, උදිත වගේ මගේ පරපුරේ අයත් හේමාල්, උදාරි, බුද්ධික, දිනෙත්, ලක්ෂ්මි, කුමාරවෙල, අනුර, වගේ අපේ ඊළඟ පරපුරේ අයත් මේඝ, ඩිස්නි, දුමී, දිව්‍යා, චිලී, රයන් වගේ අලුත්ම පරපුරේ අයත් මේ චිත්‍රපටයේ කරට කර වැඩ කළා. විශේෂ වශයෙන් හේමාල් සහ උදාරි කළ චරිත නිරූපණ අනභිභවනීයයි. හේමාල් කියන්නේ අපේ සිනමාවට තිබෙන අතිශය දුර්ලභ සම්පතක්.
කියවීම පරිකල්පනය ගවේෂණය නිර්මාණකරණයට කොතෙක් දුරට ඉවහල් වෙනවද ?
ඔය කියන කරුණුවලින් තොරව හොඳ තිර රචකයෙක් නම් විය නොහැකියි. සිනමාව කියන්නේ වෙනම භාෂාවක්. ඒ භාෂාව අද නිර්මාණකරුවන්ටත් වඩා විචාරකයන්ටත් වඩා ප්‍රේක්ෂකයා දන්නා නිසා ඔවුන්ට ලොකු අභියෝගයක් තිබෙනවා කියා මා හිතනවා.
විචාර කලාව පිරිහීම තුළ අද නිර්මාණකරුවාගේ උද්‍යෝගිමත් බව තරමක් අඩු වෙලාද ?
මා සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ කිසියම් හෝ විචාරයක් නිසා එහෙම අනු උද්‍යෝගී බවක් මා තුළ ඇතිකර නැති බවයි. මොකද මම කවදාවත් විචාරකයන් විසින් රාමුගත කරන ලද කලා අවකාශයන් භාවිත කර නැති නිසයි. ඔබ කියනවා වගේ අපේ විචාර කලාව අතිශයින් පිරිහුණු කාලයක් තමයි මේක. ඒත්, වාසනාවට අපගේ විචාර කලාවේ විශිෂ්ටයන් අතළොස්සක් තවමත් ඉතිරි වී සිටිනවා. ඒ හැරුනම අපේ රටේ දැන් විචාරකයින් දහස් ගණනක් සිටිනවා.
ප්‍රශ්නය නම් ඒ හැමෝටම තමන් දන්නා යම් සිනමාවක රාමුවක් තිබීමයි. මා කලින් කිව්වා වගේ කිසි දවසක, කාගේවත් කිසිම රාමුවක් විශ්වාස නොකළ සිනමාකරුවකු වශයෙන් මට නම් එයින් ලබා ගත යුතු දෙයක් නැහැ.
අපි අපේ යෞවනෝදයේ පටන්ම රටේ ඉතාම ගැඹුරු විචාරක පද්ධතීන් ඇසුරු කළ අය. ඒ වගේම ඒවායින් බොහෝ දේ උගත් අය. ඇත්තටම එබඳු පුළුල් විචාර කලාවක් දැන් නැති එක ගැන නම් කනගාටුයි.
ලාභ බාල දේට තරගයක් තිබෙන මෙවැනි කාලයක ගුණාත්මක නිර්මාණයක් ජනගත කිරීම තුළ ඔබ බලාපොරොත්තු වන ජනප්‍රසාදය හිමිවේයැයි විශ්වාස කරනවද ?
මේ මෑතක සිට සිනමාහල් කරා පැමිණෙන ප්‍රේක්ෂක පිරිස් වැඩිවී තිබෙනවා. මේ ප්‍රවණතාව ඇති වුණේ අශෝක හඳගමගේ රාණි චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමඟයි. එය අතිශය ගුණාත්මක නිර්මාණයක්. මම කවදත් ගුණාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයා වැලඳ ගන්නවා යන මතයේ සිටි කෙනෙක්. ඉතින් මා හිතනවා දේවි කුසුමාසන කෙරෙහිත් අපේ ප්‍රේක්ෂකයාගේ අවධානය යොමු වෙයිි කියලා. ඇත්තටම ලයිකා ආයතනයත් එහි නියෝජ්‍ය සභාපතිනි ජානකී විජේරත්න මහත්මියත් නිසා තමයි මේ වගේ ගුණාත්මක සහ දැවැන්ත නිර්මාණයක් කිරීමට අපට හැකිවූයේ.
ඔබගේ නිර්මාණ සියල්ලෙහිම පාහේ ආදරයේ වස්තු බීජය ඔබ සියුම්ව පැළ කරනවා. ඒකට හේතුව මොකක්ද ?
ආදරය පිළිබඳව මගේ තිබෙන ආදරය මිස වෙන මොකක්ද ? කරුණාව මෛත්‍රිය වගේ මේ විශ්වයේ තිබෙන අනෙක් විශිෂ්ටතම මනෝභාවය ආදරයයි. මේ චිත්‍රපටියේ එක තැනක කුසුමාසන දේවිය කියනවා “ආදරය නඩු අහන්නේ නෑ,ආදරය කිරුළු දරන්නෙත් නැහැ“කියලා.
ජැක්සන් නැති අඩුව පුරවන්න පුළුවන් කාටද ?
කිසිවෙකුට ඒ අඩුව පුරවන්න හැකිවේ යැයි මා සිතන්නේ නැහැ.