Home » ලිවීමේ තාක්ෂණයේ ගමන් මඟ විප්ලවීය වෙනසකට…

ලිවීමේ තාක්ෂණයේ ගමන් මඟ විප්ලවීය වෙනසකට…

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

මානව ශිෂ්ටාචාරය ආරම්භයේ පටන්ම මිනිසා සිය සිතුම් පැතුම්, අදහස් පළ කරන්නට අංග චලනය සහ හඬ භාවිත කළේය. භාෂණය සහ සංකේත භාවිතයෙන් පසුකාලීනව නිපන් අක්ෂර උපයෝගි කරගෙන මානවයා සිය පාරම්පරික ඥානය, දැනුම, අවබෝධය ලේඛනගත කිරීමට පෙලඹිණි. ඒ, තම අනාගත පරපුර වෙනුවෙනි.

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර පෞරාණික මහාපාලී දානශාලාව සහ අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රිතව කළ පුරාවිද්‍යා කැණීම්වලදී, බ්‍රාහ්මී අක්ෂර සටහන් කළ මැටි භාජන සමූහයක් හමු විය. මෙම අක්ෂර ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට අයත් බව විද්‍යාත්මක ක්‍රමවේදයන් මඟින් තහවුරු කරගනු ලැබිණි. මහින්දාගමනයෙන් පසු අපේ රජ දරුවන් විසින් ගල් පර්වත මුහුණත් සිය ප්‍රකාශ කෙටුම්පත් කිරීමට යොදා ගනු ලැබීය. එනයින්, මෙරට මුලින්ම ගල්පව් මත, බ්‍රාහ්මීය අක්ෂර උපයෝගි කරගෙන සෙල්ලිපි කෙටීම ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදීය. දේවානම්පියතිස්ස රජ දවස මිහින්තලේ කණ්ඨක චෛත්‍යය ආසන්නයේ ලෙන් කටාරම් අබිමුව කොටන ලද සෙල්ලිපි රාශියක් වර්තමානයෙහිද විද්‍යමානය.

‍අපේ මුතුන් මිත්තන් ක්‍රිස්තු පූර්ව යුගවලදී පවා සාක්ෂරතා ඥානයෙන් පිරිපුන් ජන කොට්ඨාසයක් බැව් මෙමඟින් මැනවින් තහවුරු වේ. ඒ අතරම, වංශකථාවල සඳහන්, විජය රජු පඬි රට මධුරා රජුට දියණියක එවන ලෙස දන්වා යැවූ හසුන සහ තිස්ස රජු හා අසෝක රජු අතර පැවති ලිපි ගනුදෙනු වන් තොරතුරුවලින් ගම්‍ය වන්නේ එවන් ඈත යුගවලද අක්ෂර භාවිතය පැවති බවයි.

මහින්දාගමනයත්‍ සමඟ මෙරටට ගෙනෙන ලද මගධ භාෂාවෙන් ලියන ලද බොදු අටුවා හෙළ බසට නඟන ලදි. හෙළටුවා නම් වූ මෙකී ග්‍රන්ථ අතුරින් මුලින්ම ලියන ලද්දේ මහා අට්ඨකථා, මහා පච්චරි අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා යන ග්‍රන්ථ ත්‍රිත්වය බැව් සඳහනි. ‍මේ කාර්යය සඳහා අප මුතුන් මිත්තෝ පන්හිඳ සහ පුස්කොළ තීරු යොදාගැනීමට නැණවත් වූහ.

මහා කාශ්‍යප නිරිඳුන්ගේ සමයේ (ක්‍රි.ව. 473-491) සිංහල ලේඛන කලාවේ සුවිශේෂ කලාත්මක ලක්ෂණ, සීගිරි කැටපත් පවුරේ විද්‍යමාන වන සීගිරි කුරුටු ගී වෙතින් මැනවින් ප්‍රකට වේ.

මෙනයින් ක්‍රමික විකාශනයට පත් දේශීය ලේඛන කලාව, නවීන විද්‍යාත්මක නිපැයුම් උපයෝගි කරගැනීමෙන් නැවුම් මඟකට අවතීර්ණ විය.

