පළාත් පාලන මැතිවරණ උණුසුම ඡන්දයෙන් පසුවත් තවම පවතින්නේ සභාවල බලය තවම නිල වශයෙන් පිහිටුවා නැති නිසාය. ඒ සභාවල බලය පිහිටුවීම සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බැවින් මේ පිළිබඳ විවිධ අර්ථකථනද අසන්නට ලැබේ.
පුංචි ඡන්දයේ ජය මාලිමාවට
පසුගිය 6 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ජය ජාතික ජන බලවේගයට හිමි විය. ලක්ෂ 45කට වඩා අධික ඡන්ද සංඛ්‍යාවක් ලබමින්, පළාත් පාලන ආයතන 265ක් ජයග්‍රහණය කිරීමට මාලිමාවට හැකි වී තිබේ. මේ අනුව මාලිමාවට සභික ධූර 3,927ක් හිමි විය. එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකම සභාවක් පිහිටුවීමට නොහැකි විය.
දිනූ සභා 267ක බලය පිහිටුවීම
පළාත් පාලන ආයතන 339න් 267ක බහුතරය ජාතික ජන බලවේගය දිනාගෙන ඇති හෙයින් එම 267ම බලය පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරුන් සල්ලිවලට ගත්තොත් වෙන දේ
කවුරුන් හෝ මේ සභාවල වෙන වෙන දේවල් කිරීමට හීන මවනවා නම් ඒවාට ඉඩ නැති බවත්, මන්ත්‍රීවරුන් සල්ලිවලට ගැනීමට හදනවා නම් ඔක්කොම හිරේ දැමීමට කටයුතු කරන බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය. රාජපක්ෂවරුන්, වික්‍රමසිංහවරුන් සල්ලි ටොන් ගණන් බෙදා මන්ත්‍රීවරුන් බිළීබාගත් හැටි හොඳින් දන්නා බවද හෙතෙම පැවසුවේය.
පොහොට්ටුවේ බල කණු බිඳේ
එදා පොහොට්ටුවට තිබුණු පළාත් පාලන ආයතන 226ම බලය ගිලිහී ගොස් ඇති බව මැතිවරණ ප්‍රතිඵල ගැන සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.
මැදමූලනත් මාලිමාවට
රාජපක්ෂවරුන්ගේ සියලු බළකොටු මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බිඳවැටී ඇති අතර, රාජපක්ෂවරුන්ගේ ප්‍රබලම බළකොටුවක් වන මැදමූලන කොට්ඨාසයද මාලිමාවට හිමි වීම විශේෂත්වයකි. මීට අමතරව තවත් දේශපාලන බළ කඳවුරු රැසකද බලය මාලිමාවට හිමිව තිබේ.
කොළඹ බලය කවුරු අල්ලයිද?
පළාත් පාලන මැතිවරණයේ වැඩිම අවධානයක් යොමු වී තිබෙන්නේ කොළඹ මහ නගර සභාව දෙසටය. කොළඹ මහ නගර සභාව සභික ධුර 48ක් ලබාගෙන ජයග්‍රහණය කර තිබෙන්නේ ජාතික ජන බලවේගයයි.
මාලිමාවට වැඩි වාසි
සභාවේ බහුතරය ලබා ගැනීම සඳහා සභික ධුර 58ක් ලබාගත යුතු අතර, ඒ සඳහා තවත් සභිකයන් 10කගේ සහාය ගැනීමට ජාතික ජන බලවේගයට අවශ්‍යව තිබේ. සමගි ජන බලවේගයට සභිකයන් සිටින්නේ 29ක් පමණි. එක්සත් ජාතික පක්ෂයට සභිකයෝ 13කි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 5කි. ඒ අනුව බහුතර බලය ලබාගැනීමට වැඩිම හැකියාව පවතින්නේ මාලිමාවටයි.
ඒකාබද්ධ වික්ෂයේ ගැටුම්
මාලිමාව ඇතුළු කිසිවකුටත් බහුතරය නැති පළාත් පාලන ආයතන 117ක බලය පිහිටුවාගැනීම සඳහා දේශපාලන මෙහෙයුම් මේ වන විට ආරම්භ වී ඇත. මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ සමගිය ගැන යම් යම් අය කතා කළද, එක්සත් ජාතික පක්ෂය සමගි වීමට ඉදිරිපත් කර ඇති යෝජනාවලට සමගි ජන බලවේගයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නැති බව වාර්තා වේ.
