Home » උපාලිට යළි පණදුන් එඩිතර පියතුමා
89’ගුරුගල්ල පාලමෙන් වෙඩි තබා ගඟට දාපු

උපාලිට යළි පණදුන් එඩිතර පියතුමා

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
උදේනි සමන් කුමාර

කොළඹ – බදුලු පාරත්, කොළඹ – නුවර පාරත් සම්බන්ධ කරන එක් මාවතක් වැටී තිබෙන අවිස්සාවේල්ල, තල්දූව, ගුරුගල්ල, අමිතිරිගල, ඌරාපොළ ඔස්සේ දිවෙන මේ පාර නුවර පාර හා යා වෙන්නේ නිට්ටඹුව නගරයේදීය. ප්‍රධාන නගරවලින් බැහැරව ඉතා පිටිසර ප්‍රදේශයක පිහිටි පාරේ බෙහෙවින් දිග හුදෙකලා පාලමක් ගුරුගල්ලේදී කැලණි නදිය හරහා ඉදි කර තිබේ. 1989 එජාප භීෂණ සමයත්, ගුරුගල්ලේ පාලමත් එක්වර මතකයට නැඟෙන කල තතු දන්නා ඕනෑම අයකුගේ හද ගැස්ම වෙනස් වී ලොමුදැහැගැන්වීම පුදුමයක් නොවේ.

එයට හේතුව 89 වසර පුරා සෑම රාත්‍රියකම රජයේ ආරක්‍ෂක අංශ විසින් මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායම් විසින් තරුණ තරුණියන් ගුරුගල්ල පාලම මතට ගෙනැවිත් වෙඩි තබා කැලණි ගඟට දැමීම සාමාන්‍ය සිදුවීමකි. දහවල් කාලයේ ගුරුගල්ල පාලම පසු කර යන අයට පාලම මත ලේ පැල්ලම් සහ මස් වැදලි සමඟ සෙරෙප්පු සපත්තු වැටී ඇති අන්දම දකින්නට ලැබිණි.

එසේ රාත්‍රී කාලයේ මරාදමනු ලැබූ තරුණ තරුණියන්ගේ මළසිරුරු දිවා කල කැලණි ගංගාව ඔස්සේ පා වී ගියේය. ඒ මඟින් සමස්ත සමාජයම භීතියට පත් කිරීම ඝාතකයන්ගේ අභිප්‍රාය වන්නට ඇත. ගුරුගල්ල පාලම වධක භූමියක් බවට පත් වූ නිසාම හිරු අවරට ගිය කල කිසිවෙක් පාලම පසු කර යන්නට බිය වූහ. ගුරුගල්ල පාර ඒ අවිචාර සමයේ වධකයන්ටම, නිශාචරයන්ටම ඇරී තිබුණේය.

මේ කතාවට පසුබිම සකස් වන්නේද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ රජය විසින් මාරයා රජ කරවූ 1989 වසරේ මැද භාගයේය. අවිස්සාවේල්ල – කෑගල්ල පාරේ මත්තමගොඩින් බෝගල පතලට යන පාර වැටී තිබේ. ගම්මුන් එහි පිහිටි තුන් මං හන්දිය හඳුන්වන්නේ ‘පතල් හන්දිය’ යනුවෙනි. ඒ ප්‍රදේශය දේශපාලන වශයෙන් බර ලංකා සම සමාජ පක්‍ෂයටය. ඒ අද ඊයේ නොව, යටියන්තොට ආසනයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඡන්දය ඉල්ලන අවධියේ සිටය.

මා සඳහන් කරන 1989 වකවානුවේ යටියන්තොට දේශපාලන බලවතා වූයේ කැබිනට් ඇමැතිවරයකු වූ වින්සන්ට් පෙරේරාය. රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් පසු විකාශය වූ ‘ටාසන්’ නැරඹීමට දිවයිනේ බොහෝ පළාත්වල තරුණ පිරිස් රූපවාහිනී යන්ත්‍ර වටා රොක් වූහ. ඒ භීෂණ සමයේ අඳුර වැටුණු පසු එළිමහනේ සිටිනවාට වඩා නිවෙස් තුළට වී රූපවාහිනී නැරඹීම ආරක්‍ෂාවටත් හොඳ බැවින් වැඩිහිටියෝද ඊට කැමැත්ත දැක්වූහ.

