Home » කොළොම්පුරේ තොරණ වරුණ!

කොළොම්පුරේ තොරණ වරුණ!

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
වජිර ලියනගේ

සිර කුමාර මාණික්කආරච්චි මෙරට සිටි දක්ෂතම උපහාසාත්මක ලේඛකයෙක් විය. ඔහු සේවය කළේ ලේක්හවුස් ආයතනයේය. මාණික්කආරච්චි වරක් කොස්ගස් හන්දියේ තොරණ ගැන ලිපියක් ලීවේය.

කොස්ගස් හන්දියේ තොරණ බලන්නට පැමිණි ‘සයිබු නානා’ නමැති මුස්ලිම් ජාතිකයා තොරණේ ලයිට් නිවෙන පත්තුවෙන දිහා බලාගෙන සිටියේය. උඩ සිට පහළටත්, පහළ සිට ඉහළටත් විවිධ මෝස්තරවලට වර්ණ විදුලි බුබුළු පත්තුවෙන නිවෙන අන්දම දැක විමතියට පත් සයිබු නානා තොරණේ වූ ජාතක කතාව ගැන ඒ තරම් උනන්දුවක් දැක්වූයේ නැතත ඔහු නිවෙන පත්තුවෙන බල්බ් දැක්කේ යමාමහ පෙළහරක් දක්වනවා වාගේය.

කොස්ගස් හන්දියේ මෙවර වෙසක් තොරණ බලන්නට අප පසුගියදා යන විට එය ඉදිවෙමින් පැවතුණි.

කොස්ගස් හන්දියේ තොරණ මෙවර ගොඩනැඟන්නේ 53 වැනි වතාවටය. තොරණේ මෙවර තේමාව මහ ප්‍රජාපතී චරිතාපදානයයි. තොරණේ උස අඩි 60කි. පළල අඩි 55කි. මේ තොරණ සඳහා මුල් කාලයේ භාවිත කළේ වොට් 5 කුඩා බල්බය. එහෙත් දැන් නවීන තාක්ෂණය අනුව කොස්ගස් හන්දිය තොරණට යොදාගෙන ඇත්තේ නවීනතම ෆික්සල් (FIXAL) ලයිට් වර්ගයකි. තොරනේ ඇති බල්බ් ප්‍රමාණය 60,000කි.

කොස්ගස් හෙන්දියේ තොරණේ ඇති විශේෂත්වය එය සර්ව ආගමික දායකත්වයෙන් ගොඩනැඟෙන තොරණක් වීමය. කොස්ගස් හන්දිය ආශ්‍රිතව ජීවත්වෙන ව්‍යාපාරික ප්‍රජාව ඉන් ප්‍රධානය. සිංහල, දෙමළ, මුස්ලිම්, බාගර්, කොච්චි මෙන්ම පකිස්තාන් බායි ප්‍රජාව ද මෙම තොරණට බරපැන දරා ඇත. මෙවර තොරණේ සිතුවම් නිර්මාණය කොට ඇත්තේ පුෂ්පානන්ද දෙනිපිටිය විසිනි. මෙම සිතුවම්වල විශේෂත්වය වන්නේ මේ සඳහා ඩිජිටල් රූප මුද්‍රණයක් සිදු නොවීමය.

කොස්ගහ හන්දිය තොරණ සංගමයේ ලේකම්වරයා වන්නේ වරාගොඩ මහතාය. මෙවර විදුලි ආලෝක කටයුතු සිදු කරන්නේ සුසන්ත පියල්ගේ සඳහිරු ඉලෙක්ට්‍රිකල් විසිනි. මෙම තොරණේ කටුතොරණ නිර්මාණය කොට ඇත්තේ තරංග සමන් කුමාර විසිනි. තොරණේ කථනය සේනානි සේනාරත්න විසිනි. ඇය සුප්‍රකට මර්වින් සේනාරත්නගේ දියණියයි. මෙම තොරණ ඉදි කරන්නට සොයාගෙන ඇති බට සියලු ඒවා කුලියට ගත් ඒවාය. ලොකු බට 270ක් සහ පොඩි බට 160ක් මේ සඳහා යොදාගෙන ඇත. බටයක දවසක කුලිය රු. 10/-කි. මැයි 12 වැනිදා සිට දින 10ක් මෙම තොරණ ප්‍රදර්ශනයට කටයුතු යොදා ඇත.

