ජනතාව මාස හයක් තුළ ජනවරම් තුනක් දීලා මාලිමාවට රට හදන්න භාර කර තිබෙනවා
පසුගිය 14 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය සමරනු ලැබුවා. එදා සිට අද දක්වා පක්ෂය වෙනුවෙන් කටයුතු කළ උදවියගේ අභිලාශයන් ගැන මොකද හිතෙන්නේ?
අප මේ වසර 60 ආවේ රෝස මල් ඇතිරූ මාවතක නෙමෙයි. අවස්ථා දෙකකදී අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් සංහාරයකට ලක් වනවා. ඒ විතරක් නොවෙයි, විවිධ කල්ලි කණ්ඩායම් පක්ෂය ඇතුළෙන් මතු වෙනවා. ඒ අය පක්ෂය කඩාගෙන එළියට යනවා. පක්ෂයේ පැවැත්ම පවා ඉතා අවිනිශ්චිත අඩියකට වැටෙනවා. මේ සියලු අභියෝග මධ්‍යයේ තමයි ෆීනික්ස් කුරුල්ලෙක් වගේ අපි නැඟිටිමින් වමේ පාලනයක් මේ රට තුළ ස්ථාපිත කරන්නේ. ලංකාවේ ප්‍රථම වතාවටයි මේ විදියේ සම්පූර්ණ වමේ පාලනයක් බිහි වන්නේ. එය තමයි මේ පක්ෂය වෙනුවෙන් දිවි පුදපු, ලේ දහදිය වගුරවපු විවිධ කැපකිරීම් කරපු අපේ සහෝදර සහෝදරියන්ගේ ඒකායන අරමුණ වුණේ. අපි ජනතා විමුක්ති පෙරමුණට ඍජුව ගොඩවෙන්න බැරි අයට ජාතික ජන බලවේගය කියන වේදිකාව හදල ඉතා දැවැන්ත ජන පවුරක් නිර්මාණය කළා. අප 60 වැනි සංවත්සරය සමරන මේ මොහොත වන විට මේ පක්ෂය නිර්මාණය කිරීමේ අරමුණ සහ රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ දේ අප එකින් එක සාක්ෂාත් කරගනිමින් තිබෙනවා.
මේ රට නැවත පන්ති බෙදීමක් ඇති නොවන ආකාරයේ පරිකල්පනීය වෙනසකට ලක්කරමින් උතුම් මනුෂ්‍යත්වයෙන් යුතු සමාජයක් කරා යන ගමනට අප අවතීර්ණ වී තිබෙනවා. ඒ පොදු අරමුණ ජය ගැනීමයි අපේ එකම අභිලාශය.
පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත්?
ජූනි මාසේ 2 වැනිදා කියන්නේ ඓතිහාසික දිනයක්. අප විසින් ජයග්‍රහණය කළ සියලු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර සභාවල දිවුරුම්දීම් කටයුතු එදිනට සිදු වනවා. ඒ වගේම මේ රටේ ජනාධිපතිවරයා, තුනෙන් දෙකකට එහා ගිය බලයක් සහිත පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතනවල පාලනයන් එකවර සටහන් වන දවසත් එදා.
මේ රටේ ජනතාව මාස හයක් තුළ ජනවරම් තුනක් දීලා ජාතික ජන බලවේගයට මේ රට හදන්න භාර කර තිබෙනවා. නිසැක වශයෙන්ම ඉදිරි වසර හතර හමාරක කාලය තුළ අප එය ඉටු කිරීමට කැප වී ක්‍රියා කරනවා. විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට මහජනතාව විශාල බලාපොරොත්තුවක් සහිතව එකපෙළට දී තිබෙන මේ ජනවරම අනුව ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමේ කාර්යය අප මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. එය පළාත් පාලන ආයතන බලාත්මක කිරීමත් සමඟ තවත් ශක්තිමත්ව ඉතා සාර්ථක ආකාරයෙන් ඉදිරියට රැගෙන යන්න අප කටයුතු කරනවා.
කොළඹ පුරපති පත් කිරීම ජාතික ජන බලවේගයට ප්‍රශ්නයක් වී ඇති බවට මත පළ වනවා. ඇත්තටම එහෙම ගැටලුවක් තිබෙනවද?
කිසිසේත්ම නැහැ. කොළඹ අපට ලැබී තිබෙන මහජන වරම දිහා බැලුවාම ඕනෑම අයකුට ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.
