Home » දිවිපුදා ගොඩනැඟූ පක්ෂයේ ඉතිහාසය ගැන අද සතුටු වෙනවා

දිවිපුදා ගොඩනැඟූ පක්ෂයේ ඉතිහාසය ගැන අද සතුටු වෙනවා

යූ.ඒ. නන්දසීලී

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

ක්කර කාලක් වත් නැති පොඩි ඉඩක්. එතැන අපේ සහෝදරියො 500කට වැඩිය හිටියා. ඒ අතරෙ දරුවන් වෙනුවට අරන් ආව අම්මලා, ස්වාමිපුරුෂයන් වෙනුවට ගෙනාපු බිරින්දෑවරු, අයියලා වෙනුවට ගෙනාව නංගිලා හිටියා. තරුණ අයගෙ ඉඳලා අවුරුදු 60-70 වගේ වයස් කාණ්ඩවල අය. ඒ සමහරුන්ගෙ අතපය කැඩිලා; ඔළුවට, තුනටියට වෙඩි වැදිලා තුවාල හැදිලා; ඇසිඩ් ගහලා පුච්චලා. ඒ විතරක් නෙවෙයි ලිංගික හිරිහැරවලට ලක් වුණ අය ගොඩක් හිටියා. බොහොම දුක් සහිත තැනක් වුණා. අඩු තරමින් අපට මුල් කාලෙදි එළියෙන් එන කෙනෙක් මුණගැහෙන්න දුන්නෙ නෑ; ගෙදරට පණිවිඩයක් යවාගන්න විදිහක් නෑ; ඇඳුමක්, කෑමක්, පොතක් පතක් නෑ; නාන්න නෑ. විශේෂයෙන් කාන්තාවන් විදිහට අතිශය දුෂ්කරතා මැද්දෙයි කාලය ගෙවුවෙ. බන්ධනාගාර නිලධාරීන් එක්ක ලොකු අරගලයක ඉඳලා තමයි පසුකාලීනව අවම පහසුකම් ටිකක් හරි ලබා ගත්තෙ.

මුල් අවධියේ පටන්ම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකාවක වූ යූ.ඒ. නන්දසීලී ඒ කඳවුරු භූමියේදී තමන් අත්දුටු ජීවිතය විස්තර කළේ එලෙසිනි. 1971 අප්‍රේල් 5 අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් ඇයට බන්ධනාගාරගත වීමට සිදු විය.

“මම උපාධිය කරන්න කොළඹ විශ්වවිද්‍යාලයට එනවා. ඒ, 1969 අග. මම විශ්වවිද්‍යාලයේදිත් බොහොම කැමැති වුණා අලුත් දේවල් අත්දකින්න. පන්ති වර්ජනයක්, පෙළපාළියක්, උද්ඝෝෂණයක් තිබුණොත් හරිම ආසාවෙන් ඒවාට සම්බන්ධ වුණා.

“නවසිය හැත්තෑවෙ අග වගේ වෙද්දී දැනෙන තරමේ පීඩාකාරි තත්ත්වයක් රට තුළ වර්ධනය වෙමින් තිබුණා: බඩු මිල ඉහළ යමින් තිබුණා. නිදහස් අධ්‍යාපන කප්පාදු දිගට හරහට ආවා. රැකියා පෝලිමක් තිබුණා. උපාධිධාරීන්ට පත්වීම් ලැබුණේ නැහැ. පොදුවේ ගත්තාම දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් කොහෙත්ම පෙනෙන්න තිබුණේ නැහැ.

“හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කියලා බලයට ආපු සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව අන්තිමට මිනිස්සුන්ගේ තිබුණු හාල් ටිකත් කැපුවා. ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් වගේම මිනිස්සුන්ගේ ආර්ථිකයත් කප්පාදු කරමින් තමයි ඒ අය ඉස්සරහට ගියේ.