මේ තොරන් අතරින් තනි වියදමෙන් කෙරෙන තොරණක් වූයේ තොටළඟ නවලෝක තොරණය. අප එහි යන විටත් තොරණේ බොහෝ කටයුතු නිමකොට තිබුණි. තොරණේ විදුලි ආලෝක කටයුතු සකසමින් සිටියේ සමීර දිල්ෂාන් ගමගේ විසිනි. මෙම තොරණේ ද චිත්‍ර පුෂ්පානන්ද දෙනිපිටියගේ විසින් චිත්‍රණය කොට ඇත. පෑලියගොඩ තොරණ මෙවර ඉදිවන්නේ 64 වැනි වතාවටය. මෙම තොරණේ තේමාව ආලෝකෝ උදපාදිය. හරක් මැරීම, සුරා සූදුව නිසා සමාජය අවරගනයට යාම බුද්ධ ධර්මය මඟින් ජනතාව හරි මඟට ගැනීම මේ තේමාවයි.

“මේ සැරේ බල්බ් ලක්ෂ 1 1/2ක් තොරණට හයි කරනවා. මේ තොරණ සඳහා භාවිත කොට ඇති GI බට 475 කුලියට ගත් ඒවා නම් නොවේ. ඔක්කොම බල්බ් LED ඒවා.”

“දැන් ඔය ඉස්සර ලයිට් නිවෙන පත්තුවෙන ලයිට් කොටේ කොහේද හයි කරන්නේ?” මම අසා සිටියෙමි.

“අයියෝ දැන් ලයිට් කොට නැහැ. දැන් ඔක්කොම ලයිට් නිවෙන්නේ පත්තු වෙන්නේ සර්කිට්වලින්.” සමීර අප සමඟ පැවසීය.

අප එහි සිටින විමට දුරබැහැර ප්‍රදේශවලින් පැමිණි පිරිස් තොරණ නිරීක්ෂණය කරමින් සිටියහ.

“ඔය තොරණ පෙන්නල ඉවර වුණාම දුර පළාත්වලට ගෙනියන්න සල්ලි දීලා ගන්න අය. ඒගොල්ල කෙළින්ම ගාණක් ගහල යනවා. මේ තොරණ පොසොන් එකට මිහින්තලේ පැත්තේ හරි වෙන කොහේ හරි දැක ගන්න පුළුවන්.” පැමිණ සිටි එක් අයකු අපට සුහදව පැවසීය.

වෙසක් තොරණ කියූ ගමන් අපේ මතකයට එන්නේ ‘තොටළඟ’ තොරණය. අප තොටළඟට යන විට තොටළඟ තොරණ සමිති ගොඩනැඟිල්ලේ සාමාජික මණ්ඩලය ද එහි විය. එම සංගමයට වෙනම කාර්යාල ගොඩනැඟිල්ලක් පවා තිබීම විශේෂත්වයකි. අප දුටු බොහෝ තොරන්වල අඩි 2ක් පමණ උස බැරල් එකක් අණ්ඩක් දමා තැනින් තැන ගෙන යන කැටයක් දැක ගත හැකි විය. සමහර තොරන්වල මේ කැටය රැගෙන යන පුද්ගලයා පඩියක් ලබන සේවකයෙකි. ඇඟට පතට නොදැනෙන්නට දිනපතා සම්මාදම් එකතු කරන්නේ මේ සඳහාය. ඇතැම් තොරන් සංවිධායකයින් රු. 20, 50 ටිකට්පත් පවා මුද්‍රණය කොට තිබුණි.

තොටළඟ තොරණ ගොඩනඟන සමිතියේ නම ශ්‍රී වෛශාඛ්‍යය සම්බුද්ධාලෝක සමිතියයි. එම සමිතියේ සභාපති වාසනා විතාන, ලේකම් රුචිර ධනංජය ආදීන් අපට හඳුන්වා දුන්නේ භාණ්ඩාගාරික චමින්ද ජනකලාල් විසිනි.

