සුදු බණ්ඩේ හීන්පොද වැස්සේම හේන රැකීමට යාමට මිදුලට බැස්සේය. ඔහුගේ එක අතක එල්ලාගත් ලබු කැටයක් සහ අනෙක් අතෙහි හුළු අත්තක් ද විය. පොද වැස්සේ හුළු අත්ත අවුළුවා ගත්තේ ද අසීරුවෙනි. කොහේදෝ සිට හැඬූ හූනකුගේ හඬ කන වැකුණ දිලී එනම් ඔහුගේ ආදරණීය බිරිය අඩවන් කළ දොර තුළින් එබී බැලුවාය.
“පොඩියකට ඉඳල පලයන්.”
“ඒ වන විටත් සුදු බණ්ඩේ වැට කඩුල්ල වෙතට දිගු පියවර තබමින් සිටියේය. බිරියගේ හඬ නෑසූ කන්ව ගමන් කළ සුදු බණ්ඩේ හුළු අත්ත ද වනමින් අඳුරට එක්විය.
සුදු බණ්ඩේලා මේ හුරුළුවැව වම් ඉවුර ගොවිජන ව්‍යාපාරයට ඉඩම් ලබාගෙන පැමිණියෝ වූහ. දේශගුණයේ කටුකභාවය නිසාදෝ මෝරා ගිය පෙනුම ඇති දුෂ්කර ජීවිතයකට හුරුවූ සුදු බණ්ඩේ දිලීව සරණපාවා ගෙන වැඩි කලක් ගත වූයේ නැත. දිලී එනම් ඔහුගේ බිරිය ලපටි කැකුලියක වූවාය. කැන්දාගෙන පැමිණ වැඩි දොහක් නැති හෙයින්දෝ තවම දරුවන් පිළිබඳ බලාපොරොත්තුවක් නැති වුණි.
“අනේ මන්දා.” දොර වසා දොර පොල්ල දමා පිටුපස දොර ද වසා පොල්ල දමා දිලී නිදා ගැනීමට සැරසුණාය.
“අද රන් බණ්ඩේ එන එකක් නෑ. වැස්ස නිසා.” දිලී තමාටම කියා ගත්තීය. රන් බණ්ඩේ දිලීගේ තහනම් ආදරයයි.
සුදු බණ්ඩේ හේනේ මුරට යන සමහර රාත්‍රී කාලවල දිලීව මුණගැසීමට රන් බණ්ඩේ පැමිණීම ඉතා සීරුවට වරින්වර සිදුවිය. රන් බණ්ඩේ ශක්තිමත්ය. ගොවිතැන් කටයුතුවලදී කැපී පෙනෙන තාරුණ්‍යය විසින් නිර්වචනය කෙරෙන සහජ ජවසම්පන්නභාවය ඔහුගේ සිරුරෙහි කැටයම් කලා වැනිය. රන් බණ්ඩේගේ පියා ද සුදු බණ්ඩේ සමඟ හුරුළුවැව ආ අයෙකි. පසුව අලි මිනිස් ගැටුමට හසුව ඔහු මිය ගියේය. එම නිසා මුල සිටම රන් බණ්ඩේට සුදු බණ්ඩා මාමා ආගන්තුකයෙකු වූයේ නැත.
අද නම් ගිනිමැල ගහන්න වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මැදියම වෙන කොට වැස්ස තද කරයි. සුදු බණ්ඩේ ගමන අතරට හුළුඅත්ත අවුල්වා ගැනීමට උත්සාහ කර බැරිවුණ තැන එය විසිකර දමා අඳුරේම වනය තුළින් ගමන් කරන්නට විය.
කළුවරේ සිටගෙන සිටින දැවැන්තයෙකු සුදු බණ්ඩාට ඇස ගැටුණේ තරමක් ප්‍රමාද විය. එක මොහොතකට අලියා සිටි ඉසව්වෙන් ඉවතට හැරුණු ඔහු කළුවරේම පණ බේරා ගැනීමට දිව යන්නට විය. ඒ ක්ෂණයකින් සිය සිරුර කරකවා හැරුණු සද්දන්තයා සුදු බණ්ඩේ පසුපස එළවා එන්නට විය. ගස්වල හැපෙමින් වීසි වෙමින් දිවූ සුදු බණ්ඩේගේ හිසෙහි දිරා ගිය ගසක අත්තක් වේගයෙන් වැදුණි. එය යකඩ පොල්ලකින් හිසට ගැසුවා හා සමාන විය. කිසිම දෙයක් ගැන නිනව්වක් නැතුව ගිය සුදු බණ්ඩේ අසිහියෙන් ඇද වැටුණි. පිටුපසින් ළඟ ළඟම පැමිණි අලියා ඊළඟ මොහොතේදී ඔළුව පාගා අතපය ඉරා දමනු ඇත.
