Home » අරුමැසි වෙසක් කූඩු ළඟ මහමඟ ළතැවෙන ජීවිත

අරුමැසි වෙසක් කූඩු ළඟ මහමඟ ළතැවෙන ජීවිත

by Mahesh Lakehouse
May 10, 2025 12:30 am 0 comment

බුදුන් වහන්සේගේ තෙමඟුලට පාදක වන වෙසක් මංගල්‍යය බොදුනුවන්ගේ ඉහළම සැමරුම් උලෙළයි. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් කෙරෙහි අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් මෙසමයෙහි යොමුවේ. ගස් වැල් ඵල බරිත වන මල් පිපිණු වසන්ත සමයේ උදාවන වෙසඟ චාම් වුවත් අසිරිමත් උත්සවයකි.

ශීල, භාවනාදී පිළිවෙත් සපුරා තොරණ, පහන් කූඩු, බැති ගී, දන්සල්, නේක සැරසිලි පූජා සත්කාර පවත්වා පොහොය සමය ගෙවා දැමීම ලක්වැසියන්ගේ සිරිතයි.මේ සියලු ඇවතුම්, පැවතුම් අතර වෙසක් පහන් කූඩු දැල්වීම අනාදිමත් කලක පටන් මෙරට ජන ජීවිත හා බැඳී පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

එහෙයින්ම වෙසක් පොහොයට නිවෙසේ, ගම්මැද්දේ දෙවට පාරේ, වීදී දෙපැත්තේ පහන් කූඩුවක් දැල්වීම තවමත් මෙරට වැසියන් කෙරෙන් ඈත්නොවුවකි. එදා දරුවන් වටකොටගෙන බට පතුරු, උණ ලී නැතිනම් කුරටියා කෝටු, තල් ඉරටු ආදියෙන් නිවෙස තුළදීම විසිතුරුව පහන් කූඩු හැදීමේ සම්ප්‍රදාය වෙනුවට අද වෙළෙඳපොළින් කූඩු මිලදී ගැනීම දක්වා සමාජය වෙනස් වී තිබේ.

නෙක නෙක රුවින් යුතු විසිතුරු පහන් කුඩු සමඟ මහමඟ ජීවිත සටනට පිවිසෙන උදවියගේ කතාව අපූර්ව එකකි. එය වෙනස්ම වෙළෙඳාමකි. දවස් කිහිපයකට සීමාවෙන රස්සාවට වෙළෙඳුන් ලකලෑස්ති වනුයේ මාස දෙක තුනක සිටය. මේ පහන් කූඩු අලෙවියෙන් හෙට දවස පිළිබඳ සුභ සිහින දකින ජීවිත සොයා ගිය ගමනක තොරතුරුය. ඔවුහු අටපට්ටම්, තරු, නෙළුම් මල්, දහඅට පට්ටම් ආදි නේක කූඩු වර්ග සමඟ මහමඟට එති. අනුරාධපුරය, ශ්‍රාවස්තිපුර හන්දියේ කූඩු වෙළෙඳාමේ යෙදෙන එස්. මහින්ද කලක පටන් සියැතින් හැදූ නේක කුඩු මහමඟ තබා අලෙවියේ යෙදෙන අයෙකි. වෙසක් කූඩු හෙවනේත් දවසේ වියදම සොයන පනස්පස් වියැති ඔහු මෙසේ අප හා කරුණු කීවේය.

“දැන් ගොඩක් අයට කූඩු හදන්න, අලවන්න වේලාවක් නෑ. මේ කාලේ ඉන්න සමහර ළමයින්ටත් මේවා ගැන එච්චර දැනුමක් නෑ. අපෙන් සල්ලිවලට කූඩු අරන් ගිහින් එල්ලනවා. ඇත්තටම මට මතකයි අපි පොඩි කාලේ ගෙදර කට්ටියම එකතු වෙලා කූඩු හැදුවේ. මාසෙකට විතර කලින් ඒකට ලෑස්ති වෙන්නේ. ඒ කාලේ අපි කූඩු හැදුවේ පින්කමක් විදිහට සලකලා. දැන් කූඩු හදලා විකුණන්ඩ වෙලා තියෙනවා. ඒත් වෙන මොනවා කරන්න ද ජීවත් වෙන්න මොනව හරි කරන්න ඕනනේ. මං පුළුවන් විදිහට අපේ දරුවන්ගේ දරුවෝ මේ වැඩවලට එකතු කරගන්ඩ බලනවා. මේ වෙළෙඳාම පෝයත් එක්ක ඉවරයි. ආයේ ලබන අවුරුද්දේ… මට තියෙන දුක අපෙන් පස්සේ කූඩුවක් හදලා විකුණන්ඩ කෙනෙක් ඉතුරු වෙන්නැති එකගැන. හැමදේම දැන් රටින් ගේනවනේ.”

