Home » බොරුව සමාජගත කරන්න හැමදාම ලැබෙන්නේ නැහැ

බොරුව සමාජගත කරන්න හැමදාම ලැබෙන්නේ නැහැ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

– ඡන්ද මේ තරම් විශාල ප්‍රමාණයක් අඩු වුණේ මාස හයක් තුළයි. එයයි බරපතළ කාරණාව

මෙවර සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්නවා කියලා ඇතැම් සජබ මන්ත්‍රීවරුන් මැතිවරණ වේදිකාවල කිවුවත්, අපේක්ෂා කළ ජන්ද ප්‍රතිඵලය ඔබේ පක්ෂයට ලැබුණේ නැහැ නේද?

මම හිතනවා අපට සෑහෙන සතුටුදායක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා. සියලු දෙනාම හොරු කියලා ජාතික ජන බලවේගයේ වේදිකාවේ කිවුවාට, ඒ අයගේ බොරුව සමාජගත කරන්න හැමදාම ලැබෙන්නේ නැහැ කියලා මේ මැතිවරණයෙන් පැහැදිලිව පේනවා. මෙවර මැතිවරණයෙන් කනගාටුවට පත් වෙන්න, නැවත හැරී බැලීමක් කනස්සල්ලක් ඇති වෙන්න අවශ්‍ය කරන්නේ ආණ්ඩුවටයි. මාස හයක් වැනි කෙටි කාලයක් තුළ ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා බව පේනවා. ආණ්ඩුවේ බලය පිරීහිම ගැන ආණ්ඩුවයි කනගාටුවෙන්න අවශ්‍ය; අපි නොවෙයි. පසුගිය මාස හය ගැන සලකා බැලුවොත්: ජනතාව ජාතික ජන බලවේගය ගැන කලකිරිලා, විපක්ෂය දෙස හැරී තිබෙන බව ඉතා පැහැදිලියි. මේ ප්‍රතිඵලවලින් එය පේනවා. ආණ්ඩුවට බහුතරයක් නැති පළාත් පාලන ආයතනවල අපේ නායකත්වයෙන් බලය පිහිටුවන්න කියලා ජනතාව විපක්ෂයට යම් ඉඟියක් දිලා තියෙනවා කියලා පේනවා. ජනතාව දැකලා තියෙනවා මේ ආණ්ඩුවේ නොහැකියාව. මාස හය තුළ දුන්න පොරොන්දු ඉටු කරගන්න බැරිව අසමත් වුණා කියලා ජනතාව වටහාගෙන තියෙනවා. බොරුව සමාජගත කරලා පොරොන්දු දුන්නා. එහෙත් ඒ පොරොන්දු ඉටු කරන්න බැරි සාම්ප්‍රදායික ආණ්ඩුවක් ලෙසයි මේ ආණ්ඩුවත් යන්නේ. ඒත් මේ අය ලොකු ප්‍රතිසංස්කරණ ප්‍රතිසංවිධාන ගැන කතා කළාට අනෙක් ආණ්ඩු වගේමයි මේ ආණ්ඩුවත් යන්නේ. වංචා දුෂණ නෑ කිවුවට මේ ආණ්ඩුවටත් දැන් වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා නේ. මන්නාරමේ සුළං බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය ගැන චෝදනා රැසක් එල්ල වෙමින් පවතිනවා.

විපක්ෂය බහුතර බලය ලබා ගත්ත පළාත් පාලන ආයතනවල බලය ලබාගන්න වැඩපිළිවෙළක් තිබෙනවාද?