කොතෙක් වේලා සිහිසුන්ව සිටියේ ද යන්න නිවැරදි වැටහීමක් තවදුරටත් ඔහුට නොවීය. එහෙත් පාන්දර ජාමයේදී ඔහුට නැවත සිහිය ලැබෙන විට ඔහු සිටියේ විශාල බුරුත ගස මත ඇති ඔහුගේ හේනේ පැලෙහි ලෑලි ඇතිරූ පොළව මතය. දෑස් හැර වටපිට බැලූ සුදු බණ්ඩේට පැල තුළ තමා ඉතා ආරක්ෂාකාරීව සිටින බව වැටහිණි. තමා සමඟ කළුවරේම තවත් අයෙකු සිටින බව වැටහුණු ඔහු කවුද ඔතන ඉන්නේ යනුවෙන් කෑගැසීය. අනතුරුව ඔහු නැගී සිටින්නට උත්සාහ කළේය.
“දැන්ම ඉඳගන්න එපා. තව දසමයක් මම පරක්කු වුණානම් අලියා තමුන්ට ගහනවා.”
“තමුන්නැහැ කවුද?” සුදු බණ්ඩේ බයාදු ලෙස එම තැනැත්තාගෙන් විමසීය.
“කොහොමද මේ පැලට මම ගොඩවුණේ? මාව මෙතනට ගෙනාවේ කොහොමද?”
“මම වෙද මහත්තයා. මතකද මාව?” එම පුද්ගලයා ඇසීය.
“වෙද මහත්තයා මට මතකයි. ඒත් අවුරුදු දහයකට විතර ඉස්සර. වෙද මහත්තයා ගමෙන් ගියානේ.” සුදු බණ්ඩේ කීවේය.
“අම්මේ මට හරි අමාරුයි… වෙද මහත්තයා ඔළුව කැක්කුම තදයි. හරියට සිහියට මොකුත් එන්නෙ නැහැ.”
“හරි හෙල්ලෙන්න එපා. ඔහොම ඉන්න.” වෙද මහත්තයා යැයි කියූ පුද්ගලයා ඔහුගේ ඔලොගුවකින් යාන්ත්‍රික මෙවලමක් ගෙන සුදු බණ්ඩේගේ හිසට ඉහළින් ඇල්වීය. ක්‍රමයෙන් හිසරදය තුරන් වන ආකාරය ඔහුට දැනුණේ මහත් අස්වැසිල්ලක් දෙමිනි.
“අපේ ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ වෙද මහත්තයා මළා කියලා. තමුන්නැහැ මේ වෙලාවෙ මාව බේරාගන්න ඔතනට කඩාපාත් වෙච්ච එකනෙ පුදුමේ. දැන් වටින් ගොඩින් එළිය වැටීගෙන එන්නෙ. මට දැන් හොඳටම වෙද මහත්තයා අඳුනගන්න පුළුවන්.” සුදු බණ්ඩේ හිටගෙන හේන සිසාරා දෑස් යැවීය.
“විනාශයි. අන්න වල් ඌරන් රිංගලා හේන විනාශ කරනවා.” ඔහු හේනේ ඈත කෙළවර පෙන්වමින් කෑගැසීය.
“ඔහොම ඉඳපන් කලබල නොකර. වෙද මහත්තයා ඔලොගුවෙන් තරමක් දිග විදුලි පන්දමක් වැනි දියුණු විද්‍යාත්මක උපකරණයක් අතට ගත්තේය. එය හරියටම වල් ඌරා සිටි ඉසව්වට අල්ලා ආලෝක ධාරාවක් නිකුත් කළේය. තවදුරටත් හේන කෙළවරේ වල් ඌරකු පෙනෙන්නට සිටියේ නැත.
“මම ඊයේ රෑ අලියට කළෙත් ඕකම තමයි.”
“මට තේරුම් ගියේ නැහැ. ඇත්ත කියන්න වෙද මහත්තයා. තමුන්නැහැ දෙවි කෙනෙක්ද? අවුරුදු දහයක් තිස්සේ ඔබතුමා කොහෙද හිටියේ?”
“සුදු බණ්ඩේ මේවා ගැන උඹට තේරුම් කරන්න අමාරුයි. මේ අහසෙ තරු අතර ගමන් කරන අය ඉන්නවා. මම හිටියේ ඒ අය සමඟ. මීට වසර දහයකට විතර ඉස්සර මම ඒ අය සමඟ එකතු වුණා. ඒ අය තරු අතර ගමන් කරමින් තෝරාගත් ලෝක සංවර්ධනය කරනවා. ශාක, පැළෑටි සහ ඖෂධ ගැන මා දන්නා නිසා ඒ අයට මාව වැදගත් වෙන්න ඇති. ඉතා වැදගත් කටයුත්තක් මට පවරා අවශ්‍ය උපකරණ සහිතව දින පහකට පෙර මාව පෘථිවියට ඇරලුවා.”