පතල් හන්දියේ විතානගොඩ උපාලි ඇතුළු තරුණයෝද ටෙලි නාට්‍යය නරඹමින් සිටියෝය. නිවෙසේ ‍දොර වසා තිබුණෙන් පාරේ නැවැත්වූ සුදු වෑන් රථයේ හඬ ඔවුන්ට ඇසුණේ නැත. වෑන් රියකින් බැසගත් කළු ටී ෂර්ට් ඇඳ සිටි සෙබළුන් බොරලු පාරේ පැමිණෙන විට නැඟෙන සපත්තු හඬද ඔවුන්ට නෑසිණි. අඳුරේම පැමිණි පිරිස තරුණයන් රූපවාහිනිය නරඹමින් සිටි නිවෙස වට කළහ. ඔවුන් වෙත ගිනිඅවි එල්ල වූ අතර, නිවෙසින් පිටතට පැමිණෙන ලෙස අණ කරනු ලැබීය. එලෙස පිටතට ගැනුණු පිරිස පෝලිම් ගසා වෑන් රියට නංවනු ලැබූහ. මේ පිරිස තල්දූවෙන් ගුරුගල්ල පාලමට ගෙන ගොස්, වෙඩි තබා ගඟට දැමූ බව පසුව ආරංචි විය. ජනතා විමුක්ති පෙරමුණ සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ ඔවුන් පැහැරගෙන ගියේ යටියන්තොට මන්ත්‍රී වින්සන්ට් පෙරේරා දුන් ලැයිස්තුවකට අනුව බවටද මතයක් පැතිර ගියේය.

මේ සිදුවීම වූයේ 1989 ජූනි මස 25 වැනි දිනය. නැති නම්, අදින් වසර 36කට පමණ පෙරය. එවකට ගුරුගල්ල මීසම භාරව සිටි පියතුමා හෝ අනතුරට පත් තරුණයා හෝ මම දැන නොසිටියෙමි. එහෙත්, ඒ භයානක ඉරණමට මුහුණ දුන් උපාලිගේ ජීවිතය බේරා ගැනීමට ගුරුගල්ල කතෝලික පල්ලියේ පියනම මැදිහත් වූ බව මම දැන සිටියෙමි. එසේ දිවි ගැලවුණු උපාලි යහපත් ජීවිතයක් ගත කරන බව මට දැනගන්නට ලැබුණේ වසර 30කට පසුවය. ඒ පුවත ප්‍රවෘත්තියක් ලෙස මම පුවත්පතකට ලීවෙමි. ‘ගුරුගල්ලේ පාලමෙන් වෙඩි තියලා කැලණි ගඟට දාපු උපාලිට යළි පණ දුන් පියතුමා කවුද?’ යන්න ප්‍රවෘත්තියට යොදා තිබූ සිරස්තලය විය.

මෙය කියවූ ‘මල්කාන්ති’ නම් කන්‍යා සොහොයුරියක ගාල්ලේ සිට කතා කර, මා හමු වීමට අවශ්‍ය බව කියා තිබිණි. ඒ පණිවිඩය ලැබුණු දිනම මම ඒ කන්‍යා සොහොයුරිය ඇමතුවෙමි. මේ සිදුවීමට සම්බන්ධ පියතුමා තමා භාරයේ පවතින නිවාසයක රෝගිව සිටින බව ඕ තොමෝ මා සමඟ පැවසුවාය. ඒ පුවතින් මම විමතියටත්, සතුටටත් පත් වීමි. පුවත්පතෙහි වූ ප්‍රවෘත්තිය කියවූ පියතුමා මහත් සේ සතුටට පත්ව, තුරුණු වියේ ගුරුගල්ල මීසම භාරව සිටියදී තමා මේ සත්ක්‍රියාව කළ බවත්, ඒ තරුණයා ජීවත්ව සිටින බව අසන්නට ලැබීම මහත් සතුටක් බවත් කන්‍යා සොහොයුරිය සමඟ පවසා තිබිණි.

පියතුමා දැනට පිළිකා රෝගයෙන් ඔත්පළව සිටින බවත්, එතුමා මේ දිනවල ගත කරමින් සිටින්නේ ජීවිතයේ අවසාන දවස් කිහිපය බවත් කන්‍යා සොහොයුරිය පැවසූ විට, ලද ආරංචියේ සතුට එකෙණෙහිම දිය වී ගියේය. පසුදින උදෑසන ඒ උතුම් දේවගැති බොනිෆස් පෙරේරා පියනම හමු වන අටියෙන් මම ගාල්ල බලා යමින් සිටියෙමි. දකුණු අධිවේගි මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී නාඳුනන අංකයකින් මා වෙත දුරකතන ඇමැතුමක් ලැබිණි. මා ඊට සම්බන්ධ වූ විට එහි සිටියේ වසර 26කට පෙර බිහිසුණු අත්දැකීමකට මුහුණ පෑ තරුණයාය. උපාලිගේ හමු වීමෙන් මේ අපූර්ව කතාන්දරයේ උණුසුම සහ සංවේදිතාව තවත් වැඩි විය. උපාලි ඉල්ලා සිටියේ සිය ජීවිතය බේරා දුන් ඒ මානව දයාවෙන් යුතු පියතුමා හැකි නම් සොයා දෙන ලෙසය. බොනිෆස් පෙරේරා පියතුමා ඊට පැයකට පසු ගාල්ලේ සෙමනේරියකදී මට හමු විය.

