මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා සහභාගි විය. මේ නිසා වෙසක් උත්සවය එක්සත් ජාතීන්ගේ දිනයක් ලෙස පත් වූයේ කෙසේදැයි යන්න සොයා බැලීම ඉතා කාලෝචිතය.
බුදුදහම ලෝක ආගමක් ලෙස පිළිගෙන තිබෙන නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අනෙක් ආගම්වලට තිබෙන පිළිගැනීම බුදුදහමට ලැබුණේ නැත. කොටින්ම බුදුදහමේ ඉතා වැදගත් දිනය වන වෙසක් පෝ දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් වත් කර තිබුණේ නැත. මේ කරුණ ගැන නැවත නැවතත් මෙනෙහි කළ නිව්යෝක් බෞද්ධ විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියෝ වෙසක් පෝය දිනය සමස්ත ලෝකයේම නිවාඩු දිනයක් බවට පත් කීරීම කෙසේ හෝ කළ යුතුය යන අධිෂ්ඨානයෙන් ඒ පිළිබඳ යෝජනාව පළමුවෙන්ම නිව්යෝක් බෞද්ධ කවුන්සිලය වෙත ඉදිරිපත් කළහ. එසේ කළ හැකි වූයේ කෙසේ දැයි පැහැදිලි කළ යුතුයි.
වර්ෂ 1974 සිට 1981 දක්වා ලන්ඩන් බෞද්ධ විහාරයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ කුරුණෑගොඩ පියතිස්ස නාහිමියෝ 1981දී නිව්යෝක් නගරය වෙත වැඩම කළහ. ඒ, අමෙරිකානු බෞද්ධ සංගමය මඟින් කළ ආරාධනයක් අනුවය. ඒ අනුව අමෙරිකාවට වැඩම කළ පියතිස්ස නාහිමියෝ නිව්යෝක් බෞද්ධ මධ්‍යස්ථානය ඉදි කොට, 2019 ඔක්තෝබර් 11 දින අපවත් වන තෙක්ම එහි අධීපති ලෙස කටයුතු කළහ.
අමෙරිකානු බෞද්ධ සම්මේලනයේ උපසභාපති වූ උන් වහන්සේ නිව්යෝක් බෞද්ධ කවුන්සිලයේද සභාපති වූහ. වෙසක් පෝය දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කරගැනීම පිළිබඳ තමන් වහන්සේ තුළ පැවැති බලවත් අභිප්‍රාය ඉටු කරගැනීමට මෙය හොඳම අවස්ථාව ලෙස කල්පනා කළ පියතිස්ස හිමියෝ වෙසක් පෝය දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක කළ යුතුය යන යෝජනාව නිව්යෝක් බෞද්ධ කවුන්සිලය වෙත ඉදිරිපත් කළහ.
එහිදී ඒ යෝජනා ඒකච්ඡන්දයෙන් සම්මත විය. අනතුරුව එම යෝජනාව නිව්යෝක් බෞද්ධ කවුන්සිලය මඟින් එක්සත් ජාතීන්නේ මහලේකම් වූ බෘෘටෝස් බෘෘටෝස් ගාලි වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඒ සංගමය ඒ යෝජනාව අමෙරිකානු ජනාධිපති වූ බිල් ක්ලින්ටන් වෙතද නිව්යෝක් ආණ්ඩුකාරයා වෙතද ඉදිරිපත් කළේය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ නියෝජිතයන්ද මේ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. ජනපති ක්ලින්ටන් වෙත මේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ පියතිස්ස හිමි 1998දී ධවල මන්දිරයේදී ඔහු හමු වූ අවස්ථාවේය.
එහෙත් ටික කලක් යන තුරු මේ පිළිබඳ ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබුණු හෙයින් පියතිස්ස නාහිමියන් ඊළඟට කළේ ඒ වසරේ ශ්‍රී ලංකාවේ පැවති ලෝක බෞද්ධ සම්මේලනයේදී වෙසක් දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කළ යුතුය යන යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කිරීමයි.
