Home » සහෝදරයන් දෙදෙනකුගේ මාරාන්තික ඝට්ටනය
ක්‍රිෂ්ණ අයියර්ගේ අනතුරු ඇඟවීම හෙවත්

සහෝදරයන් දෙදෙනකුගේ මාරාන්තික ඝට්ටනය

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
විජය දිසානායක

දින් වස‍ර 27කට පෙර, කොළඹ නීති පීඨය පිහිටුවා වසර 50ක් සපිරීම නිමිත්තෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශකවරයා ලෙස සහභාගි වූ ඉන්දියාවේ හිටපු අගවිනිසුරු වී.කේ. ක්‍රිෂ්ණ අයියර් මහතා ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින අර්බුද, න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වීමට ඇති අවදානම සහ එමඟින් මුළු මහත් දකුණු ආසියානු කලාපයට අත් විය හැකි භයානක ඉරණම පිළිබඳ ප්‍රබල අනතුරු ඇඟවීමක් කළේය.

“අපි මුළු මහත් මානව වර්ගයා න්‍යෂ්ටික අත්හදා බැලීම් – බෝම්බ ප්‍රතිපත්තියට එරෙහිව පාරට බැසිය යුතුයි. අපි රටින් රටට, නගරයෙන් නගරයට, ගමින් ගමට ගොස් ජාතික දේශසීමා දෙපස න්‍යෂ්ටික සියදිවි නසාගැනුමට එරෙහිව උද්ඝෝෂණය කළ යුතුයි,” අයියර් එහිදී ඉල්ලා සිටියේය. “බෝම්බයට දේශපාලන අනන්‍යතා හඳුනා ගැනීමේ හැකියාවක් නෑ. පාකිස්තානය ඉන්දියාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළොත්, මතක තබාගන්න, විකීරණශීලිත්වය දෙපසට බොහෝ දුර, ක්ෂණයකින් ගමන් කරමින්, පාකිස්තානුවන්ද මිය යාවි. ඒ හා සමානවම, පකිස්තානයේ ඕනෑම නගරයකට එල්ල කෙරෙන ඕනෑම ඉන්දීය බෝම්බ ප්‍රහාරයකින් විකීර්ණශීලිත්වය පැතිර ගොස් ඉන්දියානුවන්ද මුලිනුපුටා දමාවි.” (Sri Lanka Journal of International Law, Volume 10 – November 1998).

අප්‍රේල් 22 දින සුන්දර කාශ්මීර නිම්නයේ සංචාරක පිරිසකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව අඟහරුවාදා පාකිස්තානයේ ස්ථාන කිහිපයකට මිසයිල යොදා පහර දුන්නේය. පාකිස්තාන හමුදාවද ඉන්දීය ප්‍රහාරක යානා 5ක් බිම හෙළූ බව පැවසූ අතර, තම හමුදාව සූදානම් කරමින් සිටී. අවාසනාවකට මෙන්, දකුණු ආසියාවේ මේ අසල්වැසි රාජ්‍යයන් දෙක න්‍යෂ්ටික යුද්ධයක් කරා ගමන් කරමින් සිටින්නේ ආසියානු ශත වර්ෂයේ සිහිනය සැබෑ වීමේ එළිපත්ත අබියස සිටියදීමය.

ගෝලීය දකුණේ රටවලට කිසිදා ගැටුම්වල හිඟයක් නොතිබිණි. ලොව වඩාත්ම සූරාකෑමට ලක් වූ කලාපය ලෙස නිතිපතා නව යටත්විජිතවාදී යුද්ධ, ආක්‍රමණ, කුමන්ත්‍රණ, පාලන තන්ත්‍ර පෙරළා දැමීම් සහ වෙනත් ආකාරයේ විවෘත හා රහසිගත අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිවල ඉලක්ක බවට පත් වීමේ ඉතිහාසයක් මේ කලාපයට ඇත.

