පළාත් පාලන මැතිවරණයේ උණුසුම අවසන් වුවද පුංචි ඡන්දය ගැන තවමත් කතා වෙන්නේ පළාත් පාලන ආයතන තවම පිහිටුවා නැති නිසාය. ජාතික ජන බලවේගයට 50% නැති පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයේ විසින් පිහිටුවන බව ප්‍රකාශ කරයි. එහෙත් විපක්ෂයේ පක්ෂ අතර ඒ සඳහා මේ දක්වා පැහැදිලි එකඟතාවක් පළ වී නැති අතර, මාලිමාව ප්‍රකාශ කරන්නේ බහුතරය හිමි දේශපාලන ව්‍යාපාරය ලෙස තමන් ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය ඔවුන් පිහිටුවන බවයි.
කොළඹට වෙන්නේ මොකක්ද?
ඒ අතර බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති වැඩිම බලයක් තිබෙන පළාත් පාලන ආයතනය වන කොළඹ මහා නගර සභාවේ බලය හිමි වන්නේ ආණ්ඩුවටද එසේත් නැතිනම් විපක්ෂයටද යන කාරණය දෙසද බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබේ. කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ධුර 60ක්වත් අවශ්‍ය වන අතර, මාලිමාවට තිබෙන්නේ සභික ධුර 48ක් පමණි. සභික ධුර 69ක් විපක්ෂය සතුය.
ජවිපෙ 60 වැනි සංවත්සරය
ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය පසුගියදා (14) කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්විණි. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කළ කථාව බොහෝ දෙනකුගේ අවධානය දිනාගැනීමට සමත් විය.
ජනපති හෙළි කළ රහස
“අපේ පක්ෂයට මැයි 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කථාවක් කිරීමට අවස්ථාව ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරි මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් යනු දිගු ඉතිහාසයක්; සිදුවීම් සමුදායක්; විශාල සාමූහික මිනිස් ක්‍රියාකාරිත්වයක්; සංකීර්ණතා සහිත දේශපාලනයක්. මේ සියල්ල කැටි කර, කෙටි වේලාවකදී ප්‍රකාශ කරන්නේ කොහොමද? විවිධ රාජකාරි මධ්‍යයේ වුවද එම සංවාදය මා තුළම ගොඩනඟා ගනිමින් ඉතිහාසයේ සාරය, ඉතිහාසයේ අඛණ්ඩතාවේ රහස මගේ ප්‍රමාණයට අනුව සොයාගැනීමට මම වෙහෙසුණා. මම විශ්වාස කරනවා එය යම් ප්‍රමාණයකට මට සොයාගන්න හැකි වුණා කියලා. ඒ අනුව මගේ ප්‍රමාණයට වඩා විශාල බර ඉතිහාසයක් සංක්ෂිප්ත කොට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මා තුළ පැනනැඟී තිබුණා. ඇතැම් විට තවත් අයකුට එම සාධකයන්ට වඩා වැදගත් සාධක සොයාගත හැකි වෙයි. එහෙත් මගේ ප්‍රමාණයට සහ මගේ තරමට මම ඒ සාරය හඳුනාගත් අයුරු මම ප්‍රකාශ කරන්න කැමතියි.
“පළමු කොටම ඇයි අප මේ ඉතිහාසය සිහිපත් කරන්නේ? මේ මොහොතේ අප ආණ්ඩු බලය අත්පත්කරගෙන තිබෙනවා. ඇයි අපට යටගිය ඉතිහාසය වර්තමානයේදී අවශ්‍ය වන්නේ? ඇතැම් විට, ‘සහෝදරයා, ඒ ගැන නම් වැඩිය කතා කරන්න එපා!’ කියා තැන තැන මුමුනන්නත් ඉඩ තිබෙනවා. එම ඉතිහාසය ඉතිහාසයටම උරුම කර, වර්තමානය අලුත් පරිච්ඡේදයකින් ආරම්භ කළ හැකි වනු ඇතැයිද බොහෝ දෙනා අපේක්ෂා කරනවා. ඇතැම් කවයන් එම ඉතිහාසය අමතක කරමින් අප සමඟ ගනුදෙනු කරන්න සූදානම් වෙලා තිබෙනවා කියා මම දන්නවා. එහෙත් අපට එම ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක්, අලුත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් නැති බව කිව යුතුයි.