තොටළඟ තොරණ මුලින්ම ආරම්භ කොට ඇත්තේ 1955 දීය. මෙවර මෙම තොටලඟ තොරනේ කටයුතු සුභ මොහොතින් ආරම්භ කොට ඇත්තේ පසුගිය අප්‍රේල් 10 වැනිදාය. දැන් මේ තොටළඟ තොරනේ කටයුතු මෙහෙයවන්නේ තුන්වැනි පරම්පරාව විසිනි.

“දැන් ඊළඟට මේ තොරණ ගහන එක භාර ගන්න අලුත් පරම්පරාවක් ඉන්නවාද? ” මම භාණ්ඩාගාරිකගෙන් අසා සිටියෙමි.

“මේ ඉන්නේ අලුත් පරම්පරාව. අපේ පස්සේ කොල්ලො සෙට් එක. මේ ඉන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරග කරපු ‘චූටි සර්’ අපේ ගමට සම්පතක්.”

දැන් ඔය 1955දී තොරණ ගහපු අයගෙන් කවුද ඉන්නේ?” මම අසා සිටියෙමි.

“එකම එක්කෙනයි ඉන්නේ. ඔය ඔක්කොම අපේ ආතලා සීයල තමයි. එක සැරයක් මේ තොරණ ජපානයටත් අරන් ගියා ශිල්පීන් එක්කම.”

මෙවර තොටළඟ තොරණට පාදකව ඇත්තේ මහා කාශ්‍යප මහ රහතන්ගේ චරිතාපදානයයි. මෙවර තොරණ සඳහා යොදාගන්නා බල්බ් ප්‍රමාණය ලක්ෂ දෙකකි.

“මේක තමයි මේ සැරේ උසම තොරණ. උස අඩි 88යි. පළල අඩි 90යි. මේක ඉඟුරු කඩේ හන්දියට පේනවා. ආයතනවලින් සන්කෙන් ලංකා වගේ ආධාර කරනවා. ලොරි රථ හිමියෝ ආධාර කරනවා. දෛනික වැටුපට වැඩ කරන කෙනෙක් කැටයකට දිනපතා රු. 50ක් ගානේ ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි එකතු කරනවා. ”

මේ තොටළඟ තොරනේ ඇති විශේෂත්වය අනුග්‍රාහක භවතුන් පින්තකා ඩීසල් පරිත්‍යාග කිරීමයි. විදුලිබල මණ්ඩලයෙන් සහනදායී මිලකට විදුලිය ඉල්ලුවත් නොලැබීම ඊට හේතුවයි. තොරණට ලයිට් ලබාදීමට විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා ඇති ඩිපොසිට් එක ලක්ෂ 10කි.

“කිලෝවොට් 300 ජෙනරේටරයට දවසකට ඩීසල් ලීටර් 200ක් යනවා. තොරණ දවස් 8ක් පෙන්වනවා.”

තොරණ පෙන්වන 8 වැනි දින රාත්‍රී පිරිතක් කියන අතර පසුදින උදෑසන තොරණ බිහි කිරීමට මුල්වූ මළගිය සියලු දෙනාට පින් පිණිස දානයක් පිරිනමනු ලබයි. මෙහිදී ගතවූ වසර 70 පුරා තොරණට දායකත්වය දුන් අයට පින් පමුණුවනු ලබයි.

මෙවර තොරණේ චිත්‍ර යක්කඩුවේ ආනන්ද ජයලත් විසිනි. විදුලි ආලෝකය නාරම්මල සුසන්ත පියල්ගෙනි. කටු තොරණ නිර්මාණය කොට ඇත්තේ කොල්වින් පීරිස්ගේ පුත් නිලංග පීරිස් විසිනි.

මෙවර වෙසක් තොරන් – කූඩු – දන්සල් ගැන නිරීක්ෂණයේදී අපට පෙනී ගියේ කොරෝනාවෙන් පසු වැඩිම ජනතාවක් එම පින්කම්වල යෙදෙන වෙසක් උත්සවය මෙවර වෙසක් උත්සවය බවය.

ඡායාරූප – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division