කලාව තුළ විවිධ භූමිකාවන් නිරූපණය කරන ඔහු මාධ්‍යවේදියෙක්, පුවත්පත් කතුවරයෙක්, ග්රන්ථ කතුවරයෙක්, ගීත රචකයෙක්, නාට්‍ය පිටපත් රචකයෙක්. ඔහු විටෙක රංගන ශිල්පියෙක් ලෙස ද කරළියට පැමිණේ. ඔහු සුගත් ශාන්ත මොරගහකුඹුර. සුළඟ, චතුරිකාගේ ඇත්ත කතාව, බදිරිසා, බඹර මඩුලු යනාදී නවකතා, කසිලිකාර, චැනල් කාක්කා ඇතුළු කෙටිකතා පොත් අසූවක රචකයා ද වේ. ‘මිනිස්සු, විලංගුව, ධර්මිෂ්ටර්ලා, අරුන්දතී මං මනමාලයි හා අකුරු හකුරු යන වේදිකා නාට්‍ය නිර්මාණකරු ද වන සුගත්ගේ කලා කටයුතු පිළිබඳව කළ කතාබහයි මේ.
“මේ දවස්වල අලුත් කෙටිකතා පොතක් ලියන්න සූදානම් වෙනවා. ඒ වගේම අකුරු හකුරු සහ අරුන්දතී මං මනමාලයි වේදිකා නාට්‍ය දෙකේ පුහුණුවීම් කටයුතු සහ ප්‍රදර්ශන කටයුතුවල නිරත වෙනවා”
වේදිකා නාට්‍ය රැගෙන රට වටා යන මොහුගේ ආරම්භය සිදු වන්නේ ඔහුගේ ගමෙනි. ගම්පොළ පුස්සැල්ලාව ගමේ ජීවත් වූ ඔහු තම ගමන ආරම්භ කළේ ද තමා හැදී වැඩුණු ගමෙන්ම වීම කැපී පෙනෙයි.
” මම ගමේ යාළුවො එක්ක නාට්‍ය හැදුවා. පත්තරකාරයෙක් විදිහට වැඩ පටන් ගන්නෙත් ප්‍රාදේශීය වාර්තාකරණයෙන්. පළමුවෙනි වේදිකා නාට්‍ය කළෙත් ගමේ ඉඳගෙන. හැබැයි බහුතරයක් කොළඹ කේන්ද්‍ර කරගෙන තමයි වැඩ සිදුවෙන්නෙ. මේ අතරමැද කාලයේදි මට කොළඹ ඉන්න සිදු වුණා. නමුත් දැන් මම ගමේ ඉන්නේ. හැබැයි තාමත් වැඩ කරනවා.”
මෙසේ පවසන ඔහු වේදිකා නාට්‍ය සමඟ කාලය ගෙවයි. පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි සමාජයට පණිවිඩයක් ලබා දෙන නාට්‍ය ඔහු ප්‍රේක්ෂකයා වෙත දායාද කරයි. මේ වන විට ඔහුගේ වේදිකා නාට්‍ය දෙකක් ප්‍රදර්ශනය වන අතර ඒ නාට්‍ය ගැන පවසන්නේ මෙවැනි අදහසකි.
“වර්තමානයේ ගොඩක් නාට්‍ය වේදිකාගත කෙරෙනවා. ඒත් වේදිකා නාට්‍ය බහුතරය කැලණි පාලමෙන් එහාට හෝ වැල්ලවත්තෙන් එහාට කොළඹින් පිට යන්නෙ නැහැ. මම ගමේ ඉඳලා නිර්මාණ කලාට මට කොළඹටත් ඉන් පිටටත් ඒවා අරගෙන යන්න විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ නාට්‍ය කණ්ඩායම් දෙකේ සහයෝගිතාව.”
2023 අවුරුද්දෙ වේදිකාගත වීම ආරම්භ වූ අරුන්දතී මං මනමාලයි වේදිකා නාට්‍ය ආදරය තේමා කරගත් නාට්‍යයකි. ආදරය, හාස්‍ය වගේම සමාජයට පණිවිඩයක් මේ තුළින් ලබා දීමට ඔහු කටයුතු කර ඇත.
