Home » ජනප්‍රිය වෙන්න ආසාවෙන් ගීත ගයන්නේ නෑ

ජනප්‍රිය වෙන්න ආසාවෙන් ගීත ගයන්නේ නෑ

දිස්නා අතපත්තු

by thanushika
May 10, 2025 12:30 am 0 comment
සිතුමිණි ගුණරත්න

දිස්නා අතපත්තු සංගීත ක්ෂේත්‍රයේ හිමින් සීරුවේ ගමන් ගන්නියක් ලෙස හැදින්වීමේ වරදක් නැතැයි හැඟෙන්නේ දිගු කලක් තිස්සේ ක්ෂේත්‍රයේ සිටියද ජනප්‍රියත්වය පසුපස හඹා නොයන්නියක් නිසාය. ඇය ගැයූ ගී අතරින් වැඩිපුරම ගීත සංඛ්‍යාවක් ගායනා කර ඇත්තේ බොදුබැති ගීතය. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට බලාහිදින දිස්නා සමඟ කළ කතාබහකි මේ.

“ජනප්‍රිය වෙන්න ආසාවෙන් කවදාවත් මම ගීත ගයන්නේ නෑ. ගොඩක් දුරට මම ගායනා කරන්නේ හොඳ පද රචකයින්ගේ සංගීතඥයින්ගේ ගීත. ගීතයක් ගායනා කරලා වුණත් ඒ ගීතයෙන් මිනිස්සුන්ට යහපත් දෙයක් දෙන්න මම හැම වෙලාවකම උත්සාහ කරනවා.

පුංචි කාලයේ ඉඳලම තිබුණ මගේ ගායන හැකියාව අඳුනගත්තේ මගේ අම්මයි තාත්තයි. ඒ කාලයේ ගමේ තිබුණු පොඩි පොඩි සංගීත වැඩවලට සම්බන්ධ වුණා. ඒ තමයි මගේ ගායන දිවියේ ආරම්භය. මට වයස අවුරුදු 15ක පමණ කාලයේදී ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ‘සඳ කරුණා‘ නමින් සි. ඩී තැටිය කළා. එහිදී ‘ඉර හඳ තරු පායනවා’ ගීතය ගායනා කරන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ ගීතය තමයි පටිගත කරපු මගේ මුල්ම ගීතය. ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ඊට පෙර කවදාවත් මම සින්දුවක් ගායනා කරලා තිබුණේ නෑ. මගේ සංගීත දිවිය උඩු යටිකරු කළේ මේ ලැබුණු අවස්ථාව. එතැනින් පටන් ගත්ත ගමන සංගීත ක්ෂේත්‍රයේ දිගු කාලයක් රැඳී ඉන්න විශාල හයියක් වුණා කිව්වොත් මම නිවැරදියි. ඒ ආරම්භයත් එක්ක ආව මේ ගමනේදී දැනට මම පනහකට වැඩි ගීත ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. “

ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබු දිස්නා ගායන ක්ෂේත්‍රයට එන්නේ පාසලෙන් ලැබුණ දිරිගැන්වීමත් සමඟය. දිස්නා ඒ අතීතය සිහකරමින් මෙසේ පවසන්නීය.

“මම රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයෙන් හා මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. ඒ පාසල් දෙකේ ගුරුවරුත් මගේ තිබුණු හැකියාව අඳුනගෙන මට ගොඩක් උදව් කළා.

සංගීත ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ මගේ ගමනට ශක්තියක් වුණු පිරිසක් ඉන්නවා. පූජ්‍ය රත්පල සිද්ධාර්ථ හිමි‚ පල්ලේගම හේමරතන හිමි,‚ මහාචාර්ය සනත් නන්දසිරි,‚මාලනි බුලත්සිංහල මහත්මිය,‚එච්. එම්. ජයවර්ධන මහත්මයා වගේ බොහෝ අයගේ උදව් මට ලැබුණා. මුලින්ම රූපවාහිනි වැඩසටහනකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා,‚චරින ප්‍රියදර්ශනී මහත්මිය නිසා. ඇත්තටම ඒ හැමෝගේම සහයෝගය නිසා මගේ ගමන තව තවත් ශක්තිමත් වුණා.

