Home » දකුණු ආසියාව එළිය කළ වියට්නා‍ම් සාඩම්බරය

දකුණු ආසියාව එළිය කළ වියට්නා‍ම් සාඩම්බරය

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment
ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපති ලූ ඕං කූ ඕං සමඟ

නාධිපති අනුර කුමාර දිසානායක වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං ගේ ආරාධනය පරිදි වියට්නාමයේ නිල සංචාරයකට සහභාගි විය. දීර්ඝ කාලයකට පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු වියට්නාමයේ සංචාරය කළ අවස්ථාවක් ලෙස දෙරටම එම අවස්ථාව සඳහන් කර තිබුණි. වියට්නාමය වූ කලී අග්නිදිග ආසියාවේ වේගවත් ආර්ථිකයක් පෙන්නුම් කරන රාජ්‍යයයි. ශ්‍රී ලංකාව වියට්නාමයේ දීර්ඝකාලීන මිතුරෙකි. වියට්නාම් ජනතාව ලොව කිසිම බලවේගයකට යටත් කළ නොහැකි විප්ලවීය ජනතාවක් ලෙස ලෝක ඉතිහාසයට එක්වී ඇත.

ඉන්දු – චීන අර්ධද්වීපයේ නැඟෙනහිර මායිමේ පිහිටි වියට්නාමය 19 වැනි සියවසේ ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් ලෙස පැවතියේය. දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් හමුදා වියට්නාමය ආක්‍රමණය කළේය. වියට්නාම් ජනතාව විප්ලවීය නායක හෝ චිමිං ගේ නායකත්වයෙන් වියට්නාමයේ නිදහස සඳහා වූ සංගමය පිහිටුවාගෙන ජපන් සහ ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පෙරමුණු දෙකක සටන් කළහ.

දෙවන ලෝක යුද්ධයෙන් 1945 දී පරාජය වූ ජපානය වියට්නාමයෙන් තම හමුදා ඉවත්කර ගත් අතර ප්‍රංශය කාඕ කීගේ නායකත්වයෙන් වියට්නාමයේ රූකඩ ආණ්ඩුවක් පිහිටුවීය. පාලනය අල්ලා ගැනීම සඳහා සුදුසුම අවස්ථාව ලෙස එය සැලකූ හෝචි මිං සහෝදරයා උතුරු වියට්නාමයේ හැනෝයි නගරය කේන්ද්‍ර කොටගෙන වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ප්‍රකාශයට පත් කළේය.

1975 අප්‍රේල් 30 අ‍ෙමරිකන් නිලධාරීන් වියට්නාමයෙන් පිටව ගිය අයුරු

1975 අප්‍රේල් 30 අ‍ෙමරිකන් නිලධාරීන් වියට්නාමයෙන් පිටව ගිය අයුරු

ප්‍රංශය කාඕ කී අධිරාජයාට සහයෝගය දුන් අතර රූකඩ ආණ්ඩුවේ මූලස්ථානය ලෙස සයිගොන් නගරයේ දකුණු වියට්නාම් රජය පිහිටුවීය. උතුරු වියට්නාමයේ පාලනය හෝචි මිං සහෝදරයාගේ නායකත්වයෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවාගත් අතර ඔවුහු හැනෝයි නගරය කේන්ද්‍රකොට ගනිමින් වියට්නාමය නිදහස් කර ගැනීමේ සටන් තීව්‍ර කළේය. සෝවියට් දේශයේ සහාය ඔවුන්ට හිමි විය. කාඕ කී ගේ රූකඩ ආණ්ඩුව සහ වියට්නාම් විමුක්ති හමුදා අතර ගැටුම් අවුරුදු දහයක් පුරා ඉදිරියට ඇදී ගියේය.

