1965 මැයි 14 වැනි දින, රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් යුත්, විප්ලවවාදි අන්දමට කල්පනා කළ තරුණ පිරිසක් විසින් පසුව ජනතා විමුක්ති පෙරමුණ බවට පත් වූ ‘ව්‍යාපාරය’ ආරම්භ කරන ලදි. සාම්ප්‍රදායික වාමාංශය කෙරෙහි වර්ධනය වූ කලකිරීම මැද්දේ නැඟී ආ ජනතා විමුක්ති පෙරමුණ කියුබානු විප්ලවය සහ ආසියාවේ මාඕවාදි කැරලි ඇතුළු ජගත් විමුක්ති ව්‍යාපාරවල ආභාසය ලැබීය. එය ස්ථාපිත වාමාංශික පක්ෂවල පිරිහෙමින් පැවතුණු විශ්වසනීයත්වයට විකල්පයක් වන නව දේශපාලන ධාරාවක් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කළේය.
වාමාංශ මූලයන්
යටත්විජිත විරෝධි හැඟීම් සහ කම්කරුවන් අතර වැඩුණු පන්ති විඥානය මත පදනම් වෙමින් ශ්‍රී ලංකාවේ වාම දේශපාලනය 1930 ගණන්වලදී හැඩගැසුණේය. වෘත්තීය සමිති, ජාතිකවාදයේ සහ සමාජවාදයේ සංකලනයක් වෙනුවෙන් පෙනී සිටි ලංකා සම සමාජ පක්ෂය (ලසසප) වැනි පක්ෂ සමඟ යටත්විජිත ආර්ථික ව්‍යුහයන්ට එරෙහිව විරෝධය පෑම එක්තැන් කිරීමේදී ප්‍රධාන මෙහෙවරක් ඉටු කළේය. කෙසේ වෙතත්, ලංකා සමසමාජ පක්ෂය, විශේෂයෙන්ම 1964දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සභාග දේශපාලනයට අවසානයේ අනුකලනය වීම, එහි මතවාදීමය දියාරු වීමේ සහ රැඩිකල්වාදි බිම් මට්ටමේ ව්‍යාපාරවලින් දූරස්ථ වීමේ ආරම්භය සලකුණු කළේය.
නව වාමාංශයේ නැඟී ඒම
1960 ගණන් වන විට, සමාජවාදී ව්‍යාපාර මර්දනය කිරීම සඳහා එක්සත් ජනපදය අධිකාරිවාදි පාලන තන්ත්‍රයන්ට සහය වීමත් සමඟ, සීතල යුද්ධය ගෝලීය දේශපාලන වාතාවරණය හැඩගස්වා ලීය. ශ්‍රී ලංකාවේ, බටහිර ගැති ප්‍රභූ පෙළැන්තීන් මැතිවරණ අත්හිටුවීම ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියහ. මේ මර්දනය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය තුළ වර්ධනය වන කැඩී බිඳී යෑම මධ්‍යයේ, විජේවීර සහෝදරයාගේ කණ්ඩායම ධනවාදි රජයට අභියෝග කිරීමට බලාපොරොත්තු වෙමින් රහසිගත විප්ලවකාරි කණ්ඩායමක් වූ ‘ව්‍යාපාරය’ පිහිටුවා ලීය.
‘ලංකා ලයින්’ (ලාංකේය මාවත) යනුවෙන් නම් කරන ලද, තමන්ගේම වන මතවාදිමය මාර්ගයක් වර්ධනය කරමින් මේ ‘ව්‍යාපාරය’ සාම්ප්‍රදායික වමේ සෝවියට් ගැති සහ චීන ගැති මාවත් දෙකම ප්‍රතික්ෂේප කළේය. එය ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමට, කෘෂිකර්මය කාර්මීකරණය කිරීමට සහ බටහිර බලවතුන් මත යැපීමෙන් මිදී යෑමට ප්‍රමුඛත්වය දුන්නේය. පාලක සන්ධාන සමඟ සහයෝගයෙන් කටයුතු කළ සම සමාජ පක්ෂය මෙන් නොව, ‘ව්‍යාපාරය’ පන්තිය, ජන වාර්ගිකත්වය සහ කුලය තුළ අන්තර්ගත කර තිබුණු ක්‍රමික අසමානතා ඍජුවම අභියෝගයට ලක් කළේය.
