එදිනෙදා ජීවිතයේදී හදිසියේ අප නොසිතන වෙලාවක අත් පා කැඩුම්-බිඳුම්, පිපිරුම්, උළුක්කු සිදු විය හැකිය. මේ කුමන හෝ හදිසි තත්ත්වයකදී වුව අපගේ සිහියට නිතැතින්ම නැඟෙන්නේ සිංහල කැඩුම්-බිඳුම් වෙදකමයි. සිංහල කැඩුම්-බිඳුම් වෙදකම යනු න්‍යායාත්මක දැනුමට එහා ගිය ප්‍රායෝගික පළපුරුද්ද හා අත්දැකීම් මත ගොඩනැඟුණු වෛද්‍ය කර්මයකි. එමෙන්ම මෙය බොහෝ විට පාරම්පරිකව පිහිටන ශාස්ත්‍රයක් ලෙසද ප්‍රචලිතය.
පාරම්පරික කැඩුම්-බිඳුම් වෙදකම උරුම වූ පරම්පරා අතරින් මීරිගම, කිතුල්වල පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකම වසර සියයකට වැඩි කාලයක් තිස්සේ පැවතගෙන ආකාරය දැකගත හැකියි. 1920 වසරේ පොඩි වෙදමහත්තයා විසින් ආරම්භ කළ මෙම කැඩුම්-බිඳුම් වෙදකම 1940 වසරේ සිට ඔහුගේ පුත් එමානිස් වෙද මහතා විසින්ද ඉන් පසුව 1975 වර්ෂයේ සිට ඔහුගේ පුත් සිරිවර්ධන වෙද මහතා විසින්ද පවත්වාගෙනැවිත්, වර්තමානයේදී එච්. දිලිනි නදීෂා කරුණාරත්න විසින් ඉදිරියට ගෙන යනු ලැබේ.
හුදෙක් ඖෂධීය ක්‍රමවේදයක් පමණක් නොව, පරම්පරාවන්ට උරුම වූ ශාස්ත්‍ර විධි සමඟ සංකලනය වූ කිතුල්වල පාරම්පරික කැඩුම්-බිඳුම් වෙදකම ගැන වෛද්‍යාචාරිනි දිලිනි නදීෂා හෙළි කළ තොරතුරු මෙසේය:
ආයුර්වේදයෙහි නැති නම් දේශීය වෙදකමෙහි ඇති වටිනා අංශ අතරින් භග්න චිකිත්සාව එකකි. භග්න ලෙස සංස්කෘත භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ කැඩුම්-බිඳුම්ය. බොහෝ දෙනකු අදහස් කරන පරිදි කැඩීමකට හෝ බිඳීමකට ලක් වන්නේ අස්ථි පමණක් නොවේ. කණ්ඩරා, ධමනි, ශිරා යනාදියද කැඩුම් බිඳුම්වලට ලක් වේ.

වෛද්‍ය
එච්.ඩී.එන්. කරුණාරත්න
ආයුර්වේද මතයට අනුව වැටීම් හා තැළීම්වලින් අස්ථි කැඩී-බිඳී යෑම සිදු වේ. එහිදී නැමීමට හා දිගහැරීමට නොහැකි වීම මෙන්ම සන්ධි වෙන් වීමද සිදු වේ. මෙය සන්ධි භග්නය වේ. එමෙන්ම අස්ථි පිපිරීම හෝ කැඩීම සිදු විය හැකි අතර, මෙය හඳුන්වන්නේ කාණ්ඩ භග්න ලෙසිනි. මෙය සාමාන්‍ය කැඩුම්-බිඳුම්, විශේෂ කැඩුම්-බිඳුම් හා මිශ්‍ර කැඩුම්-බිඳුම් ලෙස වර්ග කළ හැකියි. පේශී, කණ්ඩරා, මස් ආදියට අන්තරායක් නොවී, අස්ථිය පමණක් කැඩී ඇත් නම් එය සාමාන්‍ය භග්නවලට අයත් වේ. අස්ථිය කැඩී, සම තුවාල වී, සමට විෂබීජ ඇතුළු වීමට තරම් අවස්ථාවක් වේ නම් එය විශේෂ භග්නයකි. බොහෝ විට ගසකින් වැටීම වැනි අවස්ථාවකදී මෙසේ සිදු විය හැකියි. ඇට, සම, මස කැඩී හෘදය, මොළය ආදි අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හා රුධිර නාළවලටත් අනතුරු සිදු වී ඇත් නම් එය මිශ්‍ර කැඩුම්වලට අයත් වේ. වෙඩි පහරකින්, පිහි ඇනුමකින් මෙවන් තත්ත්වයකට පත් විය හැකියි.
මෙවැනි ආබාධයක් සුව වීමට හෙවත් යථා තත්ත්වයට පත් වීමට ගත වන කාලය තීරණය කිරීමට රෝගියාගේ වයස, ශරීර තත්ත්වය, භග්නය සිදු වී ඇති ස්ථානය හා චිකිත්සා ක්‍රමය හේතු වේ. මෙහිදී රෝගියාගේ වයස ප්‍රධාන වශයෙන් ගණන් ගැනෙන්නේ වයස අනුව ශරීරයේ අස්ථිවල එක් එක් තත්ත්ව පවතින නිසාය.
“සෑම ක්‍රියාවක්ම සිදු වීමට විවිධ අංගවල සංයෝගයක් විය යුතුය. මෙම වෙදකමේදීත් වෛද්‍යවරයා, ඖෂධ, උපස්ථායකයා හා රෝගියා යන සංයෝගය අවශ්‍ය වේ. අස්ථි නිර්මාණය පිළිබඳ නොදන්නා වෛද්‍යවරයෙක් කැඩුම්-බිඳුම් වෙදකමට උචිත නොවේ. කැඩුම්-බිඳුම් වෙදකම සිදු කරන්නේ නම් අස්ථි පංජරය පිළිබඳ හොඳින් උගත යුතු වේ. මෙහිදී වෙදකම මෙන්ම හෙදකමත් අත්‍යවශ්‍ය දෙයකි. එහිදී කළ යුතු දේ පිළිබඳ මනා දැනුමක් ඇති උපස්ථායකයකු සිටීමද වැදගත් ය.
ඉෂානි මාරසිංහ