අතීතයේ දේශීය උණ පතුරු, බට ලී, කූරටියා කෝටු ආදියෙන් පණ ලැබු විචිත්‍රවත් පහන් කූඩු වෙනුවට ආනයනික ප්ලාස්ටික් පහන් කූඩු වත්මනෙහි මෙරට ඈත ගම්මැදිවලට ද පැමිණ තිබේ. අතීතයේ පහන් කූඩුවක් හදා, අලවා, පහන් දැල්වීම යනු මුළු මහත් පවුලම එකතු කළ කටයුත්තකි. එකල්හි සරුංගලයක්, පහන් කූඩුවක් හැදීම යනු වෙනම පරිසර හිතකාමී සෞන්දර්යාත්මක ක්‍රියාකාරකමකි. මේ සමාජ වෙනස්වීම සිය වෙ‍ෙළඳාම සඳහා සිදුකොට ඇති බලපෑම තලාව නගරය ආසන්නයේ කූඩු වෙළෙඳාමේ නියුතු සරත් ආනන්ද අතීත හා වර්තමාන අත්දැකීම් මෙසේ වදන්වලට මුසු කළේය.

“මමයි නෝනයි දැන් අවුරුදු විස්සක් විතර තිස්සේ හැම අවුරුද්දකම වගේ කූඩු හදලා විකුණනවා. පහුගිය කාලේ එක එක ප්‍රශ්න හින්දා වෙළෙදාමක් තිබුණේ නෑ. දෙයියනේ කියලා මේ පාර නම් හොඳ වෙයි කියලා හිතනවා. එක එක ප්‍රමාණයට උණ පතුරු කපාගෙන තියාගෙන ඉන්නවා. ඕන ප්‍රමාණයට එවෙලෙම හදලා දෙනවා. කුඩුවක් හදන්ඩ වැඩි වෙලාවක් යන්නෑ. දැන් ඒකට අත හුරුවෙලා තියෙන්නේ. ප්ලාස්ටික් කූඩු ආපු එකත් අපිට පොඩි අභියෝගයක් තමයි. හැබැයි උණ පතුරුවලින් හදලා සව් කොළ අලවපු කූඩුවක තියෙන ලස්සන ප්ලාස්ටික් කූඩුවක නෑ. වෙසක් කූඩුවක් හදනවා කියන එක වෙනම වැඩක්.”

එවක අවුරුදු නැකත් ගෙවී වෙසක් සුළං වෙල්දෙනි පිස හමා එත්ම නේක වර්ගයේ සරුංගල් උඩ යැවීමත් පහන් කූඩු බැදීමත් ගම්බද දරු දැරියන්ට අමුතුම ආස්වාදයක් ගෙනදුන් කාරියකි. එහෙත් අද ඒ සියල්ලක් වෙනස් වී තිබේ. එහෙයින්ම ඉඳහිට හෝ දකින එවැනි දසුනකින් ජීවිත ආශාව වඩවයි. අනුරාධපුර දෙකේ කණුව හන්දියේ මහමඟ පසෙක කුඩා මඩුවකට වී වෙසක් කූඩු අලෙවියේ යෙදෙන දුමින්ද ඉන්දික ජයසේකරගේ අපේක්ෂාව වී ඇත්තේ සාධාරණ වෙළෙඳාමකින් කීයක් හෝ උපයා ගැනුම පමණක්මය. තිදරු පියකු වන ඔහු පැවසුයේ මෙවැනි අදහසකි.

