කිසිදු යුද්ධයක සැබෑ ජයග්‍රාහකයෙක් නැත. මෙය ගැඹුරු සත්‍යයකි. යුද්ධයකදී සියලු පාර්ශ්ව අන්‍යෝන්‍ය වශයෙන් තමන්ටම විශාල හානියක් කරගනිමින් යුද්ධය අවසන් වනු ඇත. වර්තමාන රුසියානු සහ යුක්‍රේන යුද්ධයද අවසන් වනු ඇත්තේ එලෙසටමය. ජයග්‍රාහකයා ලෙස කවරකු ප්‍රකාශයට පත් වුවද දෙපාර්ශ්වයම අත් කරගත් විනාශය සුළු පටු නොවේ.
අමෙරිකානු තීරුබදු යුද්ධය අවසන් වනු ඇත්තේද මෙලෙසමය. සියලු ගෝලීය පාර්ශ්වකරුවෝ අවසාන නිගමනයේදී පරාජිතයෝය. තීරුබදු යුද්ධයේ පුරෝගාමියා වූ අමෙරිකා එක්සත් ජනපදය දැනටමත් 2025 පළමු වැනි කාර්තුව සඳහා 0.3%කින් ආර්ථික අවධමනයක් (economic recession) වාර්තා කර ඇත. මේ තීරුබදු යුද්ධයේ ප්‍රබල විරුද්ධ පාර්ශ්වික සටන්කරුවෙක් වන්නේ චීනයයි. චීනයේ අභ්‍යන්තර පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 38%ක් පමණ වන අතර, අභ්‍යන්තර වශයෙන් චීන පරිභෝජන වෙළෙඳපොළ ප්‍රසාරණය වීමේ ඉඩකඩ මේ හෙයින් අඩු නිසාත්, සෙසු සියලු රටවල විදේශ භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව අඩු වන නිසාත්, චීනයට ප්‍රබල ජයග්‍රාහකයකු වශයෙන් මතු වීමට ඇති ඉඩකඩ පැහැදිලිවම අඩුය. එබැවින් මේ තීරුබදු යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් අවසන් කරගැනීම ලෝකවාසීන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
මේ සඳහා ලෝක සමුළුවක් කැඳවිය හැකිය. ඒ සඳහා අමෙරිකාව හෝ යුරෝපය හෝ චීනය පෙරමුණ ගත යුතුය. මේ සමුළුව තුළ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ අන්තර්ජාතික වෙළෙඳාම සම්බන්ධ ප්‍රමාණාත්මක අවබෝධයක් සහිත පුද්ගලයන්ගේ මත ඉහළින් සාකච්ඡා කරනු ඇත. එබැවින් එවැනි සමුළුවක් තුළ විදේශ වෙළෙඳාම සම්බන්ධ කාරණාව පමණක් නොව දියුණු ආර්ථිකයන්ගේ සිදු වන ණය ගැටලුව ගැනද එක විට සාකච්ඡා කරනු ඇත. මේ සමුළුව මතවාද පිළිබඳ සංග්‍රාමයක් වනු ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙවැනි ලෝක සමුළුවක් අමෙරිකාවේ බ්‍රෙරටන්වුඩ් නගරයේ පවත්වා තිබිණි. ලෝක යුද්ධයෙන් පසු ලෝක ආර්ථිකයේ දිශානතිය ප්‍රධාන වශයෙන් තීරණය කරනු ලැබුවේ මේ නගරයේදී ඇති කරගත් ගිවිසුම්වලට අනුකූලවය.
තීරුබදු යුද්ධය ආරම්භ වූයේද ආර්ථික විද්‍යාත්මකව නිවැරදි නොවන මතවාදයක් ඔස්සේයි. මෙහිදී අමෙරිකානු සමාජය කෙරෙන් පක්ෂව සහ විපක්ෂව ප්‍රකාශ කරන මතවාද ආර්ථික විද්‍යාත්මක වශයෙන්ම නිවැරදි නොවේ.
දැනට ඇති ආකාරයට තීරුබදු පැනවීමට පක්ෂ ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ ඉතා විශාල වෙළෙඳ ශේෂ හිඟය අමෙරිකානු ආර්ථිකය විනාශ කරන බවයි (The trade deficit of 1.2 trillion dollars is killing our economy). මෙවැනි වෙළෙඳ ශේෂ හිඟයක් ෆෙඩරල් ආණ්ඩුවේ ණය වැඩි කරන බැවින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවකට (Internal Revenue Service) අමතරව, බාහිර ආදායම් දෙපාර්තමේන්තුවක් (External Revenue Service) ඇති කර තීරු බදු ආදායම මඟින් රජයේ ණය බර අඩු කරගැනීමට හැකි බවත්, එවිට මහජනයා මත පනවන බදු අඩු කරගත හැකි බවත් එක්සත් ජනපද රජයේ අදහසයි. කාරණා කීපයක් නිසාම මේ මතය නිවැරදි නොවේ. ඒ ගැන ඉදිරියට සාකච්ඡා කරමු.
