“සෞදි අරාබියා විෂන් 2030” යනු ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් වැඩි දියුණු කරන ලද විචිත්‍රවත් සමාජයක්, සමෘද්ධිමත් ආර්ථිකයක් හා අභිලාෂගාමී ජාතියක් තුළින් සෞදි අරාබියේ ඉහළ ආර්ථික සංවර්ධනය උදෙසා වර්ෂ 2030 දී ළගාවන ඉලක්කයයි. එම ඉලක්කය වෙනුවෙන් රට තුළ සිදුකෙරෙන විශාල සංවර්ධනයේදී රැකියා අවස්ථා දහස් ගණනක් බිහි වේ. එම රැකියා අවස්ථා විදේශ ශ්‍රමිකයින් වෙතද ලබාදීමට සෞදි රජය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, සෞඛ්‍ය සේවා සහ මූල්‍ය හා තාක්ෂණික යන ප්‍රධාන ක්ෂේත්‍රවල වෘත්තිය රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඔවුහු කටයුතු කිරීමට නියමිතය.
සෞදි අරාබියා විෂන් 2030 (Saudi Arabia’s Vision 2030) වැඩසටහනට පූර්වගාමීව පසුගියදා සිදු කෙරුණු රැකියා ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විශේෂ දූත පිරිසක්ද සහභාගි විය. එහිදී ශ්‍රි ලාංකික වෘත්තිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සෞදි අරාබි ආයතනවල නියෝජිතයින් සමඟ සාකච්ඡාවලද නිරත විය.
එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින්
“ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ රැකියා අවශ්‍යතාවයන් වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ දූත කණ්ඩායමක් මේ දිනවල සෞදි අරාබියේ සංචාරයක නිරත වෙනවා. එහි පළමු වැඩසටහන පසුගියදා (මැයි මස 11) වැනිදා ආරම්භ වුණා. අපි මෙම සංචාරයට පෙර සෞදි අරාබියේ වෘත්තීය රැකියා කිරීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව සමීක්ෂණයක් සිදුකළා. ඒ අනුව අපිට ඉංජිනේරුවරුන්, ප්‍රමාණ සමීක්ෂණ නිළධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි වෘත්තීයවේදීන් 6000 ක පමණ ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකිවුණා. අපි මේ පිළිබඳව රියාද්හිදී පැවති සාකච්ඡාවලදී සඳහන් කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් සමඟ පුද්ගලික විදේශ රැකියා නියෝජිතායතන 15 ක සාමාජිකයින් සහභාගි වුණා.
සෞදි ආරාබියේ ආයතන විශාල ප්‍රමාණයක් අපි සමඟ ඔවුන්ට අවශ්‍ය ශ්‍රමිකයින් පිළිබඳව සාකච්ඡා කළා. ලෝකයේ දැනට පවතින රැකියා ඉල්ලුම අනුව අපිට විශාල ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව තවදුරටත් දියුණු කළ යුතු රැකියා ක්ෂේත්‍ර පිළිබඳව අපිට අවබෝධයක් ලබාගත හැකිවුණා. මෙය ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රයට හොඳ ආරම්භයක් වෙනවා. විදේශ රැකියා අවස්ථා අපි ළඟට පැමිණෙන තෙක් සිටින්නේ නැතිව ආයතනවල සංචාරය කරමින්, අදාළ රැකියා ආයතන සමඟ සාකච්ඡා කර රැකියා අවස්ථා ලබාගැනීමේ වැඩසටහනක් මේ සමඟම ආරම්භ කළා. ඊට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. තාක්ෂණික ක්ෂේත්‍රයේ වඩා දැනුම ප්‍රගුණ කළ ශ්‍රමිකයින් කණ්ඩායමක් අපිට අවශ්‍යයයි. ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීමට අපි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ගල්ෆ් කලාපයේ විශේෂ ඉල්ලුමක් තියෙනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉතාමත් සුභවාදී ආකල්ප ඔවුන් සතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මටත් පුද්ගලික අත්දැකීම් තිබෙනවා. පහුගිය වසරේ අපිට ඩොලර් බිලියන 6.5 ක ආදායමක් ලැබුණා. අපි මේ වසරේ එම ඉලක්කය ඩොලර් බිලියන 7 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා සියළු දෙනාගේම සහයෝගය සහිතව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි ප්‍රකාශ කළේය.
නෙත්මි පූජනී රත්නායක