සම මතුපිට ඇති වන පුස් රෝගයක් ‘ටීනියා’ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය දිලීරයක් නිසා ඇති වන තත්ත්වයක්. සාමාන්‍යයෙන් සම මතුපිට, සමට යටින් විහිදෙන සහ මුළු ශරීරය පුරා විහිදෙන ලෙස පුස් රෝග විවිධ ආකාරයට ආසාදනය විය හැකියි.
ඉහත දෙවැනියට සඳහන් කළ කාණ්ඩ දෙක ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති වන ගැටලු නිසා ඉතා කලාතුරකින් ඇති විය හැකි තත්ත්වයි. එහෙත් මුලින් සඳහන් කළ සම මතුපිට ඇති වන පුස් රෝග අපට නිතර දකින්න පුළුවන්. එයට කදිම උදාහරණයක් වශයෙන් අපට අළුහම් හැඳින්විය හැකියි. අළුහම්වලින් අපට විශාල හානියක් සිදු වන්නේ නැහැ.
ටීනියා ආසාදනය කෙනකුගෙන් කෙනකුට බෝ වන රෝගයක්. මෙය ප්‍රධාන වශයෙන් සමේ දාඩිය, තෙත ගතිය වැඩි හෝ සම නැවෙන, ඇකිළෙන ප්‍රදේශ වන ඉකිළි සහ කිහිලි වැනි ස්ථානවල හටගන්න පුළුවන්.
සාපේක්ෂව පසුගිය අවුරුදු දහය තුළ ටීනියා රෝගය ජනතාව අතර වැඩි වශයෙන් පැතිර තිබෙනවා. දළ වශයෙන් සංඛ්‍යා ලේඛන බැලූ විට රෝහල් ගණනාවකම චර්ම රෝග සායන කරා පැමිණෙන රෝගීන්ගෙන් 10%ක හෝ 20%ක පමණ ප්‍රමාණයක් මේ රෝගයෙන් පෙළෙන බව තහවුරු වී ඇත. එනිසාම දැන් ඉහත සඳහන් කළ ස්ථානවලට අමතරව අතපය, මුහුණ, පපුව සහ බඩ ප්‍රදේශවලද පැතිරී ඇති රෝගීන් දැන් අපට දැකගත හැකියි. සමහර විට කලාතුරකින් නියපොතු අතරත් මේ රෝගි තත්ත්වය ඇති විය හැකි අතර, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ හිසෙහිද මේ තත්ත්වය හට ගන්නා අවස්ථා ඇත. බාල, මහලු, ගැහැනු, පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනකුට මේ තත්ත්වය ආසාදනය විය හැකිය.
රෝග ලක්ෂණ සලකා බලන විට, යම් කැසීමකින් රෝගියාට මේ තත්ත්වය දැනෙන්න පටන් ගන්නවා. ඒ සමඟම පොඩි මුද්දක ආකාරයෙන් එහෙමත් නැත්නම් රවුමක් ආකාරයට යම් පැල්ලම්ක් සමෙහි දක්නට ලැබෙනවා. මේ රෝගයට ‘රිංවෝම්’ (Ringworm) නැති නම් ‘මුදු පණුවා’ ලෙස නම ලැබී ඇත්තේද මේ නිසයි. එලෙස මුද්දක ආකාරයට දක්නට ලැබෙන්නේ දිලීරය මැද සිට පැතිරෙන නිසයි. මෙලෙස පැතිරෙන විට සම වටේට කුඩා බිබිළි හෝ සැරව බිබිළි සහ පොතු ගැලවීමත් සමඟ කුෂ්ඨයක් ආකාරයට විශාල විය හැකියි.
මේ ටීනියා තත්ත්වය කලින් සඳහන් කළ පරිදි දිලීරයක් නිසා ඇති වන තත්ත්වයක්. මේ දිලීරවල විවිධ ප්‍රභේද දක්නට ලැබෙනවා. පෙරට වඩා මේ කාලය තුළ මේ දිලීරය වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ කලින් තිබූ දිලීර ප්‍රභේදනයට වඩා දැන් පවතින ප්‍රභේදය වෙනස් නිසා මෙන්ම එය සුලභව දක්නට ලැබෙන නිසයි. කලින් තිබූ දිලීර ප්‍රභේදය අප පෙර භාවිත කළ ඖෂධවලට ප්‍රතිචාර දැක්වුවත් දැන් පවතින ප්‍රභේදනය එම ඖෂධවලට යම් ප්‍රතිරෝධයක් දක්වනවා. මේ රෝගය වැඩිපුර පැතිරීමට එයත් එක් හේතුවක් ලෙස සඳහන් කළ හැකිය.
දිලීර විශේෂ වෙනස්වීම සහ අලුතෙන් විශේෂ හඳුනාගෙන තිබීම නිසා සම්ප්‍රදායානුකූල ඖෂධවලට වඩා ප්‍රතිදිලීර නාශක ඖෂධ භාවිතා කරන්න සිදු වනවා.
