Home » ගැමි කලාවන් ගැන දන්න නිසා මට මේ කටයුත්ත පහසු වෙලා තියෙනවා

ගැමි කලාවන් ගැන දන්න නිසා මට මේ කටයුත්ත පහසු වෙලා තියෙනවා

by thanushika
May 10, 2025 12:30 am 0 comment
තුෂාරී කළුබෝවිල

කලාවේ අක්මුල් සොයා යන්නට ඔහුගේ උප්පත්තියම හේතු වන්නට ඇතැයි මේ කතාබහ අතරතුරදී මට හැඟුණි. ඔහු උපන්නේ මහා අම්බලන්ගොඩ ප්‍රදේශයේයි. රූකඩ කලාව, කැටයම් කලාව, චිත්‍ර කලාව, පහතරට නර්තන කලාව ගමේ මහ පොළොවෙන් පැන නැඟි ඔහුගේ ලේ නහර පුරා දිව යන්නට ඇත. ඒ කලාවන් කෙරෙහි ඔහු තුළ එතරම්ම ආසාවක් උනන්දුවක් තිබුණි. ගමේ තැන තැන රැය පහන් වනතුරු පැවති ශාන්ති කර්ම රසවිඳින්නට ඔහු දැක්වූයේ පුදුමාකාර කැමැත්තකි. එසේම චිත්‍ර නිර්මාණකරණය, වෙස්මුහුණු කැපීම ආදියට ද උනන්දුවක් තිබුණි. එය පසු කාලෙක මුදල් උත්පාදන ක්‍රමයක් ලෙස පවත්ව‍ාගෙන ගිය නමුත් කොවිඩ් වසංගත සමයේ එම ව්‍යාපාර බිඳ වැටිණි. ගායන හැකියාව ද ඔහුගේ අනෙකුත් හැකියාවන්වලට නොදෙවැනි විය. මේ සෑම කලාවක් ගැනම උනන්දුවක් දැක් වූ ඔහු තමන්ට පුළුවන් කාලවලදී ඒ ඒ කලාවේ විශේෂඥයින් සොයා යමින් ඒ ඒ කලාවන් පිළිබඳ හැදෑරීම් ද කර ඇත. පසු කලෙක රංගනයට පිවිසි ඔහුට තමා උගත් කලාවේ වටිනාකම් විටින් විට දැනෙන්නට විය. ඔහු නමින් චන්ද්‍රසෝම බිංදුහේවා.

ස්ථිර රැකියාවක් කරමින් සිට පසුව ඉන් ඉවත්ව මහා පරිමාණයේ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කළ තම පියා ගමේ නිර්මාණකරුවන්ට හැකි පමණින් ඔවුන්ගේ කලා කටයුතු වැඩිදියුණු කර ගැනීම සඳහා සහාය ලබා දී තිබිණි.

