ජීවිතේ සතුට, සැපත ගැන දාර්ශනිකව හිතන්නට උත්සුක වන සේපියන්ස් ගොයියාට නානාප්‍රකාර සිතිවිලි පහළ වෙයි; ඒවා හැකි පමණ විද්‍යානුකූලවත් ශාස්ත්‍රීයවත් කියවාගනිමින්, විශ්ව අවකාශයේ සිතියම්ගත කරගැනීමටත් කල්පනා කරයි. එය අපූරු වැඩකි. සේපියන්ස් ගොයියා ජීවිතයේ සතුට ගැන අවුලන අදහස පාඨක ඔබ සමඟ බෙදා හදාගනිද්දී ඔබගේ අවිඥානක මනසද, ඒ සමඟ සිංක්‍රොනයිස් (Synchronize) වී, නැත හොත්, සමමුහුර්තනය හෙවත් සමපාතව සහකම්පනය වන්නට පටන් ගනු ඇතැයි සිතේ.
“ඔය කයිය ගහන උදවියගෙ දාර්ශනික කතන්දර සියල්ලම, ප්‍රශ්නය තමන්ගේ නොවන තුරුය, ප්‍රශ්නය තමාගේ ඔඩොක්කුවටම වැටුණාම ඔය දාර්ශනික කතා ලොවෙත් නැතිය,” යනුවෙන් ප්‍රචලිත අදහසක් තිබේ.
එය වූකලි, දාර්ශනික චින්තාවන්ගේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳ කෙරෙන සාහසික අනතුරු ඇඟවීමකි. එහි යම් සත්‍යතාවක් තිබිය හැකිය. එහෙත්, තමාගේ දාර්ශනික භාවිතාව, ප්‍රායෝගිකත්වයේදී ජීවන මිසරිය හෙවත් ජීවන ඛේදවාචකවලදී කුඩුපට්ටම්ව සුන්නද්ධූලි වී ගිය ද, එතුවක් ප්‍රගුණ කරන දාර්ශනික භාවිතාවේම ඇලී ගැලී ජීවිතය භුක්ති විඳීමට සේපියන්ස් ගොයියා අදිටන් කරගෙන සිටී.
ඊට හේතුව නම්: දාර්ශනික භාවිතාවක් නැතිවම, යන්නං වාලේ මෙලෝ රහක් නැති ජීවියකු ලෙස ජීවන ඛේදවාචකවල ගිලී මියැදෙනවාට වඩා, දාර්ශනික සංකල්ප ඇසුරු කරමින් ලබාගන්නා වූ අභ්‍යන්තර ශක්තිය යන්තමින් හෝ සහනයක් ගෙන දෙතැයි යන පරම විශ්වාසයය. ප්‍රශ්නය ආ මොහොතේ කලබගෑනියක් වුවද, ප්‍රශ්නයෙන් ගොඩ එන්නට, කාලයත් සමඟ පොරබදන විට දාර්ශනික චින්තාවන් තරම් සිහිල් පැන් ලොවෙත් නැත.
ඒ අනුව, ප්‍රශ්නය ඇවිත්, දාර්ශනිකත්වය මකබෑවී ගියද, එතෙක් දාර්ශනික චින්තාවට ආලය කිරීම සැපතකිය.
කෙසේ වෙතත්: සතුට යන මනෝභාවය ගොඩනඟාගැනීම පිණිස වූ භෞතික සාධක කොතරම් වැදගත් වේදැයි යන්න කල්පනාවට එයි. ‘මට ඩොලර් මිලියන ගානක මුදලක්, වත්කමක් තිබුණොත් මේ මේ අවශ්‍යතා පිළිවෙළින් සපුරාගෙන සතුට උදා කරගන්නෙමැයි,’ ඉඳහිට සේපියන්ස් ගොයියා යටිහිත සමඟ කියවයි.
එහෙත්, ඒ සමඟම, ඒ තරම් මුදලක් පහසුකමක් තිබුණ පලියටම, නුඹට ජීවිතයේ සතුට ලද හැකිද? ඒ පහසුකම් ලද සැණින් සහ යම් කාලසීමාවක් යන තුරු පවතින සතුට, ඒ මත උද්ගතවන අලුත් ප්‍රශ්න සමඟ බරපතළ අකරතැබ්බකට පත් වීමටද හැකිය.
