Home » ළමයින්ගේ අසැබි ඡායාරූප අන්තර්ජාලයට දමන අයට වෙන දේ මෙන්න

ළමයින්ගේ අසැබි ඡායාරූප අන්තර්ජාලයට දමන අයට වෙන දේ මෙන්න

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– බාලවයස්කාර ළමයින්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජන ගැන පැමිණලි 161ක්
– ආනමඩුවේදී සහ රාගමදී සැකකරුවෝ දෙදෙනකුත් අත්අඩංගුවට
– මාස 25කදී සිදුවීම් ලක්ෂ 2ක් ගැන වාර්තා වෙලා

මුහුණුපොත, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින්, තරුණ යුවතියන් සහ කාන්තාවන්ට පීඩා සිදුකරන කල්ලි කණ්ඩායම් අඩු නැත. ඔවුන්ගේ අරමුණු ඇතැම් අහිංසක ළමයින්, යුවතියන්, කාන්තාවන්, අන්තර්ජාලය සමාජ මාධ්‍ය ඔස්සේ පීඩා කර අපහසුතාවට පත්කිරීමයි. මෙහි ඇතැම් විට ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඒ අයගෙන් කප්පම් ලබා ගැනීම සඳහා අසැබි ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීමයි.

මේ සම්බන්ධව විමර්ශන ගණනාවක් මේ වන විටත් ක්‍රියාත්මකය. ඒ පොලීසිය, ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සහ සීඅයිඩීයේ පරිගණක අපරාධ විමර්ශන නිලධාරින් විසිනි. ඇතැම් පැමිණිලි ගණනාවක් සම්බන්ධ අධිකරණ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතීම ද සුවිශේෂීය.

මේ අතරිනුත් ළමයින් සම්බන්ධ පැමිණිලි ගණනාවක් ද ඉහත කී විමර්ශන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. ළමයින් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේ සිදුවීම් ගණනාවක් ගැනද විමර්ශන සිදුවේ. මෙහි අලුත්ම සිද්ධිය පසුගියදා වාර්තා වූයේ ආනමඩුව ප්‍රදේශයෙනි.

පිරිමි ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගනිමින් ඒවා බෙදා හැරිය බව කියන පුද්ගලයකු සම්බන්ධව මේ විමර්ශන සිදු කෙරිණි. එම පුද්ගලයා මෙරට 13 හැවිරිදි පිරිමි ළමයකුගේ අසභ්‍ය ඡායාරූප ලබාගෙන ඒවා ඇසුරෙන් වීඩියෝ දර්ශන ලබා ගෙන තිබුණු බව විමර්ශනවලදී හෙළි විය.

අතුරුදන්වූ සහ සූරාකෑමට ලක්වූ දරුවන් සඳහා වන අමෙරිකානු රජයේ ජාතික මධ්‍යස්ථානය (NCMEC) ආයතන මේ පුද්ගලයා ගැන මුල් වරට තොරතුරු හෙළිකර ගෙන තිබූ අතර එම ආයතනය ඒ පිළිබඳව මෙරටට ද දන්වා තිබුණි. අදාළ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. ඒ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවය. සැකකරු එම නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් අනතුරුවය. ඒ ආනමඩුව ප්‍රදේශයේදීය.

මේ පුද්ගලයා පිළිබඳව විමර්ශන නිලධාරින් සිදුකරන ලද පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහු ආනමඩුව, ආඬිගම ප්‍රදේශයේ පදිංචි අයකු බවයි. වෘත්තියෙන් ජංගම දුරකතන අලුත්වැඩියා කරන අයෙකි. 34 හැවිරිදිය. ඔහු ජංගම දුරකතන අලුත්වැඩියා කිරීම සඳහා ආඬිගම ප්‍රදේශයේ ආයතනයක් ද පවත්වාගෙන යයි. විමර්ශන නිලධරයන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන්නේ මේ පුද්ගලයා 2022 වසරේ සිට මේ පහත් ක්‍රියාව සිදුකර ඇති බවයි.