“මෙම වර්තමානය තේරුම් ගැනීම සඳහා අපට එම ඉතිහාසය අවශ්‍යයි. අද මේ මොහොත අපට තේරුම් ගැනීම සඳහා එම ඉතිහාසය අවශ්‍යයි. අනාගතයේ අවම වරද්දා ගැනීම් කරමින් අනාගතය ගොඩනැංවීම සඳහා අපට එම ඉතිහාසට ඉවහල් කරගත හැකියි. මා දන්නා තරමින් කුමන ඉතිහාසයක්වත් වැරදීම්වලින් තොරව නිර්මාණය වන්නේ නැහැ. ඒ නිසාම අපට තිබෙන්නේ නව පරිච්ඡේදයක් නෙවෙයි, අපට තිබෙන්නේ අඛණ්ඩ ඉතිහාසයක අඛණ්ඩ පරිච්ඡේදයක්. කවර හෝ කෙනකු කුමන හෝ ආකාරයෙන් මෙය සියල්ලන්ගෙන් වියුක්ත කොට නව පරිච්ඡේදයක් ලිවීමට උත්සාහ කරනවා නම්, ඒ තුළ තිබෙන්නේ කුහකත්වයයි; ඒ වගේම අතීතයට තිබෙන බියයි. අප මේ නව පරිච්ඡේදයක් ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාව තුළයි. මේ අඛණ්ඩතාවම අලුත් පරිච්ඡේදයක් මිස, අඛණ්ඩතාවෙන් ගිලිහුණු හා විතැන් වූ පරිච්ඡේදයක් නොවන බව හැම දෙනාම තේරුම්ගත යුතුයි.
හෘදයසාක්ෂිය
“මා හිතනවා ප්‍රධාන සාරයන් 3ක් තිබෙනවා. එක හෘදසාක්ෂිය. දෙක එඩිතරභාවය. තුන ව්‍යවහාරික බුද්ධිය. මේ වසර 60 මුළුල්ලේම විවිධ උච්චාවචනයන්, පරාජයන්, ජයග්‍රහණ, පාවාදීම් මේ සියල්ල තිබියදී මේ මහා පොදු සාධක කිහිපයක් තිබෙනවා. මම කියනවා, අනාගතයටත් අපට මඟ පෙන්වන්නේ අන් කවරක්වත් නෙවෙයි හෘදසාක්ෂියයි. එඩිතරභාවය සහ ව්‍යවහාරික බුද්ධියයි.
“මොකක්ද හෘදසාක්ෂිය? වැරදි සිදු වී තිබෙනවා, අදත් වෙනවා, හෙටත් විය හැකියි. හැබැයි ඒ සෑම දෙයක්ම පෞද්ගලික පුද්ගලාරෝපිතව යමක් උපයාගැනීම මේ කියන්නේ වත්කම් පමණක් නොවී, ජනප්‍රියතාව, කැපීපෙනීම ආදියත් උපයාගැනීම තුළ තිබෙනවා. මේ කිසිවක් නොලබමින් මේ රටත් මේ රටේ ජනතාවත් පෙරට තබා කටයුතු කරන හෘදසාක්ෂිය තමයි අපේ ඉතිහාසයේ අඛණ්ඩතාව. අදත් අපට ජයග්‍රහණ ගෙනැවිත් දෙන්නේත්, අනාගතය සඳහා මඟ පෙන්වන්නේත්, අප ඉදිරියේ තිබෙන අභියෝග ජයග්‍රහණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් ඇති කරන්නේත් අප සතුව තිබෙන හෘදසාක්ෂියයි.
එඩිතරභාවය
“දෙක එඩිතරභාවය. මොකක්ද එඩිතරභාවය? වැරැද්දක් වෙලා පලා යන්න, සැඟවෙන්න නෙවෙයි වැරැද්ද පිළිගන්න අපි එඩිතරයි. ඉතා දුෂ්කරතම කොන්දේසි යටතේ පවා ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න අපි එඩිතරයි. එය කාටද තිබෙන්නේ? මැතිවරණ පෙරමුණේ බලන්න මීට වසර 5-6කට පෙර මොකක්ද අපට අත්පත් වුණේ? අප ලජ්ජාසහගත තත්වයකට පත් වූ, අනෙකා ඉදිරියේ හෑල්ලුවට ලක් වූ, අපේම සමීපතමයන් අප අත්හැර ගිය, අනෙක් පස කඳවුරේ සිට අපට උසුළු විසුළු කරන නින්දා සහගත බවට පත් කරන තත්ත්වයක් මතු වී තිබුණා. එහෙත් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තබාගෙන වැඩ කරන්න තරම් අපි එඩිතරයි.