“ඒ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවෙන් නිදහස් වෙලා ඇවිත්, රට පුරා පොඩි පොඩි රැස්වීම් පවත්වනවා. හයිඩ් පාක් එකේ තිබුණු ඒ රැස්වීමකට මමත් ගියා. අපි විශ්වවිද්‍යාලයේ ඉඳලා ගියේ සටන් පාඨ කිය කියා පෙළපාළියෙන්. ඒ 1970 නොවැම්බරය. ඇත්තම කිවුවොත්, මට ඒ වෙද්දී දේශපාලනය ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නෑ. ඒත් මිනිස්සුන්ගේ, රටේ ප්‍රශ්න ගැන යම් වැටහීමක් තිබුණා. ඒවා මේ ක්‍රමය තුළ එන්න එන්න වැඩි වෙනවා මිසක් උත්තරයක් නෑ කියන එක තේරිලා තිබුණා. ඒ රැස්වීමෙන් පස්සේ දේශපාලනය කෙරෙහි ලොකු ආසක්ත බවක් ඇති වුණා; ආසාවක් ඇති වුණා. මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා, මගේ දායකත්වයත් දෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා.

“මේ රුසියාවෙන් පස්සේ වියට්නාමයේ, චීනයේ, විශේෂයෙන් කියුබාවේ විප්ලවවාදි අරගලවලින් සමාජවාදි රටවල් බිහි වුණ යුගය. ඒ ආභාසයත් එක්ක අපේ රටේ තරුණ පරපුර තුළ ලොකු පිබිදීමක් ඇති වුණා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ලොකු ආකර්ෂණයක් ඇති වෙමින් තිබුණා.”

එවකට පැවති ආණ්ඩුවේ දැඩි මර්දනය අප අරගලයකට තල්ලු කළා.

“71 අරගලය ගැන කියද්දී සමහරු අදටත් මතවාද ගොඩනඟන්නේ අපි ත්‍රස්තවාදීන් විදිහට හොඳට තිබුණු ආණ්ඩුවට පහර දීමක් කළා කියල නේ. ඇත්තටම වුණේ ඒක නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතු වෙලයි දේශපාලනය කෙරුවේ. පක්ෂයක් විදිහට අපි පත්තර අච්චු ගැහුවා; පෝස්ටර් ගැහුවා; රැස්වීම් පැවැත්වුවා. අපි ඒවා කරද්දී රජය පැත්තෙන් දිගින් දිගටම මර්දනය කරන්න ගත්තා. අලුතින් අණ පනත්, නීති ගෙනාවා. 1971 අප්‍රේල් 1 දා වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයන් 401ක් නිකරුණේ අත්අඩංගුවට අරගෙන තිබුණා. රජය අපිවත් ත්‍රස්තවාදීන් විදිහට හංවඩු ගැහුවා. භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ, සංවිධානය වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය තුළ තියෙද්දියි ආණ්ඩුව එහෙම හැසිරුණේ. මොකද, අපි සංවිධාන වෙද්දී රජය දැනගත්තා මේ එන්න යන්නේ එයාලගේ ක්‍රමයට, පැවැත්මට විශාල අභියෝගයක් කියන එක. ආණ්ඩුව ඔය අතරවාරයේ 1971 මාර්තු 18 දා, මරණ පරීක්ෂණයකින් තොරව මිනී වළලන්න පුළුවන් විදිහෙ නීතියක් සම්මත කරගත්තා. ඒකෙන් හොඳටම ඔප්පු වුණ දේ තමයි ආණ්ඩුව සංහාරයකට ලෑස්ති වෙනවාය කියන එක.

“ඒ අතරේ තමයි මට විශ්වවිද්‍යාලයේදි අහම්බෙන් වගේ ‘පන්ති පහට’ සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඒක හරි වැදගත් වගේම වෙනස් අත්දැකීමක් වුණා. මොකද, ඒ වෙද්දී මම හිටියෙ ආර්ථික විද්‍යා විශේෂ උපාධිය කරන ගමන්. ‘පන්ති පහේදි’ සාකච්ඡා වුණේ රටේ ආර්ථිකය ගැන. අපට උපාධියේදී උගන්නන, විග්‍රහ කරන විෂය කරුණුවලට හාත්පසින්ම වෙනස් ප්‍රායෝගික වගේම තර්කානුකූල, විද්‍යානුකූල කරුණු සහ විසඳුම් මම ඒ සාකච්ඡා අතරෙ දැක්කා. ඒවත් එක්ක මට මේ ගැන තවදුරටත් දැනගැනීමේ වුවමනාව ඇති වුණා. යහපත් සමාජ ක්‍රමයක් ගොඩනැඟීමේ මේ කර්තව්‍යයට මගේ ශක්ති ප්‍රමාණයෙන් මැදිහත් වෙන්න ඕනෙ කියන හැඟීම ඇති වුණා.”

