Home » බහිරවයා ගිල්ල වරායේ අවි ආයුධ

බහිරවයා ගිල්ල වරායේ අවි ආයුධ

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment
තාරක වික්‍රමසේකර

– අවි ලබාගෙන භාර නොදුන් අය අතර හිටපු ඇමැතිවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුත්
– අවුරුදු 35ක් තිස්සේ අවභාවිතය සිදු වෙලා
– ආයුධ බැහැරට දීම මෙන්ම ආපසු ‍ලබා නොදීමත් ප්‍රශ්නයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන නාමය රටේ දූෂණ සහ වංචා අතර කලක් වරින් වර නිතරම කියවුණු නමකි. කෙසේ වෙතත්, පසුගිය කාලයේ දූෂණ වංචා සම්බන්ධයෙන් එම නාමය කරළියට නොආවේ එහි පරිපාලනය ගෙනගිය ප්‍රධානීන් විසින් ගනු ලැබූ යම්කිසි විධිමත් ක්‍රියාමාර්ගයක් නිසා වන්නටද පුළුවන. එසේ නැත්නම් පසුගිය රජයන් විසින් වරින් වර එක් එක් පර්යන්තයන් විදේශ සමාගම් සමඟ එක්ව සංවර්ධනය කිරීමට කටයුතු කිරීම නිසා ඒ ගැන වැඩි වශයෙන්ම කතාබහ හා අවධානය යොමු වීම හේතුවෙන් එහි දූෂණ වංචා යට ගියා වන්නටද පුළුවන. එහෙත් අද වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෙරෙහි යළිත් විශේෂ අවධානය යොමු කිරීම කළ යුතුම තත්ත්වයකට පත්ව ඇත.

එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඇතැම් පුද්ගලයන් හා ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් ඔස්සේ රටේ ජාතික ආරක්ෂාවට, එසේත් නැත්නම් රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාවට එල්ල වී ඇති දැඩි බලපෑම් හේතුවෙනි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සිදු කෙරුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කිරීමටත් පෙර, එනම් බ්‍රිතාන්‍ය ජාතිකයන් කොළොම් තොටින් නැව් නැංවීමට සකස් කළ කාලයේ සිටය. රටට ඇතුළු වන සහ රටට ඇතුළු විය හැකි ඕනෑම උවදුරක්, බාධාවක් වළක්වාගැනීම පිණිස ගිනිඅවි භාවිත කිරීම සඳහා එකල එලෙස අවි ගබඩාවක් භාවිත කෙරුණු අතර, පසුව වරාය අධිකාරියට ස්ථිර අවි ගබඩාවක් ස්ථාපනය කරන ලදි.

කාලය මෙසේ ගත වන විට මැති ඇමැතිවරුන් හා වරායේ හිටපු සභාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මේ අවි ගබඩාවෙන් ගිනිඅවි හා පතරොම් ලබා ගෙන ඇත. එසේ ගිනිඅවි සහ පතරොම් ලබා ගැනීම කර ඇත්තේද නිසි ක්‍රමවේදයක් යටතේ නොවේ.

