Home » පාළුව මුසු වූ ආදරණීය හැඟීමකින් වෙළී ගිය ප්‍රින්සස් දූපත්

පාළුව මුසු වූ ආදරණීය හැඟීමකින් වෙළී ගිය ප්‍රින්සස් දූපත්

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

මා ඉස්තාන්බුල් නගරයට අමුත්තකුව සිටි මුල් කාලයේ දවසක් කොණ්ඩය කපන්න ගිය විට කරනැවෑමියා මා කුමන රටකින්ද කියා ඇසුවේය. ප්‍රශ්නය යන්තමින් තේරුණ බැවින් මම “ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…” කියා කීවෙමි.

ඔහු සතුටට පත්ව “අඩා? අඩා?” යැයි ප්‍රශ්නයක් අසන්නාක් මෙන් විමසුම් බැලුම් හෙළීය. මා හිතුවේ එය ඔවුන්ගේ ආමන්ත්‍රණ විලාශයක් කියාය. එහෙත් ඉන් ටික කලකට පසු ‘අඩා’ යන තුර්කි වදනේ තේරුම ‘දූපත’ යන්න බව ඉගෙනගන්නට ලැබිණි.

එදා ඔහු මගෙන් අසා තිබුණේ ‘ශ්‍රී ලංකාව කියන්නේ දූපතක්ද?’ කියාය. ඒ වගේම දූපත් කිහිපයකට එබසින් කියන්නේ ‘අඩාලාර්’ කියලයි. විශාල ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටනයට ‘අඩාලාර්’ නම් වූ උපනගරයක් හෙවත් දිස්ත්‍රික්කයක් තිබෙයි. මේ දිස්ත්‍රික්කය සමන්විත වන්නේ ‘මර්මරා’ මුහුදේ පිහිටි කුඩා කුඩා දූපත් කිහිපයකිනි. මේ සමඟ ඇති සිතියමේ පෙනෙන පරිදි ඉතා පටු බොස්පරස් මුහුදු තීරය ආසියානු හා යුරෝපීය මහාද්වීප දෙකට ඉස්තාන්බුල් නගරය භූගෝලීයව වෙන් කරයි. ඒ අනුව අඩාලාර් හෙවත් ඉස්තාන්බුල් නුවරට හිමි දූපත් මාලාව යන්තමින් ආසියානු මහාද්වීපයට අයත් වෙයි.

මේවා ප්‍රසිද්ධ princes’ Islands හෙවත් Islands of Princes’ ය. දූපත් නවයකින් සමන්විත කුමාරවරුන්ගේ දූපත් මේ වන විට බොහෝ සංචාරකයන් නිවාඩු ගත කරන්නට යන තැනකි. මුළු දූපත් සමූහයේම තරම වර්ග කිලෝමීටර් එකොළහක් පමණ වන අතර, ස්ථිර පදිංචිකරුවන් ප්‍රමාණය දහහත්දහසක් පමණ වෙයි. එහෙත් ගිම්හාන සමයේ ඇදී එන විශාල ගණනක් වූ සංචාරකයන් නිසා මේ ජනගහනය දෙගුණ වෙයි. සමහර නිවාස වෙනත් නගරවල ජීවත් වන, යහමින් මුදල් හදල් තිබෙන වැසියෝ සිය නිවාඩුව ගත කිරීම සඳහා පමණක් යොදා ගනිති. මේ දූපත් නවය අතුරින් ජනාකීර්ණ වී ඇත්තේ දූපත් හතරක් පමණි. ඒවා නම් බුයුක් අඩා, හෙයිබලි අඩා, බුර්ගස් අඩා හා කිනලි අඩාය. තවත් කිහිපයක් පෞද්ගලික හිමිකරුවන් සතුව පවතී.