ඓතිහාසික ඩියෙන් බියෙන් පූ සංග්‍රාමය 1954දී සිදුවූ අතර වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය සටනින් තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ප්‍රංශය පරාජය වූ අතර ඉන්දු – චීනයේ සියවසකට වැඩි කාලයක් පැවති ප්‍රංශ අධිරාජ්‍යයේ යටත් විජිත පාලනය මුළුමනින්ම අහෝසි විය. 1954 දී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුළුවේදී උතුරු අක්ෂාංශ 17 රේඛාව ඔස්සේ බෙදී යන පරිදි උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය

ලෙස දෙරට පැවතිය යුතු බවට ගිවිසුමක් අත්සන් කළේය.

1955දී දකුණ වියට්නාමයේ කාඕ කී පාලනය අවසන් කළ ඇමෙරිකාව දැඩි කොමියුනිස්ට් විරෝධියකු වූ ඩින් ඩියම් පාලකයා බවට පත්

කළේය. ඇමෙරිකන් ජනාධිපති අයිසන් හවර් දකුණු වියට්නාම් රූකඩ ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය පළ කළේය.

ඇමෙරිකන් හමුදා දකුණු වියට්නාමයට සහාය ලබා දුන් අතර අවි ආයුධද

සපයන ලදී. සී අයි ඒ ඔත්තු සේවයේ ආධාර ඇතුව ලක්ෂයකට වැඩි වියට්නාම් තරුණයන් පිරිසක් එම කාලය තුළ අත්අඩංගුවට ගෙන වධ හිංසා කොට ඝාතනය කරන ලදී.

කාඕ කී පාලනයට විරෝධය පෑ දකුණු වියට්නාම ජනතාව වියට්නාම් ජාතික විමුක්ති පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන නිදහස් අරගලයට එළඹියේය. වොෂින්ටන් පාලනය කල්පනා කළේ ඔවුන් හැනොයි රූකඩයක් බවය. 1961දී අමරිකන් ජනාධිපති ජෝන් එෆ් කෙනඩි දකුණු වියට්නාමයේ තත්ත්වය පරීක්ෂා කරනු පිරිස කණ්ඩායමක් යෙදවූ අතර ඔවුන් වාර්තා කර තිබුණේ අග්නිදිග ආසියානු රටක් කොමියුනිස්ට් වාදයට යටත් වුවහොත් තවත් බොහෝ රටවල් ඔවුන් අනුගමනය කරනු ඇත යන ඩොමිනෝ න්‍යායයි. ඒ අනුව දකුණු වියට්නාමයේ කාඕ කී පාලනය මිලිටරි, ආර්ථික සහ තාක්ෂණික සහාය පළ කිරීමට ඇමෙරිකාව තීරණය කළේය.

වියට්නාමයට අමෙරිකන් හමුදා පැමිණීම 1961 වන විට 9000 ක් දක්වා ඉහළ ගියේය. 1964 අගෝස්තු මාසයේදී

වියට්නාම කොමියුනිස්ට් වාදීන්ගේ ටොර්පිඩෝ බෝට්ටු උතුරු මුහුදේ අමෙරිකන් නෞකාවලට ප්‍රහාර එල්ල කළේය. ජෝන් එෆ් කෙනඩි ඝාතනයෙන් පසු බලයට පත් ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිවරයා එක්සත් ජනපද ගුවන්යානා මඟින් උතුරු වියට්නාමයට බෝම්බ හෙළීම ආරම්භ කළේය. ‘ඔපරේෂන් රෝලින් තන්ඩර්‘ යනුවෙන් එය හඳුන්වන ලදි. ඇමෙරිකාව විසින් එක් වසරක් තුළ වියට්නාමයට හෙළන ලද

බෝම්බ සංඛ්‍යාව 6000 දක්වා ඉහළ ගියේය.