වරාය අධිකාරියේ අවි ගබඩාවේ ගිනිඅවි හා පතරොම් භාවිත කළ හැක්කේ වරායේ ආරක්ෂාව පිණිස පමණක්මය. තතු එසේ වන කල්හි, වරායේ අධිකාරියේ අවි ගබඩාවෙන් විවිධ පුද්ගලයන් විසින් වරින් වර අවි ආයුධ සහ පතරොම් ලබා ගැනීමම ගැටලුවක් වන අතර, භයානකම තත්ත්වය වී ඇත්තේ එසේ ලබා ගන්නා ලද ගිනිඅවි සහ පතරොම් යළි ආපසු භාරදී නොතිබීමය. ඒවා සිවිල් ජන සමාජය තුළ හාවිත වීම නිසා සිදු වන අපරාධ රැල්ලට ලැබෙන්නේ තවත් සුපිරි තල්ලුවක් බව නම් නොඅනුමානය. මෙසේ ආපසු භාර නොදුන් ගිනිඅවි සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එහි වෘත්තීය සමිති පවා එතරම් හඬ නැඟීමක් සිදු කළේ නැත. හඬ නඟන්නට උත්සාහ කළ වෘත්තීය සමිති පවා යටපත් කර දමන්නට නිහඬ කරන්නට එහි පාලකයෝ කටයුතු කළහ. ඇතැම් වෘත්තීය සමිති ඒ අවභාවිත දුටුවද ඒවා නුදුටුවා සේ කටයුතු කළහ. එහෙත් සියල්ල සැමදා වසන් කළ නොහැකිය. දූෂණය, වංචාව එළි වන දවසක් ඇත. දැන් ඒ දවස පැමිණ තිබේ. මේ වන විටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතියක් වරාය භාරව සිටි ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුන් හා සභාපති ඇතුළු නිලධාරීන් විසින් අතුරුදන් කරන ලද නැත්නම් වරායේ අවි ගබඩාවෙන් ලබා ගෙන ආපසු භාර නොදෙන ලද ගිනිඅවි සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිලි කර ඇත. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ‘සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය’ විසිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු කොළඹ නගරාශ්‍රිතව බහුවිධ භූමි භාගයකට හිමිකම් කියන ආයතන දෙකෙන් එක් ආයතනයකි. වරාය අධිකාරියේ පාලනයට එහි සභාපතිවරුන් මෙන්ම හිටපු මැති ඇමැතිවරුද ඇඟිලි ගැසූහ. මෙරටට විශාල විදේශ විනිමයක් උපයා දුන් වරාය අධිකාරිය ක්‍රමයෙන් වළපල්ලට යැවුණේද මේ ක්‍රියාවලිය නිසාය. වරාය අධිකාරියේ වරින් වර සිදු වී ඇති දූෂණ අතරට කාටත් හොරා එක් වූ මේ ගිනිඅවි හා පතරොම් කතාව මෙපමණ කලක් යටපත්ව තිබුණේ කෙසේද යන්නද ඇත්තටම ගැටලුවකි. 1990 වසරේ සිට 2024 දක්වා වසර 35ක කාලයක් එවන් අවභාවිතයක් කරන්නට හැකියාව ලැබෙන්නට නම්, ඊට අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතුමය. එය රටේ සාමාන්‍ය නීතිය මෙන්ම ආරක්ෂක ක්‍රමවේදයන්ද උල්ලංඝනය කිරීමකි.

මේ කරුණු දැනගෙනත් බොහෝ වෘත්තීය සමිති ගොළුවන් බිහිරන් සේ ඇස් කන් වසාගෙන සිටියද හිස ඔසවන්නට ලද විගස, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ඊට එරෙහිව කටයුතු කරන්නට ඉදිරිපත් වීම සතුටට කරුණකි. එම සමිතිය විසින් 2025 මැයි 02 දිනැතිව සලවපොසේස/2025/01 යොමු අංකය යටතේ ලිපියක් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වා තිබුණේ ආපසු භාර නොදුන් ගිනිඅවි සම්බන්ධව විමර්ශන සිදු කරන ලෙසයි. එම සමිතියේ ලේකම් නිරොෂන් ගොරකානගේ අත්සනින් යුතුව යොමු කර ඇති මේ ලිපියෙන් දක්වා ඇත්තේ ගිනිඅවි හා පතරොම් ආපසු භාර නොදීමේ වංචනික ක්‍රියාව හා අවභාවිතය ගැන විමර්ශනයක් සිදු කරන ලෙසයි. ඒ සමඟ එලෙස ගිනිඅවි හා පතරොම් ලබා ගෙන ආපසු භාර නොදුන් අයගේ නාමලේඛනයක් ද ඉදිරිපත් කර තිබේ.

ඒ නාමලේඛනයට අනුව ගිනිඅවි භාර නොදුන් අය අතර මුලින්ම සිටින්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායකය. ඔහු වෙත නිකුත් කළ 6026 P දරන පිස්තෝලය හා මි.මී. 9 උණ්ඩ 30ක් ආපසු භාර දීමේදී මැගසින් එකක් ආපසු භාර දී නැත. එය පසුව භාර දෙන බව ඔහු විසින් දැනුම් දී ඇත. එහෙත් එය නැවත භාර දෙන ලෙස වරින් වර දැනුම් දුන්නද ඒ කිසිවක් සැලකිල්ලට ගෙන නැත. වර්තමාන නියෝජ්‍ය ප්‍රධාන ආරක්ෂක කළමනාකරු කේ.ජී. උපාලිගේ ඉල්ලීම මත 2019 සැප්තැම්බර් 19 වැනි දින හිටපු නියෝජ්‍ය ප්‍රධාන ආරක්ෂක කළමනාකරු ටී.එච්.ඩී.පී. ද සිල්වා විසින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාට ලිඛිතවම මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර, එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා පවසා ඇත්තේ අදාළ මැගසිනය භාර දෙන බවයි. එහෙත් එය මෙතෙක් භාර දී නැත.

