පසු ප්‍රසව විශාදය යන්න දරු උපතකට පසු සමයේදී ඕනෑම මවකට ඇති විය හැකි විශාදිමය තත්ත්වයකි. ආසියානු සමාජයේ විවාහ ජීවිතය තුළ බොහෝ වගකීම් ප්‍රමාණයක් දරන්නේ කාන්තාවයි. එය ක්‍රමයෙන් මුහුකුරා ගොස්, මුදල් ඉපයීමේ කාර්යභාරයටද ඇය උර දෙමින් සිටියි. මෙවැනි තත්ත්වයක් තුළ දරුවකු බිහි කිරීමට මාස 9ක කාලයක් ශරීරය සූදානම් වීම, තම වගකීම් මෙන්ම කාර්යභාරයන් නොපිරිහෙළා ඉටු කිරීම මෙන්ම සිය විවාහ ජීවිතය පවත්වා ගැනීමට සැමියාට ආදරණීය බිරියක් වීම යන සිද්ධීන්හි මානසික අරගලයක් කරන්නට සිදු වන කාන්තාවට මෙබඳු විශාදිමය තත්වයක් ඇතිවීමට මඟ සලසයි.
පසු ප්‍රසව විෂාදය හෙවත් බේබි බ්ලූස් තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු විද්‍යා සංගමය ප්‍රකාශ කරන්නේ සෑම මවුවරුන් හත් දෙනකුගෙන් එක් අයකු මෙම තත්ත්වයට මුහුණ දෙන බවයි.
මේ තත්ත්වය මවට පමණක් නොව, පසුකාලීනව දරුවාටද සෞඛ්‍ය ගැටලු ඇති වීමට හේතු වෙයි. එනම්: දරුවාගේ කායික, මානසික වර්ධනයට, නින්දට සහ මව සහ දරුවා අතර යහපත් බැඳීමක් ඇති නොවීමට හේතු වෙයි. ඒ සමඟම කිරි උරා බීමේ ගැටලු, නින්ද සම්බන්ධ ගැටලු, දරුවාගේ චිත්තවේගීය සහ සංජානන, කථන වැනි චාලක ස්නායු සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වයේ පසුගාමි තත්ත්වයන් ඇති කරලීමටද මේ තත්ත්වය බලපායි. එවැනි පසුගාමි තත්ත්වයේ සිටින මවකගේ දරුවකුට පසුකාලීනව සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී විවිධ ගැටලුකාරි තත්ත්වයන් ඇති වීමටද මෙය බලපායි.
පසු ප්‍රසව විෂාදිමය තත්ත්වය සම්බන්ධයෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ දක්වන්නේ මෙවැනි අදහසකි:
“පසු ප්‍රසව විෂාදි තත්ත්වයක් ඇති වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපෑම් කරනවා. ජීව විද්‍යාත්මක සාධක මෙන්ම පාරිසරික සාධක හේතුවෙන් ගර්භිණී මවක් විෂාදි තත්ත්වයකට ලක් වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම මවගේ මානසික තත්ත්වය, පවුල් ඉතිහාසය, කාංසාව හෝ වෙනත් රෝගි තත්ත්ව මෙන්ම මව ගෘහස්ථ හිංසනයට ලක් වීම, සමාජ, ආර්ථික තත්ත්වය, නුපුරුදු පාරිසරික තත්ත්ව හේතුවෙන් දරු ප්‍රසූතියෙන් අනතුරුව මවක් මේ රෝගී තත්ත්වයට ලක් විය හැකියි. ගර්භිණී කාලයේදී සහ දරුවා ලැබීමෙන් පසු කාලයේදී මවගේ විශාල ජීව විද්‍යාත්මක වෙනස්කම් සිදු වනවා. දරුවා ලැබීමත් සමඟ නව වගකීම් ඉටු කරන්නේ කෙසේද වැනි වෙහෙසකාරී සිතුවිලි ඇති විමට පටන් ගන්නවා. මේ තත්ත්වය තුලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලවත් මානසික කඩාවැටීමකට හෝ නොසන්සුන්කාරි තත්ත්වයකට මව පැමිණෙනවා. ගර්භිණීභාවයේ අවසන් කාලය සහ ප්‍රසවයෙන් මුල් කාලය එනම් මාස එකහමාරක් දෙකක් වැනි කාලය තුළ මවගේ ලිංගික හෝමෝන, තයිරොයිඩ් හෝමෝන, ආතති හෝමෝන ආදියෙහි විශාල වෙනස්කම් සිදු වනවා. මේ වෙනස්වීම් මවකගේ නීරෝගි මනසට ප්‍රබල බලපෑමක් ඇති වී පසුකාලීනව විෂාදය දක්වා වර්ධනය වීමකට ලක් වනවා.”
