රුපියල් කෝටි 130ක පාඩුවක් සිදු කරමින් ව්‍යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසම මඟහරිමින් සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි සිකුරාදා (16) වරෙන්තු නිකුත් කළාය. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මේ වරෙන්තුව නිකුත් කෙරිණි.
අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින්, අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තමා අත්අඩංගුවට පත් වුව හොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඊට අල්ලස් කොමිසම මෝසමක් ගොනු කරමින් අදාළ පෙත්සමට කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
අදාළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, ප්‍රධාන මහේත්‍රාත්වරිය නියෝග කර සිටියේ එම ඉල්ලීම ලබන සඳුදා (19) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.