අවුරුදු හතරහමාරක විතර කාලයක් බන්ධනාගාරයෙ ඉන්න වුණේ වරදක් කළ නිසා නෙවෙයි; ‘නිවැරදිකාරයා’ කිවුව නිසයි

“මේ කාලෙදී අපේ පක්ෂය ඇතුළෙත් ප්‍රශ්න මතු වෙමින් තිබුණා. ඒකත් එක්කම ආව රජයෙ මර්දන වැඩපිළිවෙළ නිසයි අපට ආයුධ අතට ගන්න සිද්ධ වෙන්නෙ. 1971 අප්‍රේල් 5 දා අරගලයට මමත් සම්බන්ධ වුණා. මැයි 26 දා මම අත්අඩංගුවට පත් වෙනවා. දවස් ගාණක් සීඅයිඩීඑකෙයි, කොල්ලුපිටියෙ පොලීසියෙයි තියාගෙන හිටියා. ඒ, ප්‍රශ්න කිරීම්, පහර දීම් මැද.

“මාව වැලිකඩ බන්ධනාගාරයට අරන් යන්නෙ ජූනි 2 දා. එතැනදිත් හුඟාක් හිරිහැර වුණා. මට මතකයි මම යද්දිත් විද්‍යෝදයේ, විද්‍යාලංකාරයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ, මහරගම ඉස්කෝලවල ළමයි වගයක්, මරදාන පැත්තෙන් ගෙනාපු කාණ්ඩයක් වගේ බොහෝ පිරිසක් එතැන හිටියා. ඒ අයටත් සෑහෙන වදහිංසා කරලා තිබුණා.

“දේශපාලනයේ වශයෙන් වගේම මේ ආර්ථිකයේ ඇති නැති පරතරය ගැනත් මම හොඳින්ම අත්දුටුවෙ බන්ධනාගාරයෙදි. ඔය විදිහට ටික කාලයක් වැලිකඩ හිටියා. පස්සෙ අපි මීරිගම කඳවුරට අරගෙන ගියා. ඒකෙ අවුරුද්දක් හිටියා. ඒ කඳවුර වහනවත් එක්ක ආපහු වැලිකඩට ගෙනාවා.

“ඔය අතරතුරේ තමයි අවුරුද්දකට පස්සේ නඩු වැටුණේ. රොස්මිඩ් නඩුවේ සැකකාරියක් විදිහට. අපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ, අපේ කණ්ඩායම් නායක නිමල් ඇතුළු කණ්ඩායමක් ඒ නඩුවෙ හිටියා. නඩු දාලා සිතාසි එවන්නත් අවුරුද්දක් ගියා. සිතාසි එවලත් අවුරුද්දකට පස්සෙ තමයි අපි උසාවි ගෙනියන්න දිනයක් දෙන්න කියලා බන්ධනාගාර ඔෆිස් එකට කැඳෙවුවෙ. එතැනදි ඇහුවෙත් උසාවියේදී වරද පිළිගන්නවද? නැද්ද? කියලා. ඒ වෙද්දී අපට නිදහස පිළිබඳ කිසිම අපේක්‍ෂාවක් තිබුණේ නෑ. වරද පිළිගන්න අයට අත්හිටුවූ සිරදඬුවම් දීලා නිදහස් කරනවා කියලා තමයි කිවුවේ. සමහරු වරද පිළිගත්තා. ඒ, ඇත්තටම කැමැත්තකින්වත්, වරදක් කරපු නිසාවත් නෙවෙයි; නිදහස් වෙන්න වෙන ක්‍රමයක සේයාවක්වත් නොතිබුණ නිසා.

