Home » ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සාමයේ යෂ්ටිය අතට ගත් නව සුදොතුම් පියාණෝ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සාමයේ යෂ්ටිය අතට ගත් නව සුදොතුම් පියාණෝ

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

පාස්කු ඉරිදා ජේසු සමිඳුන්ගේ උත්ථානයේ ප්‍රීතිය සමරමින් සිටි ලොව පුරා කිතුනුවන්ගේ හදවත්වලට ශෝකයක් එක් වූයේ ‘දිළින්දන් සහ අමතක කළ වුන් වෙනුවෙන් තම ජීවිත කාලය පුරා සටන් කළ මහජනයාගේ පාප් වහන්සේ’ නමින් ලෝකයේම ආදර ගෞරවයට පාත්‍ර වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම නිසාය.

ඉකුත් අප්‍රේල් 26 වැනිදා උන් වහන්සේගේ අවමඟුල් උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ලෝකයේම අවධානය යොමු වූයේ හිස් වූ ශුද්ධාසනයට නව පාප්වරයකු තෝරා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන රහසිගත ඡන්ද ක්‍රියාවලිය වන ‘කොන්ක්ලේව්’ ගැනය. ඒ අනුව ඉකුත් මැයි 7 වැනිදා මහාද්වීප පහක රටවල් 70ක වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරු 133 දෙනෙක් පාප්වරයකු තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා කලාගාරයක් බඳු වතිකානයේ සිස්ටයින් දේවස්ථානයට රැස් වූහ.

එතැන් සිට කිතුනුවන් පමණක් නොව, ලොවම බලාපොරොත්තුවෙන් සිටියේ නව පාප් වහන්සේ කෙනකු තේරී පත් වූ බවට වන පළමුවැනි ඉඟිය දෙමින් සිස්ටයින් දෙවස්ථානයේ දුම් කවුළුවෙන් පිට වන සුදු දුමාරයයි. එහෙත් සාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට රැස් වී සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් 7 වැනිදා සහ 8 වැනිදා පස්වරුව වන විට දෙවරක්ම දක්නට ලැබුණේ කළු පැහැති දුමාරයකි. ඒ වන විට ඡන්ද වට 3ක් පවත්වා තිබූ අතර, කිසිදු කාදිනල්වරයකුට බහුතර ඡන්දය දිනාගැනීමට නොහැකි වී ඇති බව ඒ සංඥාව ලොවට නිහඬව කියා පෑවේය.

14 වැනි ලියෝ සුදො­තුම් පිය­තුමා

14 වැනි ලියෝ සුදො­තුම් පිය­තුමා

එහෙත් 8 වැනිදා වතිකානු වේලාවෙන් ප.ව. 5.30ට පමණ පැවැති ඡන්ද විමසුමෙන් ශුද්ධාසනයේ නව උරුමක්කාරයා බිහි වූ බව ලොවටම කියා පාමින් සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරය පිටවද්දී සාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිටට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව ඔල්වරසන් දෙමින් තුටු කඳුළු වගුරමින් එකිනෙකා වැලඳගනිමින් සතුට සමරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් අනතුරුව කාදිනල් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයා සාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම සඳලුතලයට පැමිණ ‘හබේමුස් පාපම්’ (Habemus Papam) හෙවත් ‘අපට පාප්වරයෙක් සිටී’ යනුවෙන් ලතින් බසින් ප්‍රකාශ කරමින් නව පාප් වහන්සේගේ නම සහ එතුමා තෝරාගත් පාප් නාමය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 276 වැනි පාප් වහන්සේ ලෙස පත් වූයේ පේරු-අමෙරිකානු ජාතික කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවෝස්ට් හිමිපාණෝය. උන් වහන්සේ එතැන් සිට ‘14 වැනි ලියෝ’ යන නාමය තෝරාගත් අතර, අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලැබූ පළමු පාප් වහන්සේ මෙන්ම උතුරු අමෙරිකාවෙන් මේ උත්තරීතර පදවියට පත් වූ පළමු තැනැත්තාද වෙති.

පීතර බැසිලිකාවේ සඳලුතලයට පැමිණ උන් වහන්සේ රෝම නගරය ඇතුළු මුළු ලෝකයටම සිය පළමු අපෝස්තලික ආශීර්වාදය පිරිනැමුවේ “උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ තුළ ඔබට සාමය වේවා” කියාය. බැතිමතුන්ගේ ප්‍රතිචාර නිහතමානිව පිළිගත් උන් වහන්සේගේ දෙනෙත්වල මතු වූ කඳුළු ඒ දයාර්ද්‍ර හදවත ගැන ලෝකයාට නිහඬව ප්‍රකාශ කරද්දී බොහෝ දෙනකුට සිහි වූයේ ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දයාර්ද්‍ර හදවතය. නව පාප් වහන්සේ සිය කතාවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිහි කිරීම බැතිමතුන්ගේ හදවත්වලට අමතර සොම්නසක් ගෙන දුන්නේය.

