2025 පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය, අභියෝග සහ රටේ ඉදිරි ගමන්මඟ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සමඟ සිළුමිණ කළ සංලාපයකි.
අපි දැක්කා පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී 3%කට ආසන්න ජන පදනමක සිටි ජාතික ජන බලවේගය අතිවිශිෂ්ට ජනවරමක් සහිතව ජයග්‍රහණය කරනවා. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී යම් පසුබෑමකට ලක් වී තිබෙනවා. මේ තත්ත්වය ඔබ කියවාගන්නේ කොහොමද?
බැලූබැල්මට කෙනකුට එහෙම තර්ක කරන්න පුළුවන්. ඒත් එක් එක් මැතිවරණවලදී අපේ රටේ ජනතාව හැසිරෙන්නේ එක් එක් විදියට. ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයකදී තරම් උනන්දුවකින් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දෙන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුවක් හැදිල තියෙනව නම් ඒ ආණ්ඩුවට අභියෝගයක් නැත් නම් ඒ අය ඒ ගැන ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ; පාඩුවේ ඉන්නවා. අනෙක් අතට මෙවර බොහෝ දෙනෙක් ඡන්දෙ දාන්න ගම්වලට ගියේ නැහැ. අවුරුදු නිවාඩුවට ඒ අය කලින්ම නිවාඩු ගත්තා; ඒ අතර මැයි දිනයත් ආවා; ඡන්දය තිබුණෙත් අඟරුවාදා දවසක. ඒ නිසා ඔවුන් විශේෂ උනන්දුවකින් නිවාඩු අරගෙන ඡන්දය දාන්න ගියේ නැහැ. ඒත් මේක ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් වුණා නම් මේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම මේ ඡන්දයේදී ගම්වල අපේක්ෂකයෝ අටදාහකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. එක ගමක අපේක්ෂකයෝ අටක් දහයක් ඉන්නවා. ඒ නිසා දේශපාලනිකව ඡන්දය බෙදෙනවට අමතරව ඥාතිකමට, හිතවත්කමට, අසල්වාසිකමට, අපේකමට ඡන්දය බෙදෙනවා. ඒ නිසා පෙර මැතිවරණ දෙකට වඩා ඡන්ද ප්‍රතිඵලවල කිසියම් වෙනසක් සිදු වීම සාමාන්‍යයි.
එහෙත් බොහෝ දෙනා කියන්නේ මාලිමාවට ලක්ෂ ගණනක් ඡන්දය අඩු වී ඇති බවයි…
හොඳයි එහෙම අඩු වුණා නම් ගැටලුව වෙන්නේ ඒ අඩු වෙච්ච ඡන්ද ගියේ කොහේටද කියලයි. අපි ඒ ගැන සොයල බැලුවොත් ඒ ඡන්ද කොහේටවත් ගිහින් නැහැ. සජබට ඇතැම් තැන්වලින් ඡන්ද ලැබී තිබෙන්නේ මං පෙර සඳහන් කරපු කාරණය නිසයි: ඔවුන් කලින් ඉඳන් දන්න ඥාති, සහෝදරයෝ, හිතවතුන් ඒ පක්ෂවලින් ඉල්ලපු නිසයි. පොහොට්ටුවටත් යම් ඡන්ද ප්‍රමාණයක් වැඩි වී තිබෙනවා. ඒ අයත් මීට පෙර සිට බිමේ සිටිය අයයි. ඒ නිසා තමයි මේ ප්‍රතිඵලය ලැබී තිබෙන්නේ. එහෙත් තාර්කිකව බැලුවොත් මේ ඡන්දය දිනලා තියෙන්නේ ජාතික ජන බලවේගයයි.
ඇයි, ඔබ එහෙම කියන්නේ?
ඉතා පැහැදිලිවම 43%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ආසන 267ක් දිනලා තියෙන්නේ අපියි. මීට පෙර අපට කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමිව තිබුණේ නැහැ. එහෙම පක්ෂයක් තමයි මේ ආකාරයට ජයග්‍රහණය කර තිබෙන්නේ. මෙයින් 152කම ගැටලුවකින් තොරව බලය පිහිටුවන්න අපට පුළුවන්.