එහෙත්, මේ මානව ග්‍රහලෝකයේ ජීවත් වීමට, යම් ආදායමක්, මිල මුදලක්, වත් පොහොසත්කමක් අවශ්‍යය. ඒ මොකද කියනවා නම්: ජීවිතයේ මූලික අවශ්‍යතාද, මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලියේ පියවරින් පියවර වත්මන් මානව ජීවන තත්ත්වය උසස් කරගනිමින් ප්‍රශස්තව ජීවත්වීමට මිල-මුදල්, වත්කම් අවශ්‍යය. මේවා සමහරුන්ට උපතින්ම ලැබේ. උපතින්ම ඒවා ලැබුණ අය වඩාත් වාසනාවන්තයන් ලෙස පෙනුණද, අමාරුකම් මධ්‍යයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දී අධ්‍යාපනය, දැනුම, පළපුරුද්ද, උත්සාහය ඔස්සේ ඒවා ලබාගැනීමේන් පසු ඇති වන අමුතුම විශ්වසනීය සතුට මෙන්ම වටිනාකමක්ද ඔවුන්ට නැති විය හැකිය.
ඒ නිසා, තමන් සිටින තත්ත්වය ගැන හිතකඩා වට්ටා ගන්නවවාට වඩා එය, ධෛර්ය උපදවාගැනීමට හේතුවක් කරගැනීම වැදගත්ය. එසේම: බාහිර සම්පත් එක්රැස් කරගනිමින් සමෘද්ධිමත්භාවයට පත් වීම සේම, ඒවා කළමනාකරණය කරගනිමින් මේ ජීවන අවකාශය යහපත්ව ගෙවාදැමීමද තවත් සුවිශේෂ අභියෝගයකි.
මේ සියල්ල සලකා බැලූ කල, පුද්ගලයකුගේ සතුටට බලපාන බාහිර සාර්ථකත්වය ළඟා කරගැනීම පිණිස තනිකරම පුද්ගල ගුණය, අධ්‍යාපනය, දැනුම හා කුසලතා, උත්සාහය ආදි බොහෝ ගුණාංග ප්‍රගුණ කරගත යුතුව ඇත.
ජීවිතය සාර්ථකත්වයට පත් කරගැනීම සහ සතුට උදා කරගැනීම යන කාරණා දෙක එකට ගැටගසා තල්ලු කරගෙන යෑමට සේපියන්ස් ගොයියා කැමැතිය. ජීවිතය සාර්ථක වීම යන්න සතුට සමඟ ඍජුව බද්ධ වී ඇතැයි සේපියන්ස්ට සිතෙයි.
මෙලොව සේපියන්ස් කෙනකු ලෙස කොහේ ඉපදුණත්, කල්පනා කළ හැකි මොළයක් පිහිටා තිබේ නම්, කැමති ඕනෑම කෙනකුට මේ මොහොතේ සිට සිය ජීවන පරිවර්තනය කර ගනිමින්, සතුට සොයා යෑම අර්ථාන්විතව සපුරාගත හැකියැයි සිතේ.
ඒ සඳහා අංක එකටම අවශ්‍ය, සිය ජීවිතය සාර්ථකත්වය කරා ගෙනයෑම පිණිසම වූ, ඒ පුද්ගලයා සතු සිය බලවත් ඕනෑකම (strong desire) ය. දෙවැන්න ඒ සඳහා වූ, නොපසු බස්නා අධිෂ්ඨානය (unwavering determination) හා උත්සාහය (courage) ය.
එසේම, දත් දෙයින් නොදත් දේට යන ගුණය පිහිටන කෙනා, තමන්ට තිබෙන දත්ත තොරතුරු ඇසුරෙන්, ඒවා එක එක පිළිවෙළට සකසමින්, විවිධ අරුත් මතු කරගනිමින් වඩා අලුත් අදහස් උපදවයි. එය දියුණු සේපියන්ස් කුසලතාවකි. තමා නොදන්නා දියුණු ක්ෂේමභූමි සොයා ඇදෙන යාත්‍රිකයෙකි.
සමහරු අනුන්ගේ කුඩා ඇදපළුද්දක් දැක, විවිධ කටකතා ගොතමින් මහා කලබගෑනියක් කරයි. එය අමන, නපුරු, තුච්ච ගුණයකි. එහෙත්, ඒ තැනැත්තාගේ ඒ හැකියාව, ඔහුට ධනාත්මක ලෙස, තමාගේ අභිවෘද්ධිය සඳහා පරිවර්තනය කරගන්න සිතන්නේ නම් එය වාසනාවක් වනු ඇතිය.