සැකකරු අන්තර්ජාලය නිතර පරිශීලනය කළ අයෙකි. ඔහු එහි සැරිසරමින් විදේශීය ළමයින්ගේ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු වීඩියෝ දර්ශන සහ ඡායාරූප කලක සිටම එක්රැස් කරගෙන සිටි අතර ඒ සමඟම ඒවා නරඹා ඇති බව විමර්ශන නිලධාරින් විසින් හෙළිකර ගන්නා ලදි. ඒ අතරදී ඔහු තවත් වැඩකට අතගැසුවේය. ඒ මෙරට 13 හැවිරිදි පිරිමි ළමයකුගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ නිෂ්පාදනය කරමින් ඒවා සන්තකයේ තබා ගැනීමයි. සැකකරුට වැඩ වරදින්නේ ඒ අනුවය.

ආනමඩුව, ආඬිගම පදිංචි 34 හැවිරිදි සැකකරු එලෙස පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී පොලිස් ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් මෙවැනිම තවත් පුද්ගලයකු ගැන තොරතුරු හෙළිකරගෙන ඔහු ද අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ රාගම ප්‍රදේශයේදීය. එම සැකකරු ද ළමයින්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ සහ ඡායාරූප මුහුණුපොත ඔස්සේ සූක්ෂ්මව බෙදාහැර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ රාගම කැන්දලියද්දපාළුව ප්‍රදේශයේදීය. ඔහු 20 හැවිරිදි අයෙකි.

මේ පුද්ගලයා සන්තකයේ තිබුණ අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකතනයක් ද සොයා ගැනීමට විමර්ශන නිලධාරින්ට හැකි විය. මේ පුද්ගලයා ගැන සම්බන්ධ තොරතුරු වාර්තාවක් ද මෙරටට යොමුකර තිබුණේ අතුරුදන්වූ සහ සූරාකෑමට ලක්වූ දරුවන් සඳහා වන අමෙරිකානු රජයේ ජාතික මධ්‍යස්ථානය (NCMEC) විසිනි. ඒ අනුව මේ පුද්ගලයා සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ සැකකරුගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ද ලබා ගනිමිනි. එලෙස සිදුකරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගැනිණි.

2023 ජනවාරි මාසයේ 01 සිට 2025 මාර්තු මාසයේ 30 දක්වා ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඡායාරූප සමාජ මාධ්‍යයට, අන්තර්ජාලයට යොමුකිරීමේ සිදුවීම් ලක්ෂ 2ක් පමණ වාර්තා වී තිබීම ද කනගාටුවට කරුණකි. පොලිස් ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මේ සම්බන්ධ පැමිණිලි ගණනාවක් පිළිබඳව ද මේ වන විට විමර්ශන ආරම්භ කර තිබීම ද සුවිශේෂීය. ඒ පිළිබඳව බොහෝ තොරතුරු මෙරටට ලබාදී ඇත්තේ ද අතුරුදන්වූ සහ සූරාකෑමට ලක්වූ දරුවන් සඳහා වන අමෙරිකානු රජයේ ජාතික මධ්‍යස්ථානය (NCMEC) විසිනි.

මීට අදාළ පැමිණිලි 15ක් පමණ මේ වන විට විසඳා ඇති අතර සෙසු පැමිණිලි මේ වන විටත් විමර්ශනයට ලක්වී තිබීම සුවිශේෂීය.

එමෙන්ම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන, එකතු කරන, අන්තර්ජාලයට මුදාහරින, මිතුරන් අතරේ බෙදාහරින පුද්ගලයන් සම්බන්ධ දීර්ඝ ලෙස විමර්ශනය කර එම පුද්ගලයන් සහ ඔවුන්ගේ කටයුතු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් නිවෙස්වලටම ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

ජාතික ළමා ආරක්ෂ අධිකාරියට ගිය වසරේ (2024) පැමිණිලි 8192ක් ලැබී තිබුණ අතර මේ වසරේ මුල් මාස 2ට පැමිණිලි 1401ක් ලැබී තිබුණි. බාලවයස්කාර දරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරන ලද බවට පැමිණිලි 161ක් ලැබී තිබුණ අතර ළමා විවාහ 14ක්, සිඟමන් යැදීම සඳහා ළමයින් යොදා ගැනීමේ සිදුවීම් 229ක්, ළමයින්ට ලිංගික අතවර කිරීමේ සිදුවීම් 580ක්, බරපතළ ලිංගික අපයෝජන 321ක්, ළමයින් කෲරත්වයට පත්කිරීමේ සිදුවීම් 1950ක් ලිංගික ක්‍රියාවලට ළමයින් යොදවා ගැනීමේ සිදුවීම් 25ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට මෙලෙස ලැබී තිබුණි.

