ජාතික ජන බලවේගයට බහුතර ආසන හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි සාකච්ඡාව එම පක්ෂ නායකයන් වර්ජනය කිරීම හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් ඉකුත් 14 වැනිදා කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවැති ප්‍රථම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහභාගි වූ නමුත්, එදින පක්ෂ මහලේකම්වරුන් සමඟ කැඳවා තිබූ සාකච්ඡාවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සහභාගි නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් හෙතෙම පවසා සිටියේ බලය පිහිටුවීමට සන්ධානගත වීමේ අදහසක් නැති බවයි.
මේ අතර, සර්ව ජන බලය නායක දිලිත් ජයවීර එදින පැවති සාකච්ඡාවට දුරකතනයෙන් එක් වූ බව එජාපය මාධ්‍ය නිවේදනයක් මඟින් පවසා තිබුණද තමා එවැන්නකට සහභාගි නොවූ බව දිලිත් ජයවීර ප්‍රකාශ කර තිබිණි. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බලය පිහිටුවීම සඳහා සන්ධානගත වීම එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සිදු වනු ඇති බවට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මේ අර්බුදය නිර්මාණය වූ බවයි.
අනවශ්‍ය කරුණක් ඉදිරියට දැමීම නිසා මේ සාකච්ඡා පළුදු වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කළේය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පෙන්වා දුන්නේ ඒකාබද්ධ විපක්ෂයක් හැටියට බලය පිහිටුවීමට කැමැති බවත්, එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සිදුවීම වඩා උචිත බවත්ය. කෙසේ වෙතත් පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ එකඟතාවක් පළ වී නොතිබිණි.