Home » අනතුරු මැඬීමට ප්‍රවාහනයේ සෑම ‍කේෂ්ත්‍රයකටම දියුණු තාක්ෂණික ක්‍රමවේද

අනතුරු මැඬීමට ප්‍රවාහනයේ සෑම ‍කේෂ්ත්‍රයකටම දියුණු තාක්ෂණික ක්‍රමවේද

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment
අමිල මලවිසූරිය

මිනිස් ජීවිත 41කට දිවි අහිමි කරමින්, 36 දෙනකු සදාකාලික ආබාධිතයන් බවට පත් කරමින් මගී බස් රථයක් යාංගල්මෝදර දුම්රිය ගේට්ටුව අසලදී දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුර මෙරට ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම රිය අනතුරක් ලෙස සැලකේ.

2005 අප්‍රේල් 27 දා සිදු වූ ඒ ඛේදවාචකයෙන් වසර 20ක් ඉක්ම යද්දී යළිත් ඒ අමිහිරි මතකය ආවර්ජනය කළ රිය අනතුරක් ඉකුත් සතියේ ඉරිදා (11) ද වාර්තා වූයේ මෙරට ඉතිහාසයට තවත් ශෝචනීය රිය අනතුරක් එක් කරමිනි. කතරගම ඩිපෝවට අයත් WP NC-1141 දරන කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බස් රථය ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන, අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ඒ අනතුර සිදු විය.

ගෙවුණු වෙසක් සතිය තුළ දෙස් විදෙස් මාධ්‍යයන්හිද ප්‍රධාන මාතෘකාවක් වූ මේ රිය අනතුරින් 23 දෙනකුට දිවි අහිමි වෙද්දී කුඩා ළමයින් ඇතුළු 54 දෙනෙක් තුවාල ලැබූහ. බස් රථය පදවා තිබුණේ කතරගම ඩිපෝවේ සේවය කළ 44 හැවිරිදි චන්දන නමැති රියැදුරු මහතෙකි. වසර 15ක පමණ සේවා කාලයකට හිමිකම් කියන චන්දන වසර හතරක පමණ සිට කතරගම – කුරුණෑගල බස් රථයේ රියැදුරකු ලෙස සේවය කර තිබිණි.

කතරගම – කුරුණෑගල ගමනාන්තයට පැය නවය හමාරක පමණ කාලයක් ගත වන බව කීවේ කතරගම ඩිපෝ අධිකාරි එස්.ඒ.ඩී. තුසිත චාමින්දය. ඉතා සංවේදි මෙන්ම හදවත් කම්පා කරවන කතා රැසක් ඇසුණු ඒ අනතුර ගැන මේ වන විට රටම දනී.

මේ බිහිසුණු අනතුර ගැන නොයෙක් දෙනා නොයෙක් පාර්ශ්වවලට චෝදනා එල්ල කරමින් ‘බෝලය පාස් කරමින්’ සිටිති. එහෙත් මේ වන විට සියල්ල සිදු වී හමාරය. රජය ඇතුළු වගකිව යුතු පාර්ශ්ව මින් මතුවට මෙවැනි අනතුරක් නොවීමට පරීක්ෂණ සිදු කරමින් සිටී. ඒ අනුව, නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් බස් රථය අනතුරට ලක් වූ ස්ථානයේ මූලික ස්ථානීය පරීක්ෂාවක් සිදු කළේ අනතුරේ ස්වභාවය කෙබඳුද යන්න සොයාගැනීමේ අටියෙනි. එම මූලික විමර්ශනවලින් අනතුරුව නිගමනය කර ඇත්තේ අනතුරට මූලික හේතුව රියැදුරුට නින්ද යෑම විය හැකි බවයි.

ඒ කෙසේ වුවද, මෙකී අනතුර පිළිබඳව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් සිව් දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් මඟින්ද පැති කීපයක් ඔස්සේ විමර්ශනයක් සිදු කරන බව පොලීසියද සඳහන් කළේය. ඒ විමර්ශනයෙන් ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කිරීමට නියමිතය.

මේ අතර සිදු කරමින් තිබෙන පොලිස් විමර්ශන අනුව අනතුරට හේතුව නිශ්චිත ලෙස විද්‍යාත්මකව ඔප්පු කිරීමට තවත් දින කීපයක් ගත වනු ඇති බවය.

එසේම අනතුර පිළිබඳව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) අරුණ බැසිලේගමගේ ප්‍රධානත්වයෙන් හයදෙනෙකුගෙන් යුත් කමිටුවකින් ද විධිමත් පරීක්ෂණයක් ඉකුත් 15දා ඇරැඹිණි. එම කණ්ඩායම කොත්මලේ පොලීසියට ගොස් අනතුරට පත් බස්රථය යළි පණ ගන්වා බස් රථයේ තිරිංග පද්ධතිය, රෝද සහ සෙසු කොටස් පිළිබඳව ද අවධානය යොමු කරමින් පරීක්ෂණ සිදු කෙරිණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා මාධ්‍යයට කීවේ විධිමත් පරීක්ෂණයට සම්බන්ධ සියලුම දත්ත සහ තොරතුරු සමඟ පරීක්ෂණ කටයුතු සිදු කළ බවත් පරීක්ෂණ වාර්තාව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට, නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට සහ පොලීසියට ද ලබා දෙන බවයි.

