– ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලුව ආරම්භ වුණේ 2024 වසරේ සිටයි. පසුගිය වසර පුරා පැවති අධික වර්ෂාපතනය නිසා ලුණු නිෂ්පාදනය ඉතා පහළ අගයකට ආවා
– සතොස මඟින් ජනතාවට අවශ්‍ය ලුණු හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන තිබෙනවා
මේ වන විට ලුණු හිඟයක් ඇති බව ප්‍රචාරය කරමින් කෘත්‍රිමව ලුණු හිඟයක් ඇති කිරීමට කිසියම් පිරිසක් උත්සාහ ගනිමින් සිටිති. ආනයනය පමාවෙන් ලුණු හිඟයක් ඇති බව පවසමින් කැට ලුණු කිලෝව රුපියල් 500ක මිලකටත්, ලුණු කුඩු කිලෝවක් රුපියල් 650ක මිලකටත් අලෙවි වන බව එම ප්‍රචාරණයන්වලින් කියවේ. එහෙත් එලෙස වැඩි මිලට ලුණු අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කිරීමට දිස්ත්‍රික් ප්‍රධානීන් වෙත උපදෙස් දී ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දී තිබේ. මෙවන් පසුබිමක මෙහි සත්‍ය-අසත්‍යතාව විමසීමට අපි රටේ ප්‍රධානතම ලුණු නිෂ්පාදකයකු වන ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක සම්මුඛ වුණෙමු.
“ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලුව ආරම්භ වුණේ පසුගිය 2024 වසරේ සිටයි. වසර පුරාම පැවති අධික වර්ෂාපතනය නිසා ලුණු නිෂ්පාදනය ඉතා පහළ අගයකට ආවා. ඒත් පසුගිය වසරේදී ලුණු හිඟයක් නොපැවතියේ 2023 වසරේ ලුණු අස්වැන්නෙන් පවත්වාගෙන ආ අතිරික්තයක් පැවති නිසයි. සාමාන්‍යයෙන් ලංකා ලුණු සමාගම මහලේවාය, පලටුපාන හා බූන්දල යන ප්‍රධාන ලේවා තුනෙන් වාර්ෂිකව ලුණු මෙ.ටො. 125,000ක් නිෂ්පාදනය කරනවා. එහෙත් 2024 අවුරුද්ද පුරාම වගේ වර්ෂාව පැවතුණා. ඒ නිසා නිෂ්පාදනය කිරීමට හැකි වූයේ ලුණු මෙට්‍රික්ටොන් 40,000ක් පමණයි. ඒ අනුව ලැබී තිබුණේ බලාපොරොත්තු වූ ප්‍රමාණයෙන් තුනෙන් එකයි. ඒත් 2024 වසරේ අපට ගැටලුවක් ආවේ නැහැ. ඊට හේතුව වුණේ ඊට පෙර වසරේ එනම් 2023 වසරේ නිෂ්පාදනය කළ මෙට්‍රික්ටොන් 60,000ක පමණ ලුණු සංචිතයක් අප සතුව තිබුණු නිසයි. ඒ අනුව 2024 වසරේ මෙට්‍රික්ටොන් ලක්ෂයක් අප සතුව තිබුණා. අප ඒ ප්‍රමාණය කළමනාකරණය කරගෙන ඉදිරියට ආවා. එහෙත් ඉදිරියෙදී ඇති විය හැකි තත්ත්වය පුරෝකථනය කරලා ලුණු අවශ්‍යතාව සාමාන්‍ය මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා රටේ විවිධ නිෂ්පාදනවල අවශ්‍යතාවත් සලකා බලමින් අප ඉන්දියාවෙන් ලුණු ප්‍රමාණයක් මෙරටට ඇණවුම් කළා. ඒ අවස්ථාවේ අප ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් මෙරටට රැගෙන ආවා. ඉන් මෙටො. 8,500ක් අපටත් ලැබුණා. ඒ මොහොතේ අපේ අපේක්ෂාව වුණේ මේ වසරේ මාර්තුව වන විට අපේ නිෂ්පාදන ආරම්භ කළ හැකියි කියලයි. එහෙත් යල කන්නයේ අස්වැන්න අපට අහිමි වුණා. ඒ, ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා එක දිගට වර්ෂාව ඇදවැටුණ නිසයි.