සුදු බණ්ඩේ කිසිවක් කීවේ ද නැත. ඔහුට වැටහුණේ ද නැත.
“මම පහුගිය දවස් තුනේ වනසතුන් සිය ගණනක් ගෙනියන්න එකතු කළා. අපේ පෘථිවියට සමාන තවත් ලෝක ඕන තරම් තියනවා. ඒවායෙහිත් සතුන් සහ ශාක වර්ධනය වෙන්න ඕන. ඒ අය ඒ විදියටම තමයි කලකට ඉහත මේ පෘථිවිය නිර්මාණය කළෙත්.”
“සත්තු එකතු කරනවා කිව්වා? කෝ ඉතින් වෙද මහත්තයා එකතු කරගත්තු සත්තු?”
“එකතු කරගත්තු සත්තු නේද?” අන්තිමට එකතු කරගත්තු වල් ඌරව පෙන්නන්නද? අර මඤ්ඤොක්කා හාරපු සතා.”
“පොඩ්ඩක් ඔය බිත්තියට හේත්තු වෙන්න ඉඳගනින්. බය වෙන්න එපා. කලබල වෙන්නැතුව බලා ඉඳපන්.”
වෙද මහත්තයා සිය ඔලගුවෙන් තවත් යාන්ත්‍රික මෙවලමක් එළියට ගෙන ක්‍රියාත්මක කළේය. පැල තුළ දීප්තිමත් අලෝකයක් මතු විය. එය ක්‍රමයෙන් සතෙකුගේ ස්වරූපයට පරිවර්තනය විය. සැබැවින්ම අල හාරමින් සිටි වල් ඌරාගේ ප්‍රතිබිම්බයක් දෘශ්‍යමාන විය.
“ඊයේ සුදු බණ්ඩාට ගහන්න ආපු අලියව පෙන්නන්නද?”
“හොඳයි බලමු.”
ඔවුන් දෙදෙනා ඉදිරියේ අලියෙකුගේ ප්‍රතිබිම්බයක් නිර්මාණය විය.
“ආ මූ තමයි කබර අලියා. මම ඒත් හිතුවා මූ තමයි කියලා. කබරයා මීට කලින් දෙන්නෙක් මරලා තියෙනවා.”
“ආයෙ ඌ මේ ලෝකෙදී මිනිස්සු මරන්නෙ නෑ. මම පහුගිය දවස් තුනට සත්තු ගොඩක් එකතු කළා. නමුත් වැදගත්ම වෙන්නෙ ලිංගික ක්‍රියාවලියෙහි යෙදී සිටින ගැහැනු සතුන් හා පිරිමි සතුන් එක්වරම අල්ලාගන්න එකයි. එවිට අලුත් ලෝකයේදීත් ප්‍රජනන කටයුතු ඒ විදියටම සිදු වෙනවා.”
“දැන් ඔය සතුන්ට පණ තියනවද?”
“නැහැ… ඔවුන් ගබඩා කරන්නේ ශක්තියට හරවලා. අලුත් ලෝකයේදී එම ශක්තිය ස්කන්ධයට හරවලා පූර්ණ සතුන් ඇති කරනවා.”
“මට තරමක් දුරට තේරුණා. එතකොට වෙද මහත්තයත් තරු අතරේ ඉන්නා කෙනෙක්?”
“ඔව්… එහෙම කිව්වොත් වැරදි නැහැ.”
“දැන් උදේ ඉර පායලා. මාත් එක්ක ගමට යමුද? වෙද මහත්තයා දකින්න ගමේ මිනිස්සු බොහොම කැමති වෙයි.”
“ඔව්. එහෙම හොඳයි. යන ගමන් තව සත්තු ටිකක් අල්ලා ගමු. මේ ගැන කිසිම දෙයක් මිනිස්සුන්ට ඉව වැටෙන්න තියන්න එපා සුදු බණ්ඩෙ.”
ඈතින් බල්ලන් බුරන ශබ්දයක් ඇසිණි. මේ දවස්වල බල්ලො රැලේ යනවා. ඈත බල්ලන් පේළියක් ගමන් කරනු දැකිය හැකි විය. පේළියේ ඉදිරියෙන්ම ගමන් කළේ කුඩා බැල්ලකි. ඊළඟට සිටි හොඳින් වැඩුණු බල්ලෙකු බැල්ලියගේ පිට උඩට ගොඩ විය. වෙද මහතා සුදු බණ්ඩේව නතර කර ඔලොගුවට අත දමා විදුලි පන්දම ගෙන සංසර්ගයේ යෙදෙන බල්ලන් දෙදෙනා අල්ලා ගත්තේය. ඔවුන් දෙදෙනා තවදුරටත් පෙනෙන්නට නොසිටියහ.