2025 වසරේ අන්තර්ජාලය ඇසුරින් ළමා හිංසන 1,37,000ක් වාර්තා වී තිබුණි. ඉන් 46%ක් සිදුවී තිබුණේ අවුරුදු 10ට අඩු ළමයින්ටයි. මේ බව හෙළිකර තිබුණේ පීස් එස් පැට් ආයතනයේ නීතිඥ අමාලි රණසිංහ විසිනි. අන්තර්ජාලය ආශ්‍රිත සිදුවීම් 50,000කට ආසන්න ප්‍රමාණයක් ඇයට අනුව වාර්තා වී තිබුණ අතර ඉන් හිරිහැරයට ලක්ව සිටි පාර්ශ්වයන්ගෙන් 45%ක්ම යෞවන යෞවනියෝය.

සයිබර් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වූ ළමයින්ගේ සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බවට මේ වනවිට වාර්තා පළවී ඇත. පාසල් ළමයින් ආශ්‍රිතව සිදුකළ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව මේ බව හෙළිකර ඇත. එලෙස සයිබර් ලිංගික අඩන්තේට්ටම්වලට ළමයින් සියයට 6.9ක් ගොදුරුවී ඇති බවට මෙම සමීක්ෂණය හෙළිකර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය පසුගිය වසරේදී මේ සමීක්ෂණය සිදුකරන ලදි. වයස අවුරුදු 13 – 15 අතර ළමයින් ආශ්‍රිතව මේ සමීක්ෂණය සිදු කෙරිණි. ළමුන්ගෙන් සියයට 6.1ක් අනවශ්‍ය ලිංගික සූරාකෑම් සඳහා බලහත්කාරයෙන් යොමුකරවා ඇති බව හෙළිවූ අතර මේ අතරින් සියයට 4.7 ගැහැනු ළමයින් ලෙසත් 7.5ක් පිරිමි ළමයින් ලෙසත් හඳුනා ගැනිණි. එමෙන්ම සියයට 10.1ක් ප්‍රේම සම්බන්ධතා නිසා ප්‍රචණ්ඩත්වය අත්විඳින බවද හෙළි විය.

මේ අතර AI තාක්ෂණය යොදා ගනිමින් ගැහැනු ළමයින්ගේ නිරුවත් ඡායාරූප සකස්කර බෙදා හැරීමේ සිදුවීම් ගැනද ජාතික ළමාආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී තිබුණි. ඒ සම්බන්ධව සිදුකරන ලද සොයා බැලීමේදී අදාළ ක්‍රියාව සිදුකර ඇත්තේ අවුරුදු 13, 14, 15, 16, 17 වයස්වල පසුවන සිසුන් බවට තොරතුරු හෙළිවූ අතර අදාළ සිදුවීම්වලට සම්බන්ධ ළමුන්ගෙන් ඒ ගැන විමර්ශන නිලධාරින් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබුණේ අත්හදා බැලීම සඳහා එම ක්‍රියාව සිදුකරන ලද බවයි. එලෙස AI තාක්ෂණයෙන් නිරුවත් ඡායාරූප සකස්කර බෙදා හැරීමට සම්බන්ධ ළමයින් ඒ නුසුදුසු ක්‍රියාව සිදුකර තිබුණේ තමන්ගේ වයසේම පසුවන මිතුරියන් පිරිසකටය. මේ අය නිදහසේ කාලය ගතකරන අතරේ ඉතාම සූක්ෂ්ම ලෙස මිතුරියන්ගේ ඡායාරූප ගෙන තිබුණ බවද හෙළි විය.

මේ අතර පාසල් ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප කෘත්‍රිම බුද්ධියෙන් (AI තාක්ෂණය) යොදා සකස් කර වට්ස්ඇප් මාර්ගයෙන් මිතුරකුට යැවූ බව කියන මහනුවර පාසලක සිසුන් දෙදෙනෙක් සම්බන්ධයෙන් ද මහනුවර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශ නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබුණේ ද පසුගියදාය. අදාළ ගුරුවරිය සේවයේ නිරතව සිටිය පාසලේම සිසුන් දෙදෙනෙකු මේ නුසුදුසු ක්‍රියාව සිදුකර තිබුණි. ගුරුවරිය මේ ගැන දැනගෙන මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division