“අපේ තාත්තාට මුදල් හදල් යහමින් තිබුණු නිසා ගමේ කලාකරුවන්ට ඔහු ගොඩක් උදව් කළා. ඒ කලාවන් මම පුංචි කාලේ ඉඳලා දැක්කා. විශේෂයෙන්ම අම්බලන්ගොඩ කිව්වාම වෙස්මුහුණු කලාවට, රූකඩ කලාවට හරිම ප්‍රසිද්ධයි. මටත් වෙස්මුහුණක් කපන්න ආසාවක් ඇති වුණා. වෙලට ගිහින් කොට කෑල්ලක් හොයාගෙන ඇවිත් වෙස්මුහුණක් කැපුවා. මම චිත්‍ර අඳින්නත් ගොඩාක් කැමතියි. ඒ සඳහා මං ඉගෙන ගත්ත අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හිටපු චිත්‍ර ගුරුවරයා වූ බර්නාඩ් ලොකුගේ මහතා උදව් කළා. ආරියපාල ගුරුන්නාන්සේගෙන් වෙස්මුහුණු කලාවත් ඉගෙන ගත්තා. ඉස්කෝලේ පන්ති කාමරයේ එතරම් කැමති නැති විෂයයක් උගන්වද්දි මම පොතේ වෙස්මුහුණු ඇන්දා. ජෝගිනි‍ගේ කියන සංගීතඥයාගෙන් මම ගමේදී සංගීතය ඉගෙන ගත්තා. රාගයක් වුණත් එක් වරක කියලා දුන්නාම මම ඒ විදිහටම ගායනා කරනවා කියලා ගුරුතුමාට ඕනෑ වුණේ මාව ඉන්දියාවට යවලා රාගධාරී සංගීතය උගන්වන්න. නමුත් මම ඒ ගැන උනන්දු වුණේ නැහැ. පනස් ගණන්වල සංස්කෘතික අමාත්‍යායංශය පිහිටුවලා කලා මණ්ඩලය පටන් ගත්ත වෙලාවේ අම්බලන්ගොඩ රූකඩ කරන්න විශ්‍රාමික විනිසුරුවරයකුගේ නිවස ඉදිරිපිට කුටියක් හදලා ඒකේ රූකඩ කළා. මං ඒකට ගිහින් රූකඩ කලාවත් ඉගෙන ගත්තා. තොවිල් ශාන්ති කර්ම ඉගෙන ගන්නත් මට ඕනෑ වුණා. ජී. තේගිරිස් ගුරුන්නාන්සේව ගෙදරට ගෙන්වාගෙන මම පහතරට ශුද්ධ මාත්‍රා නැටුම ඉගෙන ගත්තා. කෝලම් නැටුම් කලාවත් මම ඉගෙන ගෙන තියෙනවා. වෙසක් කාලෙට අම්බලන්ගොඩ තොරණ හදද්දි මම ගිහින් ඒ චිත්‍ර ශිල්පීන්ට සහාය වෙනවා. එතකොට ඒ චිත්‍රවල සමහර තැන් පින්සලෙන් පාට ගාන්න මටත් අවස්ථාව දුන්නා. පුංචි කාලේ ඉඳලම මේ හැම කලාවක්ම ඉගෙන ගත්තා. පස්සේ කාලෙක කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අම්බලන්ගොඩ මෝස්තර මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ගුරු ශිල්පී පන්තියේ වෙස්මුහුණු කලාව පිළිබඳ ගුරුවරයා ලෙස වසර හතරක කාලයක් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. පසුව එහි ස්ථිර සේවය ලැබුණා. ඒ අතරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන පදනමෙන් ශිෂ්‍යත්වයක් ලැබිලා ඉන්දුනීසියාවට ගිහින් කැටයම් කලාව හැදෑරුවා. ඒ පිළිබඳ විශාල අත්දැකීමක්, පුහුණුවක් එහිදී ලැබුණා. පසුව ලංකාවට ඇවිත් සංචාරකයින්ට කැටයම්, චිත්‍ර ලබා දෙන ව්‍යාපාරික ස්ථානයකුත් ආරම්භ කරලා ‍හොඳින් පවත්වාගෙන ගියා.”

මෙකී නොයෙකුත් කලාවන් පිළිබඳ නොතින් ආසාවෙන් ඒ කොයි දෙයත් හැදෑරූ බිංදුහේවා රංගන ක්ෂේත්‍රයට පිවිසීම නම් අහම්බයකි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනීම් කරන කාලයේදී සුමනසීල ද සිල්වා විසින් පිටපත ලියා නිර්මාණය කළ ‘පුංචි ඔරුව’ වේදිකා නාට්‍යයේ ගීත කිහිපයක්ම ඇතුළත් වූ නිසා එහි සංගීත කටයුතු සිදු කිරීමට බිංදුහේවාට ඇරයුම් ලැබිණි. ඒ 1968 වසරේදී ය.