වෙද මහත්තයා ගමට පැමිණි ආරංචියට මිනිසුන් සුදු බණ්ඩේගේ නිවසට රොක්වන්නට වූහ. පැමිණි පිරිස අතර රන් බණ්ඩේ ද විය.
“යකෝ රන් බණ්ඩේව අඳුරන්නත් බෑනේ. ඉස්සර පොඩි කොල්ලෙක්නෙ. දැන් ගජ ඉලන්දාරියෙක්නෙ.”
“ඔව් මෙයත් එක්ක ඔට්ටු වෙන්න කෙනෙක් ගමේ නැහැ.” දිලී ද සිනහ වෙමින් පැවසුවාය. සුදු බණ්ඩේ අලියාගෙන් බේරී පැමිණි අයුරුත් වෙද මහත්තයා පිළිබඳ කතාවෙන් දවසම ගෙවී ගියේය.
“ඔය ආව කියන්නෙ කබරයාද, තනියද? කබරයා වෙන්න ඕන. ඔතන ඔය වෙලාවට ඉන්නෙ කබරයා තමයි.”
“ඕන්නම් කබරයාව පෙන්නන්න පුළුවනි. සුදු බණ්ඩේ වෙද මහත්තයාගේ ඔලොගුව දෙස බැලීය. වෙද මහත්තයා සුදු බණ්ඩේට රවා අහක බලා ගත්තේය.
“එහෙනම් වෙද මහත්තයා අද රෑ මගේ ගෙදර ඉන්න. මම හේන බලාගන්න යනවා රෑ වෙලා. දැන් කබරයාත් නෑනෙ.”
එදිනද රෑ කාලයේ සුදු බණ්ඩේ නිවසින් පිටත් විය. වෙද මහතා සහ සුදුබණ්ඩේ කඩුල්ල ළඟ නතර විය.
“එහෙනම් මම හෙට පාන්දර පිටත් වෙනවා. විශ්වයේ යානා පාන්දර ජාමයේ පැමිණේවි. සංවාසයේ යෙදෙන සතුන් ජෝඩු ගණනාවක් මා ළඟ තියනවා. ඒ හැමෝම වෙනත් ලෝකයක් ජනාවාස කරාවි.”
වෙද මහත්තයාට නිදා ගැනීමට නිවස තුළ ඇඳක් පිළියෙල විය. ඔහු නින්දට වැටුණි. මැදියම් රැය කැලෑ ඉසව්වෙන් බළලෙකු කෑගසනු ඇසුණි. දිලී තිගැස්සී අවදි විය. ඔය සද්දෙ දාන්නෙ රන් බණ්ඩේ. ඇඳිවත තද කර ගත් දිලී වෙද මහතාගේ කාමරයට එබී බැලුවාය. වෙද මහතා තද නින්දේය. දිලී සීරුවට පිටුපස දොරෙහි පොල්ල පන්නවා අඩවල් කළ දොරෙන් අඳුරට මුසු විය. වත්ත කෙළවරේ පලුගහ ළඟට කළුවරේම අඩි පියමං කළ දිලී ගස යට සිටින මිනිස් ඡායාව අඳුනා ගත්තීය.
“රන් බණ්ඩේ වැඩිවෙලා ගන්න බැහැ. වෙද මහත්තයා ගෙදර නිදි.”
“මම දන්නවා. ඒත් ඉතිං හමු නොවී ඉන්න බැරි වුණා. ඔය කෙහෙල්මල් රෙද්ද දීපං. දැනට මේ ගහ යට එළා ගනිං.” කළුවරේ සීතලට දිලී රන් බණ්ඩේගේ සිරුර තුළ උණුසුම් වන්නට විය.
වෙද මහතාට නින්ද ගියේ නැත. දිලී නිවසින් යනු වෙද මහතා ද දිටීය. ඔහු ඔලොගුව ද රැගෙන ශබ්ද නොනඟා දිලී පසුපස ගියේය. තරමක් දුරින් වෙද මහතා නතර වී පලුගස යට සිටින දෙදෙනා දෙස බලා සිටියේය. අනතුරුව ඔලොගුවෙන් විදුලි පන්දම වැනි මෙවලම අතට ගෙන රන් බණ්ඩේ සහ දිලී වෙත එල්ල කර ක්‍රියාත්මක කළේය.
අලුත් ලෝකයට ඔක්කොම ලැබිලා තිබුණා. ආදම් සහ ඒවා විතරයි අඩුවකට තිබුණෙ. අනිත් අතට සුදු බණ්ඩේට ඔහොම ගෑනියෙකුගෙන් වැඩකුත් නැහැනේ.
වෛද්‍ය
බන්දුල සිරිවර්ධන