“මිනිස්සු දැන් එන්නෙ වේදිකා නාට්‍යයක් බලලා හිනා වෙලා යන්න විතරක් නෙවෙයි. බහුතර නාට්‍ය තියෙනවා හිනා යන නාට්‍ය. අරුන්දතී මං මනමාලයි වේදිකා නාට්‍ය ගත්තොත් ඒක හිනා එන නාට්‍යයක් සහ පවුලේ හැමෝටම එකතු වෙලා නරඹන්න පුළුවන් නාට්‍යයක්. දෙමවුපියො තරුණ දරුවන් කෙරෙහි තබන විශ්වාසය හා දරුවො දෙමවුපියන් ඒ තබන විශ්වාසයට ගෞරවයක් දෙනවද කියන දේ තමයි මේකෙදි සාකච්ඡා වෙන්නෙ. මේ දෙමවුපියන් සහ දරුවන් අතර තියෙන්න ඕන අන්‍යෝන්‍ය විශ්වාසය මොන වගේද කියන පණිවිඩය සමඟ හොඳ ප්‍රේක්ෂකාගාරයක් මේ නාට්‍යයට ලැබිලා තියෙනවා”
කුලසිරි මල්ලිකාරච්චි, රූපා ගෝමස්, නිශාන් සම්පත්, දිල්හාරා ජයසිංහ සහ රොෂාන් ජයසිංහ මෙහිදී රංගනයෙන් දායක වේ. මෙහි සංගීතය සමීර සුබසිංහ, නර්තන උපදේශය ශානු දිසානායක, විදුලි ආලෝකය ජිනදාස හේන්ගොඩ, ගීත රචනා ශාලුක මදුශංක සහ රශ්මිනා ශමීන් යන අයගේ දායකත්වයෙන් මෙහි රඟති.
දරුවන් බොහෝ දේ ඉගෙනගන්නෙ දෙමවුපියන්ගෙනි. වර්තමානයේ දෙමවුපියන් යහපත් ගුණගරුක දරුවෙක් නිර්මාණය වීමට සුදුසු වටපිටාවට මඟ අහුරනවා ද යන්න ගැටලුවකි. දරුවන් වගේම දෙමවුපියන් ද ඉගෙන ගතයුතු බොහෝ දේ සුගත් ශාන්ත මහතා ඔහුගේ අලුත්ම වේදිකා නාට්‍ය වන අකුරු හකුරු වේදිකා නාට්‍ය මඟින් ප්‍රේක්ෂකයා වෙත ලබා දෙයි.
“පාසල් යන වයසෙ දරුවන්ගේ දෙමවුපියෝ හිතනවා තමන්ගේ දරුවන්ව ටියුෂන් යවලා, පොත්පත්වලට පමණක් සීමා කරන්න. ඔවුන් එහෙම හිතන්නේ දරුවන්ගේ ජීවිතේට අඩිතාලම දාන්න ඕන වයසෙදි දරුවන්ට හරි දේ නොදුන්නොත් නියම ප්‍රතිඵල ලබා ගන්න බැහැ කියලා. අද දරුවන්ට බලන්න තියෙන්නෙ පෙළපොත් නාට්‍ය විතරයි. දරුවෝ ඥාති සම්බන්ධතා අඳුනන්නෙ නෑ. අකුරු හකුරු වේදිකා නාට්‍යයෙන් කතා කරන්නේ නිර්මාණශීලි දරුවෙක් බිහි කරගන්නෙ කොහොමද කියන එක. පොතේ පතේ දැනුමෙන් විතරක් නිර්මාණශීලි දරුවෙක් බිහි කරගන්න බැහැ. ඒකෙදි ටියුෂන් ගිහින් පොතපතේම ඉන්න ළමයෙක් සහ පරිසරයත් සමඟ ඉන්න ඒවගේම වැඩිහිටි සම්බන්ධතා තියෙන දරුවෙක් හැදෙන්නේ කොහොමද කියන දේ තමයි මේ නාට්‍යයේදි කතා කරන්නෙ”
චින්තක පතිරණ, නදීකා අලහකෝන්, ජීවනී මීගොඩ, සඳලි වික්‍රමසිංහ, රිතුකි නිමාරා, කිසඳු ඩයස්, මිහිඳි සදිත්මා හා බිනුලි ෆොන්සේකා යන අයගේ රංගන දායකත්වයෙන් හැඩවන මෙම වේදිකා නාට්‍ය සඳහා සංගීතය සපයන්නේ සමීර සුබසිංහයි. නර්තන උපදේශනය ශානු දිසානායක වන අතර ගීත රචනා සුනිලා විජේසිංහ හා රශ්මිනා ශමීන් විසිනි. විදුලි ආලෝකය සපයන්නේ ජිනදාස හේන්ගොඩයි.
