– ගමේ පවුල් රැසක් දීර්ඝ කාලයක් තිස්සේ මේ කර්මාන්තයේ නිරතව සිටිනවා
– වෙසක් කූඩු බකට් ඇතුළු වෙසක් භාණ්ඩ තොග පිටින් මිලදී ගන්න වෙළෙඳුන් වෙසක් කාලයට ගමට එනවා
– වෙසක් සැරසිලි පිටරටින් ගෙනෙනඑක පාලනය කළොත් කර්මාන්තය දියුණු කළ හැකියි
වෙසක් උත්සවය වෙනුවෙන් නිවාසවල මෙන්ම රටේ වැදගත් ස්ථානවල සහ මහා මාර්ගවල බෞද්ධ කොඩි ඔසවා තැබීම සහ සැරසිලිවලින් වර්ණවත් කිරීම ද සිදුකිරීම සාමාන්‍ය සිරිතයි. සෑම බෞද්ධ නිවසකම පාහේ වෙසක් කූඩු සහ වෙසක් සැරසිලිවලින් අලංකාර කරයි. වෙසක් උත්සව දිනය ලොව පුරා බෞද්ධයන් වෙනුවෙන් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
වෙසක් සමය ආරම්භ වනවාත් සමගම බොහෝ දෙනෙක් එය සමරන්නට සූදානමින් වෙති. අලංකාර වෙසක් නිර්මාණවලින් තම නිවෙස් සැරසීම ජනතාවගේ සිරිතකි. වෙසක් සමය සඳහා විවිධ වෙසක් නිර්මාණ වෙළඳපොළට එක් කිරීමට සාම්ප්‍රදායිකව වෙසක් නිර්මාණ කර්මාන්තයේ නිරත බොහෝ දෙනෙක් මේ කාලය ඇතුළත උත්සුක වේ. වෙසක් සමය ළං වන විට බොහෝ ගම් නගරවල මඟ දෙපස විවිධ වෙසක් නිර්මාණ වෙසක් කූඩු, බෞද්ධ කොඩි, බකට් ආදිය අලෙවි කිරීමට තබා තිබෙන ආකාරය දක්නට ලැබේ. නමුත් පෙරදා මෙන් නොව වෙසක් නිර්මාණ අලෙවිකරණයේ අඩුවක් පවතින බව වෙසක් භාණ්ඩ අලෙවි කරන ඇතැම් වෙළෙන්ඳු සඳහන් කරති.
මෙසේ මෙවර වෙසක් සැරසිලි නිර්මාණ අලෙවිය අඩුවීම් සම්බන්ධයෙන් පාරම්පරිකව වෙසක් නිර්මාණ කරන ශිල්පීන් සඳහන් කරන්නේ මෙම නිර්මාණවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් අද වන විට විවිධ වෙසක් නිර්මාණ චීනයෙන් ආනයනය කරන නිසාත් තමන්ගේ කර්මාන්තය ඉදිරියටත් ගෙන යෑමේ ගැටලුවකට මූහුණ දීමට සිදුව ඇති බවයි.
රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේනමුල්ල ගම්මානයේ බොහෝ දෙනකුගේ ජීවනෝපාය වෙසක් කාලයට වෙසක් සැරසිලි නිෂ්පාදනය කිරීමයි. ගැටලු රාශියක් නිසා මෙම කර්මාන්තයේ යෙදී සිටින බොහෝ පිරිසක් මේ වන විට දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව එම ගම්මානයේ පසුගියදා සිදුකළ සංචාරයකදී හෙළි විය.
වෙසක් කූඩු, බකට්, බෞද්ධ කොඩි ආදිය නිෂ්පාදනය සඳහා වේනමුල්ල ගම ප්‍රසිද්ධියක් උසුලයි. වේනමුල්ල වෙසක් කූඩු, බකට් නිර්මාණය කරන ජනතාවගෙන් සමන්විත ප්‍රදේශයකි. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ද මෙයයි. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ පාරම්පාරිකව මෙම කර්මාන්තයේ නිරතව සිටිති. මෙම ගම්මානයේ සෑම නිවසකම පාහේ පදිංචිකරුවෝ වෙසක් කූඩු, බකට් නිර්මාණය කරයි. මෙම නිර්මාණ කටයුතු සඳහා එම ගම්මානයේ පවුල්වල ලොකු කුඩා සියලු දෙනාම පාහේ එකතුවී ඇත.