සාම්ප්‍රදායික වමේ උරුමය
සාම්ප්‍රදායික වමේ අසාර්ථකත්වය පැවතුණේ අන්තර්ග්‍රාහිත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය කෙරෙහි එය දැක්වූ අස්ථාවර කැපවීම තුළය. 1956 සිට එය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිංහල රාජ්‍ය භාෂාව ලෙසත්, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් අනුමත කිරීම ඇතුළුව, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් කොන් කරවා ලූ ප්‍රතිපත්තිවලට සහය දක්වමින් සිංහල ජාතිකවාදය සමඟ වැඩි වැඩියෙන් පෙළගැසුණේය.
සෝවියට් හෝ චීන කණ්ඩායම් සමඟ එකට බැඳුණු සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ ප්‍රායෝගික විසඳුම් පසෙක ලා බොහෝ විට මතවාදිමය පක්ෂපාතිත්වයන් අනුගමනය කළහ. බොහෝ කාඩර්වරුන් අවංක වුවද, ඔවුන් බාහිර සහාය මත රඳා පැවතීම විසින් සාම්ප්‍රදායික වාම ව්‍යාපාරයේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය දිය කර හැරියේය.
සංස්ථාපිතය සමඟ ගැටීම
මුලින් යටිබිම්ගතව ක්‍රියාත්මක වූ ‘ව්‍යාපාරය’ අර්ධ නිර්ධනීය සහ පහළ මධ්‍යම පාන්තිකයන් අතර බහුජන පදනමක් ගොඩනැඟීම ආරම්භ කළේය. වැඩි වෙමින් පැවති රාජ්‍ය නිරීක්ෂණය යටතේ 1970 වන විට දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය වී සිටි එය, ජනතා විමුක්ති පෙරමුණ (JVP) යන නම විධිමත්ව යොදාගත්තේය. එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණයට ටික කලකට පෙර විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබූ නමුත්, ජවිපෙ ජනප්‍රියතාව ඉහළ නංවාලමින් පසුව නිදහස් කරන ලදි.
ජනප්‍රියතාවේ මේ ඉහළ නැඟීම ආණ්ඩුව බිය ගැන්වීය. බළමුළුගැන්වීම සහ පොදු අධ්‍යාපනය කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණ අවධානය යොමු කර තිබුණද, ආණ්ඩුව එය තුරන් කරදැමිය යුතු කඩාකප්පල්කාරි තර්ජනයක් ලෙස නම් කළේය. 1971 මාර්තු මාසයේදී කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මාඕවාදි තරුණ පෙරමුණ විසින් මෙහෙයවන ලද විරෝධතාවකදී පොලිස් නිලධාරියකු ඝාතනයට පත් වීම, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ආණ්ඩුව කඩතුරාවක් ලෙස යොදාගත්තේය. 1971 අප්‍රේල් කැරැල්ලෙන් සහ එය ප්‍රචණ්ඩකාරි ලෙස මර්දනය කිරීමෙන් අවසන් වූ කුරිරු මර්දනයක් එහිදී අනුගමනය විය.
ජවිපෙ පරිණාමය වන අනන්‍යතාව
මුලින් මාඕවාදී චින්තනයේ ආභාසය ලැබුවද, ජවිපෙ ක්‍රමයෙන් දැඩි මතවාදිමය රාමුවලින් ඔබ්බට පරිණාමය විය. විනය, ස්වේච්ඡා පරිත්‍යාගය සහ පාරිභෝගිකවාදී දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම මඟින් වෙන්ව කැපී පෙනිණි. එය, කාඩර ක්‍රමය, අරමුණ, කැප වීම සහ ජන ප්‍රජාව පිළිබඳ හැඟීමක් පෝෂණය කළේය. පාරිසරික තිරසර බව, මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය සහ අවස්ථාවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම මූලික ප්‍රතිපත්ති බවට පත් විය.