අනිවාර්යයෙන්. ආණ්ඩුවට යම් බලයක් ලැබිලා තියනවා. ඒ අයගේ බහුතර බලය නැති ආයතනවලට අපි අපේ නායකත්වයෙන් පළාත් පාලන ආයතන පිහිටුවනවා. අපි විපක්ෂය ලෙස බලය ලබාගත් පළාත් පාලන ආයතනවල ජනතාවට දීපු පොරොන්දු ඉටු කරන්න කටයුතු කරනවා. දූෂණයෙන්, වංචාවෙන් තොර නගර සභා නිර්මාණය කරන්න තමයි සමගි ජන බලවේගයේ අරමුණ. ඒ වගේම ගමට වැඩක් කරන්න දැන් අපට අවකාශය ලැබිලා තියෙනවා. අනෙක් පැත්තෙන් අපි ගම සංවිධානය කරමින්, ඊළඟ මැතිවරණය සඳහා සූදානමින් කටයුතු කරමින් යනවා. පසුගිය මහමැතිවරණයෙන් ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා විශාල ජයග්‍රහණයක් බව ප්‍රතිශතය මෙවර 22%ක් දක්වා ඉහළ ගොස් තිබිම තුළ ජනතා විශ්වාසය නැවත අපට තහවුරු වෙනවා.

මැතිවරණ වේදිකාවේ සජබ ආණ්ඩුවට එල්ල කරපු චෝදනා අනුව ඡන්දය අඩු වීමක් සිදු වෙලා නැහැ නේද? බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් හිමි කරගැනීමට ආණ්ඩුවට හැකි වී තිබෙනවා නේද?

ඇතැම් තැන්වල ඡන්දය අඩු වෙලා තිබෙනවා. 62%ක් පාර්ලිමේන්තුවේ තිබුණ ප්‍රමාණයෙන් 42%ට විතර අඩු වෙලා තිබෙනවා. ආණ්ඩුව දීපු පොරොන්දු ඉටු නොකිරීම නිසා ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශාල කලකිරීමක් තිබෙන බව ඉතා පැහැදිලියි. අපි කියපු දේවලට වඩා ඒ අය ජනතාවට විශාල පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු ඒ අය කිවුව තවත් බොරුවක් බවට පත් වෙලා. හොරු අල්ලනවා කිවුවා. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරනවා කිවුවා. උගන්ඩාවේ සල්ලි ගේනවා කිවුවා. ඒ දේවල් කිසි දෙයක් ජනතාව අපේක්ෂා කරපු විදිහට සිදු වෙලා නැහැ. ජනතාවගේ විශ්වාසය බිඳවැටුණා. ආණ්ඩුවට බලය පිහිටුවන්න බැරි පළාත් පාලන ආයතන 30ක් විතර තිබෙනවා.

ඒ කියන්නේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු වුණත් පිහිටුවන්න වෙන්නේ ආයතන 30%ක බලයක් පමණයිද?

ඔව්. බහුතරයක් ලැබිලා තියෙනවා. ආණ්ඩු ඇවිල්ලා තාම මාස හයයි නේ. ඒ ආණ්ඩුවට විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එහෙත් බහුතර බලය ලබා ගන්න බැරි ආයතන 30ක් විතර ආණ්ඩුවට තියෙනවා. එය යම් පසුබෑමක් කියලා මම කියන්නේ. තව කල් යන කොට තව කලකිරෙයි. මේ තරම් විශාල ප්‍රමාණයක් අඩු වුණේ මාස හයක් තුළයි. එයයි බරපතළ කාරණාව.

ආණ්ඩුවට මඩ ගැහුවට, සජබටයි වැඩපිළිවෙළක් නැත්තේ කියලයි ආණ්ඩුව කියන්නේ…

අපට වැඩපිළිවෙළක් නෑ කියලා කියන්නේ කොහොමද? අපි ගිය වර ඡන්දයේදී අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ආණ්ඩුව ජනතාවට බොරු කියලා සියලු දෙනාටම හොර ලේබලය අලවන්න හැදුවා දැන් ඒ අය අසාර්ථක වෙලා තියෙනවා. ජනතාව අපේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරලයි අපට ඡන්දය අඩුවෙන් දීලා ඒ අයට ඡන්දය දීලා පත් කරගත්තෙ. අපි හොඳ නැහැ කියලා ඒ අයට බහුතර බලය දුන්නා. ඉදිරියේදී ජනතාව ගන්න තීරණය අපි බලමු. අපි වංචාව දූෂණය නවත්වනවා පමණක් නොවෙයි; අපි සැලසුම් කරපු වැඩපිළිවෙලක් තිබෙනවා; ඒ සියලු දේවල් ක්‍රියාත්මක කරලා, පිරිසුදු පළාත් පාලන ආයතනයන් බිහි කිරීමට විනිවිදභාවයකින් කටයුතු කරනවා.

