Home » සිදුහත් උපත සහතික කළ මහාචාර්ය රොබින් කොනිංහැම් ලුම්බිණියේ සිදු කළ පුරාවිද‍්‍යා කැණීම

සිදුහත් උපත සහතික කළ මහාචාර්ය රොබින් කොනිංහැම් ලුම්බිණියේ සිදු කළ පුරාවිද‍්‍යා කැණීම

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment
සිරිසමන් විජේතුංග

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූයේ පුරාණ කාලයේ දඹදිව හෙවත් ජම්බුද්වීපයේය. බුද්ධ කාලයේදී සොළොස් මහ ජනපද තිබුණේ එම ජම්බුද්වීපයේය. පුරාණ කාලයේ ඒ මහා රට මහා භාරතය යන නාමයෙන් ද හඳුන්වන ලදි. අසෝක රජ වූ කාලයේදී (ක්‍රි.පු. 273-232) ඒ රටට මෙකල ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය ද අයත් වූයේය.

ඉහතින් සඳහන් කළ මේ සෑම රටකම අසෝක රජතුමා විසින් ලියවන ලද ශිලා ලේඛන හමු වී ඇති හෙයින් අසෝක රජුගේ සමස්ත ශිලා ලේඛන සංඛ්‍යාව 100 කට (පිටපත් සමඟ) ආසන්නය. පිහිටි ගලේ (පර්වතවල) මෙන්ම ශිලා ටැම්වල ද (අතළොස්සක්) ශිලා ලේඛන ලියා ඇත. ලුම්බිණි පුදබිමෙහි ද අසෝක රජතුමා විසින් එතුමාගේ 20 වැනි රාජ වර්ෂයේ දී පිහිටුවන ලද ස්තම්භයක් 1896 දී හමුවී ඇත. ඒ ස්තම්භයේ වෛශාලියේ ස්තම්භයට වඩා වෙනසක් දක්නට ලැබේ. එනම් බ්‍රාහ්මී අක්ෂරවලින් එම ශිලා ලේඛනය ලියා තිබීමයි. ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ දී සිද්ධාර්ථ කුමාරයා ඉපදුණායින් පසුව මෙම පුදබිමෙහි මෙකල අප හඳුන්වන පුරා විද්‍යාත්මක සාක්ෂිය (ඉතා පුරාණතම) වන්නේ මෙම අසෝක රජුගේ රුම්මින්දෙයි (ලුම්බිණි) ටැම් ලිපියයි.

එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අධිපති මහාචාර්ය රොබින් කොනිංහැම් සහ නේපාලයේ පශුපති ප්‍රදේශයේ සංවර්ධන භාරයේ පුරාවිද්‍යාඥ කොෂ් ප්‍රසාද් ආචාර්ය යන දෙදෙනාගේ මූලිකත්වයෙන් 2013 නොවැම්බර් මස අග භාගයේදී කැණීමෙන් හමු වූ පුරාවිද්‍යා දත්තයන් ලුම්බිණි සල් උයනේම තිබුණු මහාමායා විහාර පරිශ්‍රයේ 2011 සිට කරන ලද උත්සාහයට අයත් කැණීම් මාලාවේ නිශ්චිත වූ ද ඉතා වැදගත් වූ ද කාලච්ඡේදය සහිත කැණීමයි.

මේ කැණීම සඳහා ද මහාමායා දේවි විහාර පරිශ්‍රමය කැණීමට උපකාරි වූයේ අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹ මෙන්ම ඊට පසුව මෙම පුදබිමට ක්‍රි. ව. 5 වැනි සියවසේ දී පැමිණි චීන භික්ෂුන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියන් ද ක්‍රි. ව. 7 වැනි සියවසේ දී මේ පුදබිමට පැමිණ තවත් චීන ජාතික භික්ෂුන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියන්ගේ ද වාර්තා අනුවය. ඒ දෙදෙනාම මායාදේවි විහාරයත් අසෝක රජු විසින් පිහිටුවන ලද ටැම් ලිපිය ගැනත්, ශිලා ටැඹ ගැනත් සඳහන් කර ඇත.

රොබින් කොනිංහැම් මහාචාර්යවරයා ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායම 2011 වසරේ සිට මෙම කාර්යයෙහි නිරත වී ඇත. මීට ඉහත දී ද මෙම ලුම්බිණි සල් උයනේ පුරාවිද්‍යා කැණීම් 1977 – 78 දී නේපාල පුරාවිද්‍යඥයන් විසින් සිදු කර ඇතත් මෙවන් වූ පුරාවිද්‍ය පර්යේෂණාත්මක කැණීමක් සිදු කරන ලද්දේ මේ අවස්ථාවේදීය.

