යම් ක්‍රීඩාවකට අදාළව අන්තර්ජාතික තරගාවලියක් සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ නම්, රටක් හැටියට ඒ පිළිබඳ අභිමානයෙන් කතා කරන්නට ඇත්තේ ඒ සඳහා සහභාගි වන රටවල් ගණන හෝ තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රමාණය ගැන සලකා බැලීමෙන් පමණක් නො වේ.
එවන් තරගාවලියක් පැවැත්වීමෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා එහා ගිය ඵලදායිතාවක් අපට උරුම කරගත හැකි බැවිනි. එනම්: ක්‍රීඩාව කරන හා කරවන අය වැඩි ප්‍රමාණයකට ඊට සහභාගි වීමට ලැබෙන විශේෂ වරප්‍රසාදය නිසාම ඔවුන්ට අන්තර්ජාතික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවන්ට මඟපෑදීමක් මෙන්ම එවන් තරගාවලියක් පැවැත්වීම නිසා අප රට ලෝකය ඉදිරියේ විවෘත වීමෙන් රටෙහි ආර්ථිකයට දායක වන සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයටද පිටුවහලක් වන බැවිනි.
එවන් බොහෝ සාධක සපුරාලන්නට හැකි ආකාරයේ, ක්‍රීඩාලෝලීන්ට මෙන්ම රටටද ගැම්මක් උත්පාදනය වන උද්වේගකර අන්තර්ජාතික බොක්සිං තරගාවලියක් හෙට සිට දින 12ක් පුරා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇත. එනම්: ශ්‍රී ලංකා භූමිය අලංකාර කරන වඩාත්ම කීර්තිමත් අන්තර්ජාතික ක්‍රීඩා තරගාවලියක් ලෙස ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මේ මස 12 සිට 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ සුවිශේෂ තරගාවලිය වසර 57කට පසු ශ්‍රී ලංකාවට ඉහළම පෙළේ ඓතිහාසික ආසියානු බොක්සිං ආගමනයක් සලකුණු කරයි.
මේ තරගාවලිය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ (BASL) සභාපති ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර පැවැසුවේ මෙවන් අන්තර්ජාතික තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ වසර 57කට පසුව බවයි. ආසියානු රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත අතර, මේ තරගාවලිය සඳහා ඉන්දියාව, කසක්ස්තානය, උස්බෙකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ තායිලන්තය වැනි තරගකාරි ජාතීන් අතර සිටින බොක්සිං බලවතුන් ශ්‍රී ලංකා සටන් බිමට පැමිණීමට නියමිතය. ඒ අනුව මෑත කාලයේ මෙරට සත්කාරකත්වය දුන් වඩාත්ම වැදගත් බහු-ජාතික ක්‍රීඩා ඉසව්වක් බවට පත් කරනු ලබන ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL), ආසියානු බොක්සිං සම්මේලනය (ASBC) සහ අන්තර්ජාතික බොක්සිං සංගමය (IBA) සමඟ සහයෝගයෙන් සංවිධාන කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රේගුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ආයතනවලින්ද තීරණාත්මක සහයෝගයක් ලැබෙන මේ ආසියානු බොක්සිං තරගාවලිය කාන්තා බර පන්ති 12ක් සහ පිරිමි බර පන්ති 13ක් යටතේ පැවැත්වෙන අතර, අවුරුදු 22න් පහළ සහ යෞවන (වයස අවු. 17-18 පාසල් ළමයින් සඳහා) වශයෙන් වර්ගීකරණය කර ඇත. තරගාවලියේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ලේකම් හා දේශීය සංවිධායක කමිටුවේ සභාපති තරංග පෙරේරා පැවසුවේ මේ තරගාවලිය පැවැත්වීම මඟින් ලොව ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ විභවය ප්‍රදර්ශනය කිරීම, දේශීය කුසලතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව නම් රට ගෝලීය ක්‍රීඩා සිතියමේ ස්ථිරව සලකුණු කිරීමක් සිදු කරන බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ නිල ආගන්තුක සත්කාර සහකරු වන සිනමන් හෝටල් ආයතනයට ස්තුතිවන්ත වන ඔහු, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, නිලධාරීන්ට සහ නරඹන්නන්ට ලෝක මට්ටමේ අත්දැකීමක් ලබා දීමට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම සූදානම් බව පැවසීය. දේශීය සංවිධායක කමිටුවේ සභාපතිවරයාට අනුව, මේ තරගාවලිය බොක්සිං ඉසව්වකට වඩා වැඩි යමක් වන අතර, එය ජාතික අභිමානයේ මොහොතකි.
කලාපය පුරා අපේක්ෂාව වර්ධනය වෙමින් පවතින අතර, ආසියාවේ දීප්තිමත්ම තරුණ බොක්සිං දක්ෂතා පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් කරමින් මේ ශූරතාවලිය රටේ ක්‍රීඩා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස පවතිනු ඇති අතර, කොළඹදී ප්‍රේක්ෂකයන්ට විස්මයජනක සටන් අපේක්ෂා කළ හැකිය.
තවද නේපාලය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, කාම්බෝජය, මැලේසියාව, පාකිස්තානය, පලස්තීනය, සවුදි අරාබිය, සිරියාව සහ යේමනය වැනි ආසියානු මහාද්වීපයේ රටවල් කිහිපයක්ම ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කර ඇති අතර, මේ තරගාවලියට සමගාමිව තරු 3 තීරක විනිසුරු පාඨමාලාවක් සහ අන්තර්ජාතික තාක්ෂණික නිලධාරීන් සඳහා වූ පාඨමාලාවක්ද පවත්වනු ලබන බව ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර පැවැසීය. තවද ශ්‍රී ලංකා බොක්සිං තරග තීරක විනිසුරුවන් තිදෙනකුට සහ තාක්ෂණික නිලධාරීන් සිවුදෙනකුට එම පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව සලසා දී ඇති බවද කී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා: “බොක්සිං ක්‍රීඩකයෙක් ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න නම් තවත් රටක කෙනෙක් සමඟ සටන් කළ යුතුමයි. ඒ නිසා අපේ ක්‍රීඩකයන්ටත් ඊළඟ පියවරට යන්න මේක ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසයේ ඉතා වැදගත් තරගාවලියක්. ඒ කියන්නෙ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33කට ලැබුණ ලොකුම ජයග්‍රහණයක්. අපේ තරග වදින කණ්ඩායම 33කට වඩා වැඩි වෙන්නත් පුළුවන්. තේරීම් කමිටුව විසින් හොඳම කණ්ඩායමක් අපිට තෝරලා දුන්නා. ඒ නිසා අපිට අවම වශයෙන් පදක්කම් 10ක් වත් දිනා ගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. අවුරුදු 57කට පසුව හරි මේ වගේ තරගාවලියක් ගෙනාවෙ අපේ රටේ බොක්සිං ක්‍රීඩාව නඟාසිටුවීමටයි. මොන බාධක තිබුණත් අපි ඒ හැම දේම දරාගෙන ක්‍රීඩා ඇමැතිතුමාගෙ ආශීර්වාදයත් එක්ක අපේ බොක්සිං සංගමයත් එකතු වෙලා මේ ගමන ඉදිරියට යනවා,” යනුවෙන් පැවැසීය.
සටහන – සිරිනාම