Home » පෝර නැවේ වංචාව කූඩෙට දාන්න එපා!

පෝර නැවේ වංචාව කූඩෙට දාන්න එපා!

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

න්දෝලනයට තුඩු දුන් චීන කාබනික පොහොර ගනුදෙනුව පිළිබඳ රට තුළ යළි කතාබහක් මතුව තිබේ. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයෙන් පසුව, 2021 අගෝස්තු චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් නමැති සමාගමෙන් ඩොලර් මිලියන 6.9ක් ගෙවා මුහුදු පැළෑටිවලින් නිපදවූ කාබනික පෙහොර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය දී තිබිණි.

අර්බුදය සැබවින්ම ආරම්භ වූයේ එම පොහොර තොගය රැගත් නෞකාව මෙරටට ඒමට පිටත් වීමත් සමඟයි. 2021/ 2022 මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අදාළ ටෙන්ඩරය පිරිනැමූ චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් නමැති සමාගමෙන් ලබා දී ඇති පොහොර ආදර්ශවල අහිතකර ජීවින් හා බැක්ටීරියා සිටින බව ශාක නිරෝධායන සේවය සහ ලංකාවේ විද්‍යාගාර කිපයක කරන ලද පරීක්ෂණ මඟින් අනාවරණය කෙරිණි. අල, ලූනු හා කැරට් වැනි වගාවල ඵලදා විනාශ කිරීමට මෙලෙස අනාවරණය කරගත් බැක්ටීරියාවට හැකියාව පවතින බව ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දී තිබිණ.

කාබනික පොහොර නෞකාව මෙරටට ගමන් කරමින් තිබියදීම මෙරට ප්‍රමිතියට අනුකුල නොවීම නිසා එය ප්‍රතික්ෂේප කිරීමට ශාක නිරෝධායන ඒකකය පියවර ගනු ලැබීය. ඒ අනුව, අදාළ සමාගමට ණයවර ලිපි නිකුත් නොකරන ලෙස ලක් පොහොර සමාගම සහ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම මහජන බැංකුවට දැනුම් දුන් අතර, චීන සමාගම සහ එහි දේශීය නියෝජිතයා ණයවර ලිපි යටතේ කිසිදු ගෙවීමක් ලබාගැනීම අවහිර වන පරිදි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයකින් අදාළ චීන පොහොර සමාගමට ගෙවීම් කිරීම අත්හිටුවන ලදි. මේ හේතුවෙන් චීනය විසින් මහජන බැංකුව එරට මුල්‍ය පද්ධතියේ අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන ලදි. මේ තත්ත්වය මෙසේ තිබියදී එවක කෘෂිකර්ම ඇමැතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ චීනයේ Schutter Global Insfection Survey Companny Ltd යන ආයතනය පොහොරවල තත්වය පරික්ෂා කිරීම සඳහා සුදුසු ආයතනයක් ලෙසට උපදෙස් දී ඇත. ඒ අනුව, එම චීන ආයතනය අදාළ පොහොර තොගය නියමිත පරිදි ජීවානුහරණය වී ඇති බව ප්‍රකාශ කළත් ලංකාව තුළදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා විසින් එම කරුණට අදාළව කාර්ය මණ්ඩල කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව විසින් චීනයේ පර්යේෂණ ආයතනය නිකුත් කරන ලද වාර්තාව මත පදනම්ව මෙම පොහොර තොගයේ ව්‍යාධික බැක්ටීරියා නැති බවටත් එමගින් මනුෂ්‍යයන්ට හා සත්ත්වයන්ට හානියක් නොවන බවටත් සහ එසේ වුවත් හිතකර ජීවින් සිටිය හැකි බවටත් වශයෙන් වූ නිශ්චිත නොවූ තීරණයක් දී ඇත. මුල් අවස්ථාවේ ගිවිසුම් අනුව චීන පොහොර සමාගම විසින් සම්පූර්ණ වශයෙන් පොහොර ජීවානුහරණය කළ යුතු බව අධිකරණයේදී පිළිගෙන ඇති නමුත් චීන පරීක්ෂණාගාරය විසින් නිකුත් කළ වාර්තාව මත පදනම්ව මේ රටදී රාජ්‍ය අමාත්‍යවරයා පත් කළ කමිටුව විසින් පොහොර සම්පූර්ණයෙන් ජීවාණුහරණය අවශ්‍ය නැති බව තීරණය කර ඇත.