ඉහත මතවාදයේ ප්‍රධාන විරුද්ධවාදියා ලෙස එක්සත් ජනපද සහ ලෝක මාධ්‍ය තුළ මතු වී ඇත්තේ මහාචාර්ය ජෙෆ්රි සැක්ස් (Jeffrey Sachs) නම් ආර්ථික විද්‍යාඥයායි. ඔහු කියා සිටින්නේ අධික වෙළෙඳ ශේෂ හිඟයෙන් පෙන්නුම් කරන්නේ අන්තර්ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ අඩුපාඩුවකට වඩා අමෙරිකානු සමාජයේ වියදම් කිරීමේ ස්වභාවයයි. එනම්: නිෂ්පාදනය කරනවාට වඩා වියදම් කරන බවයි; මේ සඳහා එක්සත් ජනපදයට විශාල ක්‍රෙඩිට් කාඩ්පතක් ඇති බවත්, එය ෆෙඩරල් ආණ්ඩුව බවත්ය. ඔහු කියා සිටින්නේ රජයේ ණය මඟින් වෙළෙඳ හිඟය නිර්මාණය වන බවයි. මේ මතය සාවද්‍ය වන අතර, ගැටලුව විසඳා ගැනීමට ඉඩකඩක් විවෘත කර දෙන්නක් නොවේ.
එබැවින් වර්තමාන අර්බුදයේ ප්‍රධාන ගැටලුව වන්නේ නිවැරදි නොවන මතවාදයක් ඔස්සේ ඇති වූ තීරුබදු යුද්ධය, වැරදි විකල්ප මතවාදයක් ඔස්සේ ජයග්‍රහණය කළ නොහැකි වීමයි.
පළමුවෙන්ම මහාචාර්ය ජෙෆ්රි සැක්ස්ගේ අදහස විමසා බලමු. එක්සත් ජනපදයේ ණය අර්බුදය සත්‍යයකි. දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව රජයේ ණය අනුපාතය (Govt. Debt to GDP ratio) 120%කි. ජෙෆ්රි සැක්ස් ප්‍රකාශ කර සිටින්නේ රජයේ මේ ණය සහිත වියදම් නිසා වෙළෙඳ හිඟයක් නිර්මාණය වන බවත්, රජයේ වියදම් ආදායමට සරිලන පරිදි කළමනාකරණය කරගැනීමෙන් වෙළෙඳ ශේෂ හිඟය අඩු කරගත හැකි බවත්ය. මෙය වැරදි මතයකි.
වෙළෙඳ ශේෂ හිඟය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් නොනැවතී, ඉතා විශාල වෙළෙඳ වාසියක් එක දිගට වාර්තා කරන දියුණු රටවල් තිබේ. මහාචාර්ය ජෙෆ්රි සැක්ස්ගේ මතයට අනුව, ඒ රටවල මධ්‍යම රජය ණය බරින් මිදී සිටිය යුතුය. එසේ වන්නේ නැත. එයට හොඳම උදාහරණය ජපානයයි. ජපානයේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය අනුපාතය 235%කි. අමෙරිකානු එක්සත් ජනපදයේ ඒ අගය 120%කි. ජපාන රජයට අමෙරිකාවටත් වඩා විශාල ක්‍රෙඩිට් කාඩ් පතක් තිබුණාට වෙළෙඳ හිඟයක් නැත. ජෙෆ්රි සැක්ස්ගේ මතය නිවැරදි නොවන්නේ මේ නිසයි.
එක්සත් ජනපද රජයේ මතයද ඒ සමඟ බිඳී යයි. විදේශ වෙළෙඳාමේ වෙළෙඳ අවාසිය නිසා රජය ණය වන බවත්, තීරුබදු මඟින් අවාසිය ශුන්‍ය කිරීම මඟින් මධ්‍යම රජයට ණය නොවී සිටීමට හැකිය යන්න මිථ්‍යාවක් බවත් ජපානය විසින් ඔප්පු කර ඇත. ඒ සමඟම රජය නොවනවානම් පාරිභෝගික අංශය සහ ව්‍යවසායක අංශය විශාල ලෙස ණය විය යුතු බවට චීනය සාක්ෂි දරයි. චීනයේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව මුළු ණය අනුපාතය සියයට දෙසීය හැත්තෑව ඉක්මවා ඇත (Total debt to GDP ratio is 270%). මේ සංඛ්‍යාව සම්බන්ධයෙන් චීනය අමෙරිකාවද ඉක්මවා ගොස් ඇත.