“මං පුළුවන් තරම් අඩු ගාණට කූඩු දෙන්නේ. නෝනා තමයි හැම වැඩකටම උදවු කරන්නේ. හැමදාම වැඩ නැති නිසා මේ දවස්වල නින්දක් නැතිව මහන්සි වෙනවා. ඇත්තටම අපි මාස දෙකකට විතර කලින් කූඩු හදන්ඩ ලෑස්ති වෙන්නේ. මං සෙල්ලම් බඩු, විසිතුරු මල් පෝච්චි වගේ දේවල් හදලා විකුණනවා. වෙසක් කාලෙට කූඩු හදලා විකුණන එක දැන් අවුරුදු පහ හයක් තිස්සේ කරනවා. කවුරු හරි ඇවිල්ලා අලවලා දෙන්ඩ කියලා ඉල්ලුවොත් අලවලා දෙනවා. නැත්නම් කූඩු විතරක් හදලා විකුණනවා. සමහරු මීට අවුරුදු දෙක තුනකට කලින් තිබ්බ ගානට තමයි තාමත් කූඩු ඉල්ලන්නේ. මේ පාර නම් වෙසක් කොළ එහෙම ටිකක් මිල අඩුවෙලා තියෙනවා. ඒත් වෙසක් සැරසිලිවල පොඩි හිඟයක් තියෙනවා.”

පහන් කූඩුවක් දැල්වීමෙන් ලද හැක්කේ නිරාමිස සතුටකි. එය පවුලක බැඳීම ඔප දැමු කාරියකි. ඉන් ඉවසීම ජනිත විය. එනයින් එය හුදු සැරසිල්ලක් පමණක් නොවිණි. පොහොය සඳ එළියේ ගම්මැද්දේ එල්ලූ කූඩු දැකීමට යෑම එකල්හි නොතිත් ආස්වාදයකට හේතු විය. එය නොනිදා පහන් වන රාත්‍රියකි. එහෙත් කාලානුරූපව සිදුව ඇත්තේ සතුට ඈත්වූ පරිවර්තනයකි. මහමඟ විකිණෙන කූඩු නිවෙසට ගෙන ගොස් දැල්වීමෙන් එසේ ඈත්වු සතුට කොතෙක්දුරට යළි ළඟාකර ගත හැකිද යන්න වෙනම සාකච්ඡා කළ යුත්තකි. එහෙත් වෙසක් කූඩු බැඳීමට සේම වෙළෙඳාමට ද හපන් තලාව, මොරගොඩ ප්‍රදේශයේ එම්.ඩී. සුමිත්‍රා නන්දනී ඒ පිළිබඳ යම් ඉඟියක් පළ කළාය.

“අපි ළඟ එක එක ගණන්වලට එක එක සයිස්වලට කූඩු තියෙනවා. වර්ග කීපෙකින්ම අපි කූඩු හදනවා. අටපට්ටම් තමයි ගොඩක්ම හදන්නේ. මිනිස්සු ගොඩක් ඉල්ලන්නෙත් අටපට්ටම් තමයි. අපි අටපට්ටම් පැටව් කූඩත් හදනවා. නෙළුම් මල්, තරු එහෙමත් හදනවා. මං පොඩි කාලේ අපේ තාත්තගෙන් තමයි කූඩු හදන්ඩ ඉගෙන ගත්තේ. අපි කූඩු හදාගෙන පාරට ආවට පස්සේ මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා වෙසක් එක ගැන. මමයි මහත්තයයි දැන් අවුරුදු ගාණක් තිස්සේ වෙසක් කාලෙට මේ වෙළෙඳාම කරනවා. මේ වැඩෙන් ලොකු ලාභයක් නැති වුණත් පාඩුවක් වෙන්නෑ. මේක එක අතකින් පිනක්. ඒ කාලේ අපි තාත්තා වටේට එකතු වෙලා කූඩු බැඳපු හැටි මතක් වෙනකොට ඇස් දෙකට කඳුළු එනවා. ඇත්තටම දැන් ළමයින්ට ඒ සතුට නෑ. ”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division