Home » ලේකම්වරයෙක් ‘ස්ලාඩා’ සමඟ මල්ලවපොර තරගයකට එයි

ලේකම්වරයෙක් ‘ස්ලාඩා’ සමඟ මල්ලවපොර තරගයකට එයි

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
සිරිනාම රාජපක්ෂ

ලොව පුරා ක්‍රීඩාවේ පැවැත්මට වර්තමානයේදී මහා පිළිලයක් වී ඇති තහනම් උත්තේජක භාවිතය පිළිබඳව සොයා බැලීමට, පරීක්ෂණ කිරීමට හා ඉන් එළඹෙන නිගමනයන්ට අනුව අවශ්‍ය වුවහොත් දඬුවම් කිරීමට පවා බලය ලත් ආයතන දෙකක් ලෝක මට්ටමෙන් සහ දේශීය මට්ටමෙන් ස්ථාපිත කර ඇත. එනම්: ගෝලීය මට්ටමෙන් පිහිටුවා ඇති ඒ ආයතනය ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය (World Anti-Doping Agency-WADA) ලෙස හඳුන්වනු ලබන අතර, දේශීය වශයෙන් ඊට අනුබද්ධිත නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (Sri Lanka Anti-Doping Agency – SLADA) ස්ථාපිත කර තිබේ.

තවත් විධියකින් කිව හොත්: ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) යනු මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ තහනම් උත්තේජක පාලනය ප්‍රවර්ධනය කිරීම සහ බලාත්මක කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පිහිටුවා ගන්නා ලද වගකිව යුතු රාජ්‍ය ආයතනයකි. තවද තහනම් ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම මඟින් ක්‍රීඩාවේ ජීව ගුණය සහතික කිරීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමද එම ආයතනයේ අරමුණයි. එසේම තහනම් උත්තේජක භාවිතය මඟින් සිදු වන ආදීනව පිළිබඳ ක්‍රීඩාව කරන අය දැනුම්වත් කරමින් අධ්‍යාපනික වැඩසටහන් පවා පවත්වමින් ක්‍රීඩාවේ සුපිළිපන්භාවය වෙනුවෙන් ‘ස්ලාඩා’ (SLADA) ආයතනය කටයුතු කළද ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයා එවන් රාජකාරි කටයුතුවලට බාධා කිරීමක් පිළිබඳව ක්ෂේත්‍රයේ කතා බහට ලක් වී ඇත. එනම්: පසුගිය වසර අවසානයේදී වැලිසර නාවික හමුදා කඳවුර පරිශ්‍රයේදී පැවති ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලියට අදාළව ක්‍රීඩකයන් තහනම් උත්තේජක පරීක්ෂාවකට ලක් කිරීමට සහ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සඳහා ‘ස්ලාඩා’ නිලධාරීන් එම ස්ථානයට ගියද ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ ලේකම් ලෙස වර්තමානයේ කටයුතු කරන ලුතිනන් රණසිංහ නමැති නාවික හමුදා නිලධාරියා ඔවුන්ට ක්‍රීඩාංගණ භූමියටවත් ඇතුළු වීමට ඉඩ දී නැත. එම ස්ථානයට ඇතුළු වීමට පෙර ලබා ගත් අවසර පත්‍රයක් ‘ස්ලාඩා’ නිලධාරීන් සතුව නොතිබීම එසේ ඉඩ නොදීමට හේතුව ලෙස එම නාවික හමුදා නිලධාරියා විසින් සඳහන් කරන ලදැයි පැවැසේ.

