ආණ්ඩුව පෙරළීම සඳහා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී සන්ධානයක් ගොඩනඟා ගත් බවට ආරංචියක් පසුගියදා පැතිර ගියේ ය. 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පදනම් කර ගනිමින් පළාත් ආයතනවල බලය අල්ලා ගැනීම, ආණ්ඩුව පෙරළීමේ කලාවේ මුල් පියවර ලෙස විපක්ෂ දේශපාලන පක්ෂ සති අන්තයේ මතයක් උත්කර්ෂයට නැංවී ය.
පළාත් මැතිවරණ නීතියට අනුව ජූනි 2 වැනිදා නව පළාත් ආයතන, නගර සභා සහ මහා නගර සභා සක්‍රීය වන බැවින් විපක්ෂය බලය අල්ලන ආකාරය එදින දැන ගත හැකිය. කෙසේ වුව ද ආණ්ඩුවේ බලය අල්ලන මහමොළකාරයන් මේ දිනවල නිතර නිතර රාත්‍රී කාලයේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
පළාත් පාලන ආයතනවල බලය අල්ලන නූල් සූත්තර සඳහා මොවුන් ගණන් බලන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී එක් එක් පක්ෂ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය අනුව ය. මේ දේශපාලන පක්ෂ නඟන තර්කය පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලයක් ලැබී ඇති බව ය. ඊට ගම්වල බාසාවෙන් කිව හැක්කේ මේ උදවියට අන්දකයිප්පු කැවී තිබෙන බවයි. මෙහිදී මතු වන පළමු තර්කය වන්නේ පළාත් මැතිවරණයේ විපක්ෂය කියා නම් කළ හැක්කක් නැති බව ය. මන්ද යත්: සැම දේශපාලන පක්ෂයක් ම තරග වැදී තිබෙන්නේ අනෙකුත් පක්ෂවලට විරුද්ධව නිසා ය.
පක්ෂවල ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළට විරුද්ධව ඡන්දදායකයන් ඒ ඒ පක්ෂවලට ඡන්දය දී තිබේ. ඒ ඡන්ද ආණ්ඩු පක්ෂයට පමණක් නොව, සෙසු සියලු පක්ෂවලට විරුද්ධව දෙනු ලැබූ ඡන්ද වන්නේ ය. වසර කිහිපයක සිටම ජාතික ජන බලවේගයට විරුද්ධව ගොඩනගඟනු ලබන විපක්ෂ සන්ධාන වැදූ ගෙයි සන්නියෙන්ම මිය ගියේ ය. රනිල්ගේ නායකත්වයෙන් ගොඩනැඟෙන නව සන්ධානයේ ආයුෂ දින කීයක් තිබේදැයි අපි නොදනිමු.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ලද ඡන්ද ප්‍රතිශතය 43.3 %කි. ඒ අනුව, 56.7 %ක් ඔවුන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ. සමගි ජන බලවේගය ගත්තේ 21.7 %කි. සමස්ත ඡන්දදායකයන්ගෙන් 79.3 %ක් සජබට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ ඡන්ද ප්‍රතිශතය 9.2%කි. ඒ අනුව සමස්ත ඡන්දදායකයන්ගෙන් 90.8 %ක් ඔවුන්ට විරුද්ධව ඡන්දය දී ඇත. පොදු ජන එක්සත් පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රතිශතය 3.7 %කි. 96.3 %ක් ඔවුන්ට විරුද්ධය. නාමල් රාජපක්ෂගේ පොහොට්ටුවට 9.17%ක් ඡන්ද ලැබී ඇති අතර, 90.83%ක් ඡන්දදායකයෝ ඔවුන්ට විරුද්ධය. රනිල්ගේ එජාපයට 4.7%ක් ඡන්ද ලැබී ඇති අතර, සමස්ත ඡන්දදායකයන්ගෙන් 94.3%ක් රනිල්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
දැන් පළාත් පාලන ආයතනවල බලය අල්ලා ආණ්ඩුව පෙරළීමේ මුල් වෙඩිමුරය තබන බව ප්‍රකාශ කරන්නේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් 94.3%ක් ඍජු විරෝධයක් දක්වා ඇති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙනි! මිනිසුන් මෙසේ ‘රට්ටු හිනස්සන’ පරිදි හාස්‍යජනක ලෙස හැසිරෙන්නේ මුළාවැල් පෑගීම නිසා යැයි ගම්වල කතාවක් තිබේ. ලංකාවේ විරුද්ධ පක්ෂවලට බලය පිළිබඳ තණ්හාව මිස, දේශපාලනයේ වෙනත් කිසිම උතුම් අරමුණක් නැත. බලය අල්ලා ගැනීමට තිබෙන කලබලය නිසා රෑ වැටුණු වළේ මද්දහනේත් වැටෙති; නැති නම් වළ සොයා ගෙන ගොස් එහි පනිති. ඒ සඳහා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ද තිබේ. කිසිවකු ඊට එරෙහි නොවිය යුතුය.
නිසි සංවර්ධන වැඩපිළිවෙළකින් තොරව, සැබෑ මහජන නියෝජනයකින් තොරව, දීර්ඝ කාලයක් එක තැන පල් වුණු ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වහා ප්‍රතිෂ්ඨාපනය කොට, දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ඉදිරියට ගෙන යෑම මේ මොහොතේ රට ඉදිරියේ ඇති වගකීම ය.
ආණ්ඩුවට ඒ සඳහා අවශ්‍ය බහුතර ජනමතය ලැබී තිබේ. විපක්ෂය වරින් වර කරළියට ගෙනෙන විසූකදස්සන නරඹන්නට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට කාලයක් නැත.