එහෙත් ආණ්ඩුවට ඡන්දය අඩු වුණා කියන මතය තමයි උඩට ගෙන එමින් තිබෙන්නේ…
එහෙම නම් බලන්න ඕන දිනල තියෙන්නේ කවුද කියලයි. සජබ දිනලත් නැහැ; පොහොට්ටුව දිනලත් නැහැ. 2018දී පොහොට්ටුවට සභා 226ක් තිබුණා. අද ඒ සභා 226 තිබ්බ පොහොට්ටුව බින්දුවටම වැටිලා. අපට සභා එකක්වත් තිබුණේ නැහැ. එහෙම අපි සභා 266ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ නිසා තමන්ට හිතවත් මාධ්‍ය යොදාගෙන නිකම් මතයක් හදන්න උත්සාහ කළාට, ඉතා පැහැදිලිවම අපට ජයග්‍රහණයක් හිමිව තිබෙනවා. පළාත් පලන ආයතන තුන්සිය ගණනෙන් විශාල ප්‍රමාණයක් අප ජයග්‍රහණය කර තිබෙනවා. මේ ඡන්දය බෙදී ගිය විදියට ඇතැම් තැන්වල දිනන කෙනාට සභාපතිකම ගන්න අපහසුයි. ඒ තත්ත්වය විසින් නිර්මාණය කර ඇති පසුබිමයි, පුද්ගලයන් මත පදනම්ව දීපු ඡන්දයි හැරුණම; අපේ රටේ ජනතාව පැහැදිලි ලෙසම රට අපට භාර දුන්නා වගේම ගමත් අපට භාර දී තිබෙනවා. අපේ ඡන්ද අඩු වීම පරාජයක් ලෙස සලකන්න පුළුවන් ඒ ඡන්ද සජබට ගියා නම්; ඒ ඡන්ද පොහොට්ටුවට ගියා නම්; ඒත් එහෙම දෙයක් සිදු වී නැහැ. පොහොට්ටුවට එකම ආයතනයක්වත් දිනාගන්න හැකියාවක් ලැබී නැහැ. අඩුම තරමේ එයාලා පදනම් වුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේවත් එකක්වත් දිනාගන්න බැරි වුණා. වීරකැටියවත් ඒ අයට දිනන්න බැරි වුණා. සජබෙ ප්‍රධාන බලවතුන් ඉන්න තැන්වලින් හර්ෂ ද සිල්වා ඉන්න කොට්ටේ මහ නගර සභාව ගත්තොත්, ඒකත් පරාදයි. ඒකේ සභාව පිහිටුවන්න පුළුවන් බහුතරයම අපට ලැබී තිබෙනවා. කොළඹ මහ නගර සභාව කියන්නේ හැමදාම යූඇන්පීය දිනපු තැනක්. තනි පක්ෂයක් ලෙස වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව තිබෙන්නේ අපට. ඒ නිසා එක එක කතා කියමින් හිත හදාගන්න උත්සාහ කළාට, හරිම පැහැදිලියි ඡන්ද ප්‍රතිඵලය ඇතුළේ කැපී පෙනෙන ජයග්‍රහණය ලබාගෙන තිබෙන්නේ මාලිමාවයි.
ඇතැම් පළාත් පාලන ආයතනවල බලය තහවුරු කරගැනීමේදී ඒවායේ බලය පිහිටුවීම කිසියම් ආකාරයකට අභියෝගාත්මකයි. ඒ සඳහා ගන්නා පියවර කුමක්ද?
බොහෝ තැන්වල අපට වඩා එකක් හෝ දෙකක් තමයි වැඩිපුර දිනලා තියෙන්නේ; අපි තමයි බහුතරය දිනලා තියෙන්නේ. සභාපතිවරයා පත් කිරීමේදී ඒ අය එකට එකතු වුණේ නැති නම්; ඒවගේම පෞද්ගලිකව කෙනකු නිහඬව හිටියොත්, අපට පහසුවෙන්ම සභාපතිවරයා පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ප්‍රධාන පක්ෂවල දූෂණ, වංචා චෝදනා එල්ල නොවූ, බිමේ පිළිගත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න තැන්වල ඒ අය කැමැති නම් අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න අපට ඒ තැන්වල බලය පිහිටුවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තැනින් තැනට මේ තත්ත්වය වෙනස් වේවි. ඒ කොහොම වුණත් සෑම ආයතනයකම බලය පිහිටුවීමට අප කටයුතු කරනවා.