අටවැනි සියවසේදී චීනයේ කාඉ ලුන් ප්‍රථම වතාවට ලොවට කඩදාසි හඳුන්වාදීමත්, 1439 ජර්මනියේ ජොහැන්ස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමත් සමඟ ලේඛන කලා ප්‍රකාශනය ලද දිරිගැන්වීම සුළුපටු නොවේ. 1736දී ඕලන්ද ජාතික පාලකයන් විසින් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට සිංහල මුද්‍රණ යන්ත්‍රයක් හඳුන්වා දෙනු ලැබිණි. 1821දී චාර්ල්ස් බැබේජ් පරිගණකයද, 1867දී ක්‍රිස්ටෝපර් ලැතම් ශෝලේස් යතුරුලියනයද, පෝල් බැරන් 1960දී අන්තර්ජාලයද ලෝකයට හඳුන්වා දීමත් සමඟ ලේඛන කලාව නව ප්‍රවේශයකින් ලොව පුරා ව්‍යාප්ත වන්නට විය.

ක්‍රිස්තු පූර්ව යුගවල රාජ ආඥා කෙටුම්පත් කරලන්නට, ගල් වඩුවා ගල් කටුව අත දරමින් මහත් ආයාසයක් ගති. පසුකාලීනයෝ පන්හිඳ, පැන්සල, පෑන දෑඟිලි අතර තෙරපාගෙන අකුරු කළහ. අනතුරුව, නවීන විද්‍යාවේ අරුණැල්ලෙන් නිපන් යතුරුලියනයේ, පරිගණකයේ යතුරු පුවරු මත දෑඟිලි තුඩු මෙහෙයවමින් දැඩි ආයාසයකින් තොරව, ලේඛන සකසන්නට මානව වර්ගයා භාග්‍යසම්පන්න විය.

ලේඛන කලාවේ විකාශනය පිළිබඳ මෙවන් තොරතුරු සමුදායකින් මේ ලිපිය ආරම්භ කිරීමට අදහස් ක‍ළේ, මිනිස් චින්තන ධාරාවන් දෑඟිලිවලින් ලේඛනගත කිරීම වෙනුවට,මිනිස් කටහඬින් නික්මෙන වදන් කෙටුම්පත් කිරීමේ නව්‍ය මෘදුකාංගයක් කලකට පෙර ජනගත වීමේ අසිරිමත් පුවත පාඨක ඔබ හමුවට ගෙන ඒමේ පූර්විකාවක් ලෙසිනි.

ලේඛකයන්ට, පුවත්පත් කලාවේදීන්ට, මුළු මහත් රාජ්‍ය සේවයට, විශේෂයෙන්ම කළමනාකාර සේවයේ ලිපි පරිගණකගත කරන්නන්ට අතිශය වැදගත් මේ නව්‍ය මෘදුකාංගය අන්තර්ජාලය ඔස්සේ හඳුන්වාදීමේ ගෞරවය නිතැතින්ම හිමි වන්නේ google සමූහය වෙතය.

මේ නව්‍ය මෘදුකාංගයෙන් භාෂා 120කින් තමාට අවශ්‍ය භාෂාව තෝරාගත හැකිය. අනතුරුව, තමා විසින් පරිගණකය ඉදිරියේ වාචිකව ඉදිරිපත් කෙරෙන අදහස් 100%ක්ම නිවැරදිව පරිගණකයෙහි ටයිප් කරගැනීමට සහ අවශ්‍ය පරිදි සංස්කරණය කරගැනීමට අවකාශ සැලසේ.

පහත දැක්වෙන පියවර කිහිපය ක්‍රියාත්මක කිරීමෙන් මේ නව්‍ය යෙදුම ලේඛන කටයුතු සඳහා උපයෝගි කරගැනීමට ඔබටද නිසැක වශයෙන්ම අවස්ථාව හිමි වේ.

1. chrome මඟින් අන්තර්ජාලගතව ඔබගේ gmail ගිණුමට ප්‍රවේශ වීම මෙහි ආරම්භක පියවර වේ.

2. ඔබ විදත් ගිණුම විවෘත කළ විට මතු වන තීරයේ, ඉහළ දකුණු පසට වන්නට පිහිටි තිත් 9ක් සහිත සංකේතය click කළ යුතු වේ. එවිට මතු වන රාමුවෙහි දක්නට ලැබෙන සංකේත සමූහයන් අතුරින් DOC සංකේතය මත click කරන්න. ඒ සැණින් මතු වන රාමුවේ වම්පස දැක්වෙන වර්ණවත් එකතු කිරීමේ ලකුණ (+) ක්ලික් කළ යුතු වේ.