දරුවාගේ බිහි වීමත් සමඟ මව දරුවාගේ වැඩ ලෝකය සමඟ කොටු වීමත්, ඇය කරමින් සිටි රැකියාවන් සහ ආශ්‍රය කරන මිතුරු මිතුරියන්ගෙන් මෙන්ම සමාජයෙන් වෙන් වීමත් සිදු වේ. ඒ හේතුවෙන් ආර්ථික, රැකියා පරිසරය යනාදි අංශවල විශාල පෙරළියක් සිදු වේ. එමෙන්ම අලුත උපන් දරුවා රැකබලාගැනීම පිළිබඳ අනවශ්‍ය කලබලයට පත් වන මව දරුවාට කිරි දීම සහ දරුවාගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳ මෙන්ම තමන්ගේ කිරි ප්‍රමාණය දරුවාට ඇති වේද?, දරුවා කහ වේද?, කිරි උගුරේ සිර වෙනවාද?, දරුවාගේ ශරීරික වෙනස්කම් සාමාන්‍ය තත්ත්ව පිළිබඳ අනවබෝධයෙන් ආතතියට හා කලබලයට පත් වීමක් මව තුළ දැකගත හැකිය.
මේ හේතුවෙන් මවගේ මනසට සහ නින්දට බරපතළ ලෙස හානි සිදු වේ. එලෙස නින්ද නොයෑම අවසානයේදී විෂාදය නමැති රෝගි තත්ත්වය දක්වා වර්ධනය වීමක් සිදු විය හැකිය.
මෙවැනි රෝගී තත්ත්වයකට ලක් වූ මවක් හඳුනාගත හැකි ලක්ෂණ මොනවාදැයි ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ පැහැදිලි කළේ මෙලෙසිනි:
“මේ රෝගය වැලඳුණ මවට තමන් මවක් වීම පිළිබඳ කනගාටුවක් ඇති විය හැකියි. ඒ නිසාම මවට කලින් සතුට ඇති කළ කටයුතුවලින් වර්තමානයේ සතුටක් ඇති නොවීමට පුළුවනි.
සින්දුවක් ඇසීමෙන් කලින් සතුටට පත් වූවා නම් මේ වන විට ඇය ඉන් කිසිදු සතුටක් නොලබන්න පුළුවන්. තමන් කිසි වැඩකට නැති තැනැත්තියක් බව වැනි ඍණාත්මක ආකල්ප ඇය තුළ ඇති වනවා. සමහර මවුවරුන්ට අධික ලෙස නින්ද යෑමත්, තවත් අයකුට කිසිසේත්ම නින්ද නොයා සිටීමත් දැකගත හැකියි.
කෑම අරුචිය, කතා කිරීමේදී හා අදහස් ප්‍රකාශ කිරීමේදී වෙනදාට වඩා වෙනස් බවක් දක්නට ලැබෙනවා. හේතුවක් නැතිව එකම දේ නැවත නැවත කිරීම මෙන්ම හැසීරීම් රටාවේ වෙනස්වීම්ද මෙවැනි මවක් තුළ දැකගත හැකියි.
අහේතුකව ඇති වන ශෝකි අදහස් මෙන්ම තමා තනි වී ඇති බව සිතීම සහ දරුවා නිසා සියලු අය තමාගෙන් වෙනස් වී ඇති බවත්, සැමියා වෙනස් වී ඇති බවත් ඇය සිතනවා.