නැත හොත්, දත් දෙයින් නොදත් සුන්දර ඉසවුවකට පියඹන සේපියන් කෙනකු වීමේ විභවය ග්‍රහණය කරගනියි.
තමන්ට අවශ්‍ය සම්පත්, වඩා උසස් රැකියාවක් සමඟ ඉහළ ජීවන තත්ත්වයක් ඇති කරගැනීමට, ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබාගැනීම ඉවහල් වෙයි. පවතින අධ්‍යාපන ක්‍රමයත්, ලැබෙන අධ්‍යාපනික අවස්ථා හරහා හැමෝම එක පොදියට ගමන් කරයි. එහෙත්, ‘ඉගෙනීමට ඉගෙන ගන්නා’ (Learning to learn) ගුණය පිහිටන පුද්ගලයා අපූරු සුවිශේෂ ජීවන ගුණ වර්ධනය කරගනියි.
එවැන්නා, තමා ලබාගත් සාක්ෂරතාව භාවිත කර විවිධ පොතපත, අන්තර්ජාලය ආදි අවස්ථා උපයෝගි කරගෙන විවිධ භාෂා කුසලතා, තාක්ෂණික කුසලතා අත් කරගනී. ඉංග්‍රීසි බස වැනි අන්තර්ජාතික බසක් යන්තමින් හෝ අතපතගාන්නට පටන්ගත් එවැනි චරිත, ඒ හරහා කේතනය කර ඇති දැනුම විකේතනය කරගනිමින් දියුණු සේපියන්ස්ලාගේ ඉසවු තරණය කරති.
කොතරම් අවස්ථා තිබුණත් සමහරු ඒවායින් නිසි බුද්ධිමය පල නෙළාගැනීමට අපොහොසත් වෙති. ඒ, ඔවුන්ට, ‘ඉගෙනීමට ඉගෙනීම’ නමැති ගුණයත්, මේ මනුස්ස ලෝකයේ දියුණු මානව ගොදුරුබිම් අතික්‍රමණය කිරීමට අවශ්‍යතාවක් හෙවත් ස්වයං ඕනෑකමක් හෝ ඒ ගැන කිසිදු අදහසක් පහළ වී නැති නිසා විය හැකිය.
එහෙයින්, සේපියන්ස් කල්පනා කරනුයේ, මෙවැනි අදහසක්, ඇස ගැටෙන ඕනෑම සබුද්ධික සහෘදයකු, ඉන් නිසි පල නෙළාගනු ඇතැයි කියාය. ඔබ ගුරුවරයකු නම්, දරුවන්ට හැම දේම අඟලක් නෑර උගන්වන්නට යෑම නමැති අපරාධය නොකළ යුතුය. දරුවා තුළ ‘ඉගෙනීමට ඉගැන්වීම’ යන කුසලතාව ඇති කරන ලෙස අභිප්‍රේරණය කිරීම තුළින්, ගුරු භූමිකාව මගින් කියා දිය නොහැකි සීමාද දරුවන් අතික්‍රමණය කරනු ඇතිය.
ගුරුවරයකු හෝ වැඩිහිටියකු ලෙස අප හැම දෙනද, අලුත් දැනුම උකහාගන්නවා මෙන්ම යමක් ඵලදායිව, අලුත් විදියකට සිදු කරන ක්‍රම සහ විධි ගැන නිරන්තර දාර්ශනිකව සිතිය යුතුය.
ශ්‍රී ලංකාවේ පාසල්වල සැම විෂයකටම පෙළපොත් ඇත. රජය වාර්ෂිකව ඒ සඳහා විශාල පිරිවැයක් යොදයි. එහෙත්, ගුරුවරයාගේ කටින්ම පිට වන වචනය හැර, ඒ පෙළපොත් කියවා ස්වයං අධ්‍යාපනයක් ඔස්සේ යමක් ග්‍රහණය කරගනිමින් දියුණු වන දරුවන් ඇත්තේ අතළොස්සකි. එහි වරද ඇත්තේ ගුරුවරුන්ගේමය.