එහෙත් මේ තරගාවලියටම අදාළ ගුවන් හමුදා නිලධාරියෙකුගේ ඉල්ලීමක් මත ‘ස්ලාඩා’ නිලධාරීන් කණ්ඩායම ඒ ස්ථානයට ගියද, ඔවුන් නැවත හරවා එවන්නට තරම් කටයුතු කළ එකී නිලධාරියාගේ ක්‍රියාකලාපය යම් කිසි අයුරකින් ක්‍රීඩාවේ ජීව ගුණයට කළ හානියක් බවද කිව යුතුය. විශේෂයෙන්, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් ලෙස තම සංගමයට අදාළ තරගාවලියකට රාජකාරි කටයුතු සඳහා පැමිණි ‘ස්ලාඩා’ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම 2013 අංක 33 දරන තහනම් උත්තේජක නිවාරණ පනත උල්ලංඝනය කිරීමකි. තවද, ඔහු වගකිව යුතු රාජ්‍ය නිලධාරියකු වීම ඒ වරදෙහි බරපතළකම තවත් දෙගුණ තෙගුණ කරයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව තම ආයතනයේ නිලධාරීන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා ‘ස්ලාඩා’ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරෝමි පිලපිටිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා වෙත ලිඛිතව දන්වන ලදි. 2024 නොවැම්බර් 25 දාතමින් යැවූ අංක SLADA / 04 /06 /01 දරන ඒ ලිපිය මඟින් අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් දන්වා ඇත්තේ ඊට එරෙහිව තමන් සතු නීතිමය බලය භාවිත කරමින් ඉදිරියේදී කටයුතු කිරීමටද සිදු වන බවයි.

නාවික හමුදාපතිවරයා වෙත යවන ලද එකී ලිපියට මෙතෙක් පිළිතුරක් නොලැබුණ බව, මේ පිළිබඳ කළ විමසීමකදී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ ලියුම්කරුට ප්‍රකාශ කළ අතර, අදාළ සියලු වගකිව යුත්තන්ට පිටපත් සහිතව ඒ ලිපිය යොමු කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවට පෙනෙන්න ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ක්‍රීඩා සභාවේ සභපතිවරයා සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපතිවරයාට පිටපත් සහිතව ‘ස්ලාඩා’ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් නාවික හමුදාපතිවරයාට යවන ලද එම ලිපියෙහි මෙසේද සඳහන්ය:

“ශ්‍රී ලංකාව තුළ ඕනෑම තරගාවලියක් පැවැත්වීමේදී එහි තහනම් උත්තේජක පරීක්ෂණ සහ දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කිරීමේ බලය 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සහ ලෝක තහනම් උත්තේජක මර්දන නීති සංග්‍රහයට අනුව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යයතනයට (ස්ලාඩා) හිමි වේ.”

දුරකතන මාර්ගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෘෘප් කපිතාන් නලීන් වැවේකුඹුර තරගාවලියට පෙර දින ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යාපන හා පරීක්ෂණ සහකාර අධ්‍යක්ෂ චමත් ශ්‍රීනිකගෙන්, උත්තේජක පරීක්ෂණ හා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සඳහා පැමිණෙන ලෙස ඉල්ලීමක් කර ඇත. ඊට ප්‍රතිචාර ලෙස ක්‍රීඩාවේ පිරිසුදුභාවය ආරක්ෂා කිරීම උදෙසා තහනම් උත්තේජක පරීක්ෂණ පැවැත්වීමට බලාත්මක කිරීම් හා ක්‍රියාත්මක කිරීම් සහකාර අධ්‍යක්ෂ ජනක කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2024 නොවැම්බර් 20 දින උදෑසන 9.00 වන විට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණ පරිශ්‍රය වෙත යවන ලදි. එහි යෑමට ප්‍රථම ගෘෘප් කපිතාන් නලීන් වැවේකුඹුර වෙත, පැමිණෙන අයගේ නම් සහ ජාතික හැඳුනුම්පත් අංක ලබා දීමටද කටයුතු කර ඇත. එහිදී ලුතිනන් රණසිංහ නමැත්තා එම නිලධාරීන් ක්‍රීඩාංගණ භූමියට ඇතුළත් කර නොගැනීමට කටයුතු කර ඇත.” උපුටාගැනීම අවසන්.