සැමියා සමඟ වෙනදා මෙන් නොරැඳීමට වන නිසාත්, ඔහු ගැන සැක උපදවා ගන්නවා. පිටස්තර අය තමාට සහ දරුවාට වෙනස්කම් කරනවාය යන්න හැඟෙන්නට ගන්නවා.
දරුවා සමඟ පවතින බැඳීමේ අඩුවක්ද දැකගත හැකි අතර ඒ නිසාම දරුවාට කිරිදීම, සිප වැලඳ ගැනීම, වඩා ගැනීම වැනි දේ සඳහා අකැමැත්තක් දැක්වීම සහ එම ස්වභාවය ටිකෙන් ටික වැඩි වීමක් ඇති වනවා. මේ තත්ත්වය ඇති වූ මව දරුවාට හානියක් කිරීම හෝ දරුවාට හානියක් කර, තමාගේ ජීවිතයටද හානියක් කරගැනීමේ චේතනාවක් ඇති වෙන්න පුළුවන්.”
ඒ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහගේ අදහසයි.
ඇය පවසන පරිදි මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන මවකගේ චර්යාමය වෙනස්කම් ඇයගේ නිවෙසේ අය හෝ සමීපතමයන් විසින් හඳුනාගැනීම ඉතා වැදගත්ය. එසේ නොවුණහොත් අවසානයේදී දරුවා මරණයට පත් කිරීම හෝ මව සියදිවි හානි කරගැනීම වැනි තත්ත්වයක් දක්වා බරපතළ විය හැකිය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පුෂ්පා රණසිංහ පවසන්නේ මෙම තත්ත්වය පාලනය කරගැනීමට හෙවත් ගර්භිණී මවක විෂාදි තත්ත්වයට ලක් වීමෙන් වළක්වා ගැනීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා මවගේ තත්ත්වය, ඇයගේ පවුල් ඉතිහාසය විමසීමට ලක් කළ යුතු බවයි. විශේෂයෙන්ම දරු ප්‍රසූතිය අවස්ථාවේ අධික රුධිර වහනයක්, ශල්‍යකර්මයකට ලක් කිරීම, දරුවාගේ කායික හෝ මානසික සංකූලතාවක් හේතුවෙන්ද මවක් විෂාදි තත්ත්වයකට ලක් විය හැකියි. සාමාන්‍යයෙන් මේ තත්ත්වයට පත් වන්නේ නව දරු ප්‍රසූත මවුවරුන්ගේන් 500කින් 1ක් වැනි ප්‍රමාණයකි.
මේ තත්ත්වය භයානක වන අතර, හැකි ඉක්මනින් මව රෝහල්ගත කිරීමට කටයුතු කළ යුතුය. එහිදී මවට අවශ්‍ය ප්‍රතිකාර – විශේෂයෙන්ම විදත් කම්පන ප්‍රතිකාර ක්‍රමය – ලබාදීමට කටයුතු කරන අතර, සතියක් පමණ යන විට මව සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම දරු ප්‍රසූතියෙන් අනතුරුව මවක තුළ විෂාදි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේද යන්න විමර්ශනය සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා මවට ප්‍රශ්නාවලියක් දීමෙන් පරීක්ෂාවට ලක් කරයි.
එමෙන්ම සැමියාද බිරියගේ තත්ත්වය වටහාගත යුතු අතර, බිරියගේ සිත නොරිදෙන ලෙස කතා කිරීම, ඇය දිරිමත් කිරීම, බිරියගේ කටයුතු සඳහා උපකාර කිරීම වැනි දෑ කළ යුතුය.
එමෙන්ම දරුවාගේ කටයුතු සමඟ සිර වී සිටින ඇයට තමාගේ පිරිසුදුකම මෙන්ම මවක වශයෙන් පිරිසුදුව සිටීමේ වටිනාකමද ඇයට වටහා දීමට කටයුතු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ අදහසය.
සිතුමිණි ගුණරත්න