Home » ක්ෂේත්‍රයට ආවේ ගායනයට දැන් මං නළුවෙක්

ක්ෂේත්‍රයට ආවේ ගායනයට දැන් මං නළුවෙක්

ඉඳුවර සයාගී

by thanushika
May 10, 2025 12:30 am 0 comment
 අනුෂා රණසිංහ

ඉඳුවර සයාගී කියන්නේ හිරු ස්ටර් වේදිකාව හරහා කවුරුත් හඳුනාගත් ගායකයෙක්. එනමුත් අද වෙද්දී ඉඳුවර සයාගී ජනප්‍රිය වෙලා ඉන්නේ රංගන ශිල්පියෙක් ලෙස. ඒ හිරු නාලිකාවේ විකාශය වන නිවන්ත ප්‍රසාර අධ්‍යක්ෂණය කරන රොන් සොයා නාට්‍යය නිසා. මේ කතාබහ ගායකයෙක් වෙන්න ආව ඉඳුවර සයාගී නළුවෙක් විදියට ලබන ප්‍රේක්ෂක ආදරේ ගැන.

ගායකයෙක් වෙන්න ආව ඉඳුවර සයාගී කොහොමද නළුවෙක් වුණේ?

නළුවෙක් වෙන්න ප්‍රධාන හේතුව අපේ විරාජ් වැලිවත්ත සර්. මම නේසර අපි කට්ටියම හිරු ස්ටර් වේදිකාවේ අවසන් 12දෙනා අතරට තේරුණා. ඉතින් අවසන් 12දෙනාට තේරුණාට පස්සේ නිවන්ත ප්‍රසාර සර් කතා කරලා කිව්වා එන්න පොඩ්ඩක් කතා කරන්න පුතා කියලා. එදා තමයි අපිට කිව්වේ අලුත්ම නාට්‍යයක් කරන්න යනවා. එහි ප්‍රධාන චරිත දෙකට අපි දෙන්නවම තෝරාගෙන තියෙනවා. කරන්න තියෙන්නේ හොඳම යාළුවො දෙන්නෙක්ගේ චරිත දෙකක්. චරිත දෙකේ නම වෙන්නෙත් අපේ නමම තමයි කියලා. ඒකට කැමතිද කියලා ඇහුවා. අපි කැමති වුණා.

රංගනය කියන දේටත් ආසාවක් තිබ්බද?

පොඩි කාලේ ඉඳන් රංගනය කරනවා කියන දේ ඔළුවේ තිබුණේ නැහැ. මම හරිම ආසයි ශාරුක් ඛාන්ගේ චිත්‍රපට බලන්න. මම ආස බොහොම ආදරණිය චරිතවලට. හැබැයි රඟපානවා කියන දේට වඩා සංගීතය පැත්තෙන් ගමනක් යන්න තමයි පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණේ.

අධ්‍යක්ෂවරයා මුලින්ම චරිතේ ගැන පැහැදිලි කළේ කොහොමද?

නිවන්ත සර් තමයි අපේ අධ්‍යක්ෂවරයා. අපේ මුල්ම ෂූට් එක තිබුණේ මීගමුවේ. අපි දෙන්නා ඒ චරිත දෙකට සාධාරණයක් කරනවා ද කියන එක බලන්න පොඩි ෂූට් එකක් කළා. එදා අපි එතැනට යද්දී මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. අපි නිවන්ත සර්ගෙන් ඇහුවා මොකක් ද කරන්න ඕනේ කියලා. අපිට තිබුණේ දුවගෙන එන ෂූට් එකක්. නිවන්ත සර් කිව්වේ මුකුත්ම හිතන්නේ නැතුව අපි දෙන්නගේ තියෙන නැචුරල් එකම තියා ගන්න කියලා.

මේ වෙද්දී ලබන ප්‍රේක්ෂක ආදරේ ගැන කිව්වොත්

ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මුලින්ම මතක් කරන්න ඕනේ හිරු ස්ටර් සීසන් 4 වේදිකාව. ඒ හරහා තමයි ප්‍රේක්ෂකයින් අතරට එන්නේ.

එතැනින් ලොකු ආදරයක් ලැබුණා. ඊට පස්සේ පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයින්ගේ දවසේ තමයි මුලින්ම නාට්‍යය පැයක් විකාශය වුණේ. එදා ඉඳන් අද වෙනකම් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබනවා. ඒ ආදරේ ලැබෙද්දී මට ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා මගේ ජීවිතේට. ප්‍රේක්ෂකයින් මට ආදරේ කරනවා වගේම මමත් ප්‍රේක්ෂකයින්ට ආදරේ කරනවා.

දිගටම රඟපාන්න ද කැමැත්ත

රඟපාන්න ද සින්දු කියන්න ද කැමති කියන එක මගෙනුත් ගොඩක් අය අහනවා. රඟපානවා කියන එක සුන්දර අත්දැකීමක් වගේම ගායනයත් මට නම් සුන්දර අත්දැකීමක්. ඒ නිසා විශේෂත්වයක් නැහැ. අංශ දෙකටම එක වගේ ආදරේ කරනවා.

රංගනය නිසා ගායනය මඟ හැරෙයි ද?