“ඒත් අපි තුන් දෙනෙක් විතරක් කිවුවා අපි වැරදිකාරයද නිවැරදිකාරයද කියලා කියන්නේ උසාවියෙදි කියලා. එතැන අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ගමනායක (මරා දැමූ) සහෝදරයගෙ බිරිය කරුණා සහෝදරියත් එක්ක තව සහෝදරියක් ඉතුරු වෙලා හිටියා. අපි පස් දෙනා හැර අනෙක් හැම දෙනාම නිදහස් වෙලා ගියා. අපට අවුරුදු හතරහමාරක විතර කාලයක් බන්ධනාගාරගත වෙලා ඉන්න වුණේ ඔය හේතුව නිසයි. ඒ, අපි වැරැද්දක් කරපු නිසා නෙවෙයි; නිවැරදිකාරයා කියලා කිවුව නිසයි.

“ආණ්ඩුවටත් පුළුවන්කමක් තිබුණෙ නෑ අපට සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් කරන්න. මොකද, අපි කෙරුවේ ප්‍රජාතන්ත්‍රවාදි අරගලයක්. ඒ නිසා ආණ්ඩුව අලුතින් නීතියක් හැදුවා. අපි ඇස් දෙකටවත් නොදැකපු, පොලීසියට ඕනැ හැටියට ලිවුව කටඋත්තරයකට අපේ අත්සන නැතත් උසාවියේදී ඒක ඇත්ත කියල පිළිඅරගෙන දඬුවම් කරන්න ඒ පනත යටතේ පුළුවන්කම තිබුණා. ඒ විදිහට තමයි ආණ්ඩුව වැඩ කෙරුවෙ. මරන්න පුළුවන් අය මැරුවා. එහෙම කරලත් තවදුරටත් මේ දේශපාලනයේ ඉන්න අය හිරේ දාලා තියන්න පුළුවන් නීති ගෙනාවා.”

අපි සිරගෙවල් ඇතුළෙදි උපක්‍රමශීලිව නැවත පක්ෂය ගොඩනැඟුවා

“අපි තරුණ තරුණියො විදිහට දේශපාලනය හරියට දන්නේ නැතුවයි බන්ධනාගාරයට ගියේ. 71දි පක්ෂය සෑහෙන්න කඩාවැටුණා. සමහරු පක්ෂය අත්හැරියා. අක්‍රිය වුණා. ලොකු අතුලලා වගේ අය පක්ෂයට සතුරු වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ගැන, සම්බන්ධ වෙලා හිටිය කාන්තාවන් ගැන වැරදි මත සමාජයේ පැතිරිලා තිබුණා, අද වගේම එදත්. ඒ නිසා ඇතුළෙ හිටිය ගොඩක් අයට මේ තත්ත්වය මානසිකව දරාගන්න අමාරු වුණා. නිදහසක් පේන්නවත් තිබුණෙ නැති පසුබිමක තිබුණෙ අපේක්ෂා භංගත්වය.

“ඒත් කාන්තාවන් විදිහට අපි කීප දෙනෙක් තීරණය කළා මේ දේශපාලනය හදාරන්න; පක්ෂය නැවත සංවිධාන කරන්න. ඒ අනුව අපි ලොකු අරගලයක් කරලා අධ්‍යාපනය ලබන්න, විභාග කරන්න, පොත්පත් කියවන්න අවසර ගත්තා. අපි දේශපාලන පතපොත කියෙවුවා. මාක්ස්වාදි න්‍යාය වගේම වාමාංශික දේශපාලන ක්‍රියාකාරකම්, ජාත්‍යන්තරය ගැන, ඒ අය බලය අත්පත් කරගත් හැටි, ප්‍රශ්න විසඳාගත් හැටි දැනගත්තා. අපට අනෙක් සිරගෙවල්වලින් රහසිගතව තොරතුරු, ලිපි ලේඛන ලැබුණා. මොකද, ඒ වෙද්දී බන්ධනාගාර නිලධාරීන්ට මේවා දේශපාලන පොතක්ද? පාඩම් පොතක්ද? කියලා වෙන් කරගන්න තේරුමක් තිබුණේ නෑ. අපේ මේ තොරතුරු හුවමාරුව ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. සමහර වෙලාවට අපට එළියෙන් ලැබෙන බනිස් ගෙඩියක, ටොෆියක, පෑනක ඇතුළෙ රහසිගත ලියුමක් තිබුණා. ලැබෙන ඇඳුමක වාටියේ ලියුම ලියලා වාටිය මහලා තිබුණා. අපි ඒ විදිහට උපක්‍රමශීලිව බාහිර තොරතුරු සපයාගත්තා.