“මම ඒකේ රඟපෑවේ නැහැ. වර්තමානයේ වෛද්‍යවරයෙක්ව සිටින සුමනසීල ද සිල්වා තමයි ඒ නාට්‍ය නිර්මාණය කළේ. ඔහු මට ඒ නාට්‍යයේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. අපට ඒ වෙද්දි සංගීත ගුරුවරයෙක්වත් හිටියේ නැහැ. මම ඒ නාට්‍යයේ ගීතවලට තනු නිර්මාණය කළා. ලීලා සිරිවර්ධන නැටුම් ගුරුවරිය තමයි ඒ නාට්‍යයේ නැටුම් සහ රංගනයන් පුහුණු කළේ. ගාල්ල සංඝමිත්තා විදුහල් වේදිකාවේ ඒ නාට්‍ය මුලින්ම වේදිකාගත කළා. මහජන දර්ශනයකුත් අම්බලන්ගොඩ නගර ශාලාවේ පැවැත්වුවා. ඔහොම ඉන්න අත‍රේ සුමනසීලගේ අයියා පද්මසීල ද සිල්වා පේරාදෙණිය සරසවියෙන් ඇවිත් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට ගුරුවරයෙක් ලෙස සේවයට පත්වුණා. එයා ‘ර‍ට බාරයි නුඹට පුතේ’ කියලා නාට්‍යයක් ලියලා මට ආරාධනා කළා නාට්‍යයේ සංගීත නිර්මාණය කරලා දෙන්න කියලා. එයාගේ මල්ලිගේ ‘පුංචි ඔරුව’ නාට්‍යයේ සංගීත කටයුතු මම කළ බව දැනගෙන සිටි නිසා තමයි මට මේ විදිහට කතා කළේ. අම්බලන්ගොඩ ඒ කාලේ සංගීත නිර්මාණ කරවා ගන්න කෙනෙක් හිටියේ නැහැ. මම ඔහුගේ නාට්‍යයේ සංගීත නිර්මාණ කටයුතු ආරම්භ කළා. ඒ නාට්‍යයේ සිංදු ගොඩාක් තිබුණා. ඒ අතරිනුත් වැඩිම ගීත තිබුණේ ප්‍රධාන චරිතයටයි. ඒ නිසා පද්මසීල ද සිල්වා මාව බලෙන් ම ඔහුගේ මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න ගත්තා. සිංදු කියන එක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් රඟපාන්න මහා බයක් මට තිබුණා. නමුත් ඔහු කොහොම හරි මාව බලෙන් ම වගේ ගීත ගයමින් රඟපාන්න පුහුණු කළා. මම රඟපෑම හදාරන්න පටන් ගත්තේ එතැනිනුයි.