මේ අතර, පොලිස් වාර්තා අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි මස 13 වැනිදා දක්වා රිය අනතුරු 902කදී පුද්ගල මරණ 965ක් වාර්තා වී තිබිණි. එය ගිය වසරේ එම කාල සීමාව හා සසඳන කල රිය අනතුරු 41ක වැඩි වීමක් සහ පුද්ගල මරණ 65ක වැඩි වීමකි. ඊට අමතරව, මේ වසරේ මැයි මස 9 වැනිදා දක්වා බරපතළ අනතුරු 1,842ක්ද සුළු අනතුරු 3,241ක්ද අලාභ අනතුරු 1,424ක්ද සිදු වී තිබෙන බව පොලිස් රථවාහන කොට්ඨාසයේ සංඛ්‍යා දත්තවලින් අනාවරණය වේ.

ගැරඬිඇල්ලේ බස් රථ අනතුරත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ඉකුත් දිනෙක ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක්ද පවත්වමින් රජය සහ වගකිව යුතු පාර්ශ්ව ලෙස විශේෂයෙන් දුර මගී බස් රථ සේවා සඳහා ආරක්ෂිත ක්‍රමවේද කීපයක් හඳුන්වා දෙමින් පොදු මගී ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමටත්, රිය අනතුරු වළකාගැනීමටත් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන පැවසීය. එහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේ, ඉදිරියේදී බස් රථ ධාවනයට පෙර පූර්ව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සෑම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියක් යටතේ දුර සේවා බස් රථ ආරම්භ කරන බස් නැවතුම්පොළවලදී එවැනි ඒකක පිහිටුවීමට කටයුතු කරන බවයි.

“ඒ වගේම ලෝකයේ දියුණු රටවල කැමරා පද්ධති නැත් නම් නවීන තාක්ෂණය මඟින් රියැදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරනවා. ඒ අනුව අප රටේත්, රියැදුරුට නින්ද යනවාද? අධික වෙහෙසට පත් වෙලා ද? ඈලි-මෑළි ගතියෙන් යුතුව ඈනුම් අරිනවාද? අනවශ්‍ය ලෙස දුර ඇමතුම් ගන්නවා ද? වැනි සෑම දෙයක්ම නිරික්ෂණය කරන AI තාක්ෂණය මඟින් ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් ශ්‍රී ලංගම සහ දුර සේවා ගමනාන්තවල යෙදෙන පෞද්ගලික බස් රථ සියල්ලටත් අනිවාර්ය කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී මගී ප්‍රවාහන බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබාදීමේදී එවැනි තාක්ෂණික පහසුකම් සහිත බස්රථවලට පමණක් බලපත්‍ර දීමට බලාපොරොත්තු වනවා” යැයිද ඇමැතිවරයා පැවැසීය.

එසේම මේ ක්‍රමවේදය බස්රථවලින් ආරම්භ වූ පසු ලොරි රථ සහ විශාල ලෙස ප්‍රවාහන කටයුතුවල යෙදෙන ආයතනවලටද හඳුන්වා දීමටත් එහි අත්‍යවශ්‍ය අංගෝපාංග ශ්‍රී ලංකා දුම්රිය සේවාවටද හඳුන්වා දීමටත් තීන්දු කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය. තවද, ඇමැතිවරයා කීවේ දුර සේවා බස් රථ මගීන්ට තේ පානය සඳහා බස් රථ නතර කරන ආපණශාලාවල රියැදුරන්ට විවේක ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ඇති කිරීමටත්, මාර්ගයේ අනතුරුදායක ස්ථානවල වැටවල් ඉදිකිරීමට සහ ගස් සිටුවීමටත් බලාපොරොත්තු වන බවයි. එසේම, මාර්ග අනතුරු සම්බන්ධයෙන් නව වන්දි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් එකිනෙකා පසුපස නොගොස්, වසර ගණනාවක් පුරා ළතැවීමකින් තොරව වන්දි ලබා ගැනීමට හැකියාව සලසන බවද ඔහු කීවේය. ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 440ක් පවතින බව සහ ඒ සියලු දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු හෝ රථවාහන සංඥා ක්‍රමවේද සවි කිරීමට පියවර ගන්නා බවයි. එසේම 2026 වසරේ ජනවාරි 1 වැනිදායින් පසු ආරක්ෂිත මෙන්ම නවීනත්වයට ගැළපෙන මගී ප්‍රවාහන බස් රථ සඳහා පමණක් මෙරටට ආනයනයට අවසර දෙන බවයි.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි පැවැසුවේ අනතුරට පත් කතරගම ඩිපෝවට අයත් බස් රථය මාසික දින කාලසටහන අනුව දින 16ක් ධාවනය කරන බවත්, සෙසු දිනවල ධාවනය කරනු ලබන්නේ තණමල්විල ඩිපෝවේ බස් රථයක් බවත්ය. අනතුරට පත් බස් රථයේ රියැදුරු වයස අවුරුදු 44ක, ඉතාම විශිෂ්ට රියැදුරකු බවත්, ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූ අයකු මෙන්ම මත්පැන් භාවිතයෙන්ද තොර පුද්ගලයකු බවත් ඔහු කීවේය. එම රියැදුරු විසින් කතරගම සිට කුරුණෑගල දක්වා බස් රථය ධාවනය කොට නැවත කුරුණෑගල සිට කතරගම දක්වා ධාවනය කිරීමෙන් පසු ඔහුට සහ කොස්දොස්තරවරයාට නියමිත පරිදි කාර්ය චක්‍ර නිවාඩු හිමි වූ බවද අනාවරණය කෙරිණි. ඒ අනුව ඇතැම් පුද්ගලයන් සඳහන් කරන පරිදි එම රියැදුරුගෙන් හෝ කොන්දොස්තවරයාගෙන් අවිවේකීව රාජකාරිය ගත් බවට ඇතැමුන් පළ කරන මතය බැහැර කරන බවද හෙතෙම පැවසීය.