එය කරන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කළොත්…
මේ ලැබී තිබෙන මහජන වරම අනුව අපට ආසන 48ක් හිමිව තිබෙනවා. සභාවේ බලය පිහිටුවන්න 59ක් අවශ්‍යයි. අපේ 48ට තව 11ක් එකතු කළාම 59යි. සමගි ජන බලවේගයට 29යි ලැබී තිබෙන්නේ. ඔවුන්ට බලය පිහිටුවන්න නම් තව 30ක් එකතු කරගන්න ඕනෑ. එහෙම බැලුවම ඒ අයගේ ජනවරම ඈතින් තියෙන්නේ. එහෙත් අපේ ජන වරම ආසන්නයේ තියෙන්නේ. ප්‍රගතිශීලි මහජන නියෝජිතයන්ට අප සමඟ මේ ගමන යන්න අත්වැල් බැඳගන්න කියලා අප විවෘත ආරාධනාවක් කළා. සතුටුයි කියන්න; මේ මොහොත වන විටත් අප බලාපොරොත්තු වුණාටත් වඩා පිරිසක් අප සමඟ, අපේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යන්න කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගරයේ පුරපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් සහෝදරිය නිසැක වශයෙන්ම පත් කරගැනීමට ඔවුන්ගේ කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම සදාචාරාත්මකවත් නෛතිකවත් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්න ඕනෑ අපියි. වැඩිම ජනවරමක් ලැබී තිබෙන්නේ අපටයි.
අනෙක් අතට, මේ සුන්බුන් එකතු කරලා හදන කණ්ඩායම් කියන්නේ මීට පෙර කොළඹ නගරය පාලනය කළ උදවිය. ඒ අය අසාර්ථක පාලනයක් ගෙන ගිය බව කවුරුත් දන්නවා. ජනතාව අපට කොළඹ මහ නගර සභාවේ වැඩි බලයක් දී තිබෙන්නේ ඒ නිසයි. ඒ බලය සාර්ථකව ස්ථාපිත කරන්න අප සූදානම්.
ආණ්ඩුව මන්ත්‍රීවරුන් බිළීබාගන්න යහමින් මුදල් වැය කරන බවට චෝදනා එල්ල වනවා…
චෝදනා නම් කාටත් එල්ල කරන්න පුළුවන්. එහෙත් ඒ එක චෝදනාවක්වත් ඔප්පු වී නෑ. එහෙම ඔප්පු කරන්නත් ඒ අයට බැහැ. මොකද, ඔය චෝදනා නඟන උදවිය ජනාධිපතිවරණයෙදිත්, මහ මැතිවරණයෙදිත් පළාත් පාලන මැතිවරණයෙදිත් ඔය විදියටම චෝදනා එල්ල කළා. එහෙත් ඒ එකක්වත් සත්‍ය නොවන බව අප ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. අද ඔවුන්ට පොදු මතයකට එන්න බැරුව අනාථ වෙලා ඉන්නේ. පසුගිය දිනවල පැවති සාකච්ඡා පවා අසාර්ථක වී තිබෙන බව අප මාධ්‍යවලින් දැක්කා. ඔවුන්ගේ නොහැකියාව පරාජය වහ ගන්න ආණ්ඩුවට චෝදනා කරනවා ඇරෙන්න, වෙන විකල්පයක් අද ඔවුන්ට ඉතිරි වී නැහැ.
‘රාජ්‍ය නායකයා ඇතුළු ප්‍රභූන්ට අපහාසාත්මක ප්‍රකාශ කරන අයට ඉදිරියේදී ප්‍රභූ ආරක්ෂක පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවට වටගලගෙන් අනතුරු ඇඟවීමක්’ යනුවෙන් ඔබේ නම සඳහන් කරමින් සමාජ මාධ්‍යවල ඡායාරූපයක් සංසරණය වෙමින් තිබෙනවා. ඇත්තටම ඔබ එවැන්නක් ප්‍රකාශ කළාද?