“පොත්පත්වලින් වගේ ම බන්ධනාගාරය තුළ ජීවිතයෙන්, රඳවාගෙන සිටි කාන්තාවන්ගේ ජීවිත අධ්‍යයනය කිරීමෙන්, නිරීක්ෂණය කළ දේවලින් අපට හොඳ සමාජ අවබෝධයක් ලබන්න අවස්ථාව ලැබුණා. මේ සමාජ ක්‍රමය, දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නම ඕනෑ. මේ ආර්ථික ව්‍යසනයට ඒ හැරෙන්න උත්තරයක් නෑ කියන එක දැඩිව දැනෙන්න ගත්තා.

“ඒ විදිහට අපි බන්ධනාගාරය ඇතුළෙදි තමයි පක්ෂය නැවත ක්‍රමානුකූලව ගොඩනැඟුවෙ. මහ නඩුවෙ හිටිය ඔස්මන්ඩ් ද සිල්වාගෙ අම්මා අපට එතැනදි ලොකු ශක්තියක් වුණා. ඒ සීලවතී සිල්වා අම්මා අපේ පක්ෂයේ අම්මා. විවියන් ගුණවර්ධන, ඇන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වලත් එක්ක පරණ වාමාංශික ව්‍යාපාරයේ හිටිය, අත්දැකීම්වලින් පොහොසත්, හොඳ අම්මා කෙනෙක්. 71දි විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගත් වෙලාවේ විජේවීර සහෝදරයාගේ අම්මත් එක්ක එයා බලන්න ගිහින් තිබුණෙත් සීලවතී අම්මා. එතැනදි පක්ෂයේ ඉදිරි වැඩ කෙරෙන්න ඕනෙ විදිහ ගැන විජේවීර සහෝදරයා උපදෙස් දීලා එවලා තිබුණෙත් ඒ අම්ම අතේ. ඒ උපදෙස් නොසලකා හැර තමයි ලොකු අතුලලා පහර දීමකට ගියේ. ඒ කියන්නේ ඒක නොකළ යුතු පහර දීමක් කියන තැන තමයි විජයවීර සහෝදරයත් හිටියෙ. ඒත් අවස්ථාවාදීන්ගේ මැදිහත් වීමෙන් බලය අතට ගැනීමේ හදිසිය නිසා වගේම ආණ්ඩුවේ දැඩි මර්දනයත් නිසා ඒක සිද්ධ වුණා.

“1975 අගදි අපි නඩුවට මුහුණ දුන්නා. කොළඹ විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිල්ලක තමයි උසාවිය තිබුණේ. හිටපු අග්‍රවිනිශ්චයකාර එච්.එම්.ජී. ප්‍රනාන්දුයි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනකුයි එකතු කරලා තමයි කොමිෂන් සභාව පත් කර තිබුණේ. එදා අපි තුන්දෙනයි, තව සහෝදරවරු හතර දෙනෙකුයි හිටියා. අපි වෙනුවෙන් නීතිඥයකු පෙනී හිටියෙ නෑ. අපි වෙනුවෙන් පෙනී හිටියේ අපිමයි. නීතිඥ සහාය විතරක් ගත්තා. අපි තනියම කතා කළා. මට විරුද්ධව සීඅයිඩී එකෙන් ඇවිත් සාක්ෂි දුන්නා. උසාවිය මගෙන් තමයි මුලින්ම ප්‍රශ්න කළේ.

