අප්‍රේල් 28 වැනිදා පැවති කැනඩා රාජ්‍යයේ ෆෙඩරල් මැතිවරණයෙන් මාක් කාර්නි නියෝජනය කරන ලිබරල් පක්ෂය ජය අත් කරගෙන ඇති අතර, එම පක්ෂයට හිමි වූ ආසන සංඛ්‍යාව රජයක් ගොඩනැඟීමට ප්‍රමාණවත් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ලිබරල් පක්ෂයට හිමි වූ ඡන්ද ප්‍රතිශතය බහුතර ඡන්ද ප්‍රතිශතයක් නොවන අතර, කැනඩා මැතිවරණ සටනට එක් වූ ප්‍රතිවාදි කොන්සවේටිව් පක්ෂයට ආසන 144ක්ද ලිබරල් පක්ෂයට ආසන 169ක්ද හිමිව තිබිණි.
කැනඩා හිටපු අගමැති ජස්ටින් ටෲඩෝගෙන් හිස් වූ කැනඩා අගමැති අසුන නව අගමැති මාක් කානිට හිමි වන අතර, ඔහුට ඉදිරියටත් ඒ තනතුරේ කටයුතු කිරීමට අවකාශ සැලසෙනු ඇත. අගමැති කානිට පවසා කැබිනට් මණ්ඩලය සමඟ ඉදිරි රාජ්‍ය පාලන කටයුතු කිරීමට අවකාශ සැලසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ ෆෙඩරල් මැතිවරණය කැනඩාවේ 45 වැනි පාර්ලිමේන්තුව උදෙසා සභිකයන් තෝරාගැනීම අරමුණු වී ඇත. ෆෙඩරල් සටනේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස ලිබරල් පක්ෂ නියෝජනයෙන් මාක් කානි ද කොන්සවේටිව් පක්ෂ නියෝජනයෙන් පියරේ පොයිලිවේර් ද තරග වැදුණු අතර, ඒ House of Commonහි ආසන 343ක් වෙනුවෙනි. බහුතර ආසන සංඛ්‍යාවක් යම් පක්ෂයක් දිනාගැනීමට නම් එම අපේක්ෂයා ආසන 343න් 172ක් හිමි කරගැනීම ව්‍යවස්ථාපිතය.
හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මීට මාස දෙකකට පමණ පෙර අගමැති මාර්ක් කානි ලිබරල් පක්ෂ නායකත්වයට පත් කර ඇත.
මාර්ක් කානි
වසර 300ක කැනඩා ඉතිහාසය තුළ, කැනඩා මහා බැංකුවේ ඉහළතම නිලයක් දැරූ ප්‍රථම බ්‍රිතාන්‍ය නොවන පුරවැසියා වූයේ අගමැති මාර්ක් කානිය. 2003දී ඔහු කැනඩා බැංකුවේද අතිරේක ආණ්ඩුකාර තැන ලෙස සේවයට එක් වූ අතර, මූල්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අතිරේක අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇත. මෙවර මැතිවරණයේද අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩවල ජනගහනයේ ඡන්ද, ලිබරල් පක්ෂයේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රමුඛතම සාධකයක් වූ බව මැතිවරණ සමීක්ෂණ වාර්තා කර ඇත.
අගමැති කානිගේ අභියෝග
ඇත්ත වශයෙන් ම නොබෝදා කැනඩාවේ පැවති මැතිවරණය ඉතාම තීරණාත්මක එකක් වූ අතරම, අගමැති කානි අබියස කැනඩාවේ අනාගතය හා අභ්‍යන්තරික ගැටලු සම්බන්ධයෙන් ඉටු කළ යුතු අභියෝගාත්මක කාර්යයන් රැසකි. මේ වන විටත් කැනඩාව අභ්‍යන්තරයේ පුළුල් වූ බෙදීමක් පැනනැඟී ඇති අතර, නිවාස ප්‍රශ්නය ජීවන වියදම ඉහළ යෑම ආදිය දැවෙන ප්‍රශ්න ලෙස වාර්තා වී ඇත. ඒ අතුරින් නිවාස මිල ගණන් අධික ලෙස ඉහළ යෑම බරපතළම ගැටලුවක් ලෙස කැනඩා තරුණ ප්‍රජාව අතරට එක් වී ඇත. මේ නිවාස ප්‍රශ්නය කෙතරම් උග්‍ර ද යත්: වාර්ෂිකව නිවාස ලක්ෂ 5ක් ඉදි කිරීම කැනඩා පාලක රජයන් හමුවේ ඇති විශාල අභියෝගයක් ලෙස විස්තර වී ඇත.
කැනඩා මැතිවරණය හා ලෝක නායකයෝ
ප්‍රංස ජනපති එමානුවෙල් මැක්රෝන් හා කැනඩා අගමැති මාක් කානි අප්‍රේල් 30 වැනිදා ප්‍රංසයේ පැරිස් නුවරදී ඔවුනොවුන් මුණගැසී ඇති අතර, අගමැති කානිගේ ජයග්‍රහණය වෙනුවෙන් ශුභාශිංසන පිරිනමා ඇත. ක්‍රියාත්මක වෙමින් පවතින ආරක්ෂක තත්ත්වය පුළුල් කිරීම හා වෙළෙඳ සබඳතා තර කරගැනීම පිළිබඳ දෙරටේ සුහදත්වය වඩ වඩාත් ඔප්නංවමින් සාකච්ඡා මෙහෙයවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔස්ට්‍රේලියාවේ, මෙක්සිකෝවේ, යුරෝපීය සංගමයේ, එක්සත් රාජධානියේ ලෝක නායකයන් යුහුසුලුව එම ජයග්‍රාහී අවස්ථාවේ කැනඩා අගමැති කානි හට ශුභාශිංසන එක් කර තිබිණි. මේ අතර, අගමැති කානිගේ කාර්යාලයෙන් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් අගමැති කානි හට සුබපැතුම් එක් කළ බවයි.
කැනඩා අගමැති මාක් කානි ලිබරල් පක්ෂ ජයග්‍රහණයෙන් පසු ඔහුගේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ, කැනඩා ආර්ථිකය නැවත ගොඩනැගීම මෙන්ම එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් හමු වී සාකච්ඡා මෙහෙයවීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර එක්සත් රාජධානියේ චාල්ස් රජු, කැනඩා සංචාරයක් සඳහා ඉදිරි සතිවලදී පැමිණීමට නියමිත බවද වාර්තා වේ. ලිබරල් පක්ෂයට සුළුතර රජයක් පිහිටුවීමට අවස්ථාව උදා වී ඇති අතර, එය 2025න් පසු ලිබරල් පාක්ෂිකයන් ජනප්‍රිය ඡන්දයක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව ලෙස සටහන් වී ඇත.