ජේ. ආර්. යන කෙටි නාමයෙන් කවුරුත් හැඳින්වූ ජූනියස් රිචඩ් ජයවර්ධන ලංකා දේශපාලන ඉතිහාසය තුළ සිටි ප්‍රබලම චරිතයකි. දිගු දේශපාලන ඉතිහාසයක් ඇති ජේ.ආර්. සිය දේශපාලන ජීවිතය අවසන් කරනුයේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙසය.

එඩී රුක්මණී විවාහ වූ දා
එහෙත් මේ ලිපිය වෙන් වනුයේ ජේ.ආර්.ගේ දේශපාලනය ගැන සටහනක් ලෙස නොව, කලාකරුවන් ඇසුරු කරමින් ගුවන්විදුලි නාට්‍යකරුවකු ලෙස ඔහු තම ජීවිත කාලය තුළ ලත් අත්දැකීමක තොරතුරු බෙදාගැනීමටය.
සී.ඒ. ෆොන්සේකා බොහෝ කලාකරුවන්ට අතහිත දුන් ගුවන්විදුලි ශිල්පියෙකි. රුක්මණී දේවී, ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න, ෆ්‍රෙඩී සිල්වා ආදීන්ට කලා ලෝකයට පිවිසීමට උදවු කළ හෙතෙම ජනප්‍රිය ගායකයන් වූ සී.ඩී. ෆොන්සේකාගේ හා අර්වින් ෆොන්සේකාගේ පියාය. සී.ඒ. එකල සර් ජෝන් කොතලාවල ආදි ඉහළ සමාජ තලවල සිටි අයගේ නිවෙස්හි සංගීත සාද සංවිධානය කළ අයෙකි. වර්ෂ 1935දී ජේ.ආර්. ජයවර්ධන හා එලීනා බණ්ඩාර රූපසිංහගේ විවාහ මංගල්‍යයේදීද ඔහු සංගීත සාදයක් පවත්වා ඇත. ඒ සඳහා එකල ගුවන්විදුලි ශිල්පීන් රාශියක්ද සහාභාගි වී ඇත.
1942 දෙසැම්බර් 18 වැනිදා ලංකාව පුරා ළැව් ගින්නක් සේ පැතිර ගිය ආරංචිය වූයේ එඩී-රුක්මණීගේ පැන යෑමය. එඩී ජයමාන්නට එරෙහිව රුක්මණීගේ වැඩිහිටියන් පොලීසියට පැමිණිලි කළෙන්, එඩී-රුක්මණී යුවළ සෙවීමට සෑම පොලීසියකටම උපදෙස් දී තිබිණි. මේ දෙපළට කළ හැකි එකම දේ වූයේ උසාවියට භාර වීමය. එහෙත් පසු දින නිවාඩු දවසක් වූ නිසා එයද කළ නොහැකි විය. මෙහිදී ජේ.ආර්. හා එලීනා ජයවර්ධන යුවළ එඩී හා රුක්මණී එකල ග්‍රැන්ඩ්පාස් පාරේ පිහිටි තම නිවෙසේ නතර කරගෙන සිට, පසුදා නීතිඥයන් මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් කළහ. 1943 පෙබරවාරියේදී එඩී හා රුක්මණී විවාහ වන තුරුම ජයවර්ධන යුවළ ඔවුන්ට උදවු කළහ.

මහාචාර්ය ගුණපාල මලලසේකර සහ මුදලිඳු ඊ. ඒ. අබේසේකර
දේශීය සිනමාවේ පරිවර්තනීය වෙනස කළ ‘රේඛාව’ චිත්‍රපටය නිපදවීමේදීත් ජේ.ආර්. ජයවර්ධන සහාය දී ඇත. ඔහුගේ සොහොයුරු එච්.ඩබ්ලිව්. ජයවර්ධන එය නිෂ්පාදනය කළ ‘චිත්‍ර ලංකා’ සමාගමේ සාමාජිකයෙක් විය. ‘රේඛාව’ චිත්‍රපටයේ අවසාන ජවනිකාව තිබුණේ ධාරානිපාත වැස්සක පුතකුගේ හා මවකගේ රඟපෑමකි. කීර්තිමත් චිත්‍රපට අධ්යක්ෂ ඩේවිඩ් ලීන්ගේ උපදෙස් මත, ගිනි නිවන හමුදාවේ සහායෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් කෘත්‍රිම වැස්සක් මවා, ඒ ජවනිකාව රූගත කළේය. මේ සඳහා දිගටම ජලය අවශ්‍ය වූ නිසා හොඳම පිහිටීම තිබුණේ කැලණි නදිය අසබඩය. මෙහිදී ජේ.ආර්. තමාට අයත්ව තිබූ කැලණියේ මානෙල්වත්ත මේ ජවනිකාව රූගත කිරීමට ලබා දී, අවශ්‍ය සෙසු පහසුකම්ද සැපයීමෙන් නොනැවතී, මේ රූගත කිරීම් නැරඹීමටද පැමිණ ඇත.
ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සිටි කීර්තිමත් පාලකවරයකු වූ පුජිත ගුණවර්ධන සිය ගුවන්විදුලි සේවා කාලයේ මතක සටහන් එකතු කරමින් ‘This is Colombo Calling’ නමින් කෘතියක් රචනා කොට ඇත. එහි 55 වැනි පිටුවට ‘ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති නාට්‍යකරුවකු හා නළුවකු ලෙස’ (Mr. J. R. Jayawardene: His Excellency the former President of Sri Lanka Democratic and Socialist Republic as a Dramatist and a Actor) යන මැයෙන් අපූරු උප පරිච්ඡේදයක් ඇතුළත් කර තිබිණි. එහි වූයේ ජේ.ආර්. ජයවර්ධන ගුවන්විදුලි නාට්‍යයක් රචනා කර, එහි රඟ පා ඇති බවය.
ඊට අනුව, ජේ.ආර්. ජයවර්ධන විසින් ‘සමාජ සේවකයා’ (Social Worker) යනුවෙන් ගුවන්විදුලි නාට්‍යයක් රචනා කොට 1938දී විකාශය කරනු ලැබ ඇත. මේ නාට්‍යය ගුවන්විදුලිය සඳහා නිෂ්පාදනය කරනු ලැබූයේ මුදලිඳු ඊ.ඒ. අබේසේකර විසිනි. එකල දිනපතා ගුවන්විදුලියේ විකාශය වන වැඩසටහන් සඳහා එදින පළ වන පුවත්පත් මඟින් ප්‍රචාරණයක් දීම සිදු වුවත්, මෙකී ‘සමාජ සේවකයා’ නාට්‍යය එකල ගුවන්විදුලියේ පාලකවරයා වූ ෂර්ලි සිල්වා විසින් අවසාන මොහොතේ ගනු ලැබූ තීරණයක් මත විකාශය වූවක් නිසා පුවත්පත්වල පළ වන ගුවන්විදුලි වැඩසටහන් විස්තරයට ඇතුළත් කර නොතිබිණි. එහෙත් දවස පුරා ගුවන්විදුලිය ඔස්සේ ඒ නාට්‍යය පිළිබඳ ඉහළ පූර්ව ප්‍රචාරයක් දී තිබිණි. ‘සමාජ සේවකයා’ නාට්‍යය 1938 මාර්තු 29 වැනි දින සවස 5.30 සිට 6.03 දක්වා විකාශනය කෙරිණි.