ජනවාරියේ මි.මී. 160ක් වැස්සා; පෙබරවාරියේ මි.මී. 88ක් වැස්සා; මාර්තුවේ මි.මී. 124ක් වැස්සා; අප්‍රේලයේ මි.මී. 139ක් වැස්සා. මේ විදිහට අප බලාපොරොත්තු නොවූ තත්ත්වයක් උද්ගත වුණා. ඒ නිසා මේ යල කන්නයේ ලුණු නිෂ්පාදනයක් කරගන්න බැරි වුණා. මේ නිසා කිසියම් සුළු ප්‍රමාණයක හිඟයක් මතු වුණා. එය ඔය මාධ්‍යවලින් ප්‍රචාරය කරන මට්ටමේ මහ හිඟයක් නෙමෙයි. අදත් ඕනෑම කඩයකට ගියොත් ගන්න ලුණු තියෙනවා. එහෙම නැති කඩ එකක් දෙකක් ඇති. ඒ නැති එක දෙක පෙන්නලා මුළු රටේම ලුණු හිඟයක් ඇති බව ප්‍රචාරය කරනවා. මේ අය මේ ආකාරයට ප්‍රචාරය කළාම ලුණු තියෙන කඩවලින් මිනිස්සු වැඩිපුර ලුණු මිල දී ගන්න පෙලඹෙනවා. එතුළින් වෙළෙඳපොළ තුළ ව්‍යාජ හිඟයක් නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් ගෙදරකට මාසයකට මේස ලුණු ග්‍රෑම් 400 පැකට් දෙකක් සෑහෙනවා. ඒත් මේ වගේ ලුණු හිඟයක් පිළිබඳ අනවශ්‍ය ප්‍රචාරණයක් දුන්නාම සාමාන්‍ය මිනිස්සු වුණත් අමතරව ලුණු පැකට් 10ක් 15ක් ගෙදර අරන් යනවා. වත්කමක් තියෙන අය පැකට් 20-30 ගෙදර අරන් යනවා. එහෙම වුණාම වෙළෙඳපොළේ මාස තුන හතරකට තියෙන ලුණු ඉක්මනින් විකිණී අවසන් වනවා. එහෙම වුණාම ලුණු හිඟයක් මතු වනවා. මේ නිසා ඇත්ත අවශ්‍යතාව මත ලුණු මිල දී ගන්න යන අයට වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති බව හැඟෙනවා. එහෙම නොවෙන්න සාමාන්‍ය විදිහට වෙළෙඳපොළේ මිල දී ගන්න මේස ලුණු තියෙන්න ඕනෑ.
එහෙත් යල කන්නයේ අස්වැන්න නොලැබීමත් එක්ක අපි නැවතත් ඉන්දියාවෙන් ලුණු මෙටො. 30,000ක් ඇණවුම් කර තිබෙනවා. ලංකා ලුණු සමාගමට ලුණු මෙටො. 10,000යි; කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික ලුණු සමාගමට ලුණු මෙටො. 20,000යි. පසුගිය දිනවල ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වූ යුදමය තත්ත්වය මත වරායවල වෙළෙඳ නැව් ගමනාගමනය සීමා කර තිබුණා. ඒ නිසා එය කඩිනමින් අප වෙත ලැබුණේ නැහැ. එහෙත් දැන් ඒ තත්ත්වය කිසියම් දුරකට පහ වෙමින් ඇති නිසා නැවතත් වෙළෙඳ නැව් පැමිණෙමින් තිබෙනවා. ලබන සඳුදා වන විට ජාතික ලුණු සමාගම ඇණවුම් කළ ලුණු මෙටො. 20,000 ලැබෙනවා. අපේ ඇණවුමත් තව සතියකින් දෙකකින් ලැබෙනවා. ඒ නිසා, කිසියම් ලුණු හිඟයක් මතු වී තිබෙනවා නම්, ලබන සතිය අග වන විට ඒ තත්ත්වයත් මුළුමනින්ම පහව යාවි කියන විශ්වාසය අපට තිබෙනවා.
