මගේ පළමු ගෙය නුඹගේ කුසමයි
නුඹගේ රුධිරය ලද පළමු දිව ඔසුවයි
මා සිපගත් පළමු මල නුඹයි
නොසිඳී ගලන්නේ ඔබගේ ආදරයයි
.
මගේ සවන පිනවූ පළමු හඬ නුඹයි
මා දුටු පළමු මුව ඔබගේ මුව තමයි
තෙළිතුඬට මා මැවූ පළමු රුව ඔබයි
මා කැමැති පළමු ළඳ අම්මේ නුඹමයි
.
මා වෙනුවෙන් ඔබ දිවියම කැප කර
මා හඬා වැටෙන විට නළවා නිදි කර
හද සෙනෙහේ පාලා ළමැද තුරුලු කර
ඇත්තේ ඔබේ සිරුරේ නොසිඳෙන ප්‍රේමය
.
ගායනය – විශාරද සුදත් සමරසිංහ
පද රචනය – මඩුළුගිරියේ විජේරත්න
සංගීතය – විශාරද දර්ශන වික්‍රමතුංග
ඉසවි
ඇය නැති අඩුව නොදැනෙන මොහොතක් නැති තරම්ය. සිත සුවපත් වූ විටත්, සිත ගිලන් වූ විටත්, ගතින් අසනීප වූ විටත් ඇයගේ උණුසුම කොහේ හෝ ලෝකයක සිට හමා එන සුළං රැල්ලක් ලෙස මා සිත වෙළාගනී.
ඇය වියෝ වී වසර විස්සකට ආසන්නය. එහෙත් ගෙෙවන හැම තත්පරයකම ඇයගේ සෙනෙහස මා අසලය. ඒ මිහිරි හඬ සිත සුවපත් කරයි. ඒ රුව හැම මොහොතකම මැවී පෙනෙයි. ඒ මගේ අම්මාය. මට මගේ අම්මා හැම මොහොතකම සිහිපත් වනවා සේ ඔබටද ඔබේ මව ගැන එසේම දැනෙනවා වන්නට ඇත.
අම්මාගේ සෙනෙහස අපූරුය. ඇයට තරම් කාටවත් ආදරය කරන්නට, ආදරය බෙදන්නට බැරිය. ඇය තම කුසින් වැදූ සියලු දරුවන්ට එකසේ සෙනෙහස පාන්නීය; එමෙන්ම අහල පහල දරුවන්ටද සෙහෙසහ දක්වන්නීය. අම්මා ගැන කවියක් ලියන්නැයි කියූ විට ඒ කවි විවිධ අරුත් ගනී.
අදට යෙදී ඇත්තේ ලෝක මවුවරුන්ගේ දිනයයි. අම්මා ගැන සමරන්නට එක දිනක්. සැබැවින්ම ඇයගේ ගුණ ගයන්නට, ඇයට ආදරය කරන්නට, සෙනෙහස පුදන්නට එක දිනක් සෑහේද?
මේ කොහොම වුණත් අපේ රටේ විශිෂ්ට ලේඛකයකු වන සොහොයුරු මඩුළුගිරියේ විජේරත්න අම්මා ගැන හරි අපූරු ගීතයක් රචනා කර තියෙනවා. මේ ගීතය ගයන්නේ ප්‍රවීණයකු වන විශාරද සුදත් සමරසිංහය. ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ විශාරද දර්ශන වික්‍රමතුංගය. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන මඩුළුගිරියේ විජේරත්න ලංකා බැංකුවේ ප්‍රධාන කළමනාකරුවකු හැටියට සේවය කළේය. එහෙත් පාසල් වියේ සිටම පොතපත කියවීමට, ලිවීමට තිබූ ඇල්ම කිසිසේත්ම අත්හැර නොදැමූ ඔහු අද වන විට සිංහල පාඨකයන් අතර පමණක් නොව දමිළ පාඨකයන් අතරද නමක් දිනූ ලේඛකයකු බවට පත්ව සිටී.
