ගමට නමක් හැදුණු හැටි කියන ලිපි පෙළ ඔස්සේ මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මහනුවර හා ඒ අවට ග්‍රාමයන් සඳහා නම් සැදුණු ආකාරය පිළිබඳවයි.
සෙංකඩගල
අතීතයේ ගම්පොළ රාජධානියේ සිටි නිශ්ශංක අලකේශ්වර යනු එහි ප්‍රබල ඇමැතිවරයෙකි. මීට සමකාලීනව යාපනේ අත්පත් කරගෙන සිට ඇත්තේ ආර්ය චක්‍රවර්තී විසිනි. ආර්යචක්‍රවර්ති, දකුණු ඉන්දියාවේ විජයනගර් අධිරාජ්‍යයාගේ උදවු ඇතිව ගම්පොළ රාජධානිය යටත් කරගැනීමට සේනාව සමඟ පැමිණ ඇත.
එම ආක්‍රමණය පිළිබඳ කන වැකෙන විට නිශ්ශංක අලකේශ්වර අගමැතිතුමා සිට ඇත්තේ මහනුවර ප්‍රදේශයේය. එකල එම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ ශ්‍රී වාසපුරය නමිනි. නිශ්ශංක අලකේශ්වර තම සේනාව පිරිවරාගෙන ශ්‍රී වාසපුරයේ සිට සටනට යන විට ආර්යචක්‍රවර්තිගේ සේනාව කටුගස්තොට කරා ළඟා වී ඇත.
මෙම සේනාවත් සමඟ එක්වරම සටන් කිරීම නුවණට හුරු නොවන බව තේරුම් ගත් අලකේශ්වර ශ්‍රී වාසපුරයේ තිබූ නාථ දේවාලයට ගොස් ඇත්තේ දෙවියන්ගෙන් ගුරුකමක් ලබාගැනීමටයි.
දේවාලයට වී තුන් යාමයක් කන්නලව් කරන විට ඔහුට යන්තම් නින්ද ගොස් ඇත. ඒ වේලාවේදි සිහිනෙන් පෙනී සිටි නාථ දෙවියන් සටන ජය ගන්නා ආකාරය ඔහුට කියා දී ඇත.
දෙවියන් උපදෙස් දුන් ආකාරයට පසු දින උදෑසන සටනට ගිය නිශ්ශංක අලකේශ්වර මුළු සතුරු සේනාවම විනාශ කොට දමා ඇත.
එලෙස සතුරු සේනාව ඛණ්ඩනය කර දැමු කඳුකරය සේනාඛණ්ඩගල වී පසුකාලීනව සෙංකඩගල ලෙස භාවිතයට ආ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
ඒ සෙංකඩගල පුරවරයේ නාමය සැදුණායැයි සැලකෙන එක් ආකාරයකි. ඊට අමතරව තවත් බොහෝ ජනප්‍රවාද මෙම ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිත වී ඇත.
මහනුවර
මහනුවර යන වචනය අගනුවර යන්නට සමාන පදයකි. එනිසා සෙංකඩගල පුරය රටේ අගනුවර වී පැවති කාලයේදී මේ සඳහා මහනුවර යන නාමය භාවිත වී ඇති බව සඳහන් වේ.
කුණ්ඩසාලේ
සෙංකඩගල නුවරින් සැතපුම් හතරක් පමණ ඈතින් කුණ්ඩසාලේ පිහිටා ඇත. කුණ්ඩසාලේ ගමට නම සැදුණු ආකාරය සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ රසවත් කතාවක් කියැවේ. දඹදිව ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයෙහි දක්ෂ බමුණකු දවසක් ග්‍රහචාර බලමින් සිටියදී ඔහුට ශනි සහ ගුරු අතර සිදු වන්නට යන ග්‍රහ යුද්ධයක පෙරනිමිත්තක් පෙනී ඇත.
ඒ යුද්ධයේදි ශනි දේවතාවගේ කුණ්ඩලාභරණයක් ගැලවී මහවැලි ගඟේ එක් තැනකට වැටෙන බවද ඔහුට දිස් වී ඇත. මේ කුණ්ඩලාභරණය ගුරුදෙණිය නම් ගමට වැටෙන බව සිය ගණිත ඥානයට අනුව නිර්ණය කරගත් බමුණා ගුරුදෙණිය බලා ගියේය.
එදින රැය එගම පන්සලේ නවාතැන් ගත් බමුණ දිවා රෑ නොබලමින් ඒ පිළිබඳ සොයා ඇත.
මෙය විමර්ශනය කළ විහාරාධිපති හිමියන් බමුණාගෙන් විමසද්දී ඔහු සම්පූර්ණ විස්තරය හාමුදුරුවන්ටද පවසා ඇත. එහෙත් ඔහු හාමුදුරුවන් ශූර නක්ෂත්‍රාචාර්යකු වග දැන සිටියේ නැත.
මේ පුවත ඇසූ හාමුදුරුවෝත් නැකැත් ගැනීමෙහි යෙදෙන්නට වූහ. කුණ්ඩලාභරණය බමුණා දුටු පරිදිම නියමිත වේලාවට ගුරුදෙණියේ කඳු මුදුනට වැටෙන බවත්, එහෙත් එය එතැන නොරැඳී විසි වී ගොස් ගඟින් එතෙර තැනක නතර වන බවත් එහිදී හාමුදුරුවන්ට පෙනී ගොස් ඇත.
