මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විදෙස් රටවල පවත්වන ලද ආගමික හා සංස්කෘතික උත්සව අතරින් මුල් තැනක් ගත්තේ ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නගරයේ ග්‍රේට් ස්තූපය අසල පවත්වන ලද වෙසක් උත්සව මාලාවය. ශ්‍රී ලංකාවෙන් ගොස් පදිංචිව සිටින සුළු බෞද්ධයන් පිරිසක් හැරෙන්නට, එහි පූර්ණකාලීනව දිවි ගෙවන බෞද්ධයෝ නොවෙති.
එසේ වුවත් පසුගිය වසරේ ජූනි මසදී බෙන්ඩිගෝ ග්‍රේට් ස්තූපය අසල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කරන්නේ බුදු දහම එරට ජනතාවටද ළං කරලමිනි. එහි ප්‍රතිඵල ලැබෙන්න ගත වූයේ වසරකටත් අඩු කාලයකි. බෙන්ඩිගෝහි රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළත් බෝධිධම්ම විහාරයේ පළමු වෙසක් උලෙළ පසුගියදා පවත්වන ලදි. එහිදී තත් ප්‍රදේශයේ සියලු සිංහල බෞද්ධ ජනතාව විසින් වෙසක් සැරසිලි, වෙසක් පහන් කූඩු ආදිය මගින් එහි චාම් එහෙත් අලංකාරවත් වෙසක් උත්සවයක් පවත්වන ලදි. ඊට සමගාමිව ග්‍රේට් ස්තූපය අසල අලංකාර සංස්කෘතික අංග රැසකින් සමන්විත ප්‍රසංගයක්ද පවත්වන ලදි. මෙහි විශේෂත්වය වූයේ ග්‍රේට් ස්තූපය වර්ණවත් ලෙස ආලෝකවත් කිරීම උදෙසා සන්දර්ශන පැවැත්වීමයි. එහිදී මල්වෙඩි ආදිය යොදා ගනිමින් විනාඩි 10කට අධික කාලයක් සුවිශේෂ සන්දර්ශන මාලාවක්ද පැවැත්විණි.
ග්‍රේට් ස්තූපය ටිබෙට් ජාතික ලාමාවරුන් යටතේ පැවතුණත් එය සමස්ත බෞද්ධ ජනතාවගේ ආගමික කටයුතු සඳහා විවෘතව ඇතිවා මෙන්ම සියලු ජාතීන්ට නැරඹීමට හා ඊට ගෞරව දැක්වීමට අවකාශ සලසා ඇත. බෞද්ධ ආගම හා සම්බන්ධයක් ඇති සියලු ජාතීන්ට අයත් සංස්කෘතිකාංග රැසකින් සමන්විත සංස්කෘතික උත්සවයක්ද එම ස්තූපය අසලම පවත්වන ලද්දේ එනිසාය. ඒ සඳහා චීන, වියට්නාම ඇතුළු විවිධ සංස්කෘතික සංගම් විසින් ඉදිරිපත් කළ විවිධාකාරයේ බෞද්ධ ආගමික හා සංස්කෘතික සන්දර්ශන පවත්වන ලදි.
මේ බෞද්ධ හා සංස්කෘතික සන්දර්ශන සියල්ල අවසානයේ මියන්මාර බෞද්ධ භික්ෂූන් විසින් රාක්ෂයකු නැත හොත් යක්ෂයකුගේ හැඩය ගත් අයකුගේ රුවක් ගිනි තබන ලදි. එයින් අදහස් කරන ලැබුවේ සියලු අගතිගාමි දෑ එසේත් නැති නම් යහපත් දිවියකට බාධා පමුණුවන යක්ෂයන් විනාශ කරදැමීමය; තවත් අර්ථයකින් දක්වන්නේ නම්: නිවනට බාධා පමුණුවන සියලු බාධක විනාශ කරදැමීමය.
බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට මෙන්ම එම රටවල ජනතාවටද බුදු දහමේ හරය පිළිබඳ දැනුම්වත් කීරීමට වෙසක් පින්කම් වැනි ආගමික කටයුතු ඉවහල් වන බව මෙයින් පැහැදිලිව පෙනේ.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට බෞද්ධ විහාරස්ථාන 20ක් පමණ ස්ථාපිත අතර, ඒ හරහා බෞද්ධයන්ට පමණක් නොව සමස්ත ලෝකවාසීන්ටම සැලසෙන සෙතද සුළුපටු නොවේ. මෙවර වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් එරට සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජා පවත්වන ලදි. සියලු විහාරස්ථානවල සීල සමාදාන මෙන්ම දන්සල්, බොදු බැති ගී, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන ඇතුළු පින්කම් සිදු කෙරිණි.