ගෝලීය දකුණට තමන් ඉදිරියේ ඇති, තෝරාගත යුතු එකම මඟ බහු ධ්‍රැවීයතාවයි. ලොව ප්‍රමුඛතම බහුධ්‍රැවීය සංවිධානය වන බ්‍රික්ස් සංවිධානයට සම්බන්ධ වීමට අවම වශයෙන් රටවල් 44ක් පමණ මේ වන විට කැමැත්ත පළ කර තිබීම පුදුමයට කරුණක් නොවේ. මේ රටවල් සියල්ල පාහේ පිහිටා ඇත්තේ ගෝලීය දකුණේ ය. ඊනියා නීති මත පදනම් වූ ලෝක පර්යාය ආරක්ෂා කරගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත බලවේග ශීඝ්‍රයෙන් වර්ධනය වන මේ බහුධ්‍රැවීය එකඟතාව කඩාකප්පල් කිරීමටද උත්සාහ කරති. ඒ සඳහා ඕනෑම දෙයක් කිරීමට ඔවුහු සූදානම්ය. තීරණාත්මක වශයෙන් වැදගත් කලාප කිහිපයක් පුරා පුළුල් යුද්ධයක් ඇති කිරීම හැර එය සිදු කිරීමට වඩා හොඳ ක්‍රමයක් තිබේද?

කෙසේ වෙතත්, යට සඳහන් කළ පරිදි, ගෝලීය දකුණේ මේ නැඟී ඒම බටහිර බලවත් රාජ්‍යයන්ට පිළිගත නොහැකි තත්ත්වයක් වන අතර, වර්තමානයේ ලොව විවිධ කලාපවල අප දකින අස්ථාවරත්වය එම ගමන අඩාළ කිරීම සඳහා ඔවුන් විසින් යොදාගන්නා එක් උපාය මාර්ගයකි. ඉන්දියාව සහ පාකිස්තානය සම්බන්ධයෙන් ගත් කල මෙය විශේෂයෙන් සත්‍යයකි. වසර 80කට ආසන්න කාලයක් තිස්සේ, මේ අසල්වැසි රාජ්‍ය දෙක සදාකාලික ගැටුමක සිර වී සිටී. මෙය ගරාවැටෙමින් පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආගමික පදනමක් මත ඉන්දීය උප මහාද්වීපය බෙදා වෙන් කරමින් හිතාමතාම සිදු කරන ලද දිගුකාලීන කඩාකප්පල්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පමණක් වුව විස්තර කළ හැකිය. ඉන්දියාව සහ පාකිස්තානය යන ‍රටවල් දෙකටම සහස්‍ර ගණනාවක් ඈතට දිව යන සංස්කෘතික, භාෂාමය, ඓතිහාසික සහ වාර්ගික සබඳතා පැවතිණි.

ආසියාවේ ආර්ථික දැවැන්තයකු ලෙස සංඛ්‍යාත්මක හා තාක්‍ෂණික යන දෙඅංශයෙන්ම ඉන්දියාවට සැලකිය යුතු සාම්ප්‍රදායික වාසියක් ඇත. මක් නිසාද යත්: එරට සන්නද්ධ හමුදාව ලොව පුරා හොඳම ආයුධ පද්ධති කිහිපයකට මෙන්ම දියුණු දේශීය යුද නිර්මාණ රාශියකටද හිමිකම් කියන බැවිනි. අනෙක් අතට, පාකිස්තානයට බලවත් හමුදාවක්, විශේෂයෙන් ගුවන් හමුදාවක් තිබුණද, ඉන්දියාව සමඟ මහා පරිමාණයේ සාම්ප්‍රදායික ගැටුමක් ජයග්‍රහණය කිරීමට තරම් එය උසස් තත්ත්වයක නැත. දෙරට අතර පසුගිය යුද ගැටුම් දෙක (1971 සහ 1999 දී) ඊට සාක්ෂි දරයි. ඉන්දීය යුද ශක්ති නින්දිත පරාජයක් වළක්වා ගැනීම සඳහා, ඉස්ලාමාබාද් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට යොමු විය හැකිය. එවැනි විටෙක, නව දිල්ලිය නිසැකවම තමන්ගේම උපායමාර්ගික අවි ගබඩාවෙන් ඊට ප්‍රතිචාර දක්වනු නිසැකය.