සෙමනේරියේ මල්කාන්ති සොහොයුරිය මට පැවසුවේ තමාට වැලඳී ඇති පිළිකාව සම්බන්ධයෙන් හෝ මරණාසන්නව සිටින බව හෝ පියතුමා දැනුවත්ව නොසිටින බැවින් ඒ පිළිබඳ කිසිවක් එතුමාගෙන් නොවිමසන ලෙසය. පියතුමා හමු වූ පළමු මිනිත්තුවේදීම පියතුමා මගෙන් ඇසූ ප්‍රශ්නය වූයේද “වෙඩි වැදුණු දරුවා තවමත් ඉන්නවාද? මට ඔහු දකින්න ආසයි. ඔබ සිදු කළ මේ මැදිහත් වීම හරිම සතුට දනවන කාරණයක්,” කියාය. මම ඒ මොහොතේම පියතුමාට උපාලිව දුරකතනයෙන් සම්බන්ධ කොට දුන්නෙමි. ඒ මොහොත අතිශය හැඟුම්බර අවස්ථාවක් විය.

උපාලි තමා මුහුණ දුන් බිහිසුණු අවස්ථාව මා සමඟ විස්තර කළේ මෙසේය:

“මම මේ සිදුවීමට මුහුණ දුන්නෙ 1989 ජූනි මාසෙ 25 වැනිදා. එතකොට මගේ වයස අවුරුදු 20යි. ඒ කාලෙ රටේ හැම තැනම කලබල: තරුණ ළමයි උස්සනව, අතුරුදන් වෙනව, පාරේ මරල දාල තියෙනවා. සමහර පළාත්වල විශාල පිරිස් එක තැන මරලා දාලා තියෙනවා. මේ සිදුවීම් ගැන ලැබෙන ආරංචි නිසා අඳුර වැටෙන කොට අපට ගෙවල්වලින් පිට යන්න අම්මලා ඉඩ දුන්නෙ නැහැ. අප බොහෝ විට කළේ එක ගෙදරකට රොක් වෙලා රූපවාහිනිය නරඹන එක.

“අපට බය වෙන්න විශේෂ හේතුවක් තිබුණෙත් නැහැ. මොකද, අපි කවුරුවත් දේශපාලන කටයුතුවලට සම්බන්ධ අය නොවෙයි. අපේ පවුල්වල තාත්තල, වැඩිහිටි අය ඉස්සර ලංකා සමසමාජ පක්ෂෙ ඇන්.ඇම්. පෙරේරා මහත්තයා එක්ක දේශපාලන කටයුතු කළ අය. අපි නම් කරපු දේශපාලනයක් නෑ. අපේ ගෙවල් ළඟ ගෙදරක රූපවාහිනියක් තිබුණා. ඒ කාලෙ ගම්වල තිබුණෙ කළු–සුදු රූපවාහිනී විතරයි. 1989 ජූනි 25 රෑ අපි රූපවාහිනිය තිබුණු ගෙදරට එකතු වෙලා ඒ දවස්වල විකාශය වූ ‘ටාසන්’ බලමින් සිටියා. එතැන සිටියෙ අපේම පවුල්වල අය. අපේ තාත්තා එතැනට ඇවිත් කිවුවා ‘හන්දියේ වෑන් එකක් නවත්තලා තියෙනවා, ආයුධ ගත් කළු ටී ෂර්ට් ඇඳපු කීප දෙනෙක් පහළට ගියා’ කියලා. තාත්තා ආවෙ අපි ඉන්නවද බලන්නත් එක්ක.