මේ මැතිවරණයේදී ඇතැම් දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශීය සභා ඉතා විශිෂ්ට ආකාරයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. එහෙත් ඒ දිස්ත්‍රික්කයේම සමහර ආසන සමානව හෝ අසමාන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න හේතුව කුමක්ද?
සාමාන්‍ය දළ විදියට මේ ඡන්දය දිහා විග්‍රහ කර බැලුවොත් නාගරික පසුබිම වැඩි ප්‍රදේශවල අපට ඡන්දය වැඩි වශයෙන් ලැබී තිබෙනවා. ග්‍රාමීයව මේ තත්ත්වය වෙනස්. නාගරික ජනතාව ඡන්දයේදී බොහෝ විට දේශපාලන කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවා. ඔවුන්ට නාගරිකව ඥාති පදනම අඩුයි; යාළුවො ගොඩක් නැහැ. ඒ නිසා ඒ අය දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ග්‍රාමීය ජනතාවගේ තත්ත්වය මීට වෙනස්. ඔවුන්ගේ පවුල් පිටින් ඥාතීන් ඉන්නවා, හිතවතුන් ඉන්නවා. ඥාතියෙක් ඡන්දය ඉල්ලද්දි පක්ෂය මොකක් වුණත් ඥාතියා වෙනුවෙන් ඡන්දයක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ; මොකද මේ අයගෙන් ඔවුන්ට උදවු-පදවු ලැබෙනවා කියන ස්ථිර මනෝභාවයක් තියෙනවා. සමහර ප්‍රදේශ ගත්තාම හිතවත්කමට අමතරව කුල සාධකය බලපා තිබෙනවා. ඒ නිසා බොහෝ විට සිදු වන්නේ පක්ෂයකට වඩා පුද්ගලයා මත පදනම්ව ඡන්දය ලබාදීමක්. ඒ වගේ තැන්වල ඡන්දය ගන්න ඒ අයට ලෙහෙසියි. ඔවුන් තම දේශපාලන සංස්කෘතිය පවත්වගෙන ගියේ ඒ පදනම මතයි. එහෙත් අප ඊට හාත්පසින්ම වෙනස්. මෙවර බස්නාහිර පළාත සලකා බැලුවොත් මහ නගර සභා 8ක් තිබෙනවා; මේ 8ම අපි දිනනවා. නගර සභා 12ක් තිබෙනවා; ඒ 12මත් දිනන්නේ අපි. ප්‍රාදේශීය සභා 28ක් තියෙනවා. එයින් 26ක්ම අපියි දිනන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ 2ක් සමගි ජන බලවේගයට ගියත්; එහි බහුතරය ඒ අයට නැහැ.