දිලිත් – නාමල් ගැටුම
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා සර්ව ජන බලවේගයේ නායක දිලිත් ජයවීර අතරද යම් සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ. නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වූ දිලිත් ජයවීර කටයුතු කර තිබිණි. මේ අතර, වාමාංශික එකමුතුව කඩාදැමීමට දිලිත් කටයුතු කරන බවට පෙහොට්ටුවේ ගම්පහ ප්‍රබලයකු වන ඉන්දික අනුරුද්ධ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය. නාමල් සහ දිලිත් අතර පවතින සීතල යුද්ධයද ඒකාබද්ධ විපක්ෂයේ සමගියට බාධා එල්ල වී තිබේ.
‘සර්ව ජන බලය කාටවත් මුක්කු ගහන්නේ නැහැ’ යනුවෙන් දිලිත් ජයවීර පසුගියදා කළ ප්‍රකාශයට විපක්ෂයේ පක්ෂවලින් දිලිත් ජයවීරට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතින බව ද වාර්තා වේ. ‘දිලිත් හදන්නේ නිශ්ශබ්දව ඉඳගෙන ආණ්ඩුවට සපෝට් කරන්න’ යනුවෙන් විපක්ෂයේ ප්‍රබලයකු පසුගියදා එක්තරා රැස්වීමකදී ප්‍රකාශ කර තිබිණි.
සාමය ගැන ජනපති ලෝකයටම කියූ පණිවිඩය
යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක සියලු ජාතීන් සහ මිනිසුන් අතර සාමය, සංවර්ධනය සහ ගෞරවය ඇති කිරීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබාගනිමුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ප්‍රජාවට ඇරියුම් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 6 දා වියට්නාමයේ හෝ චි මිං නගරයේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
‘මානව ගරුත්වය සඳහා සහයෝගිතාව සහ ඉවසීම: ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය’ යන තේමාව යටතේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම සඳහා, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්‍රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක පමණ පිරිසක් එක් වූහ.
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එහි ප්‍රධාන දේශනයද සිදු කරනු ලැබීය. යුද්ධයෙන් පසු බොහෝ අයට ඉතිරි වන්නේ ඛේදවාචකයක් සහ වේදනාවක් පමණක් බවත් එම වේදනාව වළක්වාගත හැක්කේ සාමය සහ හික්මීම ඇසුරෙන් පමණක් බවත්, ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ උපයෝගි කරගනිමින් කෙලෙස් සතුරන්ට විරුද්ධව සටන් කරන ආකාරය බෞද්ධ දර්ශනය ඇසුරෙන් පෙන්වා දී තිබෙන බවද බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළ එම දහම ලොව සියලු අවිවලට වඩා බලවත් බවද ජනාධිපතිවරයා පැවසීය.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ දේශනය මෙසේය:
“නොපසුබට උත්සාහය, අසාමාන්‍ය අධිෂ්ඨානය, නිශ්චිත කැප වීම, උපායමාර්ගික ඉලක්කය හා අද්විතීය ප්‍රතිඵල ගෙන දෙන, වේගයෙන් සහ ආදර්ශයෙන් නැගී සිටින රටක පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමට ලැබීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටට පත් වෙමි.
ජනපතිගේ කතාවට දැඩි අවධානයක්
“වසර සිය ගණනක් පුරා ඉකිබිඳිමින් හඬන්නට සිදු වන වේදනාබර අත්දැකීම් තිබියෙදී, ඒ සියල්ල පරදා ධෛර්යසම්පන්න ලෙස නැගී සිටීමේ මාර්ගය සකස් කර ගත් විස්මයජනක රට වියට්නාම් දේශයයි. ඉතිහාසයේ දරුණුතම රසායනික අවි ප්‍රහාරවලින් කුරිරුම අසාධාරණයට ලක් වී පන්නරය ලැබූ ඔබේ රට අත් කරගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් අපට ඇත්තේ මහත් ආඩම්බරයකි. එනයින් මම ඔබේ රට අධිෂ්ඨානයේ දේශය නමින්ද හඳුන්වා දීමට කැමැත්තෙමි.