මෙයින් පෙනී යන්නේ ගෝලීය වශයෙන් පවතින ආර්ථික විද්‍යාත්මක මතවාදයන්වල ප්‍රායෝගික සහ න්‍යායාත්මක අඩුපාඩුකම් බහුල බවයි. මේ අඩුපාඩුකම් යම් යම් රාජ්‍ය ප්‍රතිපත්තිවලට කාවදින නිසා ගෝලීය වශයෙන් භෞතිකව පවතින නිෂ්පාදන හැකියා ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ලෝක පුරවැසියන් දුකට පත්ව ඇති බවක් පෙනී යයි.
එබැවින් මේ තීරුබදු යුද්ධය විසඳීම සඳහා යෝජනා කර සිටින්නේ ඉහත කිවූ පරිදි අන්තර්ජාතික සමුළුවක් කැඳවා මතවාදීමය වශයෙන්ම පොදු එකඟතාවකට පැමිණිය යුතු බවයි. එවැනි එකඟතාවකදී සියලු රටවල් ජයග්‍රාහකයන් බවට පත් කිරීමට හැකි වන අතර, පොදු නීතිරීති පදනම් කරගත් අන්තර්ජාතික වෙළෙඳ ව්‍යූහයක් බිහි කරගැනීමේ හැකියාවක් ඇති වනු ඇත. එයින් අදහස් වන්නේ තීරුබද්දෙන් නිදහස් වෙළෙඳ ව්‍යූහයක් නොව, යම් අවම තීරු බදු ප්‍රතිශතයක් සහිතව අන්තර්ජාතික වශයෙන් වෙළෙඳාම් කිරීමේ ව්‍යූහයක් විය හැකිය. අවම තීරුබදු ප්‍රතිශතය ස්වාධීන රාජ්‍යයන්ගේ මධ්‍යම රජයේ ණය අඩු කිරීමේ ප්‍රතිපත්තිමය උපකරණයක් වනු ඇත. උදාහරණයක් වශයෙන් අමෙරිකානු එක්සත් ජනපදයට 10%ක් හෝ 15%ක් වශයෙන් වන තීරුබද්දක් පනවා, එමඟින් එකතු කරගත් ආදායමෙන් ෆෙඩරල් රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමට යොදාගත හැකියි. එසේ වූ විට අන්තර්ජාතික වෙළෙඳාමට නිශ්චිත රාමුවක් සැකසී ගෝලීය ආර්ථිකය ස්ථාවර වනු ඇත. එපමණකින් නොනැවතී, ඉහත කියූ සමුළුව විමසා බැලිය යුත්තේ ඉතා දියුණු ආර්ථිකයන් ණයබර වැඩි වීමේ අවදානම ඉවත් කිරීම සඳහා විසඳුම් සොයාගැනීමටය. ණය බර වැඩි වීමක් ඇති වන්නේ වෙළෙඳ ශේෂ හිඟය නිසා නොවන බව ජපානය හොඳාකාරවම පෙන්වා දී ඇත. එක්සත් ජදපදයට ඒ ගැන තමන් විසින්ම අත්හදා බැලීමට ගන්නා උත්සාහයකදී ලෝක ආර්ථිකයන් දිගුකාලීන ආර්ථික අවපාතයක් බවට පත් කර, මිල අධික පර්යේෂණයක් කිරීමේ අවශ්‍යතාවක් නැත.
මෑතකදී කරනු ලැබූ ආර්ථික විද්‍යා පර්යේෂණයකට අනුව සියලු ආර්ථික පද්ධතීන් තුළ, සැපයුම සහ ඉල්ලුම තුලිත කරනු ලබන්නේ ගෙවීමට බැරි ණය කොටසක් ඇති කරමින් බව පෙන්වා දී ඇත. මෙය සත්‍යයක් නම් කිසිදු දියුණු රාජ්‍යයකට ණය අර්බුදයකට ගමන් නොකොට ආර්ථික වර්ධනයක් ඇති කරගත නොහැකිය.
එබැවින් ඉහත කියූ ලෝක සමුළුවෙන් අවධානය යොමු කළ යුත්තේ අන්තර්ජාතික තීරුබදු ප්‍රතිපත්ති සකස් කිරීමේ සහ තීරුබදු ප්‍රතිපත්තිය හරහා මධ්‍යම රජයන්වල අයවැය හිඟයන්ට සහන සැලසීම පමණක් නොව, සමස්ත පද්ධතිය මඟින් ණය බර ඇති වීම වළක්වා ගැනීමේ ප්‍රතිපත්තිමය විසඳුම් සෙවීමටත්ය. ලෝකවාසී සියලු දෙනා ජයග්‍රාහි මාවතකට අවතීර්ණ වන්නේ එවිටය.