– මැණික් කිලෝ 46,000ක් ආනයනය කළත් අපනයනය කර ඇත්තේ කිලෝ 1664යි
– මැණික් වෙළෙඳ බැංකුව නමට සීමා වෙලා
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යනු මෙරට මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් නියාමනය මුල් කරගෙන ස්ථාපිත කරන ලද ආයතනයකි. එහෙත් මේ අධිකාරිය එම නියාමනයන් පසෙක තබා ව්‍යාපාර සිදු කරන්නට මෙන්ම අධිකාරියේ අධ්‍යක්ෂවරුන්ගේ හා ඇතැම් නිලධාරීන්ගේ බලය අවභාවිත කරමින් පසුගිය කාලයේ සිදු කරන ලද දූෂණ වංචා රැසක් මේ වන විට හෙළිදරවු වී ඇත.
අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිසි විමර්ශනයකින් තොරව හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේද සහායෙන් සිදුව ඇති මේ අවභාවිතයන්ට ඇතැම් දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ආරම්භ කරන විට එහි පනතට ඇතුළත් කරන ලද ‘මැණික් වෙළෙඳ බැංකුව‘ මේ දක්වා අරඹා නැත. එය හුදෙක් හිතලුවක් පමණක් බව මේ වන විට තහවුරු වී ඇත.
එමෙන්ම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මහ බැංකුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ නියෝජිතයන් දෙදෙනකුද සිටිය යුතු වුවත් එවැනි නියෝජිතයන් අධ්‍යක්ෂ මණ්ඩලයේ නොසිටි බව පසුගියදා කෝප් කමිටුව හමුවේ අධිකාරියේ නිලධාරීන් කැඳ වූ අවස්ථාවේදී වාර්තා විය. එම තනතුරු දෙක අත්‍යවශ්‍යම බව කෝප් කමිටුව විසින් දැනුම් දී තිබිණි.
එසේම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් මසකට වරක්වත් පැවැත්වීම අත්‍යවශ්‍ය වී තිබුණද වසර කිහිපයක්ම වසරකටම පවත්වා තිබුණේ රැස්වීම් 8ක් බව තහවුරු වී ඇත.
පසුගිය 2022, 2023 සහ 2024 වසර තුන තුළදී මෙරටට කිලෝ 46815ක මැණික්, අධිකාරිය විසින් ගෙන්වා ඇතත් අපනයනය කර ඇත්තේ එයින් කිලෝ 1664ක් බව හෙළිව තිබේ. අගය වැඩි කර අපනයනය කරන්නට බව හඟවා එසේ අධිකාරිය ලබාගත් මැණික්වලට වූයේ කුමක්ද යන්න මේ දක්වා අබිරහසකි. එමෙන්ම මේ මැණික් අතර දියමන්ති ද වූ බවට මේ වන විට මත පළව තිබේ.
අපනයනය හෝ ප්‍රතිඅපනයනය හෝ සිදු කරන්නට ගොස් අධිකාරියේ නියාමනය හා මැදිහත්වීම මත සිදු වන්නේ අවභාවිතයන් බව මේ වන විට පසක් වී ඇත.
රුපියල් කෝටි 25ක් වටිනා මැණික් මල්ලක් නිදහස් කිරීම ගැන මීට මාස කිහිපයකට පෙර මහත් ආන්දෝලනයක් ඇති කළේය. නියමිත බදු ගෙවීමකින් තොරව එක්තරා සමාගමක් විසින් සිදු කළ මේ මැණික් ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අතර, අධිකරණයේ නියමය වූයේ අධිකාරියේ පනතට අනුව කටයුතු කළ යුතු බව පවසා මැණික් මල්ල අධිකාරියට ලබා දීමය.
එහිදී සිදුව ඇත්තේ රුපියල් 10,000ක සෝච්චම් දඩයකට එම මැණික් මල්ල මුදා හැරීමය. ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මෙරට කාර්ය බහුලතම දිනයක් වු 2024 වසරේ සැප්තැම්බර් 20 වැනිදා (ජනාධිපතිවරණ සමයේ) ඉදිරිපත් කර ඇති නමුත් එය අනුමත කර නොමැත.