“අපි ටීවී බලන නිසා තාත්තා ගියා. අපිත් හිටියෙ ගේ ඇතුළෙ නිසා කවුරුත් ගණන් ගත්තෙ නැහැ. ටී56 අවි ගත් කීප දෙනෙක් හරියටම රෑ 8.00ට අපි හිටිය ගෙදර ‍දොරට තට්ටු කළා. ඒ අය කළු පාට ටීෂර්ට්, කලිසම් ඇඳල හිටියෙ. ඔවුන් සමඟ අපේ සුමති මාමත් හිටියා. සුමති මාමා පාරෙදි අල්ලගෙන ඔහුත් සමඟයි ඇවිත් තිබුණෙ. ඔවුන් අපේ නම් අහලා එළියට අරගත්තා. ඊට පස්සෙ අපිව කළුවරේම පාරට අරන් ආවා. ඒ එද්දි මාමා සාක්කුවෙ තිබිල එයාගෙ පඩි සල්ලියි, තව චෙක් වගයකුයි, කරේ තිබුණු රත්තරන් චේන් එකයි අතට ගත්තා. ගේ ළඟින් යද්දි ‘මේක දීගෙන යන්න ඕනැ’ කියලා මාමා කිවුවා. මාමා වැඩ කළේ රත්නපුර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. ඒ සල්ලියි, චේන් එකයි ‘කෝ ගනින් මෙහාට!’ කියලා තුවක්කුකාරයා ගත්තා. ‘ඇයි මේ ළමයි එක්ක යන්නෙ?’ කියලා අම්මලා අහද්දි, ‘ප්‍රශ්න කරලා එවනවා,’ කිවුවා.

“අපිව ඇස් බැඳලා වෑන් එකට දමාගත්තා. පතල් හන්දිය පැත්තට ගියා. ආයෙ වරාවල පාලම ළඟට ගෙන ගියා. එතැනදි ‘උඹල ජේවීපීකාරයෝ නේද?’ කියල පාරවල් දෙකතුනක් ගැහුවා. තවත් අය වෑන් එකේ ඉන්න බව අපට තේරුණා. මටයි, සුමති මාමටයි වචනයක්වත් කතා කරන්න ලැබුණෙ නැහැ. අපට ගහද්දි අපි කිවුවා ‘අපි සමසමාජ පක්ෂෙට වැඩ කරන අය, අපි ජේවීපී කට්ටිය දන්නෙ නැහැ,’ කියලා. ඊට පස්සෙ දෙහිඕවිටට ආවා. ඔය විදියට තැන් තැන්වල නතර කරමින්, රෑ එකොළහ විතර වෙද්දි කෙළින්ම ගුරුගල්ල පාලම උඩට ආවා.

“මම වැඩ කළේ දෙහිඕවිට. මේ ප්‍රදේශය මම හොඳට දන්නවා. මගේ ඇස් බැඳල තිබුණත් මට හරියට මීටර් මේ යන්නෙ කොයි හරියෙද කියලා. මම හිතුවෙ ‘අපිව කොහේ හරි කෑම්ප් එකකට ගෙනියයි, නොසෑහෙන්න ගුටිකන්න වෙයි, ඒත් අපි ජේවීපී නොවන නිසා අන්තිමට ඒ බව තේරුණාම ගෙදර යවාවි,’ කියල. ඒත් ගුරුගල්ල පාලම උඩ මාව අතින් අල්ලල බස්සන විට මට තේරුණා ‘ජීවිතේ අවසානෙ ළඟයි, භයානක දෙයක් සිද්ධ වෙන්නයි යන්නෙ,’ කියලා.

“මම සරම ඇඳල හිටියෙ. ඇස් මගේම කමිසයෙන් බැඳල තිබුණට ඒක පහළට වැටිලා, තරු එළියෙන් පාලමත් ගඟත් පෙනුණා. ඒ කාලෙ ගුරුගල්ලෙ පාලමෙන් ළමයි මරල ගඟට දානවා කියල දැනගෙන සිටි නිසා මේ සිද්ධ වෙන්න යන්නෙ ඒක තමයි කියල මට තේරුණා. සීතල සුළඟ පපුවට වැදුණා. ගං ඉවුරේ ගස්වල රැහැයි කෑගහනවා ඇරෙන්න වෙන ශබ්ද මොනවත් ඇහුණෙ නෑ. වෑන් එකෙන් තව තව අය බස්සනවා ඇහුණා. මට කිවුව ඔහොම හිටගනින් කියලා. ඒ එක්කම මාව අල්ලන් හිටපු එක්කෙනා ටී 56ත් අරන් පස්සට ගියා. ඊළඟ තත්පරේ වෙඩි තියනවත්, කෙනෙක් ගඟට වැටුණා කියලත් මට තේරුණා. ඒ සමඟම තව වෙඩි සද්ද ඇහුණා.