1965 මාර්තු මාසය වන විට දකුණු වියට්නාමයේ සයිගොන් පාලනයට සහාය පිණිස පැමිණ සිටි ඇමරිකානු සෙබළුන්ගේ සංඛ්‍යාව 82000 කි. 1965 ජූලි මාසයේදී එම සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩි කළ අතර 1966 දී වියට්නාම් යුද්ධයට තවත් ඇමරිකානුවන් ලක්ෂයක් සහභාගි කරවීය. උතුරු වියට්නාමයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් වියට්නාම් විප්ලවකාරී ආණ්ඩුවේ ජනරාල් නුයෙන් වෑන් තියුගේ

නායකත්වයෙන් උතුරේ ද දකුණේ ද ඇමෙරිකන් හමුදාවලට එරෙහිව දරුණු යුද්ධයක් ආරම්භ කළේය.

රොබට් මැක්නමාරා වියට්නාමයේ අමෙරිකන් හමුදා අණදෙන නිලධාරියා වශයෙන් පත්කර එවීය. ඔහු දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කළේය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය භූමිය නිදහස් කරගන්නවා වෙනුවට හැකිතාක් අ‍ෙමරිකන් සෙබළුන් මරා දැමීම සඳහා දකුණු වියට්නාමය තුළ වියට්කොං සේනාංක මෙහෙයවීය.

එවිට ඇමෙරිකන් රූකඩ ආණ්ඩුව දකුණු වියට්නාමයේ බොහෝ ප්‍රදේශ නිදහස් වෙඩි කලාප ලෙස නම් කරන ලදී. විප්ලවවාදීන් බහුලව ඇතැයි සැක කළ ගම්මාන වටකර කටුකම්බි ගසන ලදි. ඉන්පසුව එම ගම්මානවල විප්ලවාදීන් සොයා ඝාතනය කරන ලදි. වනාන්තරවලට යාබද ගම්මානවලට වහා ගිනි ඇවිළෙන නාපාම් බෝම්බ හෙලූ අතර ගම්මාන ගිනිගෙන දැවී විනාශ විය. සිරුරම පිලිස්සී ගැමියන් සමඟ ඉදිරියට දිව එන නිරුවත් දැරියගේ ලෝක ප්‍රකට ඡායාරූපය ඊට ඇති හොඳම සාක්ෂියයි.

1967 නොවැම්බර් මාසය වන විට වියට්නාමයේ ඇමෙරිකන් හමුදාව ලක්ෂ පහ දක්වා ඉහළ ගියේය. ඇමෙරිකන් සෙබළුන් 15058 ක්

යුද්ධයේදී මරණයට පත්ව තිබුණි. වියට්නාම් යුද්ධය ජයග්‍රහණයෙන් කෙළවර කරන බවට ඇමරිකන් පාලනය

ප්‍රචාරය කළ ද එය ඇමරිකන් ජනතාව විශ්වාස කළේ නැත. 1967 – 1973 අතර කාලයේදී අමෙරිකන් සෙබළු පන්ලක්ෂ තුන්දහසක් පලාගොස් තිබුණි.

වියට්නාම් යුද්ධයට අ‍ෙමරිකානු තරුණයන් බිලිදීමට විරුද්ධව එක්සත් ජනපදයේ විරෝධතා ව්‍යාපාර ආරම්භ වූයේය. ජනරාල් නූලෙන් ගියප් යටතේ අ‍ෙමරිකන් වැසියන් 70000 ක් පෙන්ටගනය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීය. එක්සත් ජනපද ආණ්ඩුව තරුණයන්ට යුද හමුදාවට බැඳෙන ලෙස බල කිරීම නිසා තත්ත්වය තව තවත් නරක් විය. ලෝක ප්‍රකට බොක්සින් ශූර බොහොමඩ් අලි වියට්නාම් යුද්ධයට යාම ප්‍රතික්ෂේප කර

සිර දඬුවම් විඳීම හේතුවෙන් ලෝකය පුරා එක්සත් ජනපද විරෝධී මතයක් ප්‍රචාරය විය.