ව්‍යවහාරික බුද්ධිය
ව්‍යවහාරික බුද්ධිය ඊළඟ වැදගත් සාධකයයි. අප අධ්‍යයනය කරලා, සංකල්ප ගොඩනඟලා, පොතපත හදාරලා, ලෝකයේ සිදුවීම් අත්දැකීම් ලෙස එකතු කරලා ඇති. එහෙත් ඒවා ඒ නිශ්චිත මොහොතේ ව්‍යවහාරයට නැඟීම තමයි වැදගත් වන්නේ. බොහෝ සංකල්ප රචනා කරන්න පුළුවන්, හැබැයි ව්‍යවහාරික බුද්ධිය ඊට වඩා ප්‍රධාන සාධකයක්. නිවැරදිම තීන්දු තීරණ ගැනිම ව්‍යවහාරික බුද්ධියයි. එය තමයි අපේ දේශපාලනයේ අඛණ්ඩතාව රඳා පවතින අනෙක් ප්‍රධාන සාධකය. මේ මුළු පරිච්ඡේදයම හොයලා බලන්න. මේ පරිච්ඡේදයේ කුඩා ඉඩක් විවර වුණොත්, ඒ විවෘත වන විවරය කළමනාකරණය කරලා අපි අලුත් පියවරකට පය තබන්නේ කොහොමද? ජයග්‍රහණය නොපෙනෙන මානයක තිබියදී ජයග්‍රහණය පිළිබඳ සැලසුම් හදලා, ක්‍රියාවට නංවන්නේ ව්‍යවහාරික බුද්ධියයි. ව්‍යවහාරය විසින්, භාවිතයට නැඟීම විසින්, සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ මනින බුද්ධිය මේ ව්‍යාපාරය වසර 60ක් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රබල ලෙස බලපෑම් කළ තුන්වැනි සාධකය බව මම විශ්වාස කරනවා.
“හොඳ ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනඟන්න, අපේ ව්‍යාපාරයේ සාරය වුණේ හෘදයසාක්ෂිය, එඩිතරභාවය, ව්‍යවහාරික බුද්ධියයි. නැවත නැවත අප ජීවත් කරවන්නේ මේ සාරයයි. ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකියි කියන විශ්වාසය ගොඩනඟන්නේ මේ සාරය තමයි.”
පුංචි ආණ්ඩුවල දූෂණ නැවැත්වීමට ජනපති මැදිහත්වෙයි
දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක හා පළාත් ආණ්ඩුකරවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (15) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් කළ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා විසින් මේ අනුමැතිය දෙන ලදි.
පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය හා ඒ සඳහා තිබෙන අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට සාධනීය පිළියම් ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගත්තේය. පළාත් සභා සඳහා පසුගිය වසරට වඩා තුන්ගුණයක් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බැවින් මේ වසර තුළ එම ප්‍රතිපාදන භාවිත කිරීමේදී පවතින අභියෝග පිළිබඳ ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා දැනුම්වත් කළහ. එම ප්‍රතිපාදන විධිමත් අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණකුලසූරිය, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඇමැති විජිත කැනඩා තානාපතිට දෙහි කපයි
අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පසුගියදා හමු වුණහ. පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදි කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට එහිදී දැනුම් දෙනු ලැබීය. එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බවද අමාත්‍යවරයා විසින් තවදුරටත් මහකොමසාරිස්වරයාට වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
මාලිමාවට එරෙහිව රනිල් වැඩට බහී
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයෝ බදාදා මල් පාරේ කාර්යාලයට රොක් වූහ. මේ එකඟතාව ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි. එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට අදාළ නාමලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂවල මහ ලේකම්වරුන් නැවත නැවත හමුවීමට තීරණය විය.
රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවට හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගාම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීරකුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී. දොළවත්ත, නිමල් ලාන්සා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගී වූහ.
හිටපු කථානායකටත් වගකීමක්
පළාත් පාලන ආයතන වල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය පැවරුණේ හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධනටයි. මාලිමාවට එරෙහි සියලු කණ්ඩායම් සමඟ ඉදිරියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය විය.
රනිල් ඉන්දියාවට ගොස් එන තුරු මේ ගැන අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිය යුතුව තිබියදී රනිල්ගේ මේ නිහඬතාව බොහෝදෙනකුට උභතෝකෝටිකයක් විය.
රනිල්, මහින්ද බැලීමට යයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් එජාප සභාපති වජිර නායක රනිල්ගෙන් විමසීමක් කළේය. කෙසේ වෙතත් ඒ අවස්ථාවේ රනිල් අනුගමනය කළේ නිහඬව සිටීම පමණි. එහෙත් ඉන්දීය සංචාරය නිම කොට පැමිණි සැණින් රනිල් කිසිවකුත් නොසිතූ පරිදි ශීඝ්‍රගාමීව වැඩ පටන් ගත්තේය. ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂ කැඳවන ලෙස රනිල් උපදෙස් දුන්නේය. විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් මල් පාරට ආවේ ඒ අනුවයි. තැන් තැන්වල හමු නොවන ලෙසත්, වෙන වෙනම කතා කිරීමෙන් ඵලක් නැති බවත් නායක රනිල් එහිදී විපක්ෂයේ පක්ෂවලට උපදෙස් දුන්නේය. සියල්ලන්ම එක්ව කතා කළ විට එක් තීරණයක් ගත හැකි බව රනිල්ගේ උපදෙස විය.
රනිල් – නාමල් හමුවක්
මේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවට පෙර, රනිල් හිටපු ජනපති මහින්දගේ සුවදුක් බැලීමට ගියේය. මේ ගමනේදී රනිල්-නාමල් හමුවක්ද සිදු විය.
ආයුධ ඔක්කොම ගත් ලොක්කා කවුද?
විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවට පෙර රනිල් පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයට කොපමණ සභික ධුර සංඛ්‍යාවක් තිබේදැයි විධිමත් අධ්‍යයනයක් කළේය. ඒ සභික ධුර ගණන හාරදහසකට වැඩි බව රනිල්ට පෙනී ගියේය. එය මාලිමාව ගත් සභික ධුර ගණනටත් වැඩි ගණනකි. ඊට අමතරව පසුගිය ජනපතිවරණයේදී මෙන්ම පළාත් පාලන ආයතනවලදීද පක්ෂ ගත් ඡන්ද ප්‍රතිශත සම්බන්ධයෙන්ද රනිල් අධ්‍යයනයක් කළේය. රනිල් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවට ගියේ ඒ සියලු තොරතුරුවලින් සන්නද්ධවය. රනිල්ගේ මේ සූක්ෂ්ම භාවිතාව ගැන රැස්ව සිටි සියල්ලෝම පුදුමයට පත් වූහ.
“ලොක්කා අන්තිම මොහොතේ වැඩේට බැහැලා තියෙන්නේ ආයුධ ඔක්කොම අතට අරගෙන!” විපක්ෂයේ පක්ෂ නායකයන් කනට කර එසේ කොඳුරනු දැකගත හැකි විය.
සජිත් කොටුවෙයි
විපක්ෂයේ බලය ලබාගැනීමේ මේ මෙහෙයුම අනුව සජිත්ටද එයින් ඉවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි. දිගම්බරන්, මනෝගනේෂන් වැනි ප්‍රබලයන්ද එම රැස්වීමට සහභාගි වී සිටි හෙයින් සජිත්ද යම් කොටු වීමකට ලක් වී තිබිණි. මේ නව ප්‍රවණතාවට සජබ බොහෝ මන්ත්‍රී පිරිසක් කැමැත්ත පළ කරන බවක් පෙනෙන්නට තිබිණි.