පළාත් පාලන ආයතනවල පසුගිය ආණ්ඩු කාලයේ දූෂණ, වංචා විශාල ලෙස සිදු වුණා කියලා බරපතළ චෝදනාවක් නැඟෙනවා. මෙවැනි දේ නැවත නොවන්නට එනම් දූෂණ, වංචාවලින් තොර පළාත් පාලන ආයතන පවත්වා ගෙන යන්න සජබ ප්‍රමුඛ විපක්ෂය පිහිටුවන පළාත් පාලන ආයතනවල නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද?

වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරිය ප්‍රමුඛ ආණ්ඩුවම කිවුවා අනෙක් අය ඔක්කොම හොරු, ඒ අය විතරයි හොරු නොවන්නේ කියලා. ස්වාධීන කියලා නම් දාගෙන එන අයත් හොරු කියලා කිවුවා. දැන් මහලේකම්වරයා සභාව හදන්න ඒ ස්වාධීන අයගේ උදවු ඉල්ලනවාලු. මොකක්ද ඒ කතාවේ තේරුම? ඒ කියන්නේ දැන් ඒ අයට හොරු කියපු අය හොඳ වෙලාද. ඡන්දෙන් පස්සේ ඒ අය හොරු නොවුණේ කොහොමද? ඒ අයගේ න්‍යාය කන්න හිතුණාම කබරගොයවත් තලගොයා කර ගැනීමේ න්‍යාය. අපට පේන්නේ නැහැ මේ අයට කිසිදු වැඩපිළිවෙළක් තිබෙනවා කියලා. හොරු කියපු අයත් එක්ක එකතු වෙලා, බල තණ්හාවට දැන් බලය ගන්න හදනවා. මේ වගේ අපභ්‍රංස කතා තමයි කියන්නේ. ආණ්ඩුව සමහර තැන්වල කියපු දේවල්ම නැවත ඒ අයටම පත්තු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ අයට බහුතරයක් නැති සභාවල් හදාගන්නවත් විදිහක් නැත්තේ ඔක්කොම හොරු කියල ඒ අය කිවුව නිසයි. අපි ඡන්දය දෙන්නත් එපා කිවුවා. එය උතුර සහ නැඟෙනහිර ජනතාව ඒ අය කෙරෙහි විශ්වාසයෙන් එකතු වුණා කියලා උදම් ඇනුවා. එහෙත් මේ මැතිවරණයෙන් ඒ අයගේ ප්‍රතිඵලයත් අපි දැක්කා. මේ කැම්පේන් එකේදී ජනාධිපතිවරයා, අගමැතිවරිය හිටියේ උතුරේ. ජනධිපතිවරයා ඒ අයටත් පොරොන්දු දුන්නා. උතුරේ ජනතාවගේ දේවල් ඒවා නැවත දෙනවා කියලා කිවුවා. එහෙත් කිසිම දෙයක් වුණේ නැහැ. දැන් විශ්වාසය පිළිබඳ කිසිදු සහතියක් ජනතාවට මේ අය කෙරෙහි නැති බවයි අපිට පෙන්නේ. ජනාධිපතිවරයාගේ වචනවලට තේරුම් තිබෙනවා. ඒ අය හිතුවට වචනවලට තේරුම් නැහැ කියලා ජනතාව ඒ දිහා බලන් ඉන්නවා. ඒ අය කිවුව වචනයක් ගානේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ අයගේ වචනවල හොඳ තේරුම් ඉටු නොකළ නිසා දැන් ඒ අයටම ඒවා නැවත භූමරංග වගේ හැරී පැමිණ පත්තු වෙලා. ලස්සන පොරොන්දු දුන්න නම් ඉටුකරන්න අවශ්‍යයි. ඒ වචන දිහා ජනතාව උපෙ­්ක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. උතුරට ගිහිල්ලා ජනතාවට කලින් මැතිවරණයේදී පොරොන්දු රාශියක් දුන්නාට ඒවා ඉටු කළේ නැහැ. ඒ නිසා ඒ අය කලකිරිලා ඉන්නෙ. මේ කාලය තුළ ඒ අය කරනවා කිවුව කිසිදු දෙයක් නියමාකාරයෙන් කළේ නෑ. උතුර නැඟෙනහිර ජනතාව කලකිරිලා සියලු පාක්ෂිකයෝ කලකිරිලා.