දැන් ලෝකයම කතා කරන්නේ අමෙරිකානු ජාතිකයකු වන 69 හැවිරිදි 14 වැනි ලියෝ පාප් වහන්සේ ගැනය. උන් වහන්සේ කාදිනල් ධුරයට පත්ව දෙවසරකි. වතිකානුවට පැමිණද වැඩිකලක් ගත වී නැත. එහෙත් බොහෝ අය පවසන්නේ උන් වහන්සේ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගිය මඟ යනු ඇති බවයි.

1955 සැප්තැම්බර් 14 වැනිදා එක්සත් ජනපදයේ, ඉලිනොයිස් ජනපදයේ චිකාගෝ නුවරදී උපත ලැබූ ඔහු 1973 දී සාන්ත අගොස්තීනු නිකායට අයත් කනිෂ්ඨ සෙමනේරියෙන් සිය ද්විතීයික අධ්‍යාපනය නිම කරන්නේ 1977 දී විලනෝවා විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාවේදි උපාධියක් සමඟය. 1977 සැප්තැම්බරයේදී සාන්ත අගොස්තීනු නිකායට එක් වූ ප්‍රිවෝස්ට් හිමිපාණෝ, 1978 සැප්තැම්බරයේ සිය පළමු පැවිදි ප්‍රතිඥාවද, 1981 අගෝස්තුවේ සදාකාලික පැවිදි ප්‍රතිඥාවද දුන්හ; ඉන් අනතුරුව, 1982 දී චිකාගෝහි කතෝලික දේවධර්ම සංගමයෙන් දේවධර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගත්හ. 1982 ජූනි 19 වැනිදා රෝමයේදී අගරදගුරු ජීන් ජැඩොට් හිමිපාණන් අතින් අගොස්තීනු නිකාය වෙනුවෙන් පූජකවරය ලැබූ ප්‍රිවෝස්ට් හිමිපාණෝ, සිය ආධ්‍යාත්මික හා ශාස්ත්‍රීය ගමන තවදුරටත් පුළුල් කරමින් 1984 දී රෝමයේ තෝමස් ඇක්වයිනාස් විද්‍යාලයෙන් කැනන් නීතිය පිළිබඳ බලපත්‍ර උපාධියක්ද 1987දී එම විද්‍යාලයෙන්ම කැනන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක්ද හිමි කරගත්හ.

උන් වහන්සේගේ සේවා දිවියේ වැදගත් පරිච්ඡේදය සටහන් වන්නේ ඉන් අනතුරුවය. 1985 දී පේරු රාජ්‍යයේ අගොස්තීනු දූත මෙහෙවරට එක් වූ උන් වහන්සේ 1985 සිට 1986 දක්වා චුලුකානාස් ප්‍රාදේශීය පූර්ව පදවියේ චාන්සලර්වරයා ලෙස සේවය කළහ. 2015 වසරේදී පේරු ජාතික සිවිල් ලේඛකාධිකාරිය විසින් තහවුරු කරන ලද පරිදි ප්‍රිවෝස්ට් හිමිපාණෝ පේරු රාජ්‍යයේ පුරවැසිභාවය ලැබූහ. 1998දී ප්‍රිවෝස්ට් හිමිපාණන් චිකාගෝ අගොස්තීනු පළාතේ ප්‍රධානියා ලෙස තේරී පත් වූ අතර, 2013 සිට 2014 දක්වා චිකාගෝහි සාන්ත අගොස්තීනු කන්‍යාරාමයේ පුහුණු අධ්‍යක්ෂවරයා ලෙසත්, අමෙරිකාවේ මධ්‍යම බටහිර ප්‍රදේශය ආවරණය වන පළාතේ පළමු උපදේශක සහ පළාත් විකාර්වරයා ලෙසත් සේවය කළහ.

2014 නොවැම්බර් 3 වැනිදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රිවෝස්ට් හිමිපාණන් පේරුහි චික්ලායෝ රදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙසත් සුෆාර්හි නාමික රදගුරු ලෙසත් පත් කළ අතර, උන් වහන්සේ 2015 සැප්තැම්බර් 26 වැනිදා චික්ලායෝහි රදගුරුතුමන් ලෙස නිල වශයෙන් පත් වූහ.

දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ සමග

දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ සමග

පේරු රදගුරු සම්මේලනය තුළ ක්‍රියාකාරි භූමිකාවක් ඉටු කළ උන් වහන්සේ 2018 සිට 2020 දක්වා එහි ස්ථිර සභාවේ සේවය කළ අතර, 2019දී අධ්‍යාපන හා සංස්කෘතික කොමිසමේ සභාපති ලෙස පත් වූහ; එමෙන්ම කැරිටාස් පේරුහි නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙක්ද වූහ. 2023 ජනවාරි 30 වැනිදා, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රිවෝස්ට් හිමිපාණන් චික්ලායෝහි අගරදගුරු-විශ්‍රාමික රදගුරු යන නාමය සහිතව වතිකානයේ ඉතා වැදගත් තනතුරක් වන රදගුරු පදවි සඳහා වූ දෙපාර්තමේන්තුවේ (Dicastery for Bishops) ප්‍රධානියා ලෙස පත් කළහ. ඒ වසරේම සැප්තැම්බර් 30 වැනිදා පැවති කොන්සිස්ටරියේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙතින් උන් වහන්සේ රෝමයේ සැන්ටා මොනිකා ඩෙග්ලි අගොස්ටිනියානි දේවස්ථානයේ Cardinal Deacon ලෙස උසස් වීම් ලැබූහ. 2025 පෙබරවාරි 6 වැනිදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රිවෝස්ට් හිමිපාණන් කාදිනල්-රදගුරු තනතුරට උසස් කරමින්, රෝම පළාතේ ඇල්බානෝ උපනගර රදගුරු පදවිය භාර දෙන ලදි. පාප් පදවියට පත් වන විට උන් වහන්සේ 2023 වසරේ සිට රදගුරු පදවි සඳහා වූ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසත් ලතින් අමෙරිකාව සඳහා වූ පාප් වහන්සේගේ කොමිසමේ සභාපති ලෙසත් සුවිශේෂ සේවාවක් ඉටු කරමින් සිටියහ.

එක්සත් ජනපදයෙන් පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ඉතිහාසගත වන 14 වැනි ලියෝ පාප් වහන්සේට නූතන ලෝකය හමුවේ කතෝලික සභාවට නායකත්වය දීමේ අභියෝගය මෙන්ම වතිකාන රාජ්‍ය නායකයා වීමේ අභියෝගයද පවතී. සිය පාප් නාමය ලෙස 13 වැනි ලියෝ පාප් වහන්සේගේ නාමය තෝරාගැනීමෙන් නව පාප් වහන්සේගේ දැක්ම පිළිබඳ යම් අවබෝධයක් ලද හැකිය.

1878- 1903 දක්වා පාප් ධුරය දැරූ 13 වැනි ලියෝ පාප් වහන්සේ සාධාරණ වැටුප්, ආරක්ෂිත සේවා කොන්දේසි සහ වෘත්තීය සමිති පිහිටුවීම සඳහා කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගෙනහැර දැක්වූ, දේපොළ අයිතිවාසිකම් සහ නිදහස් ව්‍යවසාය තහවුරු කරමින් සහ ලයිසෙස්-ෆෙයාර් ධනවාදයට විරුද්ධ වූවෙකි. ඒ නිසාම ‘සමාජ පාප් වහන්සේ’ සහ ‘කම්කරු පාප් වහන්සේ’ නමින් ලොව ප්‍රකට වූ උන් වහන්සේ කතෝලික පල්ලියේ සමාජ මූලධර්ම තුළ නූතන චින්තනයේ අත්තිවාරම්ද නිර්මාණය කළ පාප්වරයෙකි. සමාජ සාධාරණත්වය සහ මිනිස් පුද්ගලයාගේ අයිතිවාසිකම් සහ ගෞරවය පවත්වා ගැනීම සඳහා විශේෂයෙන් කටයුතු කළ 13 වැනි ලියෝ පාප්වහන්සේ ගිය මඟ නව පාප් වහන්සේද ගනු ඇති බවට ඔහු ඒ නම ගැනීම තුළින්ම අපේක්ෂා කළ හැකිය. බිලියන 1.4ක් වන ලොව පුරා කිතුනු ජනතාවගේ නායකයා ලෙස කතෝලික සභාවේ නායකත්වය දරන ශුද්ධෝත්තම පාප් වහන්සේගේ හිස මත ඇති වගකීම් සම්භාරය සාන්ත පීතර බැසිලිකාවට වඩා විසල්ය.