වේදිකා නාට්‍ය මඟින් සමාජයට ආදර්ශ ලබා දීමට වඩාත් දායක වන සුගත් ශාන්ත මොරගහකුඹුර නවකතාකරුවෙක් ලෙස ද කටයුතු කරයි. සුළඟ, චතුරිකාගේ ඇත්ත කතාව වැනි නවකතා අතර ඔහුගේ අලුත්ම නවකතා දෙක වන්නේ බදිරිසා සහ බඹර මඬුලු වේ. පවුල මූලික කරගෙන ගොඩනැඟෙන බදිරිසා කතාවේ දෙමවුපියන් නැති පවුලක වැඩිමල් සහෝදරිය විසින් තම නංගි සහ මල්ලි රැක බලාගන්නා ආකාරය හා ඔවුන්ගේ ඇති බැඳීම මොහු වඩාත් ඉස්මතු කර දක්වයි. තම සහෝදරිය සමඟ ඇති දැඩි බැඳීමත් සමඟ මෙම කතාව ඔහුගේ ජීවිතයේ අත්දැකීම් ද ස්පර්ශ කිරීමට සමත් වී ඇත.
වර්තමානයේ වඩාත් අවධානය යොමුවෙන කාරණයකි බැඳීම්. බඹර මඬුලු නවකතාවෙන් කියවෙන්නෙත් මිතුරන් අතර ඇති විය යුතු බැඳීම මොන වගේද ඔවුන් සමඟ ප්‍රශ්න කතා කරන්නෙ කොහොමද කියන කාරණය, පිටස්තර පුද්ගලයන් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරයයි. මෙය තැලසීමියා රෝගියෙක් වටා ගොඩනැඟෙන කතා පුවතකි. ඔහුගේ නවකතා තුළින් කතා කෙරෙන්නේ සම්බන්ධතා නිවැරදිව ගොඩනඟා ගන්නා ආකාරය පිළිබඳවයි.
“අපි සංවේදී මිනිස්සු. වර්තමානයේ ළමයි අඬන්න දන්නෙ නෑ. එයාලගෙ ඇස්වල කඳුළු නෑ වගේම දරුවන් ආත්මාර්ථකාමී කරලා තියෙන්නෙ දෙමවුපියන්ද?“ යන ප්‍රශ්නයක් ඇති බව ඔහු පවසයි. එම නිසා ඔහු නවකතා මඟින් ද උත්සාහ දරන්නේ දරුවන් යහපත් පුරවැසියන් කර සමාජයට දායාද කිරීම සඳහා දායක වීමටයි.
සුගත්ගේ සේපාලිකා මල් නවකතාව ආයතනයකින් SMS තරගයක් සඳහා ඉදිරිපත් කළ පළමු නවකතාවයි. නවකතාවක් සඳහා ලියවුණු පළමු ගීතය ද සේපාලිකා මල් නවකතාව සඳහා ඔහු අතින් ලියවුණු ‘සේපාලිකා මල්’ ගීතය වන බව ඔහු පවසයි. සේපාලිකා මල් ගීතය ගයන්නේ ජීවනී මීගොඩ ගායිකාවයි. එහි තනුව අනුරුද්ධ කරුණානායකගේය.
මේ සියලු කලා කටයුතු අතර රංගන ශිල්පියෙකුගේ භූමිකාවද ඔහු ඉතා අපූරුවට සිදු කරයි. සුගත් සමරකෝන්ගේ උතුරේ රාහුල හිමි, කීර්ති බණ්ඩාරගේ එයා වගේද මෙයා, කීර්ති බණ්ඩාරගේ රජ කැපිල්ල යන වේදිකා නාට්‍යවලද බෝනික්කා, හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්, නෝමාර්ක් කෝමාර්ක් සහ ප්‍රාණ යන සිනමාපටවල ද ඉත්තෝ, නීල පබළු, බේකරි ගෙදර යන ටෙලිනාට්‍යවලද ඔහුගේ රංගන දායකත්වය ලබා දී ඇත.
සෑම ක්ෂේත්රයකික්ම කලා කෙත අස්වැද්දීමට සමත් ඔහුගේ අභිප්‍රාය වන්නේ සමාජයට ආදර්ශවත් නිර්මාණ බිහි කිරීමයි. මෙම වේදිකා නාට්‍ය පාසල්, ගුරු සංගම් සහ දහම් පාසල් සඳහා සම්බන්ධ කර ගන්නා ලෙසත් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු පවසයි.