මෙම කැණීමේ ප්‍රතිඵල අනුව ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේදී සිද්ධාර්ථ කුමාරයා මේ ලුම්බිණි සල් උයනේදී උපත ලද බව පුරාවිද්‍යාත්මකව ඔප්පු කර ඇත. අප මෙහිදී 2013 වසරේ මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කළ පුරාවිද්‍යාත්මක සාක්ෂි පිළිබඳව සමාලෝචනයක් කිරීමටය.

ලුම්බිණි හෙවත් රුම්මින්දෙයි වනෝද්‍යානය

ලුම්බිණි ටැම් ලිපිය අනුව අසෝක රජතුමා මෙම පුදබිමට වන්දනාවේ පැමිණියේ අසෝක රජුගේ අධ්‍යාත්මික උපදේශක ස්වාමීන් වහන්සේ වූ උපගුප්ත හිමියන් සමඟය. උන්වහන්සේ විසින් පූජනීය වූ වෘක්ෂයක් පෙන්වා ඒ වෘක්ෂය සෙවණේ සිදුහත් කුමරු උපන් බවද ඒ වෘක්ෂය වටා ශිලා වැටක් සාදවන ලද බවත් අසෝක රජු විසින් ඒ උයන් පරිශ්‍රයෙහි ඒ සිදුවීම සිහි කරනු පිණිස ශිලා ස්තම්භයක් ද පිහිටුවන ලද බවත් දිව්‍ය වදානය නම් මහායාන ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත.

අසෝක රජතුමා විසින් හිඳුවන ලද මෙම ශිලා ටැඹට පසුව මෙම ලුම්බිණි පුදබිම ගැන ලේඛනගත වාර්තා පුරාවිද්‍යාඥයන් විසින් විශේෂ අවධානය යොමු කර ඇත. එනම් ඊට වසර 1000කට පමණ පසුව ලුම්බිණියට පැමිණි ෆාහියන් හිමියන්ය. චීන ජාතික ෆාහියන් හිමියන් ක්‍රි. ව. 406දී මේ පුදබිමට පැමිණීම පමණක් නොව ෆාහියන් හිමියන් විසින් ද මෙම පූජනීය වෘක්ෂය දුටු බව ද එම වාර්තාවල සඳහන් කර ඇත.

එපමණක් ද නොව මහාමායා බිසව ස්නානය කරන ලද පොකුණ ගැන ද (සාක්‍ය පොකුණ) ෆාහියන් හිමියෝ සඳහන් කරති.

මීටත් වඩා ඉතා පුළුල් විස්තරයක් ෆාහියන් හිමියන්ට පසුව ලුම්බිණි පුදබිමට සැපත් වූ හියුං ෂාං නම් වූ චීන භික්ෂුන් වහන්සේ ලුම්බිණි සල් උයන ගැන සිය වාර්තාවේ සටහන් කර ඇත.

“මනරම් උයනෙහි සාක්‍ය පොකුණ ද

බුදු රජාණන් වහන්සේ උපත ලද වෘක්ෂ සෙවණ ගැන ද සඳහන් කරයි. හියුං ෂාං හිමියන් ඒ පූජනීය වෘක්ෂය අසෝක වෘක්ෂයක් බව සඳහන් කරයි.

කෙසේ වුවද හියුං ෂාං හිමි ලුම්බිණියට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 637 දී නිසා ඒ කාලයේදී මෙම පූජනීය වෘක්ෂය තිබුණු බව මෙහි සඳහන් කිරීම ඉතා වැදගත්ය. අසෝක රජු විසින් පිහිටුවන ලද ස්තම්භය ගැන සඳහන් කරන හියුං ෂාං චීන ජාතික භික්ෂුන් වහන්සේ තවත් විශේෂිත කරුණක් මෙම අසෝක ස්ථම්භය ගැන සඳහන් කරයි.

එනම් අසෝක ස්ථම්භය මුදුණේ අශ්වයකුගේ මූර්තියක් තිබුණු බවත් ඒ අශ්ව මූර්තිය කඩාවැටී ඇති බවත්ය.

හියුං ෂාං හිමියන්ගේ එම වාර්තාගත කිරීම කොතරම් සත්‍යතාවයෙන් යුතු දැයි කිවහොත් එම කඩාවැටුණු අශ්ව රූපය 1977-78 දී කරන ලද පුරවිද්‍යා කැණීමේ දී හමු වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division