මේ සම්මේලනයේදී එහි වූ පළමු වැනි යෝජනාව ලෙස එය මේ සඳහා සහභාගි වූ සියලු නියෝජිතයන්ගේ මහත් කැමැත්තෙන් සම්මත විය. ඉන් පසුව ඒ පිළිබඳ කරුණු දැනගැනීමට එවකට බුද්ධ ශාසන අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් ජයකොඩි පියතිස්ස නාහිමි හමු වී සාකච්ඡා කොට ඇත. මෙහිදී පියතිස්ස නාහිමියන් සඳහන් කොට ඇත්තේ මීළඟ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ලක්ෂ්මන් කදිරගාමර් පවත්වන දේශනයට වෙසක් දිනය නිවාඩු දිනයක් කළ යුතුය යන කරුණද ඇතුළත් කරන ලෙසයි. ඒ ලෙසම ලක්ෂ්මන් කදිරගාමර් සිය දේශනයේදී ඉතා උනන්දුවෙන් මේ කරුණ ඉදිරිපත් කළේය.
ඒ සමඟම පියතිස්ස නාහිමි එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ජෝන් ද සේරම් මහතා ලවා වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ යුතුය යන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරවීය. පියතිස්ස නාහිමි සේරම් මහතා සමඟ පැවැත්වූ පෞද්ගලික හිතවත් බව මේ සඳහා බොහෝ උපකාරි වී ඇත. රටවල් 34ක අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළ එම යෝජනාව එක්සත් ජාතීන් විසින් ඒකච්ඡන්දයෙන් සම්මත කරනු ලැබිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු ආගමික නිවාඩු 10න් 8ක් ක්‍රිස්තියානි කතෝලික හා යුදෙව් ආගමික නිවාඩු දින වෙනුවෙන්ද 2ක් ඉස්ලාමීය නිවාඩු දින වෙනුවෙන්ද වෙන් කර ඇති බැවින් ලෝකයේ තවත් නිවාඩු දිනයක් දීමේ අපහාසුතාව නිසා ලෝකයේ උත්සව පවත්වන දිනයක් වශයෙන් වෙසක් දිනය පිළිගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්තේය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු නිල වෙසක් උත්සවය 2000 මැයි 15 දින පැවැත්විණි.

ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නාහිමි හිටපු ජනපති බිල් ක්ලින්ටන් සමඟ
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මේ ප්‍රථම නිල වෙසක් උත්සවයේ විශේෂ ආරාධිත දේශනය පවත්වන ලද්දේ භික්ඛු බෝධි ස්වාමීන් වහන්සේ විසිනි. පිරිස් පන්සිල් සමාදන් කරවනු ලැබ ඇත්තේ කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් විසිනි. මේ සමුළුවට විශේෂ පණිවිඩයක් නිකුත් කළ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වූ කොෆී අනන් මහතා බුදු රජාණන් වහන්සේගේ සාම පණිවිඩය අද එදාටත් වඩා වැදගත් වන බව සඳහන් කර ඇත.
එසේම, “බුදුන් වහන්සේගේ උතුම් ධර්මය සහ මානව හිතවාදි ඉගැන්වීම් වසර 2,500කට වැඩි කාලයකට පසුවත් දස ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත පිවිතුරු කරන්නා වූ සජීව ආධ්‍යාත්මික සම්ප්‍රදායකට ප්‍රභවය දුන්නේය. අද ලොව බොදුනුවෝ බුදුන් වහන්සේ මානව වර්ගයා වෙත දයාද කළ දයානුකම්පාව අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ පණිවිඩය තුටු සිතින් සිහිපත් කරති,” යනුවෙන්ද එ.ජා. මහලේකම්වරයා සඳහන් කොට ඇත.
මේ කාර්යයේදී පියතිස්ස නාහිමියන්ට ලැබිය යුතු ගෞරවය නිසි ලෙස ලැබී නැතත්, තමාට එවැනි කාර්යයකට නායකත්වය දීමට හැකි වීම ගැන නිහතමානීව ආඩම්බර වන බව උන් වහන්සේ පැවැසූහ.
‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙන් වන බුදුහිමිගේ දහමේ අර්ථය පියතිස්ස හිමියන් කෙරෙන් ප්‍රකට වන බව උන් වහන්සේගේ ජීවන චරිතය ලියමින් එස්. ලීලාරත්න සඳහන් කර ඇත.