අපි පසුගිය සති අන්ත සෙනසුරාදාවක මින් එක් දූපතක හෝටලයක් වෙන් කර ගත්තෙමු. ඉස්තාන්බුල් ආසියානු කොටසට මෙට්‍රෝ රියෙන් ගිය අපි එතැන සිට ෆෙරී බෝට්ටුවක නැඟී ‘බුයුක් අඩා’ හෙවත් ලොකු දූපතට ගියෙමු. එහෙත් අප දූපතට ගොඩ බැස වෙරළාසන්න කුඩා නගරයේ ඇවිදිද්දී නැවත වරක් අපේ හෝටලයේ ලිපිනය බැලුවෙමු. එය ‘බුයුක් අඩා’ නොව ‘හෙයිබලි අඩාහි’ තිබෙන්නක් බව දුටුවේ එවිටය. අප කලබල වුණත් මේ දූපත් අතර ගමන සඳහා නිරන්තරයෙන් යන එන ඉතා ක්‍රමවත් බෝට්ටු සේවා තිබෙන බව දැන ගන්නට ලැබුණෙන් අපි නැවතත් ජැටියට ගොස් මීළඟ ෆෙරි බෝට්ටු එන තුරු නිදහස් වෙරළ තීරයේ ඔබ මොබ ඇවිද්දෙමු.

1929 සිට 1933 දක්වා මේ දූපතේ සිටි විශේෂ අමුත්තකු ගැන ඒ අතරතුරේ අපි කතා කළෙමු. සමහර විට ඔහුද හැන්දෑ වරුවල අප මෙන්ම මේ වෙරළ තීරයේ නිවාඩුවේ ඇවිදින්න ඇත. ඉන් පසු යළිත් සිය පිටුවහල් මන්දිරයේ කුටියට වැදී, ‘සෝවියට් විප්ලවය’ පොතේ පිටු ලියන්නට ඇති. ඔහු අන් කවරකුවත් නොව ඔක්තෝබර් විප්ලවයේදී ලෙනින් සමඟ එක හා සමානව නායකත්වය දැරූ ලියොන් ට්‍රොට්ස්කිය. ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින් විසින් ඔහු මුලින්ම කසකස්ථානයේ ‘අල්මා අටා’ නගරයේ නිවාස අඩස්සියට දමන ලදි. ඉන් පසු ඔහු රටින්ම පිටුවහල් කරදැමුණු අතර, මුලින්ම පදිංචි කරවූයේ මේ කුඩා දූපතේය. ඒ ඉන්නා අතරවාරයේදී ට්‍රොට්ස්කි විසින් ‘මගේ ජීවිතය’ හා ‘රුසියානු විප්ලවය’ යන පොත් දෙකත්, තවත් ප්‍රසිද්ධ ලියකියවිලිත් සම්පාදනය කර ඇත.

නොබෝ වෙලාවකින් අපේ ගමනාන්ත දූපත කරා යන ෆෙරි බෝට්ටුව පැමිණියෙන්, අපි රමණීය බුයුක් අඩා දූපතෙන් සමු ගත්තෙමු. අපේ නවාතැන තිබුණු ‘හෙබලි අඩා’ විශාලත්වයෙන් දෙවැනි වූ දූපතයි. මගී යාත්‍රාවෙන් බැස මඳ දුරක් යද්දී ඉතා නිස්කලංක ග්‍රීක ගෘහ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය වූ කුඩා නිවාස පෙළක් අතර තිබූ අපේ කුඩා හෝටලය හමු විය. එය ඉතා කුඩා තුන්මහල් නිවෙසකි. අපට ලැබුණේ එහි ඉහළම මහලයි. කවුළු හැර බැලූ විට දුටුවේ ඉතා කුඩා අලංකාර නිවාස පෙළකි. ඒ නිවාස සියල්ල මුලින් ග්‍රීක ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද ඒවාය. ගෘහ අභ්‍යන්තරයද ඉතා අලංකාර ගෘහභාණ්ඩ හා සැරසිලි සමඟ සරල ලෙස නිර්මාණය කර තිබිණි. මෑතක් වන තුරු මේ දූපතේ සිටි බහුතර ජනතාව ග්‍රීක ජාතිකයන් වූ නිසා මේ සංස්කෘතික උරුමය ලැබී ඇත. පසුගිය සියවසේදී මේ ජනගහන සංයුතිය වෙනස් වී තිබුණි. මෙහි ඇති සංස්කෘතික අනන්‍යතාව ග්‍රීසියට සම්බන්ධය.