නාට්‍යයේ සංගීත නිර්මාණය සහ ගායනාත් මම කළා. 1971 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම සංගීතයට හිමි සම්මානයත් මට ඒ සඳහා ලැබුණා. ඊට පස්සේ ඔහුගේ නිර්මාණ බොහෝමයකට මම සම්බන්ධ වුණා. අම්බලන්ගොඩ හිටපු මම දයානන්ද ගුණවර්ධනයේ ‘පත්මාවතී’ නූර්තියේ රඟපාන්න තමයි මුලින්ම අම්බලන්ගොඩින් කොළඹට එන්නේ. ඊට පස්සේ ඔහුගේම ‘ගජමන් පුවත’නාට්‍යයේත් රඟපෑවා. එතුමාගෙන් රඟපෑම ගැන මම බොහෝ දේ ඉගෙන ගත්තා. කේ. බී. හේරත්ගේ නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. ඔහුගේ නාට්‍ය කිහිපයක පසුතල නිර්මාණයත් මම කළා. ලී දඬුවලින් කරන වැඩ මට පුළුවන් නිසා එහෙම දේවල් කළා. ඇඳුම් නිර්මාණය සහ වෙස් ගැන්වීම් කරලා නැහැ. නමුත් වේදිකාවට අදාළ අනෙක් සියලු කටයුුතු මම කර තිබෙනවා. බුද්ධික දමයන්තගේ “සිංදු කිරිල්ලී” වේදිකා නාට්‍යයේ සීයාගේ චරිතය රඟපෑම වෙනුවෙන් මට 2012 වසරේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණා. රඟපාන්න බයේ සිටි මම හොඳම නළුවා වුණා. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට මම පාසල් කාලයේ ඉඳලා වශී වෙලා හිටියේ. ඒ නාට්‍යවල නැටුම්, සංගීතය තිබුණු නිසා මම හරි ආසාවෙන් හිටියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහින් එතුමාගෙන් නාට්‍ය ඉගෙන ගන්න ඕනේ කියලා. විශ්වවිද්‍යාලයට නොගියත් පසු කාලෙක එතුමා සමඟ කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ගාමිණි හත්තෙට්ටුවේගම මහත්මයාවත් ඉතා ළඟින් ඇසුරු කරන්න මට ලැබුණා. කොළඹ ආවාට පස්සේ මම චිත්‍රසේන මහතාගෙන් උඩරට නර්තන කලාවත් ඉගෙන ගත්තා. ටෙලි නාට්‍ය, චිත්‍රපට ගණනාවක විවිධ චරිත රඟපාන්නත් මට අවස්ථා ලැබුණා. අපි වඩේ එකක් කාලා, ප්ලේන්ටිය බීලා නාට්‍ය පුහුණුවීම් කළ අයයි. සුදර්ශි ශාලාවට හරි වෙලාවට පුහුණුවීම්වලට ගියා. අනිත් අය පුහුණු වෙන හැටි බලාගෙනත් හිටියා. අපේ කොටස පුහුණු වෙලා යන්න ගියේ නැහැ. අපි කණ්ඩායමක් හැටියට එකට බැඳී සිටියා. මම මගේ වැඩේ විතරක් කරලා කවදාවත් පැත්තකට වුණේ නැහැ. ඒ වගේම මිතුරු සමාගමට මම බොහොම ප්‍රිය කෙනෙක් නිසා හැම කෙනා එක්කම කතා බහා කරලා සතුටින් කාලය ගත කළා. අද මොන කලාවකවත් මේ බැඳීම්, පිළිවෙළ, පෙර සූදානම තියෙන බවක් පේන්නේ නැහැ. තුට්ටු දෙකට කලාකරුවන්ගේ වැටිනාකම් හෑල්ලු කරලා තියෙන්නේ. ඒ නිසා නිසි විදිහට අපි ගොඩනඟාගත්ත වටිනාකම්වලට ගැළපෙන ආකාරයේ ආරාධනාවක් ලැබුණොත් හැරෙන්න මම දැන් අලුත් වැඩවලට යන්නේ නැහැ. නමුත් මම මුදලට මුල් තැන දෙන කෙනෙක් නෙවෙයි. එක් අවස්ථාවක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිනමාකරණය හැදෑරූ දරුවන් සම්බන්ධ කරගෙන සුදත් මහාදිවුල්වැව නම් සිනමා නිර්මාණකරුවා ‘අක්යාල’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒකේ රඟපාන්න එන්න කියලා කතා කරන්න මාව හමුවන්න විශ්වවිද්‍යාල දරුවෝ ටික ආවා. ඒ ළමයි කතා බහා අවසානයේ මගෙන් ඇහුවා ඔබතුමා කීයක් විතර අය කරනවා ද කියලා. මම ඉතින් දන්වානේ විශ්වවිද්‍යාලවල දරුවන් කරන වැඩකට හරි හමන් විදිහට මුදල් ලැබීමක් නැහැ කියලා. ඒ නිසා මම ඇහුවා එයාලාට මේ වැඩේට කීයක් විතර ලැබෙනවා ද කියලා. ඔවුන් කිව්වා රුපියල් ලක්ෂ තුනක් විතර තමයි තව බස්වලට නැඟලා කීය කීය හරි කැටවලට එකතු කර ගත්තා කියලා. මම කිව්වා මගේ ගෙවීම් ගැන ඔයාලා කරදර වෙන්න එපා, නමුත් මගේ වෘත්තිය රඟපෑම නිසා මේ වැඩේ ඉවර කරලා අවසානයේ මට රුපියල් සීයක් හරි දෙන්න කියලා. මම තමයි විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව ඒ වැඩේට සම්බන්ධ වුණේ. සුදත් මහදිවුල්වැවගේ අධීක්ෂණය, ඉගැන්වීම් යටතේ විශ්වවිද්‍යාලයේ දරුවන් තමයි ඒ නිර්මාණයේ සියලු කටයුතු කළේ. බෙලිහුල්ඔය බෑවුම් සහිත දුෂ්කර ස්ථානයක ඒකේ රූගත කිරීම් කළා. ඒ තැන්වලට විශ්වවිද්‍යාලයේ ළමයි මාව ඔසවාගෙන තමයි ගියේ. දින දහයක් විතර අලුත් කොල්ලෝ කෙල්ලෝ ටිකක් එක්කගත කරන්න ලැබුණා. මගේ අත්දැකීම් ඒ දරුවන්ටත් බෙදා දුන්නා. ඒ චිත්‍රපටය තවම තිරගත වුණේ නැහැ.”