ඔබ සුපිරි ගුරුවරයකු නම්, තමා උගන්වන විෂයයෙහි පෙළපොත ස්වයංව අධ්‍යයනය කර, ඒ පාඩමම ගුරුවරයාට පෙරළා ඉගැන්වීමට සමත් මට්ටමට, ඉගෙනීමට ඉගැන්වීමේ මූලධර්මය දරුවන් තුළට ඇතුළු කළ හොත්, ගුරුවරයාගේ ආතතියෙන් අඩක්ද සංසිඳෙයි.
‘ඉගෙනීමට ඉගෙනීම’ (L2L) යනු ඵලදායි සහ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නකු වීමට අවශ්‍ය කුසලතා, උපාය මාර්ග සහ ආකල්ප ලබාගැනීමේ ක්‍රියාවලියකි. එය නිශ්චිත තොරතුරු අවශෝෂණය කරනවාට වඩා, ඔබ හොඳින් ඉගෙන ගන්නා ආකාරය, ඔබම අවබෝධ කර ප්‍රතිඵල නෙළාගැනීමකිය. තොරතුරු සංවිධානය කිරීම, කාලය කළමනාකරණය කිරීම සහ අභියෝග හරහා නොනැසී පැවතීම සඳහා උපායමාර්ග වර්ධනය කිරීම එම කර්තව්‍යයට අයත් කාරණාය.
මෙය, අභිසංජානන (metacognitive) කුසලතාවකි. එනම්: ඊටම ආවේණික වූ ශක්තීන්, දුර්වලතා සහ කැමැති ඉගෙනුම් ශෛලීන් ඇතුළු තමන්ගේම සංජානන ක්‍රියාවලීන් පිළිබඳ ඇති කරගන්නා වූ සුපිරි දැනුවත්භාවයකි. එය ස්වයං අධ්‍යක්ෂණ ඉගෙනීම (Self-Directed Learning) ලෙසද හැඳින්වේ. එමඟින්, තමා විසින්ම යම් ප්‍රබුද්ධ ක්‍රමවේදයක් ඔස්සේ හසුරුවාගනිමින් කෙරෙන අධ්‍යාපනයක් බව කියවෙයි.
තමන්ට කිසියම් ඉලක්කයක් තිබේ නම්, ඒ සඳහා අවශ්‍ය විවිධ ඉගෙනුම් සම්පත් එකින් එක ළං කරගනිමින්, ඒවා හැදෑරිය යුතු ආකාරය සම්බන්ධ සුදුසු උපාය මාර්ගද තෝරාගනිමින් කටයුතු කිරීම දක්වා මෙය දියුණු කරගත හැකිය.
කෙසේ වෙතත්, දියුණු සේපියන්ස් කෙනකු වීමේදී ඔහු කණ්ඩායමක් විධියට සෙසු අය සමඟ ඵලදායිව කටයුතු කිරීමේදී තමා සතුව තිබිය යුතු සහකම්පනය, බෙදාහදාගැනීම, සාධාරණ බව ආදි පෞද්ගලික ගුණාංගද නිරීක්ෂණය කරමින්, නොදන්නා දේ දන්නා අයකුගෙන් හෝ අසා දැනගැනීමෙන් හෝ පර්යේෂණාත්මකව සොයා විමසා බැලීමෙන්ද තම අරමුණු කරා යා හැකිය.
යුනස්කෝ අධ්‍යාපන සංකල්පයන්ට අනුව, කිසිවකු විසින් සිය, ජීවිත කාලය පුරා ලබන අධ්‍යාපනය පදනම් වන්නේ ප්‍රධාන කුලුනු හතරක් මතය. එනම්, 1. දැන ගැනීමට ඉගෙනීම, 2. කිරීමට ඉගෙනීම, 3. එකට ජීවත් වීමට ඉගෙනීම සහ 4. තමා යමකු බවට පත් වීමට ඉගෙනීම වශයෙනි. මෙමඟින් පුළුල් පරාසයක වූ සාමාන්‍ය දැනුම හෝ විවිධ දර්ශන ඒකාබද්ධ කිරීමෙන් දැනුම හෝ අවබෝධය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
එහෙයින්, හිතන අයට හිතන්නත්, පරිවර්තනය වන්නට හිතන අයට පරිවර්තනය වීමටත්, අවස්ථාව උදා වී ඇතැයි සේපියන්ස් ගොයියා යෝජනා කරන්නේ හදපිරි බැතිනි.