“එසේම තව දින කිහිපයකින් යෙදෙන සම්බුදු තෙමගුල බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරයි. වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම පැවැත්වීමට වියට්නාමය තෝරා ගැනීම අපට මහත් ආඩම්බරයක් බවද කිව යුතුය.
“1999 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී වෙසක් දිනය ජාත්‍යන්තරව පිළිගත් දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කෙරිණි. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතායි. ඉක්බිතිව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ සඳහා ඉදිරිපත් වූ බෞද්ධ සහ බෞද්ධ නොවන ජනතාව අප මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කරන්නෙමු.
මානව ශිෂ්ටාචාරයේ වටිනාකම
“ශක්තිමත් සමාජයක බලය බෙදී යන්නේ සමානාත්මතාවෙන් යුතුවය. සමානාත්මතාව නොමැතිව ගොඩනැඟෙන්නේ යුද ලෝකයකි. වසර 2500ක බෞද්ධ ඉතිහාසය තුළ සමානාත්මතාව පිළිබඳ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මැනවින් පෙන්නුම් කර තිබේ. මැදුම් පිළිවෙත පිළිබඳ උන් වහන්සේගේ ඉගැන්වීම අද ලෝක තලයේ ප්‍රායෝගික යථාර්ථයක් වී ඇත. එසේම සමානාත්මතාවයේ ජීවමාන සාක්ෂියක් ලෙස වියට්නාමය හඳුන්වා දිය හැකිය. මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ තේමාව වන්නේද සමානාත්මතාවයි.
“අප මේ කතා කරන මොහොතේදී පවා ලෝකයේ කොතැනක හෝ මානව ශිෂ්ටාචාරයට එරෙහිව යම් යම් දේ සිදු වෙමින් පවතී. එසේම දහසක් අවිවලින් මූණිස්සන් පිට වෙයි. යුද්ධය ගැන කිසිවක් නොදන්නා කුඩා දරුවන් දස දහස් ගණනින් ඒවායේ ගොදුරු බවට පත් වෙයි. මේ හේතුවෙන් කාන්තාවන්ට ස්වාමිපුරුෂයන්, මවුපියන්ට දරුවන්, දරුවන්ට මවුපියන් අහිමි වී යයි. මේ ආකාරයෙන් බලන කල යුද්ධය නිසා මිනිස් ශිෂ්ටාචාරය ජයග්‍රහණවලට වඩා විනාශය ළඟා කරගෙන තිබේ. යුද්ධයෙන් පසු බොහෝ අයට ඉතිරි වන්නේ ඛේදවාචකයක් සහ වේදනාවක් පමණි. වසර තිස් ගණනක යුද්ධයෙන් වේදනාවට පත් ජාතියක් ලෙස අපටද එහි අත්දැකීමක් තිබේ. මෙවන් ඛේදවාචකයක වේදනාව වළක්වාගත හැක්කේ සාමය සහ හික්මීම මඟිනි. එය අවබෝධ කරගන්නා තාක් අපට හිමි වන්නේ ඛේදවාචකයන් සහ වේදනාවන් පමණි.
“මෙවන් අවධියක සාමයෙන් සහ හික්මීමෙන් කටයුතු කිරීමේ අගය මීට වසර 2,500කට පෙර අප ගෞතම බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළහ. එහි වටිනාකම් ශ්‍රී ලාංකේය ජාතිය ලෙස අපි උකහාගත්තෙමු. මවුපිය – දූදරු සබඳතා, ඥාති-හිතවත් සබඳතා, ගුරු-සිසු සබඳතා පොහොසත් ලෙස අප රටට හිමිව තිබේ. තමන්ගේ රුධිරය තවත් කෙනකුගේ ජීවිතයක් බේරාගැනීමට ලබා දීම අපේ රටේ මිනිස්සු සලකන්නේ දානයක් ලෙසයි. මේ ආකාරයට රුධිරය දානයක් ලෙස ලබා දෙන ලෝකයේ වෙනත් කිසිදු රටක් පිළිබඳව මා දන්නේ නැහැ. එසේම ඇස් දන් දීම මගේ රටේ ජනතාව සිදු කරනවා.”
ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමුහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා (7) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය දිය හැක්කේ කෙසේද යන්න මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීනව ප්‍රතිලාභ ලබාගත හැකි ක්ෂේත්‍ර හඳුනාගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැඟෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා විය.
ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්, ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන්, අන්තර්ජාතික මුල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි, ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා නේවාසික නියෝජිත ගිවෝරිස් සාර්කස්ජාන් ද මීට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
රනිල්ගේ අනාවැකිය
පළාත් පාලන ඡන්දයට මූද හත් ගව්වක්වක් තබාගෙන රනිල් කීවේ ඡන්දය දිනන්න නම් විපක්ෂයේ පක්ෂ එකතු විය යුතු බවයි. මැයි 6 වැනිදා පැවති ඡන්දයේ ප්‍රතිඵලයෙන් රනිල් එදා කී කතාවේ සත්‍යතාව සියලු දෙනාට පෙන්වා දෙනු ලැබීය.
“මේ මනුස්සයා කියපු දේම වෙච්ච හැටි! ටක්කෙටම කිව්වනේ…” බොහෝ දෙනාගේ අදහස එය විය.
මැතිවරණයෙන් පසුවදා ප්‍රතිඵල විශ්ලේෂණයට මුලින්ම රනිල් හමුවට ගියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, ජනාධිපති හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සහ අන්තර්ජාතික සබඳතා අධ්‍යක්ෂ දිනුම් කොළඹගේය. රනිල් හිටියේ සිනාමුසුවය.
“සර් කියපු දේ එහෙමම වෙලා නේද?” මාධ්‍ය සගයන් කී කතාවට රනිල් සැහැල්ලුවෙන් සිනාසුණේය.
දෙපැත්තට ටොකු ඇනගැනීම
“උපදෙස් දුන්න විදියට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙලා පළාත් පාලන ආයතන පනහකට සීයකට තරග කළා නම් ඒ සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගාණක් ගන්න ඉඩ තිබුණා. කොළඹට විතරක්වත් එවැනි දෙයක් කරන්නට තිබුණා. මම කිවුව විදියට විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්නා…” රනිල් කීවේය.
රනිල් ඒ ගැන තවත් විවරණයක් කළේය:
“අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරග කළා. මෙය යම් ඇරඹුමක් ලෙස සැලකිය හැකියි. සමහර ප්‍රදේශවල අපේ ප්‍රතිඵල හොඳයි. දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි. මා මැතිවරණ ප්‍රචාරක වැඩවලට සහභාගි වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්. හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා. අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි. අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්න එන බව සමහරු කිවුවා. අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්න එන්නේ නැති බව දැන් පෙනෙන්න තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි.
වගකීම් භාර දෙන්න රනිල් සූදානම්
“මේ පක්ෂය ගොඩනැඟිය යුත්තේ අවුරුදු පනහේ හතළිහේ අයයි. මෙතනින් පසු තරුණ පරපුර වගකීම් භාරගෙන ඉදිරියට යා යුතුයි…” රනිල් කීවේය.
රුවන්, වජිර, සාගල, තලතා ඇතුළු පක්ෂ නායකයන්ද රනිල් හමුවට ආවේ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නය.
“ඇත්තටම මේ මැතිවරණයේදී ජනතාව ලොකුම පණිවිඩය දීලා තියෙන්නේ ආණ්ඩුවට. මට නම් හිතෙන්නේ ආණ්ඩුව කියපු පච දැන් මිනිස්සුන්ට අවබෝධ වෙලා වගේ. ලැබිච්ච ප්‍රතිඵලයත් එක්ක ඇතැම් සභා පිහිටුවන්න අපේ සහාය අවශ්‍ය වෙයි. ඒක නිසා සජබෙ හෝ වෙනත් ඕන පක්ෂයක් එක්ක සාකච්ඡා කරන්න අප ඉදිරිපත් වෙන්න ඕන,” රුවන් තම අදහස පැවසීය.