මෙරට ජාතික ක්‍රීඩා සම්මේලනයකට අනුබද්ධිතව යම් තරගාවලියක් පවත්වනු ලබන්නේ නම් ඊට අදාළ රාජකාරි කටයුතු සඳහා හෝ නැරඹීම සඳහා ඕනෑම කෙනකුට පැමිණිය හැකි ස්ථානයක එය පැවැත්විය යුතුය. එසේ නැතිව දොරගුළු වසාගෙන තරග පවත්වන්නේ නම් ඒ ගැන සැකයක් මතු වේ. ඒ ප්‍රශ්නයද නාවික හමුදාපතිවරයාට 2024 නොවැම්බර් 20 දින යොමු කළ ලිපියෙන් මතු කර තිබිණි:

“විශේෂ කරුණ වන්නේ මෙම තරගාවලියෙන් ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලිය සඳහා තෝරාගැනීමයි. උත්තේජක පරීක්ෂණ පැවැත්වීම සඳහා නියෝජ්‍යායතනයේ නිලධාරීන්ට ඇතුළත් විය හැකි ස්ථානවල තරග පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණකි. මෙවැනි ඉසවු ආරක්ෂක සේවා ස්ථානවල සංවිධානය කර අප නිලධාරීන්ට පරීක්ෂණ කටයුතු සඳහා බාධා කරන්නේ නම් හෝ පරිශ්‍රයන්ට ඇතුළත් වීමට ඉඩ නොදෙන්නේ නම් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම උදෙසා මේ පිළිබඳව ලෝක උත්තේජන මර්දන ආයතනය (WADA) සහ අදාළ ක්‍රීඩාවේ අන්තර්ජාතික සංගමය දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද දන්වා සිටිමි.” උපුටාගැනීම අවසන්.

එබැවින් මේ ලෝක තරගාවලියට ක්‍රීඩකයන් තෝරාගැනීමේදී බොහෝ පාර්ශ්වයන්ට අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි ‘ස්ලාඩා’ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඒ ලිපිය මඟින් නාවික හමුදාපතිවරයාට පෙන්වා දී ඇති අතර, තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කරමින් මේ තරගාවලිය නැවත පවත්වා සැබෑ ජයග්‍රාහකයන් තෝරාගැනීමට තමා යෝජනා කරන බවද ඇය වැඩිදුරටත් කියා සිටින්නීය.

කෙසේ වෙතත් වැලිසරදී පැවති මෙකී ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම හිමි කරගත් අතර, ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේ විශ්‍රාම ගිය නාවික හමුදා නිලධාරියකු බවද පැවැසේ. එසේ විශ්‍රාම ගිය පසු ඔහු ඒ පුහුණුකරු තනතුර ලබාගෙන ඇත්තේ හිටපු නාවික හමුදා උසස් නිලධාරියකු මෙන්ම වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම නිලයක්ද දරන පුද්ගලයකුගේ උපකාරයෙන් බව එකී ආරංචි මාර්ග සඳහන් කරයි. තවද ඒ ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලියට පසුව පවත්වන ලද ජාතික මල්ලවපොර තරගාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයකුම තහනම් උත්තේජක චෝදනාවට කොටු වී ඇත.

එසේ නම් ප්‍රශ්නය වන්නේ: මේ ක්‍රීඩකයා එකී ආරක්ෂක සේවා තරගාවලියේදී ලැබූ ජයග්‍රහණ වලංගුද? යන්නය. ඒ අනුව නාවික හමුදා කණ්ඩායම ජයග්‍රහණය කළ ඒ ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාව අවලංගු කළ යුතුය යන්න අපේ විශ්වසයයි. එහෙත් ඒ ප්‍රතිඵලයන්හි වෙනසක් සිදු වනු ඇතැයි අප නේසිතන්නේ මේ සියලු තීරණ පිටුපස ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධව සේවය කරන ඉහළම අධ්‍යක්ෂවරයකු සිටින බව පැවසෙන නිසාය.

අනෙක් කරුණ නම් එදින ‘ස්ලාඩා’ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ රණසිංහ නම් පුද්ගලයා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා වුවත්, ඔහුට එරෙහිව එම සම්මේලනය විසින් කිසිදු පියවරක් නොගැනීමයි. තවද, මේ චුදිත ලේකම්වරයා ලබන ඔක්තෝබරයේදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මල්ලවපොර තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස දැනටමත් නම් කර තිබීම මවිතය දනවන කරුණකි!

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වත්මන් සභාපතිවරයාද මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පෙනී යන්නේ තහනම් උත්තේජක භාවිත කරමින් හෝ ජයග්‍රහණ ලැබීම ඔහුද අනුමත කරන බව නොවේද?

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division