එහෙත් මැණික් මල්ල ඉන් දින කිහිපයකට පසුව රුපියල් 10,000ක දඩයකට යටත්ව නිදහස් කර ඇත. කිසිදු බදු ගෙවීමකින් තොරව සිදු කළ මේ මැණික් ගනුදෙනුව සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් පවා නොමැතිව කටයුතු කළ ජගතා කවුරුන්ද?
එසේ ක්‍රියා කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි.
Elegant Gems නම් ආයතනය විසින් අඩු තක්සේරුවක් යටතේ එම මැණික් තොගය අපනයනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්, මැණික් තොගය අධිකරණය මඟින් රාජසන්තක කරන ලද අතර, එය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පත් කරනු ලැබිණි. එහිදී අධිකාරියට නිකුත් කළ හැකි අවම දඩ මුදල වන රුපියල් 10,000ක් අය කර ඇති අතර, මෙවන් වංචාවක් වෙනුවෙන් අධිකාරි පනතට අනුව රුපියල් 333,000දක්වා දඩ මුදලක් නියම කරන්නට අධිකාරියට හැකියාව තිබේ.
අධිකරණය විසින් මැණික් තොගය රාජසන්තක කර අධිකාරියට භාර දීමෙන් පසුව Elegant Gems සමාගමටම එම මැණික් තොගය මුදා හැරීම අධිකරණයටද කළ අපහාසයක් වන්නේය.
එහිදී 2024 වසරේ සැප්තැම්බර් මස 18 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ තීන්දුව ලබා දී ඇත්තේ පෙර කී ලෙස අධිකාරියේ පනතට අනුව කටයුතු කරන ලෙසයි. එවන් අවභාවිත කළ අධිකරණ තීන්දුවලට පවා පයින් ගසා තම අභිමතය සිදු කළ නිලධාරීන්ට විරුද්ධව තවමත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර නැත.
මීට අමතරව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය නොකොට රුපියල් මිලියන 2000ක හෙවත් ලක්ෂ 20,000ක මුදලක කුලියට ගොඩනැඟිල්ලක රැඳී සිටීම සම්බන්ධයෙන් ද ගැටලු මතුව තිබේ.
මේ ගොඩනැඟිලි ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න රැසක් හමුවේ කෝප් කමිටුව විසින් සිදු කළ ප්‍රශ්න කිරිම් හමුවේ අදාළ නිලධාරීන් වරෙක මුනිවත රැකීමත් තවත් විටක ‘වටේ යමින්‘ පිළිතුරු සැපයීමත් ගැන කෝප් කමිටුව විසින් අධිකාරියේ නිලධාරීන්ට අප්‍රසාදය පළ කළ අතර, ඔවුන්ගේ දැඩි දෝෂ දර්ශනයටද අධිකාරියේ නිලධාරීන් හසු විය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යාබද ඉදිකිරීම් ආරම්භ කළ සාප්පු සංකීර්ණ හේතුවෙන් අධිකාරියට අයත් ගොඩනැඟිල්ල රැඳී සිටීමට නුසුදුසු තත්ත්වයකට පත් ව ඇති අතර, ඒ අනුව සිදුව ඇති හානියට වන්දි ලෙස මාසිකව රුපියල් මිලියන 3ක කුලී පදනමක් සහිතව වෙනත් ගොඩනැඟිල්ලක් එම සමාගම විසින් අධිකාරියට ගෙවීමට යෝජනා කර ඇත.
නමුත් අධිකාරිය විසින් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, 2021 වසරේ සිට රුපියල් මිලියන 2000ක පමණ අධික කුලී මුදලක් ගෙවමින් වෙනත් ගොඩනැඟිල්ලක අධිකාරියේ කටයුතු පවත්වා ගොස් තිබේ.