“මම එකපාරටම පාලම් ඇන්දට අත තියලා ගඟට පැන්නා. මහත්තය දන්නව නෙ, ගුරුගල්ල පාලම ගොඩක් උසයි. මාව වතුරට වැටුණු වේගෙට දිය යටටම ගිහින්, ගං පතුලෙ වැල්ලෙම වැදුණා. ඇස් බැඳල තිබුණු කමිසෙ ගැලවිලා ගියා. මම උඩට මතු වෙන්න පීනුවා. වතුර වැඩියි. සැඩ පාර සැරයි. හුස්ම අල්ලන්නත් අමාරුයි. මාව උඩට මතු වුණේ මීටර් 20ක් විතර ඈතින්. මම ඉවුරට පීනලා මුලක එල්ලිලා ඈතින් පේන පාලම දිහා බැලුවා.

“මට තේරුණා මිනීමරු කණ්ඩායම පාලම උඩ නැති බව. ඒත් සැක නිසා පැය බාගයක් විතර වතුරෙම ඉඳලා, ඉවුරට ගොඩ වුණා. එතැන පඳුරු නිසා ඈතට පේන්නෙ නැහැ. මට තේරුණා රස්නෙට ඇඟේ පහළට උණු වතුර ගලනවා වගේ. මම අල්ලලා බලන කොට බඩේ ටිකක් උඩට වෙන්න ලොකු තුවාලයක්. අත බඩ ඇතුළට ගියා. මම එතකොටයි දන්නෙ මට වෙඩි වැදිලා කියලා. මම පනිද්දි කොන්දෙ පැත්තකට වැදුණු වෙඩි පාර තමයි බඩේ ඉදිරිපසින් ලොකු කුට්ටියක් කඩාගෙන පිට වී තිබුණේ. ටික වෙලාවක් යද්දි ක්ලාන්ත ගතිය නිසා මම ගඟ අයිනෙ වැතිරුණා.

“මට තේරුණා ලේ ගලලා, ගලලා අන්තිමට මාව මැරෙන බව. ඒත් මට එතැනින් හෙලවෙන්න පණ තිබුණෙ නැහැ. මට හුස්ම ගන්නත් අපහසු වුණා. වෙඩි වැදුණු තුවාලයේ වේදනාව ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා. සීතලයි, වේදනාවයි මැද්දෙ මම ඇස් පියාගත්තා, මාව මැරේවි කියලම හිතුණු නිසා. මාව වලාකුළු අතරෙ පාවෙනවා වගේ දැනුණා. පැය කීපයකට පස්සෙත් මම ජීවතුන් අතර හිටියා. එතකොට පාන්දර ආලෝකය අහස එළිය කරමින් තිබුණේ. කුරුල්ලො කෑගහන්න ගත්තා. කවුරුහරි කතාබහ කරන සද්දෙට මම තිගැස්සුණා. වෙඩි තියන කණ්ඩායම මාව හොයාගෙන ඇවිත් කියලා මම බය වුණා. ආයෙත් මට වෙඩි තියාවිය කියන බයෙන්ම මම හිටියෙ. වැතිරිලා ඉඳගෙනම ඇස් ඇරල බැලුවා. මම තුවාල තියෙන පැත්තට අතවත් තිබ්බෙ නෑ; බැලුවෙත් නෑ. එහෙම කරන්න හයියක් මට තිබුණෙ නැහැ.

“‘කොල්ලට තාම පණ තියෙනවා, කාගෙ වුණත් දරුවෙක් නෙ…’ කියලා දෙන්නෙක් කතා වෙනවා මට ඇසුණා. මම දැක්කෙ වැඩිහිටි දෙන්නෙක් මා ළඟ හිටගෙන ඉන්න බව. මම අමාරුවෙන් කතා කරලා කිවුවා, ‘අනේ මාමෙ, මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න, මාව මැරෙයි,’ කියලා. ඒ මාමා ඇහුව ‘මොකද පුතේ වුණේ? කියලා. මම අපේ තාත්තගෙ නමත්, ගෙදර විස්තරත් කියලා, අපි රෑ ටීවී බල බල ඉද්දි සුදු වෑන් එකක් ඇවිත් අපිව අල්ලගෙන ඇවිත් වෙඩි තියලා ගඟට දැම්මා කිවුවා. මගෙ මාමටත් වෙඩි තිබ්බා, එයත් ඉන්නවද බලන්න කිවුවා. ඊට පස්සෙ මට කතා කරන්න බැරිව ගියා. ගොඩක් සෙනඟ ඇවිත් බල බල ගියා කියලා පස්සෙ ආරංචි වුණත්, මට පෙනුණෙ බොඳ වෙලා. මට තේරුණේ නැහැ එළියෙ වෙන්නෙ මොනවද කියලා.