එවැනි තත්ත්වයක් මුළුමහත් මේ රටවල් දෙකටම නියත වශයෙන්ම විනාශකාරි වනු ඇති අතර, දකුණු ආසියාවේ මිලියන ගණනක් ජීවිත හානි සිදු විය හැකිය. එය බහුධ්‍රැවීය ලෝකය එක්සත් වී, බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණයන්ට එරෙහිව නැඟී සිටීමට දරන උත්සාහය දැඩි ලෙස අඩපණ කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තම ශීර්ෂ පාඨ මඟින් නවදිල්ලි පාලනය තම පරම සතුරා ලෙස හඳුන්වනු ලබන පාකිස්තානය සමඟ යුද්ධයක් කරා ගමන් කරමින් සිටින බවට නඟන මොර හඬ මධ්‍යයේ, අප ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සොයාගත යුතුය. තම භූමියට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානයට දොස් පැවරීමට ඉන්දියාවට තමන්ගේම හේතු ඇති නමුත්, ඊට යුදමය විකල්පයක් කරා යොමු වීම මෝදි පාලනය බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තකි. සැබෑ ලෙසම එවැනි විකල්පයක් විසින් ඉන්දියාවට තමන්ගේම මවුබිමට එල්ල කෙරෙන ත්‍රස්ත ප්‍රහාර අවසන් කළ හැකිද? කුමන කෝණයකින් බැලුවද, මේ පැනයට පිළිතුර ‘නැත’ යන්නයි. ඒ වෙනුවට, ගැටලුව පෙර කවරදාටත් වඩා සංකීර්ණ විය හැකිය. ඉන්දියාවට ඇති ගැටලුව වනුයේ, එහි බලධාරීන් පවසන පරිදි, පාකිස්තානය විසින් නිර්මාණය කරන ලද/ සහාය දක්වන ලද ත්‍රස්තවාදයයි. ගැටුමේදී පාකිස්තානය පරාජය කිරීම සැබැවින්ම ඉන්දීය ආධිපත්‍යය යටතේ පවතින උප මහාද්වීපයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට හේතු වේද? නැත. එය ත්‍රස්තවාදයේ බලපෑම් තවදුරටත් උග්‍ර කළ හැකිය.

ලෝක නායකයන්ගෙන් බහුතරයක් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය හෙළාදැකීම ගැන ඉන්දියාව සතුටු විය යුතුය. එහෙත් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසි රටවල් දෙකක් අතර විවෘත ගැටුමකට ඔවුන් කිසිවකු පක්ෂ නොවීම පිළිබඳ කටුක යථාර්ථයෙන් මෝදි පාලනයට කිසිසේත් ගැලවිය නොහැකිය.

ඉන්දියාව සහ පාකිස්තානය තුළ තම ආයෝජන ඉදිරියට ගෙන යෑමට උනන්දුවක් දක්වන රටවල් පියවරක් පසු පසට ගැනීමට යුද්ධය බලපානු ඇත. කුමන කෝණයකින් බැලූවද දෙපාර්ශ්වයකටම යුද්ධයකින් ආර්ථික වාසි අත් කරගත නොහැකිය. සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට ගත් තීරණය (1979), වසර දහයක යුද්ධයකට මඟ පෑදූ අතර, එම තත්ත්වය සෝවියට් සංගමයේ බිඳවැටීමට (1991) මඟ පෑදුවේය.

ඉන්දීය ප්‍රහාරවලට පාකිස්තානය රජයක් ලෙස දක්වන ප්‍රතිචාරය මඳකට අමතක කරන්න. පාකිස්තානය බෙහෙවින් දුර්වල මෙන්ම අස්ථාවර රාජ්‍යයකි. තම උග්‍රතම ප්‍රතිවාදියාගේ ප්‍රහාර පාකිස්තානය තුළ ජාතිකවාදී හැඟීම් උද්දීපනය කරනු ඇත. මොහොතකට සිතන්න: කිසියම් අන්තවාදි, ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ ආතතීන් මධ්‍යයේ ඉන්දීය න්‍යෂ්ටික බලාගාරයකට ඇතුළු වී, යුද ශීර්ෂ එකක් දෙකක් නව දිල්ලියට, මුම්බායි නගරයට, හයිද්‍රාබාද්වලට හැරවූයේ නම් කුමක් සිදු වේද? එවැනි තත්ත්වයක් මුළු මහත් කලාපයම දැඩි විනාශයක් කරා රැගෙන යනු නිසැකය. එදා අගවිනිසුරු ක්‍රිෂ්ණ අයියර් පුන පුනා අවධාරණය කර සිටියේ මේ යථාර්ථයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division