මා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නැහැ. මෙවැනි ප්‍රකාශයක් මා සිදු කළා නම් ආණ්ඩුව වැට්ටවීමට බලා සිටින ඇතැම් මාධ්‍ය ආයතන නිකන් ඉඳීවි කියලා ඔබ හිතනවද? ඒ නිසා මෙය මාත්, ආණ්ඩුවත් අපහසුතාවට පත් කිරීම සඳහා කිසියම් හෝ පාර්ශ්වයක් විසින් සැලසුම් සහගතව ප්‍රචාරය කළ පට්ටපල් බොරුවක්. මා සහභාගි වූ කිසියම් වැඩසටහනකින් ලබාගත් ඡායාරූපයක් යොදාගනිමින් මගේ කීර්ති නාමය පළුදු කරමින් ආණ්ඩුවට මඩගැසීමේ අරමුණින් මේ අසත්‍ය ප්‍රවෘත්තිය සමාජගත කරමින් තිබෙනවා. මේ වන විට මෙම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළේ කවුද? එය සමාජ මාධ්‍ය යොදාගනිමින් ප්‍රචාරය කරන්නේ කවුද? යන්න විමර්ශනය කිරීම සඳහා රහස් පොලීසියට භාර දී තිබෙනවා. නුදුරේදීම ඒ අය කවුද යන්න ඔවුන් හෙළි කරගනීවි. ඒ අනුව ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වේවි. අද දේශපාලන වශයෙන් බංකොලොත් වී සිටින අයට අපට මඩගහනවා හැර කරන්න දෙයක් තවත් ඉතුරු වී නැති බව මෙයින් ඔප්පු වෙනවා.
යුද්ධය පැවති කාලයේ දේශපාලන රැකවරණය පතා කැනඩාවට පලා ගිය බෙදුම්වාදයට කැමැති ඇතැම් පිරිස් කැනඩාවේ දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙය මේ රටේ ජාතිවාදය පෝෂණය කළ උදවියට ලොකු උත්තේජනයක් වී තිබෙනවා. නැවතත් ජාතිවාදි විෂබීජ ජනතාව තුළ පැතිරවීමටයි ඔවුන් උත්සාහ ගන්නේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?
අපට ලැබී තිබෙන ජනවරම තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බගර්, මැලේ සියලු දෙනාම මේ රට හැදීමේ අවස්ථාව අපට ලබාදී තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේ රටේ ජාතිවාදය, ආගම්වාදය ඉස්සරහට දාලා දේශපාලන බලය ගැනීම කළ නොහැකියි. එය අවසන්.
උදර්පන නීතිය යටතේ විදෙස්ගත වෙච්ච ඇතැම් කල්ලි කණ්ඩායම් මෙවැනි ක්‍රියාමාර්ගවලට යොමු වීම සාමාන්‍යයෙන් අපි දකින තත්ත්වයක්. ඒක අලුත් තත්ත්වයක් නෙමෙයි. උදර්පන නීතිය යටතේ විදෙස්ගත වුණාම ඒ අයට දේශපාලනික වශයෙන් අකටයුත්තකට ලක් වුණාය කියන කාරණය මත එම රටවල රැඳී සිටිමට සහන කාලයක් හිමි වෙනවා. ඒවා දීර්ඝ කරගන්න ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගන්නවා. එහෙත් යළි කිසි දිනක පටු පෞද්ගලික දේශපාලන අභිලාශ මත මේ රටේ ජාතිවාදය හිස ඔසවන්න අපේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නෑ.
පළාත් පාලන මැතිවරණය නිසා පස්සට දමා තිබූ විදුලි බිල වැඩි කිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට ඉදිරියේදී සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට විපක්ෂයෙන් චෝදනා නැඟෙනවා…
විපක්ෂය කියන්නේ අද සුන්බුන් ගොඩක්. ඒ අය අද සටන් පාඨ සොයමින් නන්නත්තාර වෙලා, අනාථ වෙලා ඉන්නේ. ඒ අය අපේ වචන අතර පීරනවා; උක්ත ආඛ්‍යාත සම්බන්ධය බලනවා; ඉස්පිලි පාපිලි හොයනවා. ඒවා හැරෙන්න, මේ පත් වෙච්ච 4,000කට ආසන්න ජනතා නියෝජිතයන්ට එරෙහිව එල්ල කරන්න පුළුවන් එකදු චෝදනාවක්වත් නෑ. මහජන මුදල් අවභාවිතයන්ට අදාළව කිසිදු චෝදනාවක් අපට එල්ල කරන්න ඒ අයට බෑ. අප ඒ ප්‍රතිපත්තිය රැකලා තිබෙනවා; ඉදිරියටත් රකිනවා. ඒක නිසා ඔය කියන කාරණාව අප සම්බන්ධයෙන් ඒ අයට කිසිම දවසක යථාර්ථයක් කරගන්න බැහැ. විපක්ෂය අනාථ වෙලා තියෙන්නේ. මින් ඉදිරියට අප කරන කටයුතුත් එක්ක ඒ අය සදා අනාථ වෙනවා.