එමෙන්ම අංක 135099 දරන පිස්තෝලය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ හර්ෂ වික්‍රමසිංහට නිකුත් කර තිබූ අතර, ඔහුද තමන් භාර ගත් ගිනිඅවි ආපසු භාර දීමේදී පිස්තෝලය ආපසු භාර දීමේදී මැගසින් එකක් ආපසු භාර දී නැත. ඒ සම්බන්ධව එවකට සිටි නිලධාරීන් විසින් සටහන් තබා අදාළ නිලධාරීන් දැනුම්වත් කර තිබේ. මේ නිලධාරියා දැනට ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනත් රටක වාසය කරන නිසා අදාළ මැගසිනය භාරදීම සඳහා දැනුම්වත් කිරීමට ලිපිනයක් හෝ දුරකතන අංකයක් සොයාගැනීමට නොහැකි වී ඇත. ඔහු විසින් ලබාගත් සෙසු ගිනිඅවි ආපසු භාර දී ඇත්තේ වසර 35කට පමණ පෙර එනම් 1990.06.25 දින වන හෙයින්, මේ මැගසිනයට කුමක් වූයේද යන්න ගැන දන්නේ ඒවා ලබාගත් අයම පමණි.

හිටපු ධීවර අමාත්‍යවරයකු වන මහින්ද විජේසේකරට ලබා දී තිබූ අංක 135088 දරන පිස්තෝලය 2004 අගෝස්තු 17 දින ආපසු භාර දී ඇතත්, එසේ ආපසු භාරදෙද්දි එහිදී මැගසින් එකක් හා උණ්ඩ 18ක් ආපසු භාර දී නැත. මේ පිළිබඳ අංක ආකො/කළආ/ගිනිඅවි/ (01) යටතේ 2004.08.17 දින හිටපු කළමනාකරු (ආරක්ෂක) යූ.එච්.බී. පෙරේරා විසින් එවකට සිටි කළමනාකාර අධ්‍යක්ෂ වෙත දන්වා තිබේ. ඊට ප්‍රතිචාරයක් නැති හෙයින් නැවත අංක ශ්‍රීලවඅ/අකො/විවිධ/2004 යටතේ 2004 සැප්තැම්බර් 2 දින එවකට සිටි කළමනාකාර අධ්‍යක්ෂ විසින් වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වෙතද දන්වා ඇත. එමෙන්ම අංක ආකො/ප්‍රම/පා/01/58 යටතේ 2005 අප්‍රේල් 7 දින එවකට සිටි කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් පාර්ලිමේන්තුවේ එවකට සිටි කථානායකවරයා වෙතද දන්වා තිබේ. එයටද නිසි පිළිතුරක් නැති හෙයින් යළි ආකො/අධ්‍යක්ෂ (අ) /ගිනිඅවි /2018 යටතේ 2018 අප්‍රේල් 17 දින අධ්‍යක්ෂ (ආරක්ෂක) විසින් එම අමාත්‍යවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත. එසේ වුවත් මෙතෙක් ඒ සියලු ලිපිවලට පිළිතුරක් ලැබී නැත. දැනට මේ හිටපු අමාත්‍යවරයා බෝම්බ ප්‍රහාරයකට ලක් වී සිහිමඳ තත්ත්වයෙන් පසු වන බැවින් තොරතුරු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