වජිරගේ ගණන් හැදීම
අනතුරුව වජිර ගණන් ඉලක්කම් සමග ඡන්ද ප්‍රතිඵල විවරණයක් ඉදිරිපත් කළේය:
“JVPය ඡන්ද හතළිස් පන්ලක්ෂ තුන්දහස් නවසිය තිහක් ගන්න කොට රජයට විරුද්ධව ඡන්ද පනස් නව ලක්ෂ හයදහස් අටසිය අසූවක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නෙ ඡන්ද දාහතර ලක්ෂ දෙදහස් නවසිය පනහකින් විරුද්ධ පක්ෂයට වැඩිපුර ඡන්ද භාවිත කරලා තියෙනවා. ඒ එක්කම JVPයෙන් සභිකයන් 3,926ක් පත් වෙන කොට, SJBයෙන් සභිකයන් 1,787ක් පත් වෙනවා. SLPPයෙන් 742ක් පත් වෙන කොට, UNPයෙන් 381ක් පත් වෙනවා. PAයෙන් 300ක් පත් වෙන කොට, ස්වාධීන සහ අනෙක් කණ්ඩායම් 1,776ක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ අනෙක් සියලු පක්ෂ එකතු වෙලා සභිකයන් 4,886ක් විරුද්ධ පක්ෂයට පත් කරගෙන තිබෙනවා. රජයේ කණ්ඩායමට වැඩිය සභික ධුර 960ක් වැඩිපුර පත් කරගෙන තියෙනවා.
“ඒ වගේම අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේ ලබා ගත්ත ඡන්ද ප්‍රමාණය සමග බැලුවම ඡන්ද ලක්ෂ 11ක් අහිමි වී තිබෙනවා, මහමැතිවරණයට සාපේක්ෂව බැලුවම ඡන්ද ලක්ෂ 23ක් අහිමි කරගෙන තිබෙනවා. මං හිතන්නේ ලංකා ඉතිහාසයේ පළාත් පාලන ඡන්ද ඉතිහාසය දිහා බැලුවම කිසිම දවසක කිසිම රජයක් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 5/6ක බලයක් දිනුවා ලංකාවේ පළාත් පාලන ආයතනවල සියලු බලය ලබාගන්නවා. ඉන් පසුව ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, එහෙම නැත් තම් රනිල් අගමැති හැටියට 2001 ඉන්න කොටත් ලංකාව පුරා ගිහිල්ලා පළාත් පාලන මැතිවරණයේ අත්තනගල්ලත් එක්කම ජයග්‍රහණය කිරීමට කටයුතු කළා.”
වජිර එලෙස දීර්ඝ විවරණයක් කළේ ආණ්ඩුවේ පසුබෑම ගැනයි. අකිල කීවේ මේ ප්‍රතිඵලය එක්ක ආණ්ඩුවට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදු වනු ඇති බවයි.
“මේක ආණ්ඩුවේ වැටීමේ ආරම්භයක්. මේකෙන් පස්සෙ ආණ්ඩුව ගන්න තීන්දු තීරණ හරියට ක්‍රියාත්මක කරගන්න බැරිවෙනවා,” අකිල කීය. “තුනෙන් දෙකක බලයක් ගත්ත ආණ්ඩුව අද වනවිට 26.2% දක්වා අඩු කරගෙන තියෙන කොට, විරුද්ධ පක්ෂය 73.8%ක් ඡන්ද අරගෙන තියෙනවා. ආණ්ඩුවේ බොරුව තවත් ඉදිරියට ගෙනියන්න දෙන්නේ නෑ කියන පණිවිඩය ජනතාව විසින් දී තිබෙනවා.”
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බව මෙහිදී සාගල අවධාරණය කළේය.
රනිල් ඉන්දියාවට
රනිල් ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා 8 වැනිදා පිටත්ව ගියේය. රනිල් මෙවර ඉන්දීය සංචාරයේ නිරත වන්නේ ඉකුත් ජනපතිවරණයෙන් පසු සිව්වැනි වරටය.
හින්දු පුවත්පතේ පස් වැනි සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර්හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහට ආරාධනා ලැබී ඇත. කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙයි.