මීට අමතරව මේ රෝගය ව්‍යාප්ත වීමට අපගේ ජීවන රටාවත් බලපා හැකියි. පැය ගණන් රාජකාරිවල නියැළෙන පුද්ගලයන් එකම ඇඳුම දාඩිය එකතු වුවත් ඇඳගෙන සිටීම නිසා මෙවැනි දිලීරයකට සම මතුපිට වර්ධනය වීමට එයින් හොඳ අවකාශයක් ලැබෙනවා. ඒ වගේම ශරීරයට තද වූ ඇඳුම් ඇඳීම සහ ඇඳුම් හුවමාරු කරගැනීමෙන් කෙනකුගෙන් තවත් කෙනකුට ව්‍යාප්ත විය හැකියි.
ටීනියා සඳහා ප්‍රතිකාර නොකළහොත් එය ශරීරය පුරා පැතිරී අන් අයටද බෝ වීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම නිතර කැසීම නිසා සම තුවාල වී, ඒවායින් ශරීරය තුළට බැක්ටීරියා සහ විෂබීජ ශරීරගත විය හැකියි. පසුව ඒවායින් ඇති වන සංකුලතාවලටද මුහුණ දීමට සිදු වනවා.
මෙයට ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තිබෙනවා. ප්‍රථමයෙන් ඔබගේ පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වී උපදෙස් ගෙන සමේ රෝග සායනයකටද සහභාගි වී අවම වශයෙන් මාසයක්වත් ඖෂධ පාවිච්චි කළ යුතුයි. සම මතුපිටින් සෛල ගමන් කරන ආකාරය අනුව මේ දිලීරය ඉවත් වීමට සති 4ක කාලයක්වත් ගත වනවා. මීට අමතරව ඖෂධ මාරු කිරීමට මෙන්ම මාස කිහිපයක්ම ප්‍රතිකාර ගැනීමට සිදු වන අවස්ථාද අප දැක තිබෙනවා.
මේ දදය යටපත් වූ සැණින්ම ඖෂධ නවත්වන්නේ නැතිව, වෛද්‍ය උපදෙස් පරිදි වෛද්‍යවරයා සඳහන් කරන කාලය පුරා ඖෂධ පාවිච්චි කළ යුතුයි. පානය කරන ඖෂධ ඉවර වූවත් පැල්ලමට ආලේප කිරීම සඳහා දුන් ආලේපනය පැල්ලම සුව වූ පසුවද, වෛද්‍යවරයා සඳහන් කරන කාලය පුරා පාවිච්චි කළ යුතුයි. නැති නම් දිලීරයේ සුළු කොටසක් හෝ ශරීරයේ රැඳී තිබුණ හොත් නැවතත් එය වර්ධනය විය හැකියි. ඇඳුම් සේදුවද මේ දිලීරය ඇඳුම්වලින් ඉවත් වන්නේ නැහැ. එනිසා ප්‍රතිකාර ලබන කාලය ඇතුළත ඔබගේ ඇඳුම්, ඇඳ ඇතිරිලි කොට්ට උර ආදිය හොඳින් මැද භාවිත කළ යුතුය. ඒ වගේම තමන් නිතර භාවිත කරන පුටු වගේ උපකරණද පිරිසුදුව තබාගත යුතුය.
ටීනියා රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවත්, මේ කාලයේදී අප අත්දකින ආකාරයට එක් ඖෂධ වට්ටෝරුවකින් පමණක් සුව කිරීමට අපහසුය. එබැවින් ලබාදෙන ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව සම්පූර්ණ කාලය පුරා පාවිච්චි කිරීම අනිවාර්ය වේ.

උපදෙස් – කොළඹ ජාතික රෝහලේ, චර්ම රෝග
විශේෂඥ වෛද්‍ය
ජනක අකරවිට
ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ හටගත හැකියි. එහෙයින් මෙහිදී පානය සඳහා ලබා දෙන ඖෂධවලින් අතුරු ආබාධ හටගන්නවාද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එහිදී අප අක්මාව සම්බන්ධ පරීක්‍ෂණ, රුධිරයේ සීනි මට්ටම මෙන්ම සම්පූර්ණ රුධිර ගණනය (Full blood count) වැනි පරීක්ෂණ ද සිදු කරනවා.
මේ රෝගය ලංකාවට පමණක් සීමා වූවක් නොවේ; දකුණු ආසියානු රටවල් ගණනාවකම තිබී ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නක්. මෙවැනි දිලීර රෝග වැඩි වශයෙන්ම පවතින්නේ ඝර්ම කලාපීය රටවල. එවැනි රටවල ආර්ද්‍රතාව, තෙත ගතිය, දහඩිය දැමීම සුලබයි. එහෙත් වියළි සීතල පරිසරවල මේ රෝගි තත්ත්වය දක්නට ලැබෙන්නේ අඩුවෙනි.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්