නමුත් අද වන විට මෙම කර්මාන්තයේ නිරත වන අයට එය කරගෙන යාමට අපහසු තත්වයක් උද්ගත වී ඇත. අමුද්‍රව්‍ය වශයෙන් ලබා ගන්නා කඩදාසි මිල මුද්‍රණ ගාස්තු ඉහළ යාම මෙන්ම සේවක පඩිනඩි සඳහා ද වැඩි වියදමක් දරා ගැනීමට සිදුවීම මෙම කර්මාන්තයේ නිරත අය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් යෙදවීමේදී ඔවුන් සතුව ස්ථාවර මුදලක් නොමැති බැවින් බොහෝ විට ණයතුරුස්වි නිෂ්පාදන කටයුතු සිදුකරන බවද හෙළිවිය. ඔවුන් යොදවන මුදල ලබා ගැනීමට නම් නිෂ්පාදනවලට ඉහළම මිලක් ලබාගත යුතුය. පසුගිය කාලයේ රටේ පැවති කොරෝනා වසංගතය නිසාද මෙම කර්මාන්තයට බාධා ඇතිවිය.
අයහපත් කාලගුණය තත්ත්වය ද ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට බාධාවක් වී ඇත. එසේම මේ වන විට චීනයෙන් ආනයනය කරන වෙසක් භාණ්ඩ නිසා මෙම වෙසක් කූඩු හා සැරසිලි නිර්මාණ කර්මාන්තයේ යෙදෙන අයට තමන්ගේ කර්මාන්තය කරගෙන යෑමට අපහසුවීම ද එක් ප්‍රධාන ගැටලුවකි.
බෞද්ධ කොඩියේ සිට වෙසක් කූඩු බකට් ආදිය මෙන්ම විදුලි බුබුලු ද චීනයෙන් ආනයනය කරන නිසාත් ඒවා අඩු මිලට අලෙවි කරන නිසාත් දේශීය වශයෙන් වෙසක් සැරසිලි නිර්මාණය කරන්නන්ට අද ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවී ඇත.
මේ සම්බන්ධයෙන් වේනමුල්ල වෙසක් සැරසිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් සමඟ කතාබහක නිරත වූයෙමි.
දීර්ඝ කාලයක් පාරම්පරිකව වෙසක් සැරසිලිවල යෙදී සිටින කර්මාන්තකරුවෙකු වන එච්.ඩබ්ලිව්. තුෂාර පවසන්නේ මෙවන් අදහසකි.
“අපි මේ කර්මාන්තයේ යෙදෙන්නේ පරම්පරාවෙන් අපේ තාත්තලා සීයලා ආදි කාලයේ සිටම මෙම වෙසක් සැරසිලි කර්මාන්තයේ යෙදුණා. ඒ කාලයේ පිටරටින් කිසි දෙයක් ගෙනාවේ නෑ. වෙසක් කූඩු බකට් ඔක්කොම නිර්මාණය කරන්න අවශ්‍ය දේවල් අපේ රටෙන්ම හොයා ගත්තා. ඒ වගේම අමුද්‍රව්‍ය ද දරාගත හැකි මට්ටමක පැවතුනා. අපේ නිර්මාණ වෙසක් මාසයේදී ලංකාවේ සෑම පළාතකින්ම පැමිණි වෙළෙඳුන් අරගෙන ගියා. තවත් අය අපේ ගමට පැමිණ අපගේ නිෂ්පාදන මිලදී ගත්තා. ඒ කාලයේ අපිට හොඳ ආදායමක් ලැබුණා. බොහෝ දෙනකු තමන් විසින් වෙසක් කූඩු නිර්මාණය නොකරන නිසා අපේ නිෂ්පාදන වලට ඉල්ලුමක් පැවතුණා. නමුත් පහුගිය කොරෝනා කාලයේදී අපිට මහත් ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වුනා. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම ඉන්ධන මිල ඒ වගේම අපට තවත් ලොකු ගැටලුවක් චීනයෙන් බෞද්ධ කොඩියේ සිට වෙසක් කූඩු බකට් ආදිය ලංකාවට ආනයනය කිරීමත් එක් හේතුවක්. වෙළඳපොලේ ඒ නිෂ්පාදන අපගේ නිෂ්පාදනවලට වඩා අඩු මිලට අලෙවි කිරීම නිසා අපට අලෙවිය පිළිබඳ ප්‍රශ්න ඇතිවුණා. නමුත් අපේ ගමේ බොහෝ දෙනාගේ ආදායම් මාර්ගය මේකයි. වෙසක් සැරසිලි නිර්මාණය සඳහා අපි වසරේ මුල් කාලයේ සිටම සූදානම් වෙනවා. අපි දැන් වෙසක් කූඩු ආදිය නිර්මාණය කළත් කාලගුණ තත්ත්වයද අලෙවි කටයුතු සඳහා බලපානවා.