පසුගිය දිනවල කතාබහට ලක් වුණ කොළඹ මහනගර සභාවේ නායකත්වය ගැන නොයෙක් මතවාද තිබෙනවා‌ නේද?

අපි පළාත් පාලන ඡන්ද ක්‍රමය අනුව, කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ධුරය අනිවාර්යයෙන්ම රහස් ඡන්දයකින් තෝරාගත යුතුයි. කොළඹ මහා නගර සභාව තුළ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 117ක් වනවා. එයින් අඩක් වන 58-59 වැනි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් බහුතරය ලෙස හිමි කරගත යුතු යි, එහෙත් ආණ්ඩුවට ලැබී ඇත්තේ මන්ත්‍රී ධුර 48ක් නිසා ඔවුන්ට බහුතර බලයක් ලැබී නැහැ. බලය රැකගන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. කොළඹ මහා නගර සභාව තුළ ආණ්ඩුවට විපක්ෂව තරග කළ කණ්ඩායමට මන්ත්‍රී ධුර 69ක් ලැබී තියෙනවා සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට ඒ හැම කෙනා සමඟම අපි සෑම කණ්ඩායමක් සමඟම සාකච්ඡා කරමින් පවතිනවා, විපක්ෂය කොළඹ මහා නගර සභාවට විපක්ෂය 60%ක පමණ ප්‍රතිශතයක් ගෙන තියෙනවා, සියලු දෙනා එක් වී, සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයකු සමඟ, කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට කටයුතු කරනවා.

ඇතැම් පළාත් පාලන ආයතනවල බලය සජබ ඇතුළු විපක්ෂයේ නායකත්වයෙන් පිහිටුවීම තුළ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර ගැටුමක් ඇති වෙන්න පුළුවන් නේද?

ස්වාධීන ආයතනවල, පළාත් පාලන ආයතනවල වැඩපිළිවෙළ නවත්වන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ‌. ඒ නිසා ඒ ගැන ගැටලුවක් නැහැ. ලක්ෂ 22කට ආසන්න විශාල ඡන්ද ප්‍රමාණයක් ආණ්ඩුවට අහිමි වුණේ ඒ අයගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවගේ යම් කලකිරීමක් තියෙන නිසායි.

තවමත් ආණ්ඩුවේ බහුතර බලය තිබෙන්නේ ආණ්ඩුව සතුවයි. ඒසේ නම් කොහොමද, ලබන දෙසැම්බරය වන විට ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා ඇතැම් අය කියන්නේ?

මේ ආණ්ඩුව යම් ආකාරයකට නැවත ප්‍රතිසංවිධාන කළේ නැති නම් ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්.‍ එසේ අර්බුදයකට ගියොත්, රට යම් ආර්ථික අර්බුදයකට පත් වෙන්න පුළුළුන්. එහෙම වුණොත් අපි නියෝජනය කරන බහුතර විපක්ෂයේ නායකයා වගේ ඉන්නවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division