ඒ දවස්වල අපිට කොළඹ කියන්නේ අලුත් තැනක්. වෙනස් වටපිටාවක්. ඒ නුහුරු වටපිටාවේ ඉඳගෙන සංගීතය කරන්නේ කොහොමද කියලා හිතුණා. එ්ත් සංගීතයට තිබුණු ආසාව නිසාම ඒ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඕන කියන අධිෂ්ඨානය මට තිබුණා. ගායනයට විශේෂ හැකියාවකුත් තිබුණු නිසා සංගීතය විෂයක් හැටියට හදාරන්න ඕන කියලා මම වික්ටර් පෙරේරා ගුරුතුමා,‚ මහාචාර්ය සනත් නන්දසිරි මහතා,‚ විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය යන අයගෙන් සංගීතය ඉගෙන ගත්තා. විශාරද උපාධිය දක්වාම සංගීතය ඉගෙන ගන්න ඒ හැමෝගෙන්ම මට ලොකු සහායක් ලැබුණා.

විවිධ ගීත ගායනා කර ඇති දිස්නා වැඩියෙන්ම ගායනා කර ඇත්තේ බොදු බැති ගීතය. ඇයට හැමවිටම ඕනෑ වූයේ ජනප්‍රිය ගායිකාවක් වීමට නොව තමන් කරන දෙය නිවැරදිව කරමින් ජනතාව අතර රැඳී සිටින්නටය.

“ජනප්‍රිය වෙන්න ආසාවෙන් මම කවදාවත් ගීතයක් කරන්නේ නෑ. ගොඩක් දුරට මම ගායනා කරන්නේ හොඳ පද රචකයින්ගේ, සංගීතඥයින්ගේ ගීත. මහින්ද රත්නායක‚ මහින්ද චන්ද්‍රසේකර‚ රත්න ශ්‍රී විජේසිංහ වැනි පද රචකයින්ගේ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබීමම මගේ ජීවිතේ භාග්‍යයක්. ඒ වගේම මට නන්දා මාලනී, පණ්ඩිත් අමරදේව, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, දයාන් විතාරණ, එඩ්වඩ් ජයකොඩි, වැනි ප්‍රවීණ දක්ෂ ගායකයින් සමඟ පවා යුග ගී ගායනා කරන්න අවස්ථාව ලැබුණා.

මම ගායනා කළ ගීත අතරින් වැඩි ගීත ප්‍රමාණයක් බුදු ගුණ ගී. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි පද රචනය කළ, කසුන් කල්හාර ජයවර්ධන අයියා අතින් සංගීතවත් වුණ ‘නෙළුම් මලේ නුඹ බුදු හිමි ළඟම දැවටෙනා’ ගීය වැඩිම ජනප්‍රියත්වයක් ලැබුණු ගීයක්. මම හිතුවටත් වඩා වැඩි රසික අවධානයක් ඒ ගීතයට ලැබුණා.“

කලක් තිස්සේ සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටියද දිස්නා ජනප්‍රියත්වය ඔස්සේ හඹා යන්නියක නොවන බව අපට හැගෙන්නේ ඇයි දැයි විමසූ විට ඇය කියන්නේ මෙවන් කතාවකි.

“අනෙක් ගායක ගායිකාවන්ට වඩා මට ගායන අවස්ථා බොහෝ ප්‍රමාණයක් ලැබුණා කියලා මම හිතනවා. ඒක එහෙම වුණත් මම ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්තේ නැද්ද යන්න මගේ සිත ප්‍රශ්න කරනවා. ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටි කාලයත් සමඟ මගේ උනන්දුව තිබුණා නම් මට තවත් ඉහළට යන්න තිබුණා. පුංචි සිදුවීමකදි වුණත් මම ලැබෙන අවස්ථා මඟහරින කෙනෙක්. ඒ නිසාම ගායන අවස්ථා බොහොමයක් මට මඟහැරුණා. කොහොම වුණත් ගීතයක් ගායනා කරලා ඒ ගීතයෙන් රසිකයන්ගේ හිත සනසන්න පුළුවන් වීම ගැන මට සතුටුයි.

දැන් මට ලොකු පුතෙක් ඉන්නවා. ඔහු ශාන්ත පීටර් විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. මගෙ පුතාටත් ගී ගයන්න පුළුවන්. පසුගිය කාලය පුරාම ඔහුගේ වැඩකටයුතු වෙනුවෙන් මගේ කාලය යොමු කරන්න සිදුවුණා. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී මගේ සංගීත කටයුතු මඟහැරුණා කියලත් හිතෙනවා. නමුත් නැවත සංගීත කටයුතුවල නියැ­‍ෙළමින් අලුත් ගීත කිහිපයක්ම කරන්න බලාපොරොත්තුව තියෙනවා. මට මගේ පවුලේ සහයෝගය නිරතුරුවම ලැබෙනවා.“

ඇය පවසන්නේ ඉදිරිය ගැන සැලසුමක් ඇතිවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division