3. මේ අවස්ථාවේ, ඔබ පරිගණකයේ මතු වන පිටුවේ ඉහළ පිහිටි tools යන්න ක්ලික් කළ යුතු වේ.

4. තත් රාමුවෙහි නවවැනි පෙළෙහි දැක්වෙන Voice Typing මත ක්ලික් කිරීම ඔබ විසින් කළ යුතු මීළඟ කාර්යයයි.

5. එකල්හි තිරයේ දකුණු පසට වන්නට කළු පැහැ මයික්‍රොෆෝනයක් දිස් වනු ඇත.

6. මයික්‍රොෆෝනයට ඉහළින් තීරුවේ English යන පදය ඉදිරියේ ඇති ඊතල තුඩ click කළ විට, අනුපිළිවෙළින් භාෂා ගණනාවක් දර්ශනය වේ.

7. ඒ අතර වන සිංහල click කළ සැණෙකින්, සිංහල භාෂා මෘදුකාංගය පරිගණකයෙහි ස්ථාපනය වූ බව මයික්‍රොෆෝනය ඉහළ සටහන් වේ.

8. කළු පැහැ මයික්‍රොෆෝනය මත click කළ විට එය වදන්/ අකුරු බවට පත්ව, පරිගණක තිරයෙහි කදිමට ටයිප් වේ. ඕනෑම වේගයකින් භාෂණය කළද, ඒවා ඉතා නිවැරදිව ටයිප් වීම මේ මෙවලමෙහි ඇති විශේෂත්වයයි.

9. ඊතලය කළු පැහැ මයික්‍රොෆෝනය මතට ගෙන ගොස්, පරිගණකයේ මවුස් එකේ දකුණු පස තෙරපූ විට කුඩා රාමුවක් මතු වේ. එහි තමා ටයිප් කළ දෑ පරිගණකයේ ගබඩා කිරීමට හෝ මුද්‍රිත පිටපතක් ගැනීමට හෝ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගැනීමට හෝ අවශ්‍ය නම්, අදාළ හැඳින්වීම ඉදිරියේ click කළ විට, ඔබ අපේක්ෂිත විධානය සැණෙකින් ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.

10. ඔබට කිසියම් අතපසුවීමකින් ටයිප් කරන ලද ලිපිය ගබඩා කිරීමට අමතක වුව හොත්, ස්වයංක්‍රීයව එය ඔබගේ gmail ගිණුමෙහි සංරක්ෂණය වේ. මේ පහසුකම නිසා ඔබට කාර්යාලයේදී අවසන් කරගැනීමට නොහැකි වූ ලිපියක්, නිවෙසේ හෝ වෙනත් තැනකදී ඔබ gmail ගිණුමට පිවිස, අවසන් කරගැනීමේ පහසුකමද සැලසේ.

‍මේ සටහන ටයිප් කරන ලද්දේද, අදාළ මෙවලම උපයෝගි කරගෙන, කටහඬ භාවිතයෙනි. ඒ සඳහා ගත වූයේ විනාඩි 10කටත් අඩු කාල පරාසයකි. කාලය ඉතිරි කරගැනීමට සහ ඉතා පහසුවෙන් ලිපි ටයිප් කරගැනීමට මෙමඟින් සැලසෙන මෙහෙවර ප්‍රශස්තය. ලේඛන කාර්යයෙහි නිමග්න විද්වතුන්ට මේ නව මෘදුකාංගයෙන් අනල්ප පහසුවක් සැලසෙනු ඇත.

මිනිස් සිතෙහි මැවෙන සිතිවිලි, චින්තන ධාරා පරිගණක තිරයෙහි ස්වයංක්‍රීයව ලියවෙන මෘදුකාංගයක් පරිගණක ඉංජිනේරුවන් විසින් හඳුන්වා දෙනු ලබන දිනයද වැඩි ඈතක නොවනු නිසැකය.

අන්තර් ජාලයේ https://youtu.be/cSS7PWkJxNI වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මේ පිළිබඳ වැඩිදුරටත් පුළුල් අවබෝධයක් ලද හැකිය.

ආචාර්ය ගාමිණී කාරියවසම්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division