පොදුජන පෙරමුණේ නාමල් මෙහිදී සඳහන් කළේ ආණ්ඩුවට විරුද්ධව පොදු බලවේගයක් ලෙස ඉදිරියට පැමිණිය යුතු බවයි. එහි කිසිදු ප්‍රශ්නයක් නැති බවද නාමල් සඳහන් කළේය. එසේ එකතු වුව හොත් විශාල සභා සංඛ්‍යාවක් පිහිටුවිය හැකි බවද නාමල් කීය. අනුර ප්‍රියදර්ශන, නිමල් සිරිපාල වැනි නායකයන්ද සිටියේ ඒ ස්ථාවරයේමය.
රනිල් කරන්න යන්නේ කුමක්දැයි බොහෝදෙනෙක් සාවධානව බලා සිටියහ. රනිල් වැඩ කරන්නේ යම් සැලැම්සුමකට අනුව බව මේ හමුවෙන් පසු ඒ සියලු දෙනාට අවබෝධ කරගත හැකි විය.
සියල්ල එකමිටට ගත්තේ කවුද?
ජවිපෙ පක්ෂ සංවත්සරයේදී අනුර කීවේ තුනෙන් දෙකක් තිබෙන නිසා තමන්ට නීති හදන්නට වුවත් හැකි බවයි. ඒ කතාවට ඇහුම්කන් දුන් බොහෝ විපක්ෂයේ පක්ෂ නායකයන් කීවේ අනුර වැටී ඇති තැන ඉතා නරක බවයි. එදත් අදත් පාවා දෙන්නන් සිටින බව අනුර මේ රැලියේදී තවදුරටත් සඳහන් කර තිබිණි. අද සිටින පාවා දෙන්නන් කවුදැයි හෙළි කරන ලෙස අනුරට අභියෝගයක් කරන බව තලතා එහිදී සඳහන් කළේය. අද ඇඟ බේරාගන්න කතා කරන අනුර එදා පුංචි ආණ්ඩුවල වරමක් ඉල්ලුවේ මොකටදැයි විපක්ෂයේ පක්ෂ නායකයෝ එහිදී ප්‍රශ්න කළහ. එක මිටක් ගැන කතා කළේ මාලිමාව වුණත් අවසානයේ සියල්ල එකමිටට ගැනීමට හැකි වූයේ රනිල්ට බව විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකමතික අදහස විය.
කළුතර නගරාධිපති රාජිතගෙන්ද? අජිත්ගෙන්ද?
කළුතර නගරාධිපති සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලුවක් මතුව තිබේ. නගරාධිපති තෝරනවාට වඩා එජාප ප්‍රබලයන් වන අජිත් හා රාජිත අතර ශක්තිවන්තයා කවුරුන් දැයි තෝරන සටනක් බවට පරිවර්තනය වී තිබේ. එජාපය කළුතර මන්ත්‍රී ආසන තුනක් දිනාගෙන තිබේ. කළුතර නගරාධිපති ධුරය ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම එජාපයේ තුනේ සහාය ලබාගත යුතුව තිබේ. මේ වන විට එජාපය පවසන්නේ හොඳම කෙනා නගරාධිපතිකමට නොදැම්මොත් බලාගමු යනුවෙනි. කළුතර සජබ ප්‍රධාන සංවිධායක අජිත් පෙරේරා මේ ගැටලුව කෙසේ ලිහාගනීවිදැයි සියලු දෙනා විමසිලිමත්ව බලා සිටිති.
නව තානාපතිවරුන්ට ඇමැති විජිත කිවුවේ මොනවාද?
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු හත්දෙනා ගරු ජනාධිපතිතුමා වෙත පසුගිය (15) දා අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමු වී සාකච්ඡා කළහ. එහිදී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමටත්, රැකියා, ආයෝජන හා සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.
මෙලෙස විජිත හේරත් අමාත්‍යවරයා හමුවීමට පැමිණියේ නවදිල්ලියේ වාසික ආජන්ටිනා ජනරජයේ තානාපති මාරියානෝ අගුස්ටින් කව්චිනෝ (Mr. Mariano Agustin Caucino), නවදිල්ලියේ වාසික සිම්බාබ්වේ ජනරජයේ තානාපති ස්ටෙලා න්කොමෝ (Ms. Stella Nkomo), නවදිල්ලියේ වාසික ඊශ්‍රායල තානාපති රූවෙන් හවීයර් අසාර් (Mr. Reuven Javier Azar), ඩකාහි වාසික පිලිපීන ජනරජයේ තානාපති නිනා පී. කයින්ග්ලට් (Ms. Nina P. Cainglet), නවදිල්ලියේ වාසික තජිකිස්තාන ජනරජයේ තානාපති ලුක්මොන් බොබොකලොන්සෝඩා (Mr. Lukmon Bobokalonzoda), නවදිල්ලියේ වාසික කාම්බෝජ රාජධානියේ තානාපති රත් මැනි (Ms. Rath Many), නවදිල්ලියේ වාසික ඩෙන්මාර්ක් රාජධානියේ තානාපති රස්මස් ක්‍රිස්ටෙන්සන් (Mr. Rasmus Kristensen) ය.