එහෙත් මෙම අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව 2021 සැප්තැම්බර් 23 දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. ජීවාණුහරණය නොකළ කාබනික පොහොර ශාක නිරෝධායන පනත අනුව මෙරටට ගෙන්විය නොහැකි හෙයින් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ අතර අදාළ පොහොර තොගය රට තුළට ගෙන ඒමට අවසර නොදෙන ලදි. මාස ගණනාවක් එම නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම් ලා තිබිණි. කෙසේ නමුත් නැව පැමිණීමත් සමඟ එයට මුදල් ගෙවීමේ අවශ්‍යතාව තීව්‍ර වූ නිසා සහ මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිපති උපදෙස් කරා යොමු වූ අතර එහිදී නීතිපති නිර්දේශ 4ක් ලබා දී ඇත. (කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම නිර්දේශ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ලබා ගෙන ඇත) එම නිර්දේශය වූයේ “චීන පොහොර සමාගමට පළමු නැව්ගත කිරීමෙන් 75%ක් වන ඩොලර් මි. 6.7ක් වන වටිනාකම ගෙවන්නේ නම් කාර්යසාධන ගිවිසුම (performance bond) හි වටිනාකම වන ඩො.මි.5ක මුදල අය කරගැනීමට කටයුතු කරන ලෙසත්ය.” නීතිපතිවරයා පෙන්වා දෙන්නේ එලෙස කටයුතු කිරීමෙන් රජයට සිදු වන පාඩුව ඩො.මි. 1.7ක් දක්වා අඩු කරගත හැකි බවත්, එය රජය විසින් දරා ගත යුතු බවත්ය. එසේ වුවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් එයට අනුව කටයුතු කර නොමැති අතර එම ඩො .මි. 5ක මුදල අය කරගැනීමට මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කරන්නේ නැත. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කාබනික පොහොර ආනයනය කිරීමට අදාළව” සීමාසහිත ලංකා පොහොර සමාගම/ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ Qingedo Seawin Biotech Group Company Ltd අතර පවත්නා ආරවුල නිරාකරණය කිරීම මැයෙන් 2021.12.21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නැති නිසා අ.ඩො. මිලියන 6.7ක (ශ්‍රී ලංකා රු.මි.1382) අලාභයක් සිදු වී ඇති බව පෙනී යයි. එමෙන්ම මාස ගණනාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රතිඵල රහිත කාර්යයක නිරත වී ඇත. මේ අනුව, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවේ තීරණ හේතුවෙන් ආනයනික බලපත්‍රයක් රහිතව පොහොර නැව්ගත කිරීමෙන් ලක් පොහොර සමගම අත්හිටුවා තිබු ණයවර ලිපි නැවත විවෘත කිරීම නිසා ඇ.ඩො. මිලියන 6.7ක් රජයට අහිමි විය. එසේම කාර්යසාධන ගිවිසුම අනුව අය කරගත යුතු අ.ඩො.මි. 5ක මුදල අය කරගැනීම කටයුතු කර නැත.