“මේ නීතිය මොකක්ද මම දන්නෙ නෑ. හැබැයි මම යුක්තිය සාධාරණත්වය දන්නවා… මම එහෙමයි කතාව පටන් ගත්තෙ. ඊට පස්සෙ සීඅයිඩී එක මගෙන් කට උත්තරයක් ගත්තෙ නෑ කියන එක කොහොම හරි ඔප්පු කළා. සාමාන්‍ය නීතිය යටතේ සැකපිට අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග මත තියාගත්තාම පැය 24ක් ඇතුළත උසාවියට ඉදිරිපත් කරන්න ඕනෑ. ඒත්, මාව අත්අඩංගුවට ගන්නෙ මැයි 26; උසාවියට ඉදිරිපත් නොකර බන්ධනාගාරයට ගිහින් දැම්මෙ ජූනි 2. එතකල් හිටියෙ පොලිස් අත්අඩංගුවෙ. සීඅයිඩීඑක එතැනදි බොරුවක් කිවුවා. මාව මැයි 27ම ගෙනිච්චා කියලා. ඒ වෙලාවෙ මම කිවුවා කොල්ලුපිටියේ පොලිස් පොත ගෙනැවිත් බලන්න කියලා. ඒ බලද්දී ඒකෙ එහෙම එකක් සටහන් වෙලා තිබුණෙ නෑ.

“අපි අත්හිටුවූ සිරදඬුවම් සහිතව අවුරුදු 10ට ඇඟ බැඳලා නිදහස් වෙලා එළියට ආවා. ඒ ඇවිත් ආයෙ වැඩ පටන් ගත්තා. එතකොට ගමනායක සහෝදරයා පක්ෂයේ ප්‍රධාන ලේකම්. අපි පක්ෂ රැස්වීම් තිබ්බා. මාධ්‍ය සාකච්ඡා තිබ්බා. 1976 නොවැම්බර් වෙද්දී විජේවීර සහෝදරයා නැවත නිදහස් වුණා. ඊට පස්සෙ රට පුරාම රැස්වීම් තිබ්බා. මම විජේවීර සහෝදරයත් එක්ක ඒ රැස්වීම්වල කතා කළා. පක්ෂය ගොඩනැඟීමේ කටයුතුවල යෙදුණා.

“අපේ පවුලේ දරුවො හත් දෙනෙක්. ගම රාගම වල්පොළ. අපි ඒ කාලේ කුඹුරු කෙටුවා; වී තැම්බුවා; කොටු සුද්ධ කෙරුවා; තාත්තා එක්ක හරි හරියට වැඩ කළා. තාත්තට හොඳ රැකියාවක් තිබුණා වුණාට අපට අත පය වෙහෙසලා වැඩ කරන්න හුරු කළා.

“විශ්වවිද්‍යාලයේ දිගටම ඉගෙනගත්තා නම් සමාජයේ ඉහළම නිලතල දරන්න තිබුණා. ඒත් මම තෝරාගත්තෙ ඒක නෙවෙයි. තනි තනිව ගොඩ යනවට වඩා සමස්තයක් වශයෙන් අපි හැමෝම ගොඩ යන්න ඕනෑ කියලයි මම හිතුවෙ. එහෙම හිතුව එක ගැන පුංචි පසුතැවීමක්වත් නැහැ.

“අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වුණා. මට ඒ දවසෙ හිතුණෙ දැන් නම් මම මැරුණත් කමක් නැහැ කියලා. ඒ තරම් සතුටක් දැනුණා. ඒ වුණත් දැන් තමයි අපට ලොකුම අභියෝගය තියෙන්නේ. ඒකත් ජය ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මම ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරියක් විදිහට වැඩ කෙරුවා. ඒ ලැබුණ වැටුප සත පහක්වත් පෞද්ගලික දේවලට ගත්තේ නෑ. එදා ඉඳලා දේශපාලනය කරනවා වගේම සාමාන්‍ය ගැහැනියක් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරනවා. ඒ දේවල් අතපසු කරගෙන නෑ.

“71දී දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදැනයි අරගල කළේ. දේශපාලනය කළේ මරණය පෙනි පෙනී. ඒත් නොසැලී, පසු නොබැස රට වෙනුවෙන් ආ මේ ගමන ගැන මම අද සතුටින්.”

වයලට් ප්‍රියදර්ශනී විතානගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division