චන්ද්‍රසෝම බිංදුහේවා නම් රංග ශිල්පියා මේ දිනවල රංග කටයුතුවලින් මදක් ඈත් ව සිටියත් වෙ‍ෙළඳ දැන්වීම්වලට නම් ඔහුට බොහෝ ඇරයුම් ඇත. ඒ අතරතුර ඔහු මේ දිනවල පාරම්පරික කලාවන් සොයා යන්නේ ය.

“මේ දවස්වල මම සංස්කෘතික අමාත්‍යායංශයේ අස්පර්ශනීය උරුමයන් හා සාම්ප්‍රදායික කලා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. එමඟින් අපේ රටේ කටින් කට, මුඛ පරම්පරාවෙන් මුඛ පරම්පරාවට, නිශ්චිත නිර්මාණකරුවෙක් නොමැති ව කාලාන්තරයක් තිස්සේ පැවත එන සංස්කෘතික උරුමයන්, යන්ත්‍ර මන්ත්‍ර කවි ගායනා පිළිබඳ නිසි අධ්‍යයනය කරමින් ඒවා සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම සබරගමු නැටුම්, බෙර වාදනය ආශ්‍රිත කවි ගායනා ආදිය ගැනත් සංරක්ෂණ වැඩපිළිවෙළක් පවත්වාගෙන යනවා. සී. ද එස්. කුලතිලක මහතා ජන ගී පර්යේෂණ කළ කාලේ එතුමාගේ පර්යේෂණ කටයුුතුවලට ලංකාව පුරා යද්දි මාවත් ඒ හැම තැනකට ම එක්කගෙන ගියා. ඒ අත්දැකීම මට මේ වෙලාවේ ලොකු පිටිවහලක් වෙලා තියෙනවා. බොහෝ සාම්ප්‍රදායික කලාකරුවන් ඒ අවස්ථාවේදී මම හඳුගෙන තිබුණා. ඒ අයගේ කලාවන් ගැන මම දන්න නිසා මට මේ කටයුත්ත පහසු වෙලා තියෙනවා.”

සහෝදරයන් හත් දෙනෙකු සහ සහෝදරියන් පස් දෙනෙකු සමඟ කුඩා කල පටන් දිවි ගෙවූ බිංදුහේවා විවාහයෙන් පසුව දියණිවරු තිදෙනෙකු ලැබුවේ ය. ඔවුන් ද මේ වනවිට විවාහ වීමෙන් මුණුබුරු මිණිබිරියන් පස්දෙනෙකුට ඔහු දැන් සීයා ය.

“අම්මා, තාත්තා එක්ක ‍අම්බලන්ගොඩ ගමේ ජීවිතය හරි සුන්දරයි. අපේ අම්මා කලින්ම මිය ගියා. ඊට පස්සේ තාත්තා දෙවැනි විවාහයක් කර ගත්තා. අපේ පවුලේ මම ඇතුළුව ළමයි 12 දෙනෙක් හිටියා. ඒ කවුරුත් අතරින් මේ කලාව ගැන විශාල උනන්දුවක් තිබුණේ මට. පසු කාලෙක අයියලා, අක්කලා විවාහ වෙලා මහ ගෙදරින් එක් එක්කෙනා නික්මුණා. නමුත් අලුත් අවුරුදු කාලෙට අපි දොළොස්දෙනාම ඒ ඒ අයගේ පවුල්වල අයත් එක්ක මහ ගෙදරට එකතු වෙනවා. අපේ තාත්තා එදාට පුදුම සතුටක් ලබනවා. මගේ බිරිඳත් වසර අටකට පෙර පිළිකා රෝගයකින් මිය ගියා. ලොකු දුව අපර්ණා මාධවීයි, චූටි දුව උමංගා චාරුනියි ලංකාවේ ඉන්නවා. දෙවැනි දුව මීණු පමුදිතා ඇමරිකාවේ පදිංචිය. තුන්දෙනා ම විවාහකයි. තුන්දෙනාටම දරුවෝ ඉන්නවා. චූටි දුවගේ දුවයි, පුතයි ඒ හැමෝම මාත් එක්කම ඉන්න නිසා මට පාළුවකුත් නැහැ. සංස්කෘතික වැඩ නිසා මේ දවසවල නම් ටිකක් අවිවේකීයි. නමුත් සතුටින් ජීවිතය ගෙවෙනවා.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division