පාප් ධුරයට සුදුස්සකු තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන රහස් සම්මුතියේදී තේරී පත් වන පාප් වහන්සේ තම පත් වීම පිළිගත් වහා පළමුව යන්නේ ‘කඳුළු කාමරය’ (Room of Tears) යමින් හැඳින්වෙන වතිකානයේ සිස්ටයින් දේවස්ථානයට යාබදව පිහිටි කුඩා පෞද්ගලික කුටිය වෙතටය. එහි ගොස් නව පාප් වහන්සේ වෙනුවෙන් සූදානම් කර ඇති ප්‍රමාණ තුනකින් යුතු සුදු ලෝගු තුනෙන් තමාට ගැළපෙන ලෝගුවෙන් සැරසෙන නව පාප් වහන්සේ පාප් පදවියේ සුවිසල් බර අවබෝධ කරගැනීම සඳහා තනිව කඳුළු කාමරය තුළ සුළු වේලාවක් ගත කරයි. ඇතැම් විට ඔහු හඬනු ඇත. භාවනානුයෝගි වනු ඇත. මෙනෙහි කරනු ඇත. මේ කිසියම් විදිහකින් සිය චිත්වේග මුදාහරිමින් පාප් ධුරයේ බර දරාගැනීමට උන් වහන්සේ හදවත සූදානම් කරගන්නේ කඳුළු කාමරයේදීය. ඒ වෙනුවෙන් උන් වහන්සේ දෙවියන්ගෙන් සහ ශුද්ධාත්මණන්ගේ ආශීර්වාදයෙන් පූර්ණ වේ. කඳුළු කාමරයෙන් නැවත සිස්ටයින් දේවස්ථානයට පැමිණෙන නව පාප් වහන්සේ කාදිනල්වරුන්ට ආචාර කිරීමෙන් පසු සාන්ත පීතර බැසිලිකාවේ සඳලුතලයේ පෙනී සිටිමින් රැස්ව සිටින ජනතාවට ආශීර්වාද කරති.

14 වැනි ලියෝ සුදොතුම් පියතුමා ද එදා ඒ ආකාරයෙන් කඳුළු කාමරයේ සිට පැමිණ ජනතාවගේ ආචාර පිළිගන්නා විට උන් වහන්සේගේ සංවේදි බව මනාව දැකගන්නට ලැබිණි. උන් වහන්සේගේ දෙනෙත්වල වූ කඳුළු ඒ මෘදු, බැහැපත් හදවත ලෝකයට නිහඬවම ප්‍රදර්ශනය කළේය.

ඒ මොහොතේ බොහෝ දෙනකු උන් වහන්සේ තුළින් දිළින්දන් සහ වෙනස් කොට සලකනු ලැබූවන් වෙනුවෙන් කැප වූ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකින්නට ඇත. සාමය වෙනුවෙන් කැප වූ වරදකරුවන්ට සමාව දුන් දෙවැනි ජුවාම් පාවුලු පාප් වහන්සේගේ ප්‍රේමණීය හදවත දකින්නට ඇත. ‘මමත් ඔබ වැනිම කිතුනුවෙක්’ යැයි පවසන්නට තරම් නිහතමානි වූ නව පාප් වහන්සේ දුටු ඇතැමකුට ස්වර්ගස්ථ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගේ නිහතමානි බැහැපත් හදවත සිහි වන්නට ඇත.

ගෝලීය අර්බුද හා බොහෝ රටවල යුද ගිනි ඇවිළෙමින් තිබෙන පසුබිමක සංවාදය තුළින් එකිනෙකා අතර පාලම් ගොඩනැඟීමේ වටිනාකම පැවසූ 14 වැනි ලියෝ පාප් වහන්සේ සියලු ගැටුම් සංවාදයෙන් දුරු කළ හැකි බවට විශ්වාසයේ සේයා මාත්‍රයක් ලෝකවාසි දන හදවත් තුළ ඇති කළහ. දුක් විඳින්නන්ට සමීපව සිටින්නට ආරාධනා කිරීමෙන් තමා දිළින්දන්ගේ මිතුරකු බවද උන් වහන්සේ පසක් කළහ.

එබැවින් කතෝලික සභාවේ නායකයා ලෙස පමණක් නොව; ලොව කුඩාම රාජ්‍යයේ නායකයා ලෙස ද ලෝකයට සාමයේත්, ප්‍රේමයේත් වැසි වස්සන්නට 14 වැනි ලියෝ පාප් වහන්සේ ගන්නා වෑයම දෙස මෙතැන් සිට ලෝකයම බලා සිටිනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division