ෆෝබ්ස් සඟරාව විසින් පළ කරන ලද ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ටයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තිදෙනකුගේ නම්ද ඇතුළත්ව තිබේ. ඒ, අද වන විට ‘වයිල්ඩ් කුක්බුක්’ නාළිකාවෙන් යූටියුබ් අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමි කරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියකු වන චරිත් එන්. සිල්වා, යානිකා අමරසේකර සහ නිකින් මාතරආරච්චි යන තිදෙනායි.
අමෙරිකාවේ සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන forbes විසින් ආසියා ශාන්තිකර කලාපය පුරා තරුණ ව්‍යවසායකයන්, කලාකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල නියුතු වූවන් අගයමින් වසරක් පාසා forbes 30 under 30 Asia ලැයිස්තුව නිකුත් කරනු ලබයි.
එලෙස කාණ්ඩ කිහිපයක් යටතේ ෆෝබ්ස් සඟරාව ආසියාවේ වයස අවුරුදු 30ට අඩු විශිෂ්ටයන් 30 දෙනා තෝරාගනු ලබන අතර, 29 හැවිරිදි චරිත් එන්. සිල්වා ‘ආර්ට්ස්’ කාණ්ඩයෙන් සහ 29 හැවිරිදි යානිකා අමරසේකර ‘රිටේල් ඇන්ඩ් ඊ-කොමර්ස්’ කාණ්ඩයෙන් විශිෂ්ටයන් 30 දෙනා අතරට තේරී ඇත. එසේම 25 හැවිරිදි නිකින් මාතරආරච්චි ‘සමාජ මාධ්‍ය, අලෙවිකරණය හා දැන්වීම් ප්‍රචාරණය’ කාණ්ඩයෙන් ෆෝබ්ස් සඟරාවේ විශිෂ්ටයන් 30 දෙනා අතරට තේරී පත් වූහ.
‘වයිල්ඩ් කුක්බුක්’ යූටියුබ් නාළිකාවේ නිර්මාතෘ චරිත් තේරී පත්ව ඇත්තේ The Arts (Arts & style food & Drink) කාණ්ඩය යටතේ ආසියාවේ සිටින තරුණ ව්‍යවසායකයන් 30 දෙනා අතරටය. සූපවේදි කලාව හරහා සමාජ මාධ්‍ය තුළද සුවිශේෂ සන්ධිස්ථානයක් සටහන් කිරීමට සමත් වූ චරිත් එන්. සිල්වා මෙරට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රසිද්ධියක් උසුලන ‘වයිල්ඩ් කුක්බුක්’ නාළිකාවේ නිර්මාතෘවරයාය. වයිල්ඩ් කුක්බුක් යූටියුබ් නාළිකාවට මේ වන විට පරිශීලකයන් මිලියන 10ක් සිටින අතර, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පරිශීලකයෝ ලක්ෂ 23කට වඩා සිටිති. මෙය ශ්‍රී ලාංකික යූටියුබ් නාළිකාවක් එම ඉලක්කය පසු කර ගිය ප්‍රථම අවස්ථාවද වේ. ශ්‍රී ලංකාවේ Diamond Play Button එක හිමි කරගැනීමටද ඔහුට හැකි විය. 2020 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම යූටියුබ් නාළිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත. චරිත්ගේ සුවිශේෂ ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානතම හේතුවක් විය. එමෙන්ම ජනප්‍රිය wildish අවන්හලේ හිමිකරු වන්නේද ඔහුයි.
මේ අතර යානිකා අමරසේකර ‘රිටේල් ඇන්ඩ් ඊ-කොමර්ස්’ අංශයෙන් 2025 forbes 30 under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබේ. ඇය මෙරට සිල්වර් අයිල් වෙබ් අඩවියේ නිර්මාතෘවරිය වේ. තෑගි ලබා දීමේ සංකල්පය අලුත් කරමින් 2019 වසරේදී හඳුන්වා දුන් සිල්වර් අයිල් වෙබ් අඩවිය විවාහ ගිවිසගත් යුවළකට ජීවිතය ඉදිරියට ගෙනයෑම සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව මෙයයි. එමඟින් දේශීය සහ විදේශීය සියලු දේවල් තෝරාගැනීමට අවස්ථාවක් සලසා දුන්නේය. එහිදී විවාහ යුවළට සුබ පතන්නන්ට යුවළට අවශ්‍ය දේ තෑගි ලෙස ලබා දීමට අවස්ථාවක්ද හිමි වූවේය. ජීවිතයේ සියලු අවස්ථා සඳහා තෑගි වෙන් කිරීම හා බෙදාහැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයන් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම ආදි විවිධ අංශ යටතේ සේවා සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට මෙය පත්ව තිබේ. යානිකා අමරසේකර ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනවලින් එකක් වන එල්.බී. ෆිනෑන්ස් සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙසද කටයුතු කරයි. ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමි කරගෙන ඇත.
Forbes 30 under 30 ආසියානු විශිෂ්ටයන් අතරට එක් වූ අනෙක් ශ්‍රී ලාංකිකයා වන්නේ අලෙවිකරණ හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන නිකින් මාතරආරච්චිය. දන්ත විද්‍යාඥයකු මෙන්ම ශ්‍රී ලංකාව පදනම් කරගත් සිනැප්ස් ඒඅයි ලැබ්ස් සමාගමේ නිර්මාතෘවරයා වන ඔහු 2021 එම සමාගම ආරම්භ කළේය. AI සහ අලෙවිකරණ තාක්ෂණයේ නැඟී එන බලවේගයක් ලෙස ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමි කර දීමට නිකින්ගේ දැනුම උපකාරි වී ඇත. මේ වන විට නිකින් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පශ්චාද් උපාධිය සම්පූර්ණ කරමින් සිටී.
ෆෝබ්ස් සඟරාවේ ආසියාවේ වයස අවුරුදු 30ට අඩු විශිෂ්ටයන් 30 දෙනා කාණ්ඩ 10ක් යටතේ තෝරාගන්නා අතර, එක් කාණ්ඩයකට විශිෂ්ටයෝ 30 දෙනක් සිටිති. ෆෝබ්ස් සඟරාවේ ආසියාවේ වයස අවුරුදු 30ට අඩු විශිෂ්ටයන් 30 දෙනා වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන අතර මෙවර එම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කරනු ලබන්නේ 10 වැනි වතාවටය.