බෙර වාදනයක මිහිර විඳින ජේ. ආර්.
කෙසේ වෙතත්, ‘සමාජ සේවකයා’ නාට්‍යයේ කථාව පිළිබඳ කිසිම සටහනක් පූජිත ගුණවර්ධන සිය කෘතියේ සඳහන් නොකරයි. එහෙත් එහි හිඟන චරිතයක් ගැන පමණක් සඳහනක් ඇති නිසා සමාජ සේවකයකු හා හිඟන අයකුගේ චරිත වටා එය ගොඩනැඟී ඇතැයි සිතිය හැකිය.
ජේ.ආර්. ජයවර්ධනගේ ‘සමාජ සේවකයා’ ගුවන්විදුලි නාටකයේ චරිත නිරූපණය කළ සියල්ලන්ම ලාංකේය සමාජයේ කීර්තිමත් පුද්ගලයන් වීම විශේෂත්වයකි. ජේ.ආර්.ද මෙහි චරිතයක් රඟපෑ අතර, එහි තිබූ එකම කාන්තා චරිතයට පණ පෙවුවේ ඔහුගේ ආදරණීය බිරිය එලීනා ජයවර්ධනය. මේ අනුව, ලංකාවේ ගුවන්විදුලි නාට්‍යයක රඟපෑ පළමු අඹු සැමි යුවළ ලෙස ජේ.ආර්. හා එලීනා දෙපළ වාර්තා අතරටද එක් වෙති.
‘සමාජ සේවකයා’ නාටකයේ සෙසු නළුවන් වූයේ මහාචාර්ය ගුණපාල මලලසේකර, මුදලිඳු ඊ.ඒ. අබේසේකර, යූ.ජී.පී. ද සිල්වා හා සී.ඒ. ෆොන්සේකාය. මහාචාර්ය මලලසේකර, මුදලිඳු අබේසේකර ගුවන්විදුලිය හා සමීපව කටයුතු කළ අතර, ඔවුහු ගුවන්විදුලි උපදේශක සභාවේ සාමාජිකයෝද වූහ. සී.ඒ. ෆොන්සේකා ප්‍රධාන පෙළේ ගුවන්විදුලි ශිල්පියෙකි.
ජේ.ආර්. ජයවර්ධනගේ මේ ‘සමාජ සේවකයා’ නාට්‍යයට එවක ගුවන්විදුලි අසන්නන් සියලු දෙනාම වාගේ සවන් දී ඇත. එම නාට්‍යය සැබෑ ලෙසම අසන්නන්ගේ සිත් දිනාගෙන ඇත්තේ එහි සිදුවිම් සත්‍ය ලෙස පෙන්වමින් ඔවුන් වෙත සමීප වීම නිසාය. මෙයට හොඳම උදාහරණය වනුයේ: මහනුවර පදිංචි කාන්තාවක හිඟන්නාගේ චරිතයට රඟ පෑ නළුවාට ත්‍යාගයක් ලෙස රුපියල් 25ක මුදලක් ගුවන්විදුලි පරිපාලක වෙත එවා තිබීමය. හිඟන්නා ලෙස රඟ පෑ යූ.ජී.පී. ද සිල්වා රජයේ අභ්‍යාස විද්‍යාලයේ මුල් ගුරුතුමා බව ඒ කාන්තාව දැන සිටින්නට නැත!.
ප්‍රේමදාස තෙලිකෝරල