“පියතුමා ඇවිත් මාව උස්සලා එතුමගෙ උකුළට වාරු කරගෙන මගෙ තුවාල වෙළනවා මට යාන්තමට මතකයි. ගෙනියද්දි රිදෙන කොට කෙඳිරි ගෑවත්, මට හුස්ම අදින්න බැරි තත්ත්වයක මම හිටියෙ. මිනිස්සු මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න ඉදිරිපත් වෙලා නැහැ, හමුදාවෙන් ඔවුන්ට ප්‍රශ්න ඇති වේවි කියලා.

පියතුමා මාව අවිස්සාවේල්ල රෝහලට ගෙනාවට පස්සෙ ‍දොස්තර මහත්තුරු සේලයින් දාලා, තුවාල සුද්ද කරලා, ගිලන් රථයකින් කොළඹට යවලා තියෙනවා. අර මාමලා තමා තාත්තට ගිහින් කියලා තියෙන්නෙත්, ගමේ අයත් එක්ක ෆාදර්ට ගිහින් කියල තියෙන්නෙත්. කොළඹදි තාත්තලා ඇවිත් මාව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට ගෙනිහින් ඔපරේෂන් කරලා, පස්සෙ දවස් 28ක් ඒ ‍දොස්තර මහතාගේ ජාතික රෝහලේ වාට්ටුවෙත් ඉඳලා සනීප වුණා. ඒත් අපේ මාමට එදා වෙඩි තියලා කැලණි ගඟට දැම්මට පස්සෙ අපට ඔහු ගැන තොරතුරු කිසිවක් අද වන තුරු දැනගන්න ලැබුණෙ නැහැ.”


ගුරුගල්ල මීසම භාරව සිටි බොනිෆස් පෙරේරා පියතුමාගෙන් මේ සිදුවීම පිළිබඳව පැහැදිළි කළේ මෙසේය:

“ඔබ වහන්සේ මේ සිදුවීම වෙද්දී?”

“මම ගුරුගල්ල මීසම භාරව පැමිණ ඒ වෙනකොට අවුරුදු දෙකක්.”

“පල්ලිය පිහිටා තිබෙන්නේ ගුරුගල්ල පාලමට ආසන්නවද?”

“ඔව්. ඒ තරම් දුරක් නැහැ.”

“1988, 89 කාලෙ මතකද? මේ පාලමෙන් රාත්‍රී කාලයේ තරුණ ළමන්ටයි වෙඩි තබා ගඟට දමන බව පියතුමා දැන සිටියද?”

“ඔව්. ඒක හරි බිහිසුණු කාල පරිච්ඡේදයක්. පාලමෙන් තරුණ ළමයින්ට වෙඩි තබා ගඟට දමන බව කවුරුත් දැන සිටියා. ඒක හරි ප්‍රසිද්ධ කාරණයක්. ඒත් අපි කාටවත් කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.”

“වෙඩි තියන සද්ද පල්ලියට ඇහුණද?”

“ඔව්. හැමදාම වගේ රෑ 11 විතර වෙද්දි පාලම උඩ වෙඩි සද්ද ඇහුණා. අපි හරිම කම්පාවෙන් හිටියෙ. කවුරු කාට වෙඩි තියනවද කියල අපි දන්නෙ නැහැනෙ…”

“ගඟේ මළමිනී පාවෙනවා ඔබතුමා දැක තිබුණද?”

“ඔව්. රෑට උඩින් දමන ඒවා දවල් කාලෙ ගඟ පහළ රැඳී තියෙනවා මා දැක තිබෙනවා.”

“වෙඩි වැදුණු තරුණ ළමයි කෑගහනවා පල්ලියට ඇහෙනවද?”

“නැහැ. මිනිස් කටහඬවල් ඇසෙන්නෙ නැහැ. වෙඩි ශබ්ද හැමදාමත් ඇසුණා.”

“මේ සිදුවීම වූ දවසේ මුලින්ම කුමක්ද දැනගත්තේ?”

“මම සාමාන්‍යයෙන් හැමදාම උදේ 7.00ට පල්ලියේ පූජාව තියනවා. උදෑසන දේව මෙහෙයෙන් පසුව තමයි මගේ දවසේ කටයුතු ආරම්භ කරන්නේ. මම එදත් පූජාව තියන්න ලෑස්ති වෙමින් සිටියා. ඒ අවස්ථාවේ පල්ලියේ මීසම් දායක සභාවේ කිහිප දෙනෙක් කලබලෙන් පැමිණියා. ඔවුන් මගෙන් ඇහුවා, ‘ෆාදර්, පාලම ළඟ ගඟේ මනුස්සයෙක් වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. කවුරුත් ඒ ගැන බලන්නෙ නැහැ. අපි මොකද කරන්නෙ?’ කියල.”