එසේ බලන කල්හි මෙරටට සිදු වූ සමස්ත පාඩුව අ.ඩො. මිලියන 11.7කි. එසේම මහ කන්නයට පොහොර නැති වීම හේතුවෙන් වගා කටයුතු ඇණ හිටීමෙන් දේශීය ආර්ථිකයට වූ බලපෑමද සුළුපටු නොවේ. ඩොලර් මිලියන 11.7ක් යනු අප වැනි කුඩා ආර්ථිකයට දැරිය හැක්කක් නොවේ. මෙය නිලධාරිවාදී වැරදි විනිශ්චයක් හෝ තාක්ෂණික අධීක්ෂණයක් හෝ පිළිබඳ කරුණක් නොවේ – එය පරිපාලනමය නොසැලකිල්ල සහ රටට විශාල පාඩුවක් සිදු කළ වංචාවකි. හිතාමතාම විශේෂඥයින්ගේ නිර්දේශ නොසලකා හැර මෙරට කෘෂි කර්මාන්තයට සහ මහජන විශ්වාසයට කරන ලද ආපසු හැරවිය නොහැකි හානියක් මෙන්ම දැවැන්ත මූල්‍යමය හානියකි. මෙහි බරපතළම කරුණ වන්නේ විශේෂඥ නිර්දේශ, නීතිමය විධිවිධාන සහ කැබිනට් තීරණ සෘජුවම උල්ලංඝනය කරමින් ක්‍රියා කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ භූමිකාවයි. ආනයනික පොහොරවල හානිකර තත්වයන් පවතින බව තහවුරු කළ ජාතික ශාක නිරෝධායන සේවයේ පැහැදිලි සොයාගැනීම් තිබියදීත්, ඔහු පත් කළ කමිටුවක් හරහා චීන රසායනාගාරයක සහතිකය මත විශ්වාසය තැබීම මත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ අසද්භාවය නිරූපණය වේ.

එපමණක් නොව, ඩොලර් මිලියන 5ක කාර්යසාධන බැඳුම්කරය සුරක්ෂිත කළ හොත් පමණක් ඉන්වොයිස් මුදලින් 75%ක් ගෙවීමට නීතිපතිවරයාගේ උපදෙස් මත පදනම් වූ කැබිනට් මණ්ඩලයේ කොන්දේසි සහිත අනුමැතිය සම්පූර්ණයෙන්ම නොසලකා හැර කටයුතු කළ අමාත්‍යවරයා කාර්ය සාධන බැඳුම්කරය අය කර ගැනීමට අපොහොසත් වූ අතර, එමඟින් රජයට ඩොලර් මිලියන 6.7ක (රුපියල් බිලියන 1.382) ඍජු මූල්‍ය අලාභයක් සිදු කළේය. මෙය අමාත්‍යවරයා සිය වගකීම පැහැරහැරීමකි. මහජන මුදල් ආරක්ෂා කරනු වෙනුවට විනාශ කිරීමකි. ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ආර්ථික අපරාධයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඍජුවම වගකිව යුතු බව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වේ.

මේ තීරණවල ප්‍රතිවිපාක ගිණුම්කරණ ලෙජරවලට පමණක් සීමා නොවේ. ඒවා මහ කන්නය තුළ නිසි පොහොර නැතිව ඉතිරි වූ දහස් ගණනක් ගොවීන්ට බලපා ඇති අතර, ආහාර අනාරක්ෂිතභාවයට දායක වී ඇත. ජාතික අවශ්‍යතා සුරැකීම සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතනවල විශ්වසනීයත්වය බිඳදමා ඇත.

එබැවින්, ඒ සඳහා නෛතික ක්‍රියාමාර්ගයකට එළඹීම සඳහා කාලය පැමිණ තිබේ. එවක කෘෂිකර්ම අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ මේ ගනුදෙනුවට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් වහා නිදහස් සහ අපක්ෂපාති පරීක්ෂණයක් ආරම්භ කළ යුතු අතර, නීතියට වඩා කිසිවකු ඉහළින් නැති බව සනාථ කිරීමට මෙය පූර්වාදර්ශයක් කරගත යුතුය. ඩොලර් මිලියන 11.7ක අලාභය ගොවීන්ගේ දුක් වේදනා සමඟ හුදු ඉලක්කමක් පමණක් නොවේ. එය ජාතික පාවාදීමකි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට පිළිතුරු ලැබිය යුතුය. වඩාත් වැදගත් දෙය නම්, ඔවුන්ට යුක්තිය ඉටු විය යුතුය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division