1968 දී දකුණු වියට්නාමයේ මිලායි ගම්මානයේදී අ‍ෙමරිකන් හමුදාව විසින් නිරායුධ වියට්නාම් වැසියන් 400ක් එකම ස්ථානයකදී ඝාතනය කිරීමට

එරෙහිව ලොව පුරා විශාල විරෝධයක් හට ගත්තේය. 1969 නොවැම්බර් මස 15 වනදා එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම යුද විරෝධී පෙළපාළිය වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වූ අතර ඊට 250000 ජනයා ඊට සහභාගී වූහ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ වියට්නාමයෙන් අමෙරිකන් හමුදා ඉවත් කර ගත යුතුය යන්නය.

1974 මැයි මස 4 වැනිදා ඔහියෝහි කෙන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පැවති උද්ඝෝෂණයකදී සිසුන් හතරදෙනකුට පොලීසිය වෙඩි තබා ඝාතනය කළේය. දින දහයකට පසු මිසිසිපිහි ජැක්සන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුටද පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි. වියට්නාම් යුද්ධයට එරෙහි විරෝධය උත්සන්න වීමට මෙම සිදුවීම් තදින් බලපෑවේය.

1973 ජනවාරි මාසයේදී එක්සත් ජනපදය සහ උතුරු වියට්නාමය අවසන් සාම ගිවිසුමක් අත්සන් කරන්නට එකඟතාවකට පැමිණියේය. ජනවාරි මාසයේදී එක්සත් ජනපදය සහ උතුරු වියට්නාමය සාම ගිවිසුමක් අත්සන් කරන්නට එකඟ වූ නමුත් උතුරු වියට්නාමය සහ දකුණ අතර පැවති යුද්ධය 1975අප්‍රේල් 30 දක්වා පැවතිණි. දකුණු වියට්නාමය තුළ සටන් කරමින් සිටි වියට්කොං ගරිල්ලන්

ද එකතුව වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ හමුදා නගර බිම් යටත් කරමින්

සයිගොන් නගරය දක්වා පැමිණි අතර දකුණේ පාලනය මුළුමනින් බිඳ වටෙන්නට ප්‍රථම අමෙරිකන් හමුදා වියට්නාමය අතහැර පලා ගියහ.

1975 අප්‍රේල් 30 දා දහවල් දකුණු වියට්නාමයේ අමෙරිකන් තානාපති කාර්යාලයේ කොන්ක්‍රීට් වහලය මතට ගොඩබස්වන ලද හෙලිකොප්ටර් යානයකින් දකුණු වියට්නාමයේ අවසන් පාලකයන් සහ අවසන් අමෙරිකන් හමුදා නායකයන් පලා ගියහ. හෙලිකොප්ටරයට නැඟගත නොහැකි වූ සෙස්සෝ අත්අඩංගුවට පත් වූහ. වියට්නාම් විප්ලවය ජයග්‍රහණයෙන් නිමා විය. හෝ චිමිං සහෝදරයා 1969 දී මරණයට පත් විය.

සයිගොන් නගරය හෝචි මින් නගරය වශයෙන් නම් කරන ලදී.

දශක දෙකක් පැවති යුද්ධයේදී වියට්නාම් තරුණයින් මිලියන දෙකක් රට වෙනුවෙන් ජීවිත පූජා කර තිබුණි. මිලියන තුනක් තුවාල ලැබූ අතර මිලියන 12ක් සරණාගතයින් බවට පත් වූහ. 1976 දී වියට්නාම් සමාජවාදී ජනරජය පිහිටුවීය. 1986 නව රජය විසින් පුළුල් නිදහස් වෙළෙඳපොළ ආර්ථික

ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන ලදි. වියට්නාම් ආර්ථිකය වේගයෙන් ගොඩනැඟෙන්නට වූයේය. 1990 දී වියට්නාමය, ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ සහ රාජ්‍ය සබඳතා නැවත ආරම්භ කළේය.

ආර්ථික සංවර්ධන මාවතේ ගමන් ගනිමින් සිටින ගිනිකොණ ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකය ඇති රට බවට වියට්නාමය පත්ව තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division