“රූපෙන් ගොඩක් අය හඳුනන්නේ නැතිවුණත් ගුවන්විදුලිය තුළින් දැනෙන දෙයක් කළානේ කියන තෘප්තිය මට හැමවෙලාවකම දැනෙනවා. අද ලෝකෙටම එකපාර කතා කළාට, අපි මේ ගමන ආවේ අභියෝග රැසක් පහුකරගෙන.“
එහෙම කියන්නේ නාමල් බුද්ධික. රූපෙන් බොහෝ දෙනෙක් නොදන්නවා වුවත් ඔහුගේ කටහඬ නම් නොඇසූ කෙනෙක් නොමැත. අද රසඳුන අපේ කතාබහ හඬින් සැමගේ සිත් සොරාගත් ඔහු සමඟය.
නාමල්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයයි. ඒ අවස්ථාව ඔහුට ලැබෙන්නේ 2012 වර්ෂයේදී පාසලේ පැවැත්වුණු එක්තරා උත්සවයකදී. උත්සවය විනිශ්චයට පැමිණි ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහත්මයා නාමල්ට කතා කරලා මාධ්‍යයට සම්බන්ධ වෙන්න කැමැති ද කියලා අහනවා. ඔහුගේ මාධ්‍ය ජීවිතයේ මූලික අඩිතාලම එයයි. ඉන්පස්සේ එතුමා වී එෆ්. එම් ගුවන්විදුලි නාළිකාව සමඟ කතා කරලා නාමල්ට අවස්ථාවක් ලබාදෙනවා. වී එෆ්. එම් ගුවන්විදුලි නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ ඒ හරහා. එවකට ප්‍රවෘත්ති අංශයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළේ මල්කි පෙරේරා. ඇයගේ දිරිගැන්වීමත් එක්ක තමයි නාමල්ට මෙතරම් ගමනක් එන්න අවස්ථාව ලැබෙන්නේ.
“අවුරුදු පහක් හයක් පමණ කාලයක් මම වී එෆ්. එම් ගුවන්විදුලි නාළිකාවේ ප්‍රවෘත්ති අංශයේම කටයුතු කළා. ඉන් අනතුරුව මට සිත එෆ් එම් ගුවන්විදුලි නාළිකාවෙන් ආරාධනාවක් ලැබෙනවා. ඒ ආරාධනය ලැබෙන්නෙත් ප්‍රවෘත්ති අංශයටමයි. සිත එෆ්. එම්. ගුවන්විදුලි නාළිකාවෙත් 2022 වර්ෂය පමණ වනතෙක් සේවය කරනවා. එතැනින් පස්සේ තමයි මගේ යාළුවා ළහිරු සේනාරත්න එක්ක එක්වෙලා අන්තර්ජාලය හරහා ලෝකෙටම කතා කරන්න පුළුවන් ආකාරයේ මාධ්‍ය ආයතනයක් අපේ රටේ නිර්මාණය කරන්නේ. එවැනි මාධ්‍ය ආයතනයක් නිර්මාණය කරන්න රාජ්‍ය මට්ටමින් මැදිහත් වියහැකි අවස්ථා හොයලා මහිම ගුවන්විදුලි ආයතනය අපි නිර්මාණය කළා. මහිම ගුවන්විදුලි නාළිකාව නිර්මාණය කරන්නේ 2018 වර්ෂයේදී. මහිම රේඩියෝ නාළිකාව ආරම්භ කරනවිටත් මම සිත එෆ්. එම් නාළිකාවේ සේවය කරනවා.
විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මගේ කල්‍යාණ මිතුරා ළහිරු සේනාරත්න. ඔහු තමයි මේ හැම කටයුත්තකටම මගේ පිටිපස්සේ ඉඳන් ශක්තිය දෙන්නේ. ඔහුගේ ආශීර්වාදය සහ ශක්තිය සමඟ මගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වන තාරක විජේසිංහ‚ උතුම් ගරුසිංහ,‚ හංසි රිදිවි ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාගෙම සහයෝගය මත ඉදිරියේදී දෙයක් කරන්නයි බලාපොරොත්තුව.
මම මේ වන විට ක්ෂේත්‍රය තුළ ගොඩක් දේවල් කරලා තියෙනවා. ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අයට මාධ්‍යයට අත්පොත් තබන්න ගුරුහරුකම් දීලා තියෙනවා. ඒ අයට මාධ්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. වසර 13ක මාධ්‍ය අත්දැකීම ගැන ආපස්සට හැරිලා බැලුවම මට ලොකු සතුටක් දැනෙනවා. ජීවිතය ගැන මට ගොඩක් දේවල් මේ කාලසීමාව තුළ ඉගෙන ගන්න ලැබුණා. මාධ්‍ය නිසා තමයි මට ජීවිතය මොකක්ද කියන එක ඉගෙන ගන්න පුළුවන් වුණේ.
මාධ්‍ය ක්ෂේත්‍රයේ ආව ගමනත් එක්ක මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබුණා සහ ලැබෙනවා. මගේ අම්මා,‚තාත්තා,‚මල්ලි අදටත් කිසිම බාධාවක් කරදරයක් කරන්නේ නැහැ. ඒ ලැබෙන හයිය මාව තවත් ශක්තිමත් කරනවා.“
හෙට දවසේදී මාධ්‍ය ලෝකයේ ඉදිරියටම යන්නට බලාපොරොත්තු වෙන නාමල් තමන් මෙතෙක් පැමිණි ගමන ගැන කතා කරන්නේ සතුටිනි.