දින දෙකක් පැවැත්වෙන මේ උත්සවය සඳහා දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ සහභාගී වෙති.
ලෝක බැංකු සමූහයේ සභාපති, ඇමති විජිත හමු වෙයි
ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අද කොළඹදී පැවැත්විණ. එම හමුවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ පහත සඳහන් ආකාරයට සඳහන් කර තිබිණි.
“ලෝක බැංකු සමූහයේ සභාපති, අජේ බංගා මහතා සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ සංවර්ධන අරමුණු සඳහා ලෝක බැංකුවේ දිගුකාලීන, ස්ථිර සහයෝගය සඳහා මම කෘතඥතාව පළ කළෙමි. අධ්‍යාපනය, සංචාරක, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වෙෙළඳාම සහ ආයෝජන ඇතුළු ප්‍රධාන අංශ හරහා අපගේ අඛණ්ඩ සහ අනාගත සහයෝගීතාව පිළිබඳ අවබෝධයක් අපි බෙදා ගත්තෙමු. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සක්‍රීය කිරීමේදී ලෝක බැංකුව තවමත් වැදගත් හවුල්කරුවෙකු ලෙස පවතී.”
වජිරට ගාල්ලෙන් ප්‍රසාදය
එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුණු සියලු අපෙක්ෂකයන් මෙන්ම බලයලත් නියෝජිතයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා උදෑසන එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අපෙක්ෂකයන්ට මෙන්ම මැතිවරණය සඳහා උදව් උපකාර කළ සියලු අයට තුති පිදීම වෙනුවෙන් වජිර මෙම විශේෂ හමුව සූදානම් කොට තිබුණි. මැතිවරණ ප්‍රතිඵල සියල්ලම ලැබී නැති වුවත් වජිර විසින් මෙම හදිසි රැස්වීම සූදානම් කළේ වජිර සතුව ඇති කෘතගුණ දැක්වීමේ ගුණය සියල්ලන්ටම පිළිබිඹු කරමිනි. උදෑසන 10 වන විට මේ රැස්වීම සූදානම් කර තිබුණත් ඊට පෙර සිටම විශාල පිරිසක් ගාල්ල කාර්යාල පරිශ්‍රයට පැමිණියේ මැතිවරණයේ ඉදිරි තත්ත්වය පිළිබඳ තම දිස්ත්‍රික් නායකයාගෙන් මෙන්ම තම පක්ෂයේ සභාපතිවරයාගෙන්ම දැන ගැනීමට වන්නට ඇත.
“මම හිතන්නේ සභාපතිතුමා මොකක් හරි හේතුවකට වෙන්න ඇති උදේම එන්න කියන්න ඇත්තේ…”
“නායකතුමා විසින් අපිව දැනුම්වත් කරන්න මොනවා හරි පණිවිඩයක් එවල ඇති.”
“කොහොම වෙතත් වජිර ඇමැතිතුමා අපේ දිස්ත්‍රික් නායකයා වෙච්ච එකම ඇති. මොකද පක්ෂයක් විදිහට මේ මැතිවරණයෙන් අපි පැරදිලා හිටියත්, උදේ පාන්දරම එතුමා අපිට එන්න කිවුව එකම වටිනවනේ. එතුමා මැතිවරණයට කලිනුත් ගෙයින් ගෙට අපිත් එක්ක යමින් අපට හයියක් වුණා. මැතිවරණයෙන් අපි පස්සට ගියා කියලා එතුමා අපව අතහැරියේ නෑ. ඒකයි මං කිව්වේ එතුමා අපේ දිස්ත්‍රික් නායකයා වෙච්ච එකම අපිට මාරම හයියක් කියලා.”
ඒ මේ රැස්වීමට පැමිණ සිටි අපේක්ෂකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශයන්ගෙන් සමහරකි.
කොහොම වෙතත් වජිර රැස්වීම සූදානම් කළ පරිදිම පෙරවරු 10 වන විට රැස්වීමේ වැඩකටයුතු ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන්ම ගාල්ල මහ නගර සභාවට තේරී පත් වූ හිටපු නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත මහතා විසින් වජිරට ස්තුති කරමින් රැස්වීමේ වැඩකටයුතු ආරම්භ කළේය.