සමූලඝාතන දෙකක්ද ඇතුළුව – රාජ්‍ය මර්දනයට ලක් වුවත් – එහි සාමාජිකයන්ගේ දැවැන්ත කැප වීමද හේතුවෙන් ජවිපෙ නොනැසී දිවි ගලවා ගත්තේය. 1977 වන විට, එය තම දේශපාලන පැවැත්ම යළි ගොඩනැංවීම ආරම්භ කළේය. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී, ජවිපෙ අපේක්ෂකයන් 13 දෙනකු තේරී පත් වූ නමුත්, පාලක එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට මූලික අවශ්‍යතා සපයා දීම ප්‍රතික්ෂේප කළේය. එහෙත්, අද දක්වාම සම්ප්‍රදායක් ලෙස පවතින සාමූහිකව කැප කිරීමේ සංස්කෘතිය ශක්තිමත් කරමින් ඔවුහු තම ඉපයීම් පක්ෂයට පරිත්‍යාග කළහ.
කැරලි ගැසීමේ සිට පාලනය දක්වා
කාලයත් සමඟ, ජවිපෙ කැරලිකාර දේශපාලනයේ සිට පාර්ලිමේන්තු කටයුතුවල නියැළීම වෙත සංක්‍රමණය විය. 2019 සිට, එය පුළුල් ජාතික ජන බලවේගය (NPP) සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් වී ඇත. 2024 දී මේ පරිවර්තනය උච්ච ස්ථානයට පත් වූයේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වශයෙන් ජයග්‍රහණය කිරීමෙන්, ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ සුපිරි බහුතරයක් සහ පසුගිය සතියේ පැවති පළාත් පාලන මැතිවරණයේදී දිවයින පුරා විශාලතම ඡන්ද සංඛ්‍යාව දිනා ගැනීමෙනි. මේ ජයග්‍රහණය ශ්‍රී ලාංකේය දේශපාලනයේ ඓතිහාසික විතැන් වීමක් නියෝජනය කරයි. ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවට දැන් පැවරී ඇත්තේ ව්‍යුහාත්මක අසමානතා, ප්‍රජාතන්ත්‍රවාදය සෝදා පාළු වීම සහ ආර්ථික අවකළමනාකරණය ආමන්ත්‍රණය කිරීමේ කාර්යභාරයයි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ සියලු දෙනා ඇතුළත් කරගන්නා පාලනයක් ලබා දෙන්නට, අධිකාරිවාදි ආවේගවලට එරෙහි වන්නට සහ විනිවිද පෙනෙන ආයතන ගොඩනඟන්නට ඊට ඇති හැකියාව මතයි.
ඉදිරිය දෙස
යටිබිම්ගත විප්ලවවාදී කණ්ඩායමක සිට පාලක පක්ෂයක් දක්වා ජවිපෙ චාරිකාව දේශපාලන භූ දර්ශනය යළි හැඩගස්වා ඇත. ප්‍රභූ පෙළැන්තියේ වරප්‍රසාද ආරක්ෂා කළ සාම්ප්‍රදායික පක්ෂවලට වෙනස් අන්දමින්, ජනතා විමුක්ති පෙරමුණ/ ජාතික ජන බලවේගය ආන්තීකරණයට ලක් වූවන් වෙනුවෙන් නඟන හඬක් වශයෙන් ස්ථානගත වී ඇත. කෙසේ වෙතත්, මේ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා රාජ්‍ය බලය පමණක් නොව, සිවිල් සමාජය සහ බිම් මට්ටමේ ව්‍යාපාර සමඟ ගැඹුරු අන්දමේ, සහභාගිත්වයක් ලෙස කටයුතු කරන සම්බන්ධතාවක් පවත්වාගැනීම අවශ්‍ය වේ.
අර්ථවත් වෙනසක් සහතික කිරීම සඳහා, නව නායකත්වය මර්දනය, දූෂණය සහ බැහැර කිරීමේ චක්‍රයන්ගෙන් කැඩී වෙන් විය යුතුය. ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය අවසානයේදී රඳා පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, සමානාත්මතාවාදී සංවර්ධනය සහ තිරසර ජන සහභාගිත්වය මතය.