“පියතුමා පූජාව තිබ්බද?”

“නැහැ. මම කවදාවත් නොකළ ලෙස පූජාව තැබීම ඒ මොහොතෙම නතර කළා; මගේ මෝටර් සයිකලයට නැඟලා ඉක්මනින් කැලණි ගඟ ළඟට ගියා. මම දැක්කා විශාල පිරිසක් පාලම උඩ පිරිලා බලන් ඉන්නවත්, වෙඩි වැදුණු ළමයා පාලම පාමුල ඉන්නවත්.”

“පියතුමා වෙඩි වැදුණු තරුණයා සමඟ කතා කළාද?”

“මට අත ගහන්න තිබුණෙ හුඟාක් අවදානම් කටයුත්තකට. මම ආයෙ මෝටර් සයිකලයට නැඟලා මට පුළුවන් උපරිම වේගෙන් අවිස්සාවේල්ල පොලීසියට ගියා. ඒ කාලෙ පාරවල් එච්චර හොඳ නෑ. ඒත් මට පොලීසියට යන්න විනාඩි 5ක්වත් ගියේ නැහැ.”

“පොලීසියේ ස්ථානාධිපති හමු වුණාද?”

“ඔව්. මම ඇසුවා ‘පාලම ළඟ මනුස්සයෙක් වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. මොකද කරන්නෙ?’ කියලා.”

“පොලීසිය වහාම ගුරුගල්ල බලා පිටත් වුණාද?”

“නැහැ. පොලීසියත් තීරණයක් ගන්න බැරිව පැකිළෙමින් සිටියා. සමහර විට මා පැමිණෙන්නත් පෙරම මේ සිදුවීම ගැන ඔවුන් දැනුම්වත් වෙලා ඉන්නත් ඇති. ජනතාව වගෙම පොලීසියත් මේ සිදුවීමට අත දමන්න පැකිළෙන බව මට ඉතා පැහැදිලි වුණා.”

“පියතුමා මොකද කළේ?”

“මට අහක දමන්න කාලයක් තිබුණේ නැහැ. මම දැඩි අධිෂ්ඨානයක හිටියා තරුණයාගේ ජීවිතය බේරා දිය යුතුයි කියා. එනිසාම මම නැවතත් ඇහුවා ‘ඉන්ස්පෙක්ටර්, මොකද අපි මේ ලෙඩාට කරන්නේ?’ කියලා.”

“ඕඅයිසී මොකද කිවුවේ?”

“‘ෆාදර් ලෙඩා හොස්පිටල් එකට භාර දෙන්න,’ කියා ඔහු මගෙන් ඉල්ලා සිටියා. මම ඒ ඇසිල්ලේ නැවත ගඟ ළඟට ආවා. ඒ දවස්වල මගේ වාහනය තිබුණෙ නැහැ. මට වාහනයක් සොයාගන්න සිදු වුණා ලෙඩාව ගෙනියන්න. ඒත් බොහෝ අය ඒකට කැමැති වුණේ නැහැ.”

“පියතුමා වෙඩි වැදී සිටි තරුණයා සමඟ කතා කළාද?”

“ඔව්, එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල මගෙන් ඉල්ලා සිටියා. ඒත් මේ වෙද්දි හුඟාක් දුර්වල වෙලා හයියෙන් හුස්ම ගන්නව විතරයි.”

“පියතුමාට වාහනයක් නතර කරගන්න පුළුවන් වුණාද?”

“ඔව්. වෑන් එකක් නතර කරවාගෙන මම මේ සිද්ධියේ වගකීම සම්පූර්ණයෙන් භාර ගන්නව කියල පොරොන්දු වෙලා ලෙඩාව දාගත්ත. මාත් ඒ එක්කම අවිස්සාවේල්ල රෝහලට ගියා. ලෙඩා භාර දුන්නෙ මම. හරි පුදුම තත්ත්වයක් තිබුණෙ. වෙඩි තියලා කිවුවම රෝහලත් ලෙඩා භාරගන්න අදිමදි කරන ස්වරූපයක් පෙනුණේ.”

“රෝහල් පොලීසිය මැදිහත් වුණාද?”

“නැහැ. මම ලෙඩා භාර දෙනවත් එක්කම පොලීසියෙ ඕඅයිසී රෝහලට ආවා. මගේ රාජකාරිය එතැනින් හමාර වුණා.”