1844දී ඉදි කළ හල්කි සෙමනේරිය මේ දූපතේ පිහිටි ප්‍රසිද්ධ ගොඩනැඟිල්ලකි. 1844 සිට 1971 දක්වා දේවධර්මය ඉගැන්වූ ග්‍රීක උසස් අධ්‍යාපන ආයතනයක් වූ එය අදටත් ඉතා හොඳින් නඩත්තු කරගෙන යනු ලැබේ. හැරී පොටර් කතාව කියවද්දී හිතේ මැවෙන පරණ විද්‍යාල පන්ති කාමර හා ගෘහ උපකරණ වැනි දෑ තාමත් සුරක්ෂිතව එහි තිබේ. ඉතා හොඳ නිස්කලංක සන්ධ්‍යා වරුවක් අපට ගත කරන්න ලැබුණේ මේ දූපතේ කිසිදු පෞද්ගලික මෝටර් රථයක් නොවුණු නිසාය. කුඩා නගරයේ වීදී පුරා හා කඳුකර මාර්ගවල මගීන් ගෙන යෑමට කුඩා ඉලෙක්ට්‍රික් බස් රථ කිහිපයක් යොදවා තිබූ අතර, ඉතා කුඩා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ කිහිපයක්ද නැව්තොටේ මගීන් එන තුරු බලා සිටියේය.

ඉන්ධන දහනයෙන් දුවන වාහන කිහිපයකට අවසර ලැබී තිබුණේ නගර සභාවේ නඩත්තු හා පිරිසුදු කිරීම් කණ්ඩායමට පමණි. මේ මෝටර් රථ තහනම නිසා අඩාලාර් දිස්ත්‍රික්කය ශබ්ද හා වායු දූෂණයෙන් සෑහෙන දුරට බේරී තිබිණි. පසුවදා දවස පුරා අප කඳුකර මර්ගවල ඇවිදිමින් කුඩා මල්පිරි තණපිටි හා ඉන් ඔබ්බෙන් පෙනෙන දර්ශනීය වෙරළ තීරය නරඹමින් විවේක සුවයක් ලැබුවෙමු.

කුඩා දූපත් නගරය තිබුණේ ජැටියට ආසන්නවය. තැනින් තැන කුඩා කඩවල බයිසිකල් හා එලෙක්ට්‍රික් ස්කූටර් කුලියට ගන්නට තිබිණි. මේ බයිසිකල් කුඩා රෝස පැහැ වේවැල් බාස්කට් එකකින් හා මල් පොකුරකින් සරසා තිබිණි. හුරුබුහුටි යෞවන යෞවනියෝ මේ බයිසිකල් කුලියට ගෙන, නගරය හා දූපත වටා ඇති මාර්ගවල සමනල රෑන් මෙන් පියඹා යති. බයිසිකලයත් සමඟ තරුණියන්ට හිස පලඳින මල් සැරසිල්ලක්ද ලැබෙයි. ඒ දසුන හරිම පියකරුය.

අපි කුඩා ඉලෙක්ට්‍රික් බසයේ නැඟී කඳු මුදුනේ පිහිටි සෙමනේරිය ළඟට ගොස් එය නරඹා, පයින්ම පල්ලම් බැස්සෙමු. ඒ මාර්ගයේ ඉතා අලංකාර ඉපැරණි ලී නිවාස මෙන්ම වික්ටෝරියානු පන්නයේ අලුත් නිවාසද තිබිණි. නගරයට පැමිණ මාළු කොෆ්ටේ සහිත රසවත් දිවා අහරක් ගත් අපි වෙනත් මාර්ගයකින් දූපතේ අනෙක් පැත්ත බලන්නට ගියෙමු. පයින් ගසින් පිරි ඒ මාර්ගයේ තැනින් තැන ගිම්හාන නිවාඩු නිකේතන හා ආපන ශාලා විය. මේ සියල්ල ඉතා පිළිවෙළකට පිරිසුදුව පවත්වාගෙන යන හැටි අපූරුය! අප එහි ගියේ ගිම්හාන සංචාරක සමයට පෙරාතුව නිසා සමහර උද්‍යාන පාළුවට ගොස් තිබිණි. එහෙත්, ඒ පාළුව මුසු වූ ආදරණීය හැඟීමක් මුසුව ප්‍රින්සස් දූපත් යනු අප කැමැතිම ගමනාන්තයක් බව මතකයේ සටහන් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division