ඒ වගේම උතුරු නැඟෙනහිරත් ජාතික ජන බලවේගයට ඡන්දය අඩු වීමක් දකින්න ලැබෙනවා…
ජාතික මැතිවරණයේදී ඒ අය ඡන්දය පාවිච්චි කරන ආකාරයට නෙමෙයි මෙවැනි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන්නේ. රටට ඕනෑ මොන වගේ ආණ්ඩුවක්ද? ඒ ආණ්ඩුව හදන්න ඡන්දය දෙනවා. එහිදී ඒ අය දැක්කා එන්පීපී ආණ්ඩුවක් ඕනෑ; ඒ නිසා ඒ අය තම ප්‍රාදේශීය දේශපාලකයො අමතක කරලා, එන්පීපී එකට ඡන්දය දුන්නා. එහෙත් පළාත් පාලන ඡන්දය ආපු ගමන් – ඒක ප්‍රාදේශීයයි; ඒක ගමේ ඡන්දය – ඒ අය ප්‍රාදේශීය දේශපාලකයන් එක්ක යනවා. එයාලගෙ කෙනෙක් ඡන්දය ඉල්ලුවාම ඔවුන් ඒ අයට ඡන්දය දෙනවා. ඒත් උතුරු පළාතම අරන් බැලුවොත් මීට කලින් අපට පළාත් පාලන මන්ත්‍රීවරු දෙන්නයි ඉඳල තියෙන්නේ; ඒ වව්නියාවේ. යාපනේ එක්කෙනෙක්වත් ඉඳලා නැහැ. කිලිනොච්චිය, මුලතිවු, මන්නාරම මේ කිසිම තැනක එක්කෙනෙක්වත් ඉඳලා නැහැ. ඒවයේ ජනතාව දන්න අපේ අපේක්ෂකයෝ කවුරුවත් නැහැ. අපේ අපේක්ෂකයෝ ඔක්කොම අලුත් අය. ඒත් අනෙක් පක්ෂවල අය කලින් සභාවල හිටපු බිමේ මිනිස්සු දන්න අය. ඒ වගේම මේ ඡන්දයේදී ප්‍රදේශීයවාද, ජාතිවාද, කුලවාද වගේ දෙවලුත් බලපෑවා. එවැනි තත්ත්වයක් තුළ අපට ඡන්ද අඩු වීමක් තිබෙනවා. ඒත් අපට යාපනේ මන්ත්‍රීවරු 81ක් ඉන්නවා. ඒක අපට ලොකු හයියක්. බිමේ මේ 81 වැඩ කරන කොට ඉදිරියේදී අපට හොඳ පදනමක් හදාගන්න පුළුවන්. මන්නාරමේ තියෙන සභා දෙකේම පක්ෂයක් ලෙස වැඩිපුර ඡන්ද අරන් තියෙන්නේ අපි. මේ තත්ත්වය පාවිච්චි කරලා ඉදිරියේදී බිමේ පදනම හදාගන්න එක අපට ලොකු අභියෝගයක් නෙමෙයි. මේක ප්‍රදේශීයව හිතන ඡන්දයක් වීම නිසා මිසක්, ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වූ ඡන්දයක් ලෙස සලකා, මේ ඡන්ද ප්‍රතිඵලය අර්ථ දැක්වීම සම්පූරණයෙන්ම වැරදියි. ඒක තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය වහගන්න විපක්ෂය ගන්නා බොළඳ උත්සාහයක්.
පළාත් පාලන ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඍජුවම රාජ්‍ය නිලධාරීන් හරහා එම කටයුත්ත සිදු කරගැනීමට හැකියාව තිබියදී සභාපතිවරයා අනිවාර්ය වීම. මේ නිසා ඔවුන් හිතන්නේ මේ තැනැත්තා තමන්ට උපකාරයක් කළා කියලයි. ඒ වගේම වැලි, ගල්, ලී, මැටි, පස් සහ බාර් පර්මිට් දෙන්න ගියාම මේ අය ඍජුව සම්බන්ධ වෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය වෙළෙඳාම පාතාලය වැනි ක්‍රියාකාරකමුත් මේ භූමිකා යට නියෝජනය වෙනවා. මේ දේවලින් උපයන කළු සල්ලිවලින් තමයි ඔවුන් ගමේ මළගෙයක්, දානෙගෙයක්, මඟුලක්, උපන්දිනයක්, කොටහළු මඟුලක්, පන්සලේ පින්කමක්, දන්සලක් ආදි දේ සඳහා යොදවන්නේ. එහෙත් ආණ්ඩුවේ වුවමනාව මේ ආකාරයට ජනතාවට පෞද්ගලික මානසික අල්ලස් දීම නොවෙයි; පොදුවේ සැමටම යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා ජනතාවගේ ආකල්පමය වෙනසක් අත්‍යඅවශ්‍යයි. බොහෝ විට පළාත් පාලන මැතිවරණවල ඡන්දය දීම පවා සලකා බැලෙන්නේ මේ තත්ත්වය මතයි. මේ ආකල්පමය වෙනස ජනතාව තුළ ඇති කරන්න ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