“එතකොට ඔබ දැනුවත්ව හිටියෙ ලෙඩා කොළඹට මාරු කළා කියලයි?”

“ඒක මම දන්නෙ නැහැ.”

“ලෙඩා කොළඹ ගෙනිච්චද?”

“පොලීසිය ඇවිත් ලෙඩා කොළඹ යවා තිබුණා. මම පල්ලියට ගියා.”

“ඉන් පසු සිදු වූයේ කුමක්ද?”

බොනි­ෆස් පෙරේරා පිය­තු­මා

බොනි­ෆස් පෙරේරා පිය­තු­මා

“පසුවදා, වෙඩි වැදුණු ළමයගෙ අම්මා තාත්තා දෙන්නා මගේ පල්ලියට ආවා. ඔවුන් මට නොසෑහෙන්න ස්තුති කරලා ගියා. පසු දින රාත්‍රියේ හමුදාවෙ ඉහළ නිලධාරියෙක් භටයන් විශාල පිරිසක් එක්ක පල්ලියට ආවා.”

“පියතුමාට කරදරයක් වෙයි කියා බය හිතුණද?”

“නැහැ. මම බය වුණේ නැහැ. ඒත් ගුරුගල්ල මීසමේ දායකයො හොඳටම බය වුණා මට අනතුරක් වෙයි කියල. ආපු නිලධාරියා මට අතට අත දීලා කතා කළා. මම එයාට පැහැදිලි කළා. මට වැදගත් ‘එයා අපේ පිහිට අවශ්‍ය රෝගියෙක් වීම පමණයි, ඔහු ත්‍රස්තවාදියෙක්ද, නැද්ද යන්න මට වැදගත් නැති’ බව මම කිවුවා. ඒවා අහන් ඉඳලා ඔහු යන්න ගියා.”

“පියතුමාට මේ සිදුවීම අමතක නොවන අත්දැකීමක්…”

“මම ඊළඟ සුමානෙ පොතක් ගන්න අවිස්සාවේල්ලෙ වික්ටරි පොත් සාප්පුවට ගියා.”

“‘ඔබතුමා ලොකු වැඩක් කළේ, මේක ඔබතුමාගෙ ජීවිතේටම ඇති,’ කියලා පොත් සාප්පුවෙ අය මට කිවුවා.”

වෙඩි වැදුණු උපාලි හා බොනිෆස් පෙරේරා

පියතුමා අතර දුරකතන සංවාදය:

පියතුමා: හා! මේ උපාලිද? මට හරිම සතුටුයි ඔයා හමු වීම ගැන.

උපාලි: මම ෆාදර්ව හැම තැනම හෙවුවා. ගොඩක් කල් යනකල් මම ගමට ආවෙ නැහැ.

පියතුමා: මම ඒ දවස්වලම ගුරුගල්ලෙන් ගියා. මුලින් ගුරුගල්ල ගාල්ලට සම්බන්ධ කරලා තිබුණෙ සභාවෙන්. පස්සෙ රත්නපුරට සම්බන්ධ කළා. අපි ගාල්ලට ගියා. දැන් ඔයා මොකද කරන්නෙ?

උපාලි: මම ගමේ ඉන්නවා. රක්ෂාවක් කරනවා.

පියතුමා: බොහොම හොඳයි. මම හිතුවෙ නැහැ ඔයා ජීවත්ව ඉන්නවා කියල. සාමාන්‍යයෙන් ඒ ගොල්ලො කැමැති නැහැ නෙ සාක්ෂි ඉතිරි කරන්න. ඒක නිසා නැති කරලා දානව නෙ. ඔයාගෙ අම්මයි, තාත්තයි දෙන්නා ඇවිත් මාව හමු වුණා ඒ දවස්වලම. උපාලි මාව බලන්න එන්න. මට ඔයාව දකින්න ඕනෑ. ඔයා විවාහ වුණාද?

උපාලි: ඔව් ෆාදර්. මම 1995දි විවාහ වුණා. මට දරුවො දෙන්නෙක් ඉන්නවා.

පියතුමා: හරිම සතුටුයි මට. හොඳින් කල්පනාවෙන් වැඩ කරගෙන ඉන්න. දන්නවනෙ අපේ රටේ හැටි. දෙවි පිහිටයි!

අප හමු වීමෙන් මසකට පමණ පසු පිළිකා රෝගයෙන් ඔත්පළ වූ පියතුමා ස්වර්ගස්ථ විය. ඊට ප්‍රථම උපාලි බිරිය, දරුවන් හා ඥාතීන් සමඟ පියතුමා බලන්නට ගාල්ලේ සෙමනේරියට ගොස් තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division