Home » වෙසක් සඳ රැසට ස්වර්ණමාලියේ හුනු පිරියම් වූ සැටි

වෙසක් සඳ රැසට ස්වර්ණමාලියේ හුනු පිරියම් වූ සැටි

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පුර්ණ ලෙසම කළු ගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගැන්වූ බව සඳහන් රුවන්වැලි සෑයේ ආකෘතිය අභිමුව මා මොහොතක් නැවතී හිඳිමි. සලපතල මළුව මත දකුණු පස වාහල්කඩ අසලට වන්නට ඇති බුද්ධ මන්දිරයේ මේ කුඩා ශෛලමය චෛත්‍යය රඳවා තිබේ. එය ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරුවෙකි.

කුඩා දිය බුබුළක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූර්ත්වය විස්මය දනවයි. සෑය වටකොට බැඳි ඇත් පවුරෙහි අතීත නිර්මාණයේ සේයා මාත්‍රාවක් ශේෂ කොට තිබේ. එහි ඇතුන් මුළුමනින්ම ගඩොලින් නිමවා ඇති බව දැකගත හැකිය.

වර්ෂයක් පාසා සිදුවන රුවන්වැලි සෑ හුනු පිරියම් කිරීමේ කාර්යය වෘත්තීය නිපුණත්වයකින් යුතු මිනිස් ශ්‍රමය භාවිත වන අවස්ථාවක් මෙන්ම විසල් ධන සම්භාරයක් වැයවන කාර්යයකි. සමස්තයක් ලෙස මෙම හුනු පිරියම් කිරීමේ කාර්ය නිමා කිරීම සදහා මෙවර රුපියල් ලක්ෂ 170 වැඩි මුදලක් වැය වන බවට ගණන් බලා ඇතැයි ඒ වෙනුවෙන්ම මෙහි පැමිණ සිටි ශිල්පීහු පැවසූහ. වාර්ෂිකව සිදුවන මහ සෑයේ හුනු පිරියම් කිරීමේ කටයුත්තට පිය උරුමයෙන් මතුගම, වළල්ලාවිට සිට මෙහි පැමිණි සම්පත් කුමාරගේ හතළිස් පස් දෙනකුගෙන් පමණ සමන්විත මේ හුනු පිරියම් පිරිවරෙහි නියමුවාය.

“1981 අවුරුද්දේ ඉඳලා 2007 අවුරුද්ද වෙනකන් අපේ තාත්තා තමයි කට්ටිය අරගෙන ඇවිල්ලා චෛත්‍යය හුනු ගෑවේ. මාත් තාත්තත් එක්ක දන්න කියන කාලේ ඉඳලා මේ වැඩේට අනුරාධපුරේට එනවා. මගේ අයියලා දෙන්නත් එදා ඉඳලා අද වෙනකන්ම මේ පින්කමට එකතු වෙනවා. අපේ තාත්තා නැති වුණාට පස්සේ 2007 ඉඳලා අවුරුදු හතරක් හුනු පිරියම් කරන එක වෙන කට්ටියක් තමයි කෙරුවේ. 2011 ඉඳලා ආපහු මේ වැඩේ අපිට පැවරුණා.”

උණ බම්බු ඉනිමං මත පියෙන් පිය නැඟ සෑය මත හුනු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. හමා එන සුළඟත් විටෙක නැඟී එන අකීකරු අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම කොතෙක් නම් විය හැකිද ? එහෙත් මේ මිනිසුනට එහි ඇති අරුමයක් නැති සෙයකි. සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ වයසට නොදෙවැනිව අත්දැකීමෙන් මුහුකුරා ගිය ශිල්පියකු වන උෂාන්ත රාජපක්ෂ මෙසේ කීවේය.

“අපි ඉස්සෙල්ලම කරන්නේ පලංචි බඳින එක. පලංචි බඳින්ඩ විතරක් සති දෙක හමාරක්, තුනක් විතර යනවා. ඊට පස්සේ වයර් බ්‍රෂ්වලින් මුළු චෛත්‍යය සම්පුර්ණයෙන්ම සුරනවා. හුරපු හුනු හේදෙන්ඩ වැස්සක් වහිනකන් ඉන්නවා. හදිසියේවත් වැස්ස වහින්ඩ ප්‍රමාද වුණොත් වැස්සක් වහිනකන්ම ඉන්න වෙනවා. හුරපු පරණ හුණු හේදුණාට පස්සේ තමයි හුනු ගාන්ඩ ගන්නේ. අපි වට දෙකක් හුණු ගානවා. සම්පුර්ණයෙන්ම හුනු ගාලා ඉවර කරන්ඩ මාස තුනක් විතර යනවා. ඉස්සර පොසොන් පෝයට කලින් වැඩේ ඉවර කරලා ශ්‍රී මහා බෝධිය ඉස්සරහා කිරි උතුරවලා භාරහාර ඔප්පු කරලා ආපහු ගමට පිටත් වෙන එක තමයි සිරිත වුණේ. ඒත් දැන් වසර දෙක තුනක වෙලේ ඉඳන් වෙසක් පෝයට කලින් වැඩ ඉවර කරනවා.”