එසේම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ බස් රථයේ ගමන් කළ සංඛ්‍යාවද 77ක් වූ බවත්, එම ප්‍රමාණය අධික යැයි සඳහන් කළද සාමාන්‍යයෙන් බස් රථයේ ආසන සංඛ්‍යාවෙන් සියයට 40කට ආසන්න මගී සංඛ්‍යාවක් සිටගෙන රැගෙන යෑමේ හැකියාව බස්රථවලට තිබෙන බවත්ය.

මේ අතර මෙකී මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ දුර ගමන් බස් රථ සේවා සඳහා ආරක්ෂිත ක්‍රමවේද කීපයක්ම ඉදිරියේදී අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇති බවයි. ඒ අනුව පැය හයකට අධික කාලයක් ගත වන දුර ගමන් සේවා බස් රථ ගමන් වාර සඳහා ලංගම ඩිපෝ දෙකක් අතර අන්තර් සබඳතාවක් ඇති කර ගනිමින් බස් රථ දෙකක් යෙදවීමට සැලසුම් කර තිබෙන ආකාරයකි. කෙසේ හෝ එම ක්‍රමවේදය සාර්ථක වුවත් බස් රථ දෙකක් යෙදවීමට සාපේක්ෂව ඩිපෝ දෙකක් අතර සබඳතාව මත එකම බස් රථයකට රියැදුරන් දෙදෙනකු යොදවා එක් රියැදුරකු විවේක ගැන්වීම මගීන්ටද අපහසුවකින් තොරව ගමනාන්තය දක්වා ගමන් කිරීම පහසු කාර්යයක් වනු ඇතැයි අපි අවධාරණය කරන්නෙමු.

ඉකුත් ඉරිදා සිදු වූ අනතුරෙන් මියගිය 23 දෙනා අයත් වනුයේ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඬුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ සහ රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටය. ඒ අනුව මෙකී 23 දෙනා හට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම ද සිදු කෙරුණේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මුදල් ලබා දෙමිනි.

මෙකී අනතුරත් සමඟ කරළියට ආ තවත් කරුණක් වූයේ ඇතැම් බස් රථ ආනයනය කරන සමාගම් ශ්‍රී ලංකා රේගුවට බස් චැසි බව පවසා ලොරි චැසි මෙරටට ගෙන්වන බවයි. ඒ පිළිබඳව ද මාධ්‍යයට කරුණු අනාවරණය කිරීමක් හිටපු රේගු අධ්‍යක්ෂවරයකු වන රන්ජන් දන්තනාරයන සිදු කළේය. ඔහු පවසන්නේ, එලෙස ගෙන්වන චැසි පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා රේගුවට තාක්ෂණික නිලධාරීන් නැතිකමින් රජයේ ආයතනයක වරලත් යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලවා පරීක්ෂා කර ගැනීමෙන් පසු, ඔහුගේ සහතිකය මත එම වාහන චැසි වරායෙන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි. ඔහු පවසන කරුණ කෙරෙහි වගකිව යුතු පාර්ශ්වවල අවධානය යොමු විය යුතුමය.

මන්ද යත්: පිට පිට සිදු වන රිය අනතුරු රටක් ලෙස අපට ඉදිරියට යෑමට බලපාන ප්‍රධාන බාධකයක්ව ඇති බැවිනි. එහිදී අහිමි වන මිනිස් ජීවිතවල වටිනාකම මිල කළ නොහැකි සේම අනතුරුවලින් බරපතළ තුවාල ලබන පුද්ගලයන් සුවපත් කිරීමට සෞඛ්‍ය අංශවලට දැරීමට සිදු වන වියදම සහ වන්දි මුදල්ද, දේපළ හානිද ගණනය කර බැලීමෙන් මේ කරුණෙහි බරපතළකම මැනවින් අවබෝධ කරගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division