ගීතය ගැන මඩුළුගිරියේ විජේරත්නගේ අදහස මෙසේය:
“මේ රටේ ඕනෑ තරම් මවුගුණ ගී ලියවිලා තියෙනවා. මේ ගීතය ලියද්දි මගේ සිහියට නිරන්තරයෙන්ම ආවේ මගේ අම්මාව. මගේ පවුලේ මමත් ඇතුළුව සහෝදර සහෝදරියෝ ඔක්කෝම හතර දෙනයි. මගේ සහෝදර සහෝදරියනුත් හොඳින් ඉගෙනගත්ත අය. මගෙ තාත්තා මිය ගියාට පස්සේ අම්මා තමයි අපේ එකම රැකවරණය වුණේ. මගෙ අම්මා ඉස්කෝලේ අටේ පන්තියට විතර ඉගෙන ගෙන ඇති. ඒක එහෙම වුණයි කියලා අපේ අම්මා කවදාවත් අපට ඉගෙන ගන්න එපා කිවුවේ නෑ. ඇයගේ එකම අරමුණ වුණේ අපිව අධ්‍යාපනයෙන් ඉහළටම යැවීම.
“අපි හිටියේ වවුනියාව ඉරට්ටපෙරිකුලම කියන ගමේ. ඒක කැලෑ ගමක්. මම වවුනියාව ගාමිණි මහා විද්‍යාලයෙන් උසස් පෙළ කරලා තමයි කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණේ. යුද්ධ කාලේ අපිත් අනෙක් අය වගේම විවිධ හැලහැප්පීම්වලට ලක් වුණා. මට මතකයි ඒ කාලේ අපෙ මිදුලෙත් බංකර් හදලා තිබුණා. ඒ බෝම්බ දාන කොට ගෙදර අයට හැංගෙන්න. අපි පඳුරු අස්සේ හැංගිලා ඉඳලත් තියෙනවා. ඒ කාලේ මට මතකයි අම්මා පොල් කට්ටට ඉටිපන්දම ගහලා දෙනවා. ඒ එළියෙන් තමයි මම පාඩම් කළේ.
“කොටි එනවා කියලා ආරංචි වුණොත් කැත්ත අරන් එළියට බහින්නත් මගෙ අම්මාට හුරුයි. අම්මා කිසි කෙනකුට බය නෑ. මගෙ අම්මා කියන්නේ බොහෝම නිර්භීත කාන්තාවක්. ඇය ගමේ අම්මා කෙනකුට දරුවකු ලැබෙන්න ආවත් ඒකේ වින්නඹුකමත් කරනවා.
“මගේ අම්මා ගැන කවදාවත් කියලා නිම කරන්න බෑ. මට මතකයි මම ‘යළිත් වසන්තය’ කියලා පොතක් ලිවුවා. එතකොට මගෙ වයස අවුරුදු දාහතරක් විතර ඇති. මම ඒ පොත පිළිගැන්නුවේ මගෙ අම්මට. පුංචි කාලේ එහෙම ලියන්න අරඹපු මම තමයි අද මෙහෙම ඉන්නේ. ඒ කොහොම වුණත් මේ ගීතය ලියද්දි ඇත්තෙන්ම සිහියට ආවේ මගෙ අම්මාව. ඒ නිසාම වෙන්නැති මට මේ විදිහට ලියැවෙන්නත් ඇත්තේ…
“මගේ පළමු ගෙය නුඹගේ කුසමයි
නුඹගේ රුධිරය ලද පළමු දිව ඔසුවයි
මා සිපගත් පළමු මල නුඹයි
නොසිඳී ගලන්නේ ඔබගේ ආදරයයි…”
අම්මාගේ ගුණ කිසි දින කියා ගයා නිම කළ නොහැකිය. ඒ තරමටම ඇය අපේ සම් මස් ඇට ලේ නහර සමඟ බද්ධ වී ඇත.