වරෙක අනෝරා වැස්සටත්, පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතොරක් දුර්වර්ණ පැල්ලම් අකා මකා දාගැබ සුදෝ සුදට හැරවීම මේ ශිල්පීන් අභිමුව ඇති අභියෝගයයි. ස්වර්ණමාලිය සුදෝ සුදට හරවන අතරේ සිවුකොන රැඳි පරිවාර චෛත්‍යයන් ද වාහල්කඩ හතර දසලපතල මළුව වටකොට බැඳි ඇතුන් 338ක් සහිත ඇත් පවුර ද වර්ණගැන්වීමේ අභියෝගය මේ ශිල්පීන් වෙත පැවරී ඇත. වාර්ෂිකව සිදුවන මහ සෑයේ හුනු පිරියම් කිරීමේ කටයුත්තට 1981 වර්ෂයේ සිට වළල්ලාවිට සිට මෙහි පැමිණ ඇති කේ. සරත් දිවිමංතලාවේ හැටවැනි විය ඉක්මවා සිටියද නිරෝගී සම්පත්තියෙන් මේ විසල් කාර්යය හා එක්ව සිටීම සතුටකි. මේ ඔහුගේ හඬ ය.

“ඉස්සර අවුරුදු පහකට සැරයක් තමයි චෛත්‍යයේ හුනු ගෑවේ. මගේ මතකයේ හැටියට 80න් විතර පස්සේ තමයි වාර්ෂිකව මේ විදිහට හුනු ගාන්ඩ ගත්තේ. මං ඒ කාලේ අපේ තාත්තලත් එක්ක එනවා. දැන් අවුරුදු පනහකට කිට්ටුයි මේ එන ගමනට. අපි කාලයක් තිස්සේ මේ වැඩේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. ඒත් ඉතින් අලුතින්ම මේ වැඩවලට එකතු වෙන කෙනෙකුට ඇත්තටම බයක් දැනෙන්න පුළුවන්. අලුතින් එන කෙනෙක් හුනු ගාන්ඩ චෛත්‍යය උඩට යවන්නේ නෑ. හුනු දිය කරන්ඩ, පලංචි බදින්ඩ වගේ දේවල්වලට තමයි උදවු කරගන්නේ. මට මතකයි ශ්‍රී මහා බෝධියට කොටි ගහපු දවසෙත් අපි සෑයේ හුනු ගගා හිටියේ. සද්දේ ඇහුණා. අපි හිතුවේ රතිඤ්ඤා කියලා. දෙවියන්ගේ පිහිටෙන් මෙච්චර කාලෙකට මේ වැඩේට ආපු කිසිම කෙනෙකුට අනතුරක් වෙලා නෑ.”

කිසිදු චෛත්‍යයකට තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම අද්‍යෘෂ්‍ය මහාථුපය ලෙස ද රුවන්වැලි සෑයට නම් පටබැඳි ඇත. අතීතයේ ද්‍රෝණයක් ලෙස හඳුන්වා ඇත්තේ ලාස් හතරකට නොඑසේනම් නැලි දාසයකටය. කි.පු. 161 – 137 තරම් දුරාතීතේ දුටුගැමුණු රජදවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය, ස්වර්ණමාලි, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථුප ආදි නම් වලින් ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි කරයි. ‍ස්වර්ණමාලි නම් දෙවඟන විසු තෙලඹු රුක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබු බව ප්‍රකටව පවතින ජනප්‍රවාදයකි. සෑයේ හුණු ආලේපන ක්‍රියාවලියෙහි තාක්ෂණික භාවිතාව පිළිබඳ වසර ගණනාවක අත්දැකීම් සපිරි ශිල්පියකු වන සුනිල් ගුණවර්ධන සිදු කළේ මෙවැනි හෙළිදරව්වකි.

“කිත්තන් ලණුවලින් තමයි ඉනිමං රඳවගන්නේ. හතරැස් කොටුවේ ඉනිමං එල්ලනවා. වාහල්කඩවල්වලට ලණු ඇදලා ඉනිමං රදවා ගන්නවා. වැඩි හරියක් මේ ඉනිමං උඩ ඉඳගෙන තමයි හුණු ගාන්නේ. උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහහමාර වෙනකොට නවත්තනවා. දොළහ හමාරට විතර කෑමට වැඩ නවත්තපුවහම අපි පැය දෙකක් විතර ඉන්නවා. ඉර මුදුන් වෙන වෙලාවට අව් රස්නේ වැඩියි. වටේ වෛත්‍යය හතරේ හුනු ගන එකයි ඇත්පවුරේ තීන්ත ගාන එකයි වෙනම වැඩක්.”

උණබම්බු මඟින් අඩි 60ක් දිගට සිටින සේ ඉනිමං සකසා සලපතළ මළුවේ සිට ධාතු ගර්භයේ අඩි 60ක පමණ ප්‍රමාණයේ හුනු පිරියම් කිරීම සිදු කරනු ලබයි. අනතුරුව දේවතා කොටුව දක්වා තවත් ඉනිමං 07ක් උපයෝගි කොටගෙන හුනු ගැල්වීම සිදු කරන බව මේ ශිල්පීහු පවසති. මේ පිරිස සමග එක්ව සිටින අත්දැකීම් සපිරි තරුණයකු වන රුවන් සංජීව තවත් කරුණු මෙසේ විස්තර කළේය.