ග්‍රහ යුද්ධය සිදුවීමට නියමිත වේලාවේදී කුණ්ඩාලාභරණය වැටෙන තැන කූඩාරම් ගසා සිටි බමුණා එය විසි වූ තැන සොයාගෙන යන විට තමාට පෙර එහි කූඩාරමක් ගහගෙන සිටි කෙනකු එය ඇහිඳගෙන ඇති බව තේරුම් ගොස් ඇත.
මින් මනස්තාපයට පත් වූ බ්‍රාහ්මණයා මහවැලි ගඟට පැන සියදිවි නසාගෙන ඇත. හාමුදුරුවන් තමා අහුලාගත් කුණ්ඩලාභරණය පළමුවැනි විමලධර්මසූරිය රජතුමාට භාර දී ඇත. ඉන් ප්‍රීතියට පත් රජතුමා දළදා වහන්සේ වඩා හිඳුවීමට ඒ රත්රනින් පලා පෙත්තක් සාදා ඇත. කුණ්ඩලාභරණය තිබුණ සාලා ප්‍රදේශය පසු කලෙක කුණ්ඩසාලේ නමින් ප්‍රසිද්ධ වී ඇති බව පැවසේ.
ගලගෙදර
ගලගෙදර ග්‍රාම නාමය සම්භවය වූ ආකාරය පිළිබඳ ඇති විවිධ ජනප්‍රවාද අතර එකක් මෙසේය: අතීතයේදී මොරවක්දෙණියේ, වත්තේගෙදර ගෙහිමියන්ට වටිනා මැණික් ගලක් හමු වී ඇත.
එය මැණිකක් බව නොදත් ඔවුන් එම ගල සිය කුස්සියෙහි ළිප්ගලක් ලෙස යොදාගෙන ඇත. ඉන්දියාවේ සිට මෙහි පැමිණි බමුණකු මැණික් ගලක් තිබෙනු දැක එම නිවෙස සොයා ගොස් ගෙහිමියන් හමු වී කතාබස් කරමින් සිටියදී රෑ බෝ වූ නිසා එදින රාත්‍රිය එම නිවෙසෙහි නවාතැන් ගෙන ඇත. ඔහු මේ ගල පිළිබඳ විපරම් කිරීමේදී එය ළිප්ගලක් ලෙස තබා ඇති බව දැක, ඔවුන්ට, තමා දන්නා ශාස්ත්‍රය අනුව කුස්සියෙහි වැරදි විදියට ළිප්ගලක් තබා ඇති බවත්, එය ගෙදරට හූනියමක් බවත්, මේ සියලු දුක් කරදරවලට හේතුව එය බවත්, එය ඉවත් කරන තුරු ගෙදරට වගතුවක් නොවන බවත් පවසා ඇත. එය ඔහුට දුන්නොත් එය ජීවම් කර ජලාශයකට දැමූ පසු තුන් වරුවක් ගත වීමටත් පෙර සියලු කරදර දුරු වන බවද කපටි බමුණා පවසා ඇත.
යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ දැඩි විශ්වාසයක් තිබුණ නිවැසියන් බමුණා විශ්වාස කර ගල ගලවා බමුණාට දී ඇත.
තමාගේ අදහස ඉටු වූ නිසා සතුටට පත් බමුණා ගලද රැගෙන යන විට වෙහෙරගල ලෙන් විහාරය පිහිටි කන්ද පාමුල වූ ජලාශයෙන් දෑත් සෝදාගැනීමට සූදානම් වෙද්දී අත රැඳි මැණික් ගල ගිලිහී ජලාශයට වැටී අතුරුදන් වී ඇත.
අතීතයේ එම ගල තිබුණ ගෙදර ගලගෙදර නම් වූ බවත්, පසුව එම ප්‍රදේශයම එනමින් හැඳින්වූ බවත් ජනවහරේ පවතී.
ඔළුවාවත්ත
මහනුවර, පහත හේවාහැට ප්‍රදේශයේ ඇති ගමකි ඔළුවාවත්ත.
ඔළුවාවත්ත ග්‍රාම නාමය සැදුණු ආකාරය පිළිබඳ සඳහන් කතා පුවත මෙසේය: ගැමුණු රජුගේ දස මහා යෝධ බළඇණියේ සිටි යෝධයකු වූ ගෝඨයිම්බර හා රිටිගල ජයසේන අතර ඇති වූ ගැටුම ජනප්‍රවාදයේ වඩාත් ප්‍රසිද්ධ කතා පුවතකි.
එම ගැටුමේදී තමන්ගේ අසමසම ශක්තිය පාවිච්චි කළ ගෝඨයිම්බර යෝධයා රිටිගල ජයසේනගේ ඔළුවට වැරෙන් පහර දී ඇත. එහිදී කඳෙන් වෙන් වූ ජයසේනගේ හිස පතිත වී ඇත්තේ ගැටුම ඇති වූ ස්ථානයට ගවු දෙකක් පමණ එහායින් ඇති සථානයකටය. එහිදී ඔළුව ආ වත්ත යන තේරුම ඇතිව එම ප්‍රදේශය ඔළුවාවත්ත වූ බව පැවසේ.
මෙකී ග්‍රාම නාම නිර්මාණය වීම සම්බන්ධයෙන් තවත් විවිධ කතා ගම්වාසීන් අතර හා ජනප්‍රවාදයේ සඳහන් වන අතර මෙහි දැක්වෙන්නේ ඉන් කිහිපයක් පමණි.