Home » ප්‍රංසයේදී රතු පලස මතින් ඇවිද එන ලංකාවේ ‘ගැහැනු ළමයි’

ප්‍රංසයේදී රතු පලස මතින් ඇවිද එන ලංකාවේ ‘ගැහැනු ළමයි’

by Mahesh Lakehouse
May 17, 2025 12:30 am 0 comment

වර්ෂ 1978දී ලාංකේය රිදී තිරයට එක් වන ‘ගැහැනු ළමයි’ ප්‍රංසයේ පැවැත්වෙන 78 වැනි කෑන්ස් සිනමා උලෙළ සඳහා තෝරාගෙන ඇති බව අපගේ සුවහසක් සිනමාලෝලීන් හට සතුටු ආරංචියක් වනවාට සැක නැත. ඉකුත් 14 දා ප්‍රංසයේදී ප්‍රදර්ශනය ඇරඹුණු එය එළඹෙන 21 බදාදා දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

‘ගැහැනු ළමයි’ සුමිත්‍රා පීරිස් සම්මානනීය සිනමාවේදිනියගේ ප්‍රථම සිනමා සිත්තමයි. එසේම එය වසන්ති චතුරාණියගේ ප්‍රථම සිනමා ආගමනයයි.

ප්‍රංස, ඉන්දීය හා ශ්‍රී ලංකා සිනමා උරුමයන් සුරැකීමේ වැඩසටහන යටතේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය මැයි මස 17 දින කෑන්ස් චිත්‍රපට උලෙළේදී එහි මංගල දර්ශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙය දේශීය සිනමා කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් වනවා සේම, ශ්‍රී ලංකා රජයට හිමි වූ වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මේ සුවිශේෂ අවස්ථාවට ‘ගැහැනු ළමයි’ හි කතානායිකාව ‘කුසුම් ලියනගේ’ චරිතය නිරූපණය කළ රංගන ශිල්පිනිය වසන්ති චතුරාණි, චිත්‍රපටයේ ‘නිමල් හතුරුසිංහ’ වූ රංගන ශිල්පි අජිත් ජිනදාස, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ, සුදත් මහදිවුල්වැව, FISCH පදනම වෙනුවෙන් ප්‍රංස තානාපති කාර්යාලය හා සම්බන්ධීකරණ කටයුතු කළ දමිත් ෆොන්සේකා, ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ ප්‍රතිෂ්ඨාපන කාර්යයේ පූර්ණ වගකීම පැවරී තිබූ ඉන්දීය Film Heritage Foundation සභාපති ශිවේන්ද්‍ර සිං දුන්ගපූර් හා මේ කාර්යය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් දායක වූ ප්‍රවීණ ශබ්ද සැලසුම් ශිල්පි සසික රුවන් මාරසිංහ සහභාගි වීමට නියමිතය.

චිත්‍රපටයක් සංරක්ෂණය වීමක් යනු ඉතිහාසයක් සංරක්ෂණය වීමකි. ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය සම්බන්ධ පළමුවැනි කතාබහ මතු කරනු ලබන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසිනි. ඒ, 1965දීය. වඩා සිසිල් නැති, වඩා වියළිද නැති තැනක් ඒ සඳහා සුදුසු බව ඔහුගේ අදහස විය. ඒ ඔස්සේ ආරම්භ වූ ක්‍රියාවලියක මල් පල ගැන්වීම ලෙස මේ අවස්ථාව දැකිය හැකිය.

FISCH අන්තර්ජාතික පදනම යටතේ එහි පළමු ව්‍යාපෘතිය ලෙස ‘ගැහැනු ළමයි’ චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය 2024දී ඉතාලියේ සිනෙටිකා බොලොඤ්ඤා ශබ්දාගාරයේදී සාර්ථකව නිම විය. මීට තවත් ආයතන ගණනාවක සහයද හිමි විය.

ජීවිතයේ සුන්දරම පරිච්ඡේදය, ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම දෙස කරුණාසේන ජයලත්ගේ කතා සංකල්පයෙන් සුමිත්‍රා පීරිස් බලන අපූර්ව නිර්මාණ කෝණය ‘ගැහැනු ළමයි’ ලෙස තිරයට නඟා ඇත. කළුඅග්ගල සාන්ත ජෝන් බොස්කෝ පාසල් පසුබිම චිත්‍රපටයට එක් කරන්නේ අපූරු සුන්දරත්වයකි.

ගම්පෙරළියට පසු සිංහල සිනමාවේ මහා පරිමාණ වෙනසක් මතු කළ ‘ගැහැනු ළමයි’ ලෙස්ටර් ජේම්ස් පීරිස් නිෂ්පාදන ඉදිරිපත් කළ මුල්ම චිත්‍රපටයයි. ලක්ෂ සංඛ්‍යාත රසික කැලක් සහපිරිවරින් නැරඹීමට ආ එය සිංහල සිනමාවේ සදානුස්මරණීය සිහිවටනයකි; තරුණ පරපුර දෙස හෙළූ දයාර්ද්‍ර බැල්මකි.

සුමිත්‍රා හැදූ වැඩූ ‘ගැහැනු ළමයි’ගේ ආදරය සතුට, වේදනාව මුසු පරිත්‍යාගයකි. කුසුම්ගේ ප්‍රශ්නය සර්වකාලීනය. පිළිලයක් සේ වැඩෙමින් තමා වෙළාගත් ආර්ථික සමාජීය ප්‍රශ්න දෙස වෙව්ලන දෑතින්, සුදුමැලි මුහුණින් බලා සිටින කුසුම් නියෝජනය කරන්නේ තරුණ ගැහැනියයි.

තිර කාලය පැය 2 මිනිත්තු 16ක් වූ ‘ගැහැනු ළමයි’ මුල් වරට 1978 මාර්තු 17දා සවස 6.00ට බම්බලපිටිය මැජස්ටික් සිනමා ශාලාවේදී තිරගත විය; ඒ සමඟම ‘අශෝකා’ ග්‍රෑන්ඩ්පාස්, ‘රොක්සි’ වැල්ලවත්ත, ‘රිට්ස්’ බොරැල්ල, ‘රීගල්’ මහනුවර, ‘අජන්තා’ ගම්පහ ඇතුළු සිනමා ශාලා 17ක ප්‍රදර්ශනය විය. ‘ගැහැනු ළමයි’ නිෂ්පාදනය වූයේ විජය චිත්‍රාගාරයදීය. ඊ. ඇන්තනි පිල්ලේ නිෂ්පාදනයෙන් දායක වූ ‘ගැහැනු ළමයි’ නිමල් මෙන්ඩිස්ගේ සංගීතයෙන්ද සුනිල් ආරියරත්නගේ පද රචනයෙන්ද වික්ටර් රත්නායකගේ හා නීලා වික්‍රමසිංහගේ ගායනයෙන්ද හැඩ වී ඇත. කැමරාව මෙහෙයවීම එම්.එස්. ආනන්දන්ය. කලා අධ්‍යක්ෂ ලෙස හේමපාල ධර්මසේනද සහය අධ්‍යක්ෂණයෙන් උපාලි පෙරේරාද ‘ගැහැනු ළමයි’ නිෂ්පාදනයට දායක වූහ. ශ්‍යාමා ආනන්දන්, චිත්‍රා වාකිෂ්ට, ට්‍රිලීෂියා ගුණවර්ධන, ජෝ අබේවික්‍රම, ජෙනිටා සමරවීරද ‘ගැහැනු ළමයි’ හැඩ කළහ.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division