ලංකාවේ ඉස්සර නම් දේශගුණය යම්කිසි පිළිවෙලකට සිදුවුණ. දැන් දැඩි වර්ෂාපතනයක් නිරන්තරයෙන් ඇතිවීම නිසා අලෙවි කටයුතු වලටද එයින් බාධාවක් වෙනවා. ඒ වගේම අපි අමුද්‍රව්‍ය මිලදී ගන්නේ බොහෝ විට ණය වෙලයි.
එනිසා අපේ භාණ්ඩ අලෙවිකරණයට ගෙවන්න සිදුවෙනවා. චීනයෙන් ගෙනෙන වෙසක් නිර්මාණවලට යම්කිසි ආකාරයක පාලනයක් සිදු කළහොත් අපේ කර්මාන්තය දියුණු කරගෙන යන්න හැකියාව තියෙනවා.”
වේනමුල්ල ප්‍රදේශයේම වෙසක් සැරසිලි නිර්මාණය කරන අයකු වන එම් සඳුන් කුමාර.

එච්. ඩබ්ලිව්. තුෂාර
“අපි මේ කර්මාන්තයේ යෙදෙන්නේ පාරම්පරිකව. අපේ ගෙදර සියලු දෙනාම එක්වී වෙසක් සැරසිලි නිර්මාණය කරනවා. අපි නිෂ්පාදනය කරන්නේ වෙසක් කූඩුයි. අපි කුලියට අයත් ගන්නවා. දැනට තියෙන තත්ත්වය උඩ එයාලට වැඩි මුදලක් ගෙවන්නත් සිදුවෙනවා. නමුත් අද වන විට අපි ගැටලු රාශියකට මුහුණ දෙනවා. ඉතා අමාරුවෙන් තමයි මේ කටයුතු සිදු කරන්නේ.
අපි වසරේ මුල සිටම මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් අපේ කටයුතුවලට බාධාවක්. මේ පිටරටින් එන වෙසක් නිර්මාණ සඳහා යම්කිසි ආකාරයක පාලනයක් සිදු කරලා අපේ නිෂ්පාදනවලට වැඩිම මිලක් ලබාගන්නට සලස්වන්න. මේ ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණොත් පාරම්පරිකව මේ කර්මාන්තයේ යෙදුනත් අපේ අනාගත පරපුර මේ තත්ත්වය යටතේ මෙම කර්මාන්තයේ යෙදීමට කැමැත්තක් දක්වන්නේ නෑ.”
මෙම වෙසක් සැරසිලි කර්මාන්තය සඳහා කාන්තාවෝ වැඩි දායකත්වයක් සපයති. ගෘහ කර්මාන්තයක් වශයෙන් පවුලේ සියලු දෙනා එක්ව මේ සඳහා යොමු වෙන නිසා මෙම වෙසක් නිර්මාණ කර්මාන්තය මේ අයුරින්වත් පවත්වාගෙන යාම සිදුවේ.
වෙසක් සැරසිලි කර්මාන්තයේ යෙදෙන කාන්තාවක් වන වෙනමුල්ලේ කේ.බි. මාලනි රණවීර මහත්මිය.
“අපේ ගමේ ගොඩක් කාන්තාවෝ වෙසක් සැරසිලි නිර්මාණය කරන්න එකතු වෙලා ඉන්නවා. එය අපේ පවුල්වලටත් ආර්ථික ශක්තියක්. ඉස්සර නම් හොඳ ආදායමක් තිබුණා. දැන් නං ඒ තරම් ආදායමක් නෑ.”
මේ සම්බන්ධව ආදාළ වගකිවයුත්තන්ගේ අවධානය යොමුකොට රටේ ආර්ථිකයට මොවුන් කරන මෙහෙයට පහසුකම් සලසා විදේශවලින් මෙරටට ආනයනය කරන වෙසක් සැරසිලි සඳහා යම්කිසි පාලනයක් ඇති කර මේ කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුය. ඒ මෙම කර්මාන්තයේ නිරත වී සිටින අයගේ ප්‍රධාන ඉල්ලීමයි.