මෙහි අරුමය වන්නේ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) මඟින් රුපියල් මිලියන 21ක් වැනි මුදලකින් අධිකාරියට අයත් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කළ හැකි බවට තක්සේරු වාර්තාවක් ලබා දී තිබියදී එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද අධිකාරියේ නිලධාරීන් විසින් කූට උපක්‍රම මඟින් මගහැර තිබීමය. එමෙන්ම අදාළ සමාගම විසින් යෝජනා කළ මාසික වන්දි මුදල ද ලබා නොගැනීම ගැනද මෙහිලා සලකා බැලිය යුතු වන්නේය.
එසේ ලබා දුන් මුදල්ද ලබා නොගෙන රුපියල් ලක්ෂ 20,000ක් හෙවත් මිලියන 2000ක් ජනතා මුදල් මෙසේ වැය කළේ කුමන පදනමකින්ද යන්න විමතියට කරුණකි.
විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අපනයන අංශයක් පමණක් ඇති හෙයින් ආනයනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අංශයක්ද නොමැත.
එහෙත් ආනයන, අපනයන යන දෙඅංශයම නියාමනය කිරීමේ අරමුණින් ස්ථාපිත කර ඇති මෙවන් ආයතනයක ඉන් එක් අංශයක් මෙතෙක් කලක් පිහිටු වීමට කටයුතු නොකිරීම පිළිබඳව ඇත්තෙන්ම ගැටලුවක්ද ඇත. එහි වරද එදා සිට මේ දක්වා සිටි සියලු අධ්‍යක්ෂවරුන් වගකිව යුතු වන්නේය.
මීට අමතරව අධිකාරියේ සුවිශේෂී දූෂණයක් ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 61ක මුදලක් වියදම් කොට ‘ලස් වේගාස්‘ නමින් පවත්වන ලද මැණික් ප්‍රදර්ශනයකට යොමු වීමයි.
මීට අමතරව සිදුව ඇති අක්‍රමිකතා අතරට අධිකාරියට අනුබද්ධිත රත්නපුර කාර්යාලයේ සවිකර ඇති FTIR යන්ත්‍රයේ කොටසක් අස්ථානගත වීම කෙරෙහි නිසි විමර්ශන සිදුව නැත.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යනු මෙරටට ධන උල්පත් ලබා දෙන්නට කටයුතු කළ යුතු ආයතනයක් වුවත් මේ වන විට සිදුව අත්තේ එම අධිකාරියේ නිලධාරීන් අධ්‍යක්ෂවරුන් තම ධන උල්පත් සකසා ගෙන ඇති බවය. අධිකාරියේ යම් ධන ලාභයක් ලැබුවද අධිකාරියේ නිසි නියාමනයක් සිදු වන්නේ නම් හා අධිකාරිය ද ව්‍යාපාර කටයුතු නිසි ලෙසින් සිදු කළේ නම් හිමිව ඇති ආදායම මෙන් දෙගුණයක් උපයා ගන්නට හැකියාව තිබිණි.
එහෙත් රටේ අවාසනාවට හෝ එවැන්නක් සිදුව නැත. එහෙත් ඒ අක්‍රමිකතා කළ නිලධාරීන් තවමත් නිදැල්ලේය. ඔවුනට විරුද්ධව අධීකරණමය ක්‍රියා මාර්ග ගත යුතුය.
මෙහිදී මතුව ඇති ගැටලුව වන්නේ කෝප් කමිටුවට හෝ විගණකාධිපතිවරයාට හෝ අඩුපාඩු අවභාවිත දූෂණ වංචා පෙන්වා දීමට හැකි වුවත් ඔවුන්ට දඬුවම් කිරීමේ බලයක් නොමැති වීමය.
කෝප් කමිටුවට හා විගණකාධිපතිවරයාට මෙවන් දූෂණයන්ට අක්‍රමිකතාවන්ට නීතිපතිවරයා හරහා කටයුතු කිරීමේ බලය ලබා දිය යුතුය. එසේ නොකළහොත් මෙවන් හොරු ඇල්ලීම නම් කිසිදා කළ නොහැකි වනු ඇත. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ඊළඟ දිනයේදී යකඩ උදලුතලත් මීයෝ කෑවා යැයි කිවුවොත් එය ද පුදුමයක් නොවන්නේය.