ඔබ පැවසුවා ඉතා නිවැරදියි; පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් දුන්නට පස්සේ ඒ සභාවේ මන්ත්‍රීවරු ඒකෙන් ගාණක් ගන්නවා; ඒකෙන් තමයි මඟුලක් මළගෙයක් වුණාම යන්නේ සහ අනික් අයට උදවු කරන්නේ කියලා තිස්ස කුට්ටිආරච්චි ප්‍රසිද්ධ වේදිකාවක කියනවා ලංකාවම දැක්කා. ඒ අය හොරාකාපු සල්ලිවලින් මළගෙවල්, මඟුල් ගෙවල්වලට ගිහින් ඔය සම්බන්ධකම් හදාගෙන ඉන්නේ. ඒ නිසා ඒ අයට ගම්වල පෞද්ගලික ඡන්ද ටිකක් හදාගන්න පුළුවන් වෙලා තිබෙනවා. අපි ඒක ක්‍රම දෙකක් ඔස්සේ වෙනස් කරන්න කටයුතු කරනවා. එක: මහජන මුදල් සොරකම් නොකිරීම, වංචා නොකිරීම, කොන්ත්‍රාත් නොගැනීම, පගා නොගැනීම… ආදි වශයෙන් මාලිමා ආණ්ඩුව පටන් ගත්ත දේශපාලන සංස්කෘතිය බිමේ පැළ කරන්න ඕනෑ. අපේ සභාපතිවරු මන්ත්‍රීවරු බිමත් එක්ක මහන්සි වෙලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ. දෙවැන්න: ජනතාව මේ හිතන විදිය වෙනස් කරන්න අවශ්‍ය දැනුම දෙන්න ලොකු සංවාදයක් රට පුරා ඇති කරන්න ඕනෑ. හැම තිස්සේම තමන් ගැන පමණක් හිතන, පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්න උනන්දුවක් නැති, පොදුවේ වැඩ කරන අය දිහා සැකයෙන් බලන මානසිකත්වයක් පසුගිය කාලය පුරා නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා මනුස්සයෙක් පොදු යහපත වෙනුවෙන් හිතන්නේ කොහොමද? ඒ හරහා පොදුවේ අපි හැමෝගෙම ජීවන මට්ටම උසස් මට්ටමකට ගොඩනඟා ගන්නේ කොහොමද? කියන සංවාදයක් අපට අවශ්‍ය කරනවා. මේ සභා පිහිටුවට පස්සේ ඒක අපට කරන්න පහසුයි.
මේ ඡන්දය අවසන් වීමත් එක්ක ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන යමක් සඳහන් කළොත්…
මෙතෙක් පළාත් පාලන ආයතන පිහිටුවීම ගැටලුවක්ව පැවතුණා; එය කඩිනමින් පිහිටුවාගන්න ඕනෑකම අපට තිබුණා. මේ ඡන්දයත් සමඟ එය අවසන් වී තිබෙනවා. දැන් අපේ කාර්යය තමයි ආණ්ඩුව සැලසුම් කර තිබෙන ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම. ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහන ගත්තොත් රට පිරිසුදු කරන, පිළිවෙළ කරන, විනයවත් කරන මේ වැඩසටහන නිසි පරිදි ක්‍රියාවට නංවන්න නම් මේ පළාත් පාලන ආයතන අනිවාර්යයි. ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය අප මේවන විට ආරම්භ කර තිබෙනවා. ඒකට මේ බිමෙහි ජයග්‍රහණය විශාල පන්නරයක්. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමට මේ සභා අපට පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙක් කල් පළාත් පාලන මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය වෙනස් කරලා, අලුත් හැඩයකින් අලුත් පළාත් පාලන මන්ත්‍රීවරයකු, ගමට රටට වැඩදායි නියෝජිතයකු නිර්මාණය කරන්න අප කටයුතු කරනවා. ආණ්ඩුවේ සැලසුම් සියල්ල ඉදිරියට ක්‍රියාත්මක කරන ගමන්, මේ පළාත් පාලන ආයතන යොදාගෙන අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා.
ඡායාරූප – විමල් කරුණාතිලක