මීට අමතරව ඩී.ඩී.සී. වික්‍රමරත්න නම් හිටපු ප්‍රධාන අධිකාරි (ආරක්ෂක) වෙත අංක 131419 දරන පිස්තෝලයක් හා මැගසිනයක් 1990 මාර්තු 9 දින නිකුත් කර ඇන. එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරිවරයකු වූ එස්.කේ.ඩබ්ලිව්. ඩයස් ද මැගසිනයක් ලබා ගෙන ඇත. මේ අතර, පසංජය සේදර සෙනරත් නම් හිටපු වරාය විධායක අධ්‍යක්ෂවරයකුද මැගසින් දෙකක් ලබා ගෙන ආපසු භාර දී නැත. ඔහුට අමතරව කීත් ඩී. බර්නාඩ් නම් පසුගිය රජයේ අවසන් වරාය අධිකාරියේ සභාපතිවරයාද මි.මී. 9 පතරොම් 50ක් ඇතුළු ගිනිඅවි ලබා ගෙන ඇති අතර, මේ සිදුවීම් මාලාව එළියට පැමිණීමත් සමඟම පසුගිය වසරේ එනම් 2024 දෙසැම්බර් 17 දින ආපසු භාර දී ඇත.

ගිනිඅවි මෙලෙස තබාගැනීම බරපතළ අවභාවිතයක් වන්නා සේම එය ජාතික ආරක්ෂාවටද තර්ජනයක් වන්නේ ය.

අස්ථානගත වී ඇත්තේ ඉතා සුළු ගිනිඅවි සංඛ්‍යාවක් හා පතරොම් සංඛ්‍යාවක් යැයි කියා මෙය සුළු කොට දැක්වීමට ඇතැමකු උත්සාහ කිරීමටද ඉඩ ඇත. එහෙත් අප කල්පනා කළ යුත්තේ ගිනිඅවි සංඛ්‍යාව ගැන නොවේ; සුළු වශයෙන් හෝ ගිනිඅවි අස්ථානගත වීම යනු සුළු කොට තැකිය හැකි කරුණක් වන්නේද යන්න ගැනයි.

මෙහි වඩාත් බරපතළ ගැටලුව වන්නේ රාජ්‍ය ආයතනයකින් අවි ආයුධ මෙසේ ලබා ගෙන නැවත භාර නොදී සිටීමය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු මෙරට අන්තර්ජාතික සබදතා සඳහා ඍජුවම සම්බන්ධ ආයතනයකි. එක් පසෙකින් ඊට විශේෂ ආරක්ෂාවක්ද අවශ්‍ය වන්නා සේම තවත් පසෙකින් මෙරටට පැමිණෙන විදේශීය නෞකා සඳහා ආරක්ෂාව පිණිස බැඳී සිටින ආයතනයකි. එවන් කටයුතු සැලසිය යුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවි ගබඩාවේ ඇති ගිනිඅවි මෙලෙස වරින් වර අවභාවිත කිරීම එසේත් නැත් නම් ඒවා ලබා ගෙන නැවත භාර නොදීම යනු රාජ්‍ය ආයතනයක ආරක්ෂාව බිඳදැමීමක් සේම විදේශීය නෞකා සම්බන්ධයෙන්ද ගැටලු මතු කරන්නකි. අවි ආයුධ රැගෙන ගිය අය ඒවා වරායෙන් පිටත භාවිතයට යොදා ගන්නා බව හෝ යොදා ගෙන ඇති බව හෝ දන්නේ අප පමණකි. ඒ ගැන විදේශීය සමාගම් දන්නේ නැත.

ඔවුන්ට පණිවිඩය යන්නේ වරායේ අවි ගබඩාවේ ගිනිඅවි වරින් වර අතුරුදන් වන බවයි. මෙවන් අවභාවිතයන් සම්බන්ධයෙන් විදේශීය නෞකා සමාගම් දැනගත හොත් කොළඹ වරායට නෞකා ළඟා වීම පවා යම් ආකාරයෙන් වැළකිය හැකිය.

ඇතැමකු මේ කරුණු විහිළුවට ගත හැකිය. එහෙත් යමක් සිදු වූ පසු ඒ පසුපස හඹා ගොස් පිළිතුරු සෙවීමට වඩා, මේ සඳහා පූර්ව සූදානමකින් කටයුතු කිරීම වඩාත් අගනා බව අප තේරුම් ගත යුතුය. යමක් සිදුවීමට ගත වන්නේ ඉතා සුළු වෙලාවකි. එහෙත් විසඳුම සොයාගැනීමට අපට කාලාන්තරයක් ගත වීමට ඉඩ ඇත. මේ තත්ත්වයට වහාම නිවැරදි කරගත යුතුව ඇත්තේ එහෙයිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division