අමෙරිකාවේ ලොක්කෙක් වජිර හමුවෙයි
එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා හා මෙරට එක්සත් ජනපද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඩෆ් සොනෙක් (Doug Sonnek) මහතා අතර විශේෂ හමුවක් පසුගිය සති අන්තයේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදුවිණි.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ප්‍රථම වරට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයකු එක්සත් ජාතික පක්ෂ ප්‍රධානියකු මුණගැසුණු පළමු අවස්ථාව මෙය බැවින් දෙදෙනාගේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ සාකච්ඡා කිරීමට වැඩි කාලයක් වැය කොට තිබුණි. පැය එක හමාරකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිලිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එසේම අමෙරිකාව විසින් ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ හමුවේ ලංකා රජයේ කාර්යභාරය සහ ඊට මුහුණදීමට ආණ්ඩුව සූදානම්ද යන්න පිළිබඳවත් මෙහිදී ඩෆ් සහ වජිර සාකච්ඡා කළ අතර, ඉදිරියටත් අමෙරිකාව සමග ශක්තිමත්ව වැඩ කිරීම වඩා වැදගත් බව වජිර මෙහිදී පෙන්වා දී තිබිණි.
අකිලගේ සහය දුරකතනයට
ආණ්ඩුවට බලය පිහිටුවීමට නොහැකි සියලු සභාවල බලය විපක්ෂය එක් වී පිහිටුවිය යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා මාධ්‍ය හමුවේ පැවසීය. එකී ලෙසින්ම පඬුවස්නුවර බලය පිහිටුවීමට දයාසිරි හා තුෂාර ඉඳුනිල් කටයුතු කරමින් සිටිති. දයාසිරි එලෙස සමත්කමක් දැක්වුවද සජබ තවත් මන්ත්‍රීවරයකු වන නලින් බණ්ඩාර වැඩේ අනාගෙන තිබේ. කුලියාපිටිය නගරාධිපතිකමට නලින් තමන්ගේ හිතවතකු දාගන්නට යනවායැයි කුලියාපිටිය සජබ සංවිධායක හා හිටපු අමාත්‍ය උපාලි පියසෝම අසතුට පළ කර තිබේ. කෙසේ වෙතත් එජාප කුලියාපිටියේ ප්‍රබලයා වන අකිල විරාජ් කාරියවසම්ගේ සහය නගරාධිපති පත්කර ගැනීම උදෙසා සජබට ලබා දීමට තීරණය කර තිබේ.
ජගත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ජගත් විතානද ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් කර තිබේ. එනම්: තමන් මතුගම, අගලවත්ත, පාලින්දනුවර ඇතුළු දිස්ත්‍රික්කයේ සභා පහක බලය ඇල්ලීමට සූදානම් බවයි. මේ සභා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ප්‍රතිපාදන නොදුන්නොත් මගේ සල්ලි දාලා හරි සභා ටික දුවනවා යනුවෙන් ජගත් පවසා තිබේ. ජගත් එසේ පවසා ඇතත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් පවසා නැත. සභා ටිකට අත ගහන්න ජවිපය ටිකක් පස්ස ගහලා ඇති බවටද දිස්ත්‍රික්කය පුරා රාවයක් පවතී. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන නලින්ද ජයතිස්සගේ කොටස වෙලත් ජගත් ගේම ගහනවා යනුවෙන් සියලු දෙනා පවසන තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත්තේ ජයග්‍රහණය කර ඇති සියලු මන්ත්‍රීවරුන් ජගත් සමඟ හිටගෙන සිටින නිසා බවද කියැවේ.