අනවශ්‍ය ප්‍රචාරණය මඟින් කෘත්‍රිමව ලුණු හිඟයක් ඇති කර, ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කිසියම් පිරිසක් විසින් සැලසුම් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා වෙළෙඳපොළෙන් අනවශ්‍ය ලෙස ලුණු මිල දී ගෙන ගොඩගසාගැනීම නතර කරන්න කියන කාරණය මෙහිදී මතක් කරන්න ඕනෑ. රටට අවශ්‍ය ලුණු හිඟයකින් තොරව වෙළෙඳපොළේ තිබෙනවා. ඒ ගැන සැක සංකා ඇති කරගන්න එපා. මේ වන විටත් අප සතොස මගින් ජනතාවට අවශ්‍ය ලුණු හිඟයකින් තොරව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. දිනපතා ලුණු පැකට් ලක්ෂය බැඟින් සියලු සතොස වෙළෙඳසල් වෙත නිකුත් කරනවා. ඒවායින් ඕනම අයකුට පහසුවෙන් ලුණු මිල දී ගැනීමට පුළුවන්. එනිසා අනවශ්‍ය බියක් ඇති කරගෙන ලුණු වැඩිපුර රැස් කරගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. කවුරුත් සාමාන්‍ය පරිදි ලුණු මිල දී ගන්නවා නම් ලුණු හිඟයක් ඇති වන්නේ නැහැ. කැට ලුණුවල යම් හිඟයක් තියෙන්න පුළුවන්. එහෙත් ලුණු කුඩුවල කිසිම හිඟයක් නැහැ. ඒ වගේම කාලගුණික තත්ත්ව හොඳ වෙලා ඉදිරි මහ කන්නයේ අපේ අස්වැන්න සාර්ථක වුණොත් අපට පිටින් ලුණු ගෙන්වීමට අවශ්‍යතාවක් මතු වන්නෙත් නැහැ. ඒ නිසා මෙය රජයේවත් ලුණු සමාගමේවත් ගැටලුවක් නොවෙයි. 2024 සිට පවතින කාලගුණික තත්ත්වය මත සිදු වෙමින් එන තත්ත්වයක් බව කිව යුතුයි.” ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දතිලක මහතා අවධාරණය කළේය.
2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.3ක් බව පෙන්වා දී තිබේ. මේ නිසාම පාරිභෝගික ජනතාවගෙන් ලුණුවලට ඉහළ ඉල්ලුමක් පවතින බව පෙනී යයි. ලංකාවේ හම්බන්තොට, පුත්තලම, පලාවිය හා අලිමංකඩ යන ලුණු ලේවායවල ප්‍රධාන වශයෙන් ලුණු නිෂ්පාදනය කරනු ලැබේ.
වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය පුරා මෙරට ලුණු නිෂ්පාදනය ඉතා සරුවට සිදු කෙරෙන හම්බන්තොට (මහලේවාය, පලටුපාන සහ බූන්දල), පලාවිය, පුත්තලම සහ අලිමංකඩ යන ප්‍රදේශවල ලුණු නිෂ්පාදනය ඉතා පහළ මට්ටමකට පැමිණ තිබිණි. මේ තත්ත්වය මත ලුණු හිඟය තවදුරටත් උග්‍ර වනු ඇති බවට ජනතාව තුළ භීතියක් මැවීමට කලක පටන් ඇතැමුන් ගන්නා උත්සාහයක් අපි දුටුවෙමු. “මීළඟට එන්න තියෙන අලුත්ම පෝලිම තමයි ලුණු පෝලිම” යනුවෙන් දේශපාලන අරමුණු මත හෝ වෙනත් අරමුණු අරබයා කටකතා රැසක් පසුගිය කාලය පුරා පැතිර තිබිණි. අමාරු අවස්ථාවලදී “ලුණුයි බතුයි තමයි කන්න වෙන්නෙ” කියා කටවහරේ නිතර කියවෙන කතාව මුල් කරගනිමින්, තවදුරටත් ලුණු හිඟය උග්‍ර වුව හොත් ඉදිරියේදී එයත් අහිමි වන තත්ත්වයක් උදා වෙතියි කියා කරුණු දැන හෝ නොදැන ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් තම අදහස් පළ කරන්නට වූ බවද අපට මතකය. මේ වන විට නැවත කරළියට පැමිණ තිබෙන්නේද ඒ මාලා නාටකයේ තවත් දිගහැරුමක් බව මේ තත්ත්වය දෙස මධ්‍යස්ථව හා අපක්ෂපාතීව බලන ජනතාවගේ අදහස වී තිබේ.