“හුනුවලට ලුණු, නිල්, සව්, සීනි වගේ දේවල් මිශ්‍ර කරලා තමයි ආලේප කරන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ආලේප කරන හුනු හොඳින් අල්ලා හිටින එක. අනිත් එක කාලයක් ඔරොත්තු දෙනවා. සව්, සීනි එහෙම උණු කරලා තමයි හුනුවලට මිශ්‍ර කරන්නේ. චෛත්‍යයක උඩ හුනු ගාන්නේ කාලයක් තිස්සේ මේ කටයුත්තට එකතු වෙච්ච අය. අනිත් අය ඇත් පවුර, පරිවාර චෛත්‍යය, වාහල්කඩේ එහෙම හුනු ගානවා. සමහර වෙලාවට මේක පින්කමක් කියලා හිතලා ඈත ගම්වලින් එන කට්ටිය හුනු දිය කරන්ඩ, ඇත් පවුරේ තීන්ත ගාන්න වගේ දේවල්වලට එකතු වෙනවා.”

සමස්තයක් ලෙස මෙම කාර්යය සඳහා හුනු ටොන් 15ක්,අඩි 35කට වැඩිය දිග උණ බම්බු 650ක්, කොහු ලණු කිලෝ ග්‍රෑම් 650ක්, කිත්තන් ලණු මීටර් 2000ක් පමණ අවශ්‍ය වන බවද ශිල්පීහු පවසති. එමෙන්ම ඇත් පවුර ආලේප කිරීම සඳහා තීත්ත ලීටර් 180 ක් පමණ අවශ්‍ය වන බවද ඔවුහු කියති. එමෙන්ම

චෛත්‍යය සූරා පවිත්‍ර කිරීම සඳහා වයර් බ්‍රෂ් දුසිම් 30 සහ නිල් කිලෝග්‍රෑම් 200 ක් පමණ අත්‍යවශ්‍ය වන බව ද ඔවුහු කියති. එමෙන්ම සව්, ලුණු, සීනි ආදිය හුනු සමග මිශ්‍ර කොට චෛත්‍යය වර්ණ ගන්වන බව ශිල්පීහු කියති. සලපතළ මළුවේ සෑයට සමීපයෙන් හුනු සැකසීම සඳහාම ගඩොල් බැමි බැඳ සකස් කළ ස්ථානයක් වේ. එවක මෙම සුවිසල් සෑයේ ඉදිකිරීම් නිමා කිරීමට දුටුගැමුණු රජුට නොහැකිව ඇති බවත් කි.පු. 137 – 119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමාකොට ඇති බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැස් සලපතල මළුවේ එක් අන්තයක දිග අඩි 480 ක් පමණකි. කි.ව. 1017දී අනුරාධපුර රාජධානීය බිඳවැටීමත් සමග එහි වු වෙහෙර විහාර ද විනාශයට පත්වී ක්‍රමයෙන් වල් වැදී ඇත. මෙපරිද්දෙන් කාලානුරූපව ගරා වැටී, වල් වැදුණු රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු නාරංවිට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් 19 වැනි ශතවර්ෂයේ දී ආරම්භ වී වර්ෂ 1940 පමණ වන විට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338 කි. වට ප්‍රමාණය අඩි 942 කි. රන් ආලේපිත කොත සහ චූඩාමාණි­‍ක්‍ය යේ උස අඩි 25ක් පමණ වෙයි. අක්කර පහක පමණ හතරැස් මළුවක් තුළ වෛත්‍යය නිර්මාණය වී ඇත.

විසල් මුදලක් වැයවන මේ මාහැඟි කාර්ය අතීතයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු වුවක් බව හෙළිදරව් වන කරුණකි. එහෙත් වර්තමානය වනවිට මේ සදහා ලැබෙන පෞද්ගලික ධානපති අනුග්‍රහයෙන් සියල්ල සිදුවීම දක්වා කරුණු කාරණා වෙනස්වී ඇත. හුනු පිරියම් කිරීමේ කාර්යය අවසන දුර්වර්ණ සේයා පසුබා සුදෝ සුදින් දිදුලන ස්වර්ණමාලිය අප නෙත ගැටේ. එහෙත් ක්‍රමයෙන් මේ සුද යළි දුර්වර්ණ වනු ඇත. එහෙයින්ම මේ මිනිසුනට යළි මෙහ­ි පැමිණීමට සිදුවනු ඇත. එදිනට මේ පිරිවරෙහි කවරකුට ඒ ගමන මඟහැරෙන්නට ද බැරි නැත. එය මේ ජීවිත ගමනේ සැබෑ ස්වභාවය රූපනය වන කැඩපතක් බඳුය.

ඩබ්ලිව්.ප්‍රදීප් 
තඹුත්තේගම විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division