කවදාවත්ම නැහැ. මම මේ ක්ෂේත්‍රයට එන්නේ ගායනය නිසා. ඉදිරියටත් රංගනය සහ ගායනය කියන අංශ දෙකේම නියැළෙන්න තමයි බලාපොරොත්තුව.

මේ වෙද්දී ඔබේම ගීත නිර්මාණය කරමින් ද ඉන්නේ?

නාට්‍යය තුළින්ම අපේම ගීත නිර්මාණය වෙලා තියෙනවා. ඊට අමතරව මගේම ගීත කිහිපයක් කරගෙන යනවා. ඒ නිර්මාණත් ඉදිරියේදී අහන්න ලැබෙයි. මා එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා.

සයාගී සහ නේසර මේ මිතුදම ඇති වෙන්නේ කොහොමද?

මේ මිතුදම ඇති වෙන්නේ හිරු ස්ටාර් සීසන් 4 වේදිකාව හරහා. මුලින්ම නම් අපි එතරම් සමීප වෙලා හිටියේ නැහැ. මොකද ඒ වෙද්දී 300කට අධික පිරිසක් හිටියා. වට කිහිපයක් ඉදිරියට යද්දී කට්ටිය අඩු වෙලා අවසන් 48 වගේ වෙද්දී තමයි මට නේසරව හමුවෙන්නේ. නේසර ඉන්නේ ගම්පහ. මම නැවතිලා හිටියේ රාගම. අපි දෙන්නා ෆිට් වුණාම නේසර මාව එයාලගේ කාර් එකේ කඩවතට එක්කගෙන ගියා. එතැනින් පස්සේ දිගටම වුණේ සෙනසුරාදා ඉරිඳා හැමදාම මාව කඩවතින් දාගෙන අපි හයිවේ එකේ ගිහින් හිරු ලයිෆ් ස්ටුඩියෝ එකට යනවා. ඒ ගමන හැම සති අන්තයකම හිරු ස්ටර් සීසන් 4 වේදිකාවේ අවසන් මහ රාත්‍රිය වෙනකම් වුණා. ඒ එක්කම මතක් කරන්න ඕනේ නේසරගේ දෙවැනි අයියා එඩ්රියන් අයියාව. අපි තුන්දෙනා තමයි හැමදාම එකට ආවේ ගියේ. නෙස්ර කියන්නේ මට හම්බවුණු හොඳම යාළුවෙක්.

ඉඳුවර සයාගීගේ පවුලේ විස්තර කොහොමද?

අම්මා තාත්තා සහ නංගිලා තුන්දෙනෙක්. අම්මා අවුරුදු තුනක් තිස්සේ විදේශගත වෙලා ඉන්නේ. මේ අවුරුද්දේ දෙසැම්බර්වල අම්මා ලංකාවට එනවා. අම්මාව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. අම්මා මගේ ගැන ගොඩක් හොයලා බලනවා. අම්මා හැම වෙලාවේම කතා කරලා මගේ මානසික ශක්තිය ආර්ථිකමය ශක්තිය හදනවා. සමහර දවස්වල මට නින්ද යනකම් අම්මා මා එක්ක කෝල් එකේ ඉන්නවා. ඒ එක්කම මගේ අප්පච්චි නිසයි අද මම මෙතැන ඉන්නේ. අප්පච්චි මමයි ඉන්නේ හොඳම යාළුවෝ වගේ. මගේ ලයිෆ් එකේ මෙන්ටෝ විදියට සලකන්නේ මගේ අප්පච්චි. මට නංගිලා තුනක් ඉන්නවා ලොකුම නංගි මේ වෙද්දී උසස් පෙළ කරනවා, දෙවැනි නංගි 9 වසරේ. මගේ පුංචිම නංගි දෙක වසරේ.

ප්‍රේක්ෂක ආදරේ අතරේ ගැහැනු ළමයින්ගේ ආදරේ තදින්ම දැනෙනවා ඇති නේද?

ඔව්. ගැහැනු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි මට දැනෙන විදියට ගැහැනු පිරිමි භේදයකින් තොරව මට ආදරේ කියන දේ ලැබෙනවා. ඒ ලැබෙන ආදරේ මම නිහතමානීව භාර ගන්නවා. ඒ ලැබෙන්නේ ඇත්ත ආදරයක් කියන එක මට දැනෙනවා.

ක්ෂේත්‍රයේ කෙනෙක්ටම හිත යයි ද?

ඒ ගැන දැනට මම හිතන්නේ නැති නිසා ඒ ගැන කියන්න නම් දන්නේ නැහැ. මම මේ ගමන පටන් ගත්තා විතරයි. ඒ නිසා මම මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගනිමින් මගේ ගමන හදා ගන්න එකට තමයි මුල් තැන දීලා තියෙන්නේ.

ජීවිතේ හෙට දවස ගැන කොහොමද හිතාගෙන ඉන්නේ?

දිගුකාලීනව මට තියෙන එකම බලාපොරොත්තුව වයස අවුරුදු 30 වෙද්දී ජිවිතේ සාර